ගිරිතලේ-මින්නේරිය

හැදින්වීම

දැනට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති ස්‌වභාව රක්‍ෂිත පහ අතුරෙන් ගිරිතලේ මින්නේරිය ස්‌වභාව රක්‍ෂිතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. 1978 දී අභය භූමියක්‌ බවට පත්කර තිබූ මෙම භූමි ප්‍රමාණය මහවැලි කඩිනම් ව්‍යාපාරයට සමගාමීව බිහිවූ වස්‌ගමුව සෝමාවතිය ජල ගැලුම් නිම්නය හා මාදුරුඔය වැනි වනෝද්‍යාන සමඟ 1988 පෙබරවාරි මස 12 වැනිදා ස්‌වභාව රක්‍ෂිතයක්‌ දක්‌වා සංරක්‍ෂණ වශයෙන් උසස්‌ කෙරිණි.

මෙසේ ප්‍රකාශයට පත්කෙරුණු ගිරිතලේ - මින්නේරිය ස්‌වභාව රක්‍ෂිතයේ කලාප (බ්ලොක්‌ස්‌) හතරකි. කලාප අංක 1,2,3, හා 4 වශයෙන් ඒවා නම්කර තිබිණි. මෙම කලාප හතර අතරින් කලාප අංක තුන ලෙස හැඳින්වූ කොටස 1997 අගෝස්‌තු මස 12 වැනිදා මින්නේරිය ලෙස ශ්‍රී ලංකාවේ 13 වැනි ජාතික වනෝද්‍යානය වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. එහි ප්‍රමාණය හෙක්‌ටයාර් 9355 කි. මෙම ස්‌වභාව රක්‍ෂිතයේම කළාප අංක එක කොටස 2006 ජුනි මස 06 වැනිදා අංගම්මැඬිල්ල ලෙස ශ්‍රී ලංකාවේ 19 වැනි ජාතික වනෝද්‍යානය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. එහි ප්‍රමාණය හෙක්‌ටයාර් 7500 කි. දැන් මෙම රක්‍ෂිතයට අයත්ව ඉතිරිව ඇත්තේ හෙක්‌ටයාර් 1924 ක්‌ විශාල කලාප අංක දෙක කොටසත්, හෙක්‌ටයාර් 8335.52 ක්‌ විශාල කලාප අංක හතර කොටසත්ය.

පිහිටීම

පොළොන්නරුව සහ මාතලේ පරිපාලන දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් වේ. කලාප අංක දෙක කොටස පූර්ණ වශයෙන් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් වේ. අංගම්මැඬිල්ල හා මින්නේරිය ජාතික වනෝද්‍යානවලට මැදිවූ මෙම රක්‍ෂිත ප්‍රදේශය හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය යටතට ගැනේ. ගිරිතලේ වැව ඇතුළු වැව් පෝෂිතයද මෙම කොටසට අයත් වේ. කලාප අංක හතර කොටස දිස්‌ත්‍රික්‌ දෙකටම අයත් වේ. උතුරින් මින්නේරිය ජාතික වනෝද්‍යානයයි. පටියක්‌ මෙන් විහිදෙන මෙම රක්‍ෂිත පෙදෙස නැගෙනහිරින් ඇලහැර-ගිරිතලේ යෝධ ඇළත් එතැනින් පසුව අඹන් ගඟත් දළ මායිම් කරගෙන දකුණින් ඇලහැර - නාඋල මාර්ගයේ තලාගොඩ ප්‍රදේශය දක්‌වා අඹන්ගඟ තෙක්‌ පැතිර පවතී.

බටහිර මායිම වෑවල, කළුන්දෑව, පුබ්බිලිය වැනි මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් ගම්මාන ඔස්‌සේ තලාගොඩ දක්‌වා පැතිරේ.

රක්‍ෂිතයේ ස්‌වභාවය

දැඩි ස්‌වභාව රක්‍ෂිත, ජාතික වනෝද්‍යාන යන මට්‌ටමට වඩා සංරක්‍ෂණ තත්ත්වය අතින් පහළ වූවද, රජයේ ඉඩම් පමණක්‌ සවභාව රක්‍ෂිතවලට අයත් බැවින් අභයභූමියකට වඩා නීතිමය රැකවරණය වැඩිය. මානව ක්‍රියාකාරකම්වල බලපෑම අභය භූමියකට වඩා සීමා වේ.

වස්‌ගමුව ජාතික වනෝද්‍යානයත්, මින්නේරිය ජාතික වනෝද්‍යානයත් අතර වන අලින් සංක්‍රමණය වන ප්‍රධාන අලි පිවිසුම් මඟ වැටී ඇත්තේ මෙම ස්‌වභාව රක්‍ෂිතය ඔස්‌සේය. තවත් පසෙකින් වස්‌ගමුව වනඋයනේ වන අලින් ඇතුළු වන සතුන් අංගම්මැඬිල්ල උද්‍යානය හරහා ස්‌වභාව රක්‍ෂිතයේ කලාප අංක දෙක ඔස්‌සේ මින්නේරියට සංක්‍රමණය වේ.

ප්‍රවේශ මාර්ග

ස්‌වභාව රක්‌ෂිත වනාන්තර සංචාරකයන් සඳහා විවෘත නොවේ. අධ්‍යයන සහ සංරක්‌ෂණ කාර්යයන් සඳහා රජයේ අවසරය මත මෙවන් වනාත්තර සඳහා ප්‍රවිශ්ඨ විය හැකිය.

ඒ අනුව ගිරිතලේ - මින්නේරිය ස්‌වභාව රක්‌ෂිතය සඳහා ප්‍රවේශ මාර්ග කිහිපයක්‌ හඳුනාගත හැකිය.

දඹුල්ල- හබරණ- මින්නේරිය- ගිරිතලේ ඔස්‌සේ ගිරිතලේ වැව් රක්‌ෂිතය පිහිටි කලාප අංක දෙකටත්.

මහනුවර - මාතලේ - නාඋල තලාගොඩ ඔස්‌සේ ඇළහැර දෙසින් හා දඹුල්ල - කණ්‌ඩලම් පාර ඔස්‌සේ බකමූණ දෙසින් කලාප අංක හතරටත් ළඟාවිය හැකිය. ඇළහැර - බකමූණ - දියබෙදුම, ගිරිතලේ මාර්ගයේදී කලාප අංක දෙක හා හතර යන කොටස්‌ දෙකටම ප්‍රවේශවීමේ හැකියාව ඇත. දඹුල්ල - බකමූණ මග වැටී ඇත්තේ ස්‌වභාව රක්‌ෂිතය හරහාය.

භෞතික ලක්‌ෂණ

කලාප අංක දෙක තුළ ගිරිතලේ වැව පිහිටා ඇත. වස්‌ගමුව -අගම්මැඩිල්ල වනෝද්‍යාන තුළින් දිවෙන සුදු කන්ද නම් කඳුවැටිය කෙළවර වන්නේ ස්‌වභාව රක්‌ෂිතයේ කලාප අංක දෙක තුළ පිහිටි ගිරිතලේ වැව් බැම්ම මතිනි. කලාප අංක හතර කොටස තුළ කඳුවැටි කිහිපයක්‌ම දක්‌නට ලැබේ. කෝන්ගහවෙල, පුබ්බිලිය, තලාගොඩ, කළුන්දෑව ප්‍රදේශ දක්‌වා පැතිර ඇති මෙම කඳුවැටි සඳහා නිශ්චිත නම් නොමැත. මොරගහකන්ද ඉදිවෙමින් පවතින්නේ මෙවන් කඳුවැටි දෙකක්‌ අතර ගිරිතලේ මින්නේරිය ස්‌වභාවික රක්‌ෂිතය තුළය. මෙහි ස්‌වභාවික ජලාශ හෝ පුරාණ වැව් නොමැත. එහෙත් මොරගහකන්ද ජලාශය හේතුවෙන් අවහිරයට ලක්‌වන වනමංපෙත් හා අලි පිවිසුම් මාර්ගවලට පිළියමක්‌ වශයෙන් ඇළහැර දොළහකණුව ප්‍රදේශයේ ඇළහැර වනජීවී අඩවි ආරක්‌ෂක කාර්යාලයට නුදුරෙන් ව්‍යාපෘතිය මගින් වැවක්‌ නිර්මාණය කොට ඇත. මෙය කිරිමැටියතැන්න වැව ලෙස හැඳින්වේ. මොරගහකන්ද ඉදිවීමත් සමග එම ජලාශයේ ප්‍රධාන ජලපෝෂකයන් බවට ස්‌වභාව රක්‌ෂිතය පත්වේ.

ඉතා ගණව වැඩුණු වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලින් රක්‌ෂිතය සමන්විත වන අතර, අඹන්ගඟ හා ඇළහැර - මින්නේරි- ගිරිතලේ යෝධ ඇළ ඔස්‌සේ ගංඟාධාර වනාන්තර දක්‌කට ලැබේ.

හෙළ වාරි සංස්‌කෘතියේ මුදුන් මල් කඩක්‌ බඳු ඉපැරණි ඇලහැර අමුණ පිහිටා ඇත්තෙ මෙම මින්නේරි- ගිරිතලේ රක්‌ෂිතයට මායිම්වය.

අතීත තොරතුරු

අනාරක්‌ෂිතව පැවැති මෙම වනාන්තරය 1978 දී අභය භූමියක්‌ බවට පත්වූ අතර, කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ස්‌වභාව රක්‌ෂිතයක්‌ බවට පත්විය. මෙහි කොටස්‌ දෙකක්‌ ජාතික වනෝද්‍යාන බවට පත්වී ඇත. කළාප අංක දෙක තුළ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිලධාරි පුහුණු මධ්‍යස්‌ථානය පිහිටුවා ඇත. කලාප අංක හතර තුළ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත. 2004 වසරේදී ඇරඹි දඹුල්ල- බකමූණ මාර්ගය ගණවනගහනය මැදින් පැමිණි කලාප අංක හතර කොටස දෙකට කොට ඇත.

ඓතිහාසික තොරතුරු හා ස්‌ථාන

ස්‌වභාවික රක්‌ෂිතය ඓතිහාසිකමය වශයෙන් වැදගත් වූ ස්‌ථාන හා කාර්යයන් රැසකින් සමන්විතය. මින්නේරිය හා අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය නොසලකා ඉතිරි වත්මන් ස්‌වභාව රක්‌ෂිතය සැලකීමේදී මෙවන් ඓතිහාසික වැදගත්කමක්‌ පෙන්වයි.

කලාප අංක හතර කොටසට සම්බන්ධව පවතින ඇළහැර පැරණි අමුණ මෙරට වාපි සංස්‌කෘතියේ විශිෂ්ටත්වය ලොවට හඬගා කියන වැදගත්ම නිර්මාණයකි. එසේම හෙළ වාපි සංස්‌කෘතියේ ආරම්භය සනිටුහන්කරන මග සලකුණයි. ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සියවසේ එනම්, ක්‍රිස්‌තු වර්ෂ 67-111 අතර කාලයේ රජකම් කළ වසභ රජු ඇළහැර දී අමුණක්‌ බැඳ අඹන්ගඟ හරස්‌ කිරීමෙන් ඇළහැර යෝධ ඇළ තනවා රජ රටට දියවර ගෙන ගොස්‌ ඇත.

පසුව රජ පැමිණි මහසෙන් රජු ක්‍රිස්‌තු වර්ෂ හතරේදී එනම් ක්‍රිස්‌තු වර්ෂ 275-303 කාලයේදී ඇළහැර අමුණ හා ඇළ වැඩිaදියුණු කර මින්නේරියට හා රන්තිසා වැවට ජලය ගෙනගොස්‌ ඇත. ක්‍රිස්‌තු වර්ෂ 7 වැනි සියවසේදී එනම් ක්‍රිස්‌තුවර්ෂ 608 දී රජකම් කළ දෙවැනි අග්‍රබෝධි රජු ඇළහැර ඇළ දීර්ඝ කිරීමෙන් කන්තලේ සහ ගිරිතලේ වැව් දක්‌වා දියවර ගෙන ගොස්‌ ඇත. මෙම ඇළහැර - මින්නේරිය - ගිරිතලේ යෝධ ඇළ අද ස්‌වභාව රක්‌ෂිතයේ නැගෙනහිර මායිමට ගැනේ. කලාප අංක හතරේ සිට කලාප අංක දෙක දක්‌වා දිවෙන මෙම ඇළ දියබෙදුම නම් ස්‌ථානයේදී මින්නේරිය හා ගිරිතලේට වශයෙන් දෙකට බෙදී වැව් පෝෂණය කරන අතර ගිරිතලේ වැව ස්‌වභාව රක්‌ෂිතයේ කලාප අංක දෙක තුළ පිහිටයි.

මහසෙන් රජු විසින් ඇළහැර ඇළ ප්‍රතිසංස්‌කරණයේදී ඇළ ඔස්‌සේ පැමිණි ඔරුව බැඳි සියඹලාගස ඔරුබැඳි සියඹලාවයි. එය ඇළහැර - බකමූණ මාර්ගයේ සියඹලාව නම් ගම්මානයේ පිහිටා ඇති අතර වනසත්ත්ව හා තුරුලතා ආරක්‌ෂා කිරීමේ ආඥපනත මගින් ආරක්‌ෂිත වෘක්‍ෂයක්‌ වශයෙන් එය නම් කොට තිබේ. එහි දේවාලයක්‌ද වේ.

මින්නේරිය වැව, එහි දෙවොල, අංගම්මැඩිල්ල පැරණි අමුණ හා පරාක්‍රම සමුදායට ජලය ගෙන ගිය ආකාශ ගංගාව, පරාක්‍රම සමුද්‍රය, සීගිරිය යනාදිය ස්‌වභාව රක්‌ෂිතයට මයිම්ව තිබී පසුව වනෝද්‍යානවලට වෙන්ව ගිය වැදගත් ඓතිහාසික ස්‌ථාන වේ.

ජෛවවිවිධත්වය

රුක්‌ගොමුව හා ශාක විවිධත්වය

වස්‌ගමුව, අංගම්මැඬිල්ල, මින්නේරිය වැනි වනෝද්‍යානවල දක්‌නට ලැබෙන රුක්‌ගොමුව හා ශාක විවිධත්වයට සමානකමක්‌ දක්‌වන්නේ එකම කලාපයක එකම ජාලයක පිහිටි වනාන්තරයක්‌ නිසාය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලින් සමන්විත මෙහි හොඳින් වැඩුණු ගණ වන ආවරණයක්‌ දක්‌නට ලැබේ. සංරක්‌ෂණ කටයුතු ඉතා හොඳින් සිදුවීම හේතුවෙන් මිනිස්‌ ක්‍රියාකාරිත්වයෙන් සිදුව ඇති වන හානි අවමය. කඳුගැට වැඩි ප්‍රමාණයක්‌ දක්‌නට ඇති හෙයින් වන වියන ඉතා හොඳින් නිරීක්‌ෂණය කළ හැකිය.

වියළි වනාන්තරවල හමුවන ප්‍රධාන ශාක වර්ග සියල්ලම පාහේ මෙහිදී හමුවේ. බුරුත, කළුවර, මිල්ල, වෙළන්, කැන්ද, වීර, වැලිපැන්න, කොරකහ, යකඩමරං, කැටකෑල, දඹ. කෝං, ඇහැටු, අට්‌ටික්‌කා හුලංහික්‌, කළු මැදිරිය, වැනි ශාකා බහුලය. පරිසර පද්ධතියක්‌ බවට විකසනය වූ යෝධ ඇළ දෙපස කුඹුක්‌, තිඹිරි වැනි ශාකවලින් යුත් ගංගාධාර වනාන්තර දක්‌නට ඇත.

වන සතුන්

මින්නේරි- ගිරිතලේ ස්‌වභාව රක්‌ෂිතය වැදගත් වන අලි වාස භූමියකි. රක්‌ෂිතය පුරාත් ඊට යාවුණු මින්නේරිය, අංගම්මැඬිල්ල වස්‌ගමුව වනෝද්‍යානවලින් බහුලව වන අලි දිවිගෙවති. වනෝද්‍යානය අතර ප්‍රධාන වනඅලි සංක්‍රමණික මාර්ග රක්‌ෂිතය ඔස්‌සේ වැටී ඇත. එමෙන්ම රක්‌ෂිතය තුළ නේවාසිකව වෙසෙන වන අලින්ද සැලකිය යුතු පිරිසක්‌ වෙති. ඇළහැර - නාඋල මාර්ගයේදීත් දඹුල්ල - බකමූණ මාර්ගයේදීත් බකමූණ- ගිරිතලේ මාර්ගයේදීත්, දියබෙදුම- කටුකැලියාව මාර්ගයේදීත් මෙවන් වන අලින් හා අලිමංකඩ රැසක්‌ නිරීක්‌ෂණය කළ හැකිය. මොරගහකන්ද ව්‍යාපාරය නිසා ඇළහැර අලිමංකඩ රැසක්‌ බාධාවට ලක්‌ව ඇත.

අලින් දිවිගෙවන වනාන්තර තුළ අනිකුත් ජෛවිවිධත්වයද වැඩි නිසා මෙහි මුවා, ගෝනා, ඌරා, වැලිමුවා, ඉත්තෑවා, කබල්ලෑවා, හඳුන්දිවියා, වල් බළලා, කොළදිවියා, නරියා, හෝතඹුවා, කලවැද්දා, ඌරුලෑවා, වැනි සතුන් පමණක්‌ නොව කොටියාද දිවිගෙවන බව වාර්තා වී ඇත. අතීතයේදී වලසුන් බහුලව දිවිගෙවා ඇතත් දැන් වාර්තා අවම වෙමින් පවතී.

පක්‌ෂීන් අතර ශ්‍රී ලංකාවේ වියළි කලාපීයව දක්‌නට ලැබෙන සියලුම නේවාසික කුරුල්ලන් පාහේ මෙහිදී නිරීක්‌ෂණය කළ හැකිය. ජලාශ්‍රිත හා වනබද කුරුල්ලෝ ඒ අතර වෙති. හීං කොට්‌ටෝරුවා, රන්නළල් කොට්‌ටෝරුවා මෙන්ම වනරතු මල් කොහා ද මෙහිදී හමුවෙන ආවේණික කුරැල්ලෝය. ජලාශ්‍රිත කුරුල්ලන් අතර සුදු කොකුන් විවරතුඩුවා, හැඳි ආලාවා, ඇඹල කොකා, කුඩා දියකාවා කරවැල්කොකා ඉන්දු දියකාවා, කිරලා, වැනි කුරුල්ලන් දැකගත හැකිය.

වියළි කලාපීයව දක්‌නට ලැබෙන සියලුම උරගයන් පාහේ රක්‌ෂිතය තුළින් හමුවේ. ජලාශ සහ දියදහරා තුළ මිරිදිය මසුන් හා අනෙකුත් ජලජ සත්වයන්ද උභයජීවින් සහ සමනළුන් විශේෂද රැසක්‌ රක්‌ෂිතයෙන් වාර්තා වූවද මෙහි සාර්ථක ජෛවිවිධත්ව සමීක්‌ෂණයක්‌ මෙහි සිදුව නැත.

(විශේෂ ස්‌තුතිය වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට, මහවැලි කලාපයේ සහකාර වනජීවී අධ්‍යක්‌ෂ සිසිර කුමාර, ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ සහකාර අධ්‍යක්‌ෂ ගාමිණී සමරකෝන් සහ ඇළහැර වනජීවී අඩවි ආරක්‌ෂක වීරසේන මහත්වරුන්ට)

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - වාසල සේනාරත්න
එච්. එම්. එල්. බී. හේරත්




ඡායාරූපය DඋඛC

 

 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.