බෞද්ධ සාහිත්‍යයේ වටිනාකම
වත්මන් සාහිත්‍යධරයන් වටහාගෙන නැහැ

මහාචාර්ය ඔලිවර් අබේනායක යනු මෙරට පාලි හා බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ විද්වතෙකි. ඉංග්‍රීසි සහ සිංහල බසින් ඔහු විසින් රචිත ලිපි බොහොමයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සේවය කර ඇති මහාචාර්ය අබේනායක මේ වන විට මෙරට විශ්වවිද්‍යාල කිහිපයකම බාහිර දේශකයකු වශයෙන් කටයුතු කරයි. බෞද්ධ සාහිත්‍යය සහ එය මෙරට සිංහල සාහිත්‍යයේ ප්‍රගමනයට දැක්‌වූ දායකත්වය පිළිබඳ "වටමඬල" සාහිත්‍ය සංග්‍රහය ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - බෞද්ධ සාහිත්‍යය ගොඩනැගුණු අයුරු පැහැදිලි කරගැනීම මේ සාකච්ඡාවට හොඳම ප්‍රවේශයෑයි මා හිතනවා...

පිළිතුර - බෞද්ධ සාහිත්‍ය විශාල පරාසයක විහිදුණ විෂයක්‌. පාලි ත්‍රිපිටකය, අටුවා සහ ටීකා කියන ත්‍රිත්වයෙන් තමයි බෞද්ධ සාහිත්‍ය ගොඩනැඟෙන්නේ. අටුවා ලිව්වේ පාලි ත්‍රිපිටකයේ තිබෙන අමාරු තැන් තේරුම් ගැනීමට. ටීකා ලිව්වෙ අටුවාවල තිබෙන අමාරු තැන් පැහැදිලි කරන්න. පාලි ත්‍රිපිටකයේ ග්‍රන්ථ තිස්‌ එකක්‌ තිබෙනවා. එය ශුද්ධ වූ බයිබලය වගේ විසිපස්‌ගුණයක්‌ විශාලයි. ඒනිසා පුළුල් වූ ආගමික සාහිත්‍යයක්‌ බෞද්ධයන්ට තිබෙනවා. ත්‍රිපිටකයේ ග්‍රන්ථ තිස්‌එකටම අටුවා ලියෑවී තිබෙනවා. ඒ අටුවා බුද්ධකාලයේ ලියෑවුණූ ඒවා බවටයි විශ්වාස කරන්නේ. ඒ පාලි අටුවාවනුත් රැගෙනයි මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළේ. ඒ අටුවා ලංකාවේදී සිංහල භාෂාවට පරිවර්තනය කළා. එලෙස සිංහල භාෂාවට පරිවර්තනය වෙලා අවුරුදු දාහක්‌ මුල් භාෂාවෙන්ම තිබුණා. පසුකාලීනව ක්‍රිස්‌තු වර්ෂ පහ වන විට ඒවා පාලියට පරිවර්තනය කළා. එලෙස පාලියට පරිවර්තනය වූ පාලි අටුවාවන් තමයි මේ වනතෙක්‌ ථෙරවාදී බෞද්ධ රටවල භාවිත වන්නේ. පාලි අටුවාව ජනප්‍රියවීමත් සමග සිංහල අටුවා අභාවයට ගියා. ඊට හේතුව වුණේ පාලි භාෂාව බුද්ධාගමේ භාෂාව ලෙස පිළිගැනීමයි. පාලි ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය වුණේ නැහැ. මේ නිසා සිංහල සාහිත්‍යය පෝෂණයට තිබූ විශාල මංපෙතක්‌ ඇහිරී ගියා. දැනට සිංහල අටුවාවලින් ඉතා කෙටි පාඨ ප්‍රමාණයක්‌ විතරයි ඉතිරිව තිබෙන්නේ. ඒ ආකාරයට පාලි අටුවා පිළිබඳ විශාල සාහිත්‍යයක්‌ ගොඩනැගුණා. ඒ පාලි අටුවාවල ගැඹුරු තැන් පැහැදිලි කිරීමට තමයි ටීකා ලිවීම සිදුවුණේ.

ප්‍රශ්නය - පාලි ත්‍රිපිටකය පිළිබඳව වැඩිදුරටත් විග්‍රහ කළොත්...

පිළිතුර - බෞද්ධ සාහිත්‍යයේ මූලය තමයි පාලි ත්‍රිපිටකය. එය ගද්‍ය හා පද්‍යයෙන් ලියෑවුණු කොටස්‌වලින් සමන්විත වෙනවා. මාධ්‍ය තුනකින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ බව තමයි බෞද්ධයන්ගේ විශ්වාසය. උන්වහන්සේ දේශනා කළ ධර්මයයි මෙහි අඩංගු වන්නේ. ත්‍රිපිටකය "කෙනකුට ජීවිත කාලයක්‌ තුළදී ප්‍රකාශ කරන්න පුළුවන් අදහස්‌ සමුදායක්‌ද" යන මවිතය උපදවන සුළු අති විශාල සාහිත්‍යයක්‌. උදාහරණයකින් පැහැදිලි කළොත් ත්‍රිපිටකයේ තිබෙනවා සූත්‍ර පිටකය නමින් කොටසක්‌. එහි නිකාය පහක්‌ තිබෙනවා. දීඝ, මඡ්Cධිම, සංයුක්‌ත, අංගුත්තර, කුද්දක නිකාය වශයෙන්. දීඝ නිකායේ සූත්‍ර 34 කුත්, මඡ්Cධිම නිකායේ සූත්‍ර 152 කුත්, සංයුක්‌ත නිකායේ සූත්‍ර 7762 ක්‌ තිබෙනවා යෑයි විශ්වාස කරනවා. අංගුත්තර නිකායේ සූත්‍ර 9557 ක්‌ ඇති බව විශ්වාස කරනවා. ඊට අමතරව කුද්දක නිකායකට අයත් පොත් 4 ක සූත්‍ර තිබෙනවා. ඒ ආදී ලෙස සූත්‍ර පමණක්‌ ගතහොත් දසදහකට අධික ප්‍රමාණයක්‌ තිබෙනවා. මේවා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 ක්‌ තිස්‌සේ දේශනා කළ ධර්මය.

දීඝ නිකාය, සංයුක්‌ත නිකාය තිබෙන්නේ ගද්‍යයෙන්. ඊට අමතරව තනිකරම පද්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කොටස්‌ තිබෙනවා. පුදුමය උන්වහන්සේ මුලින්ම ධර්මය දේශනා කර තිබෙන්නේ පද්‍යයෙන්. ගද්‍යයෙන් නොවේ. මම එහෙම කියන්නේ පාලි ත්‍රිපිටකයේ තිබෙන පැරැණිම සූත්‍ර තිබෙන්නේ ගාථාවලින්. පද්‍යයෙන්. පැරැණි සූත්‍ර තිබෙන පොත හැටියට විචාරකයන් පිළිගන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාතය. සුත්ත නිපාතයේ අට්‌ඨක වග්ග, පාරායන වග්ග නමින් වර්ග දෙකක්‌ තිබෙනවා. එහි සූත්‍ර තිස්‌ දෙකක්‌ තිබෙනවා. ඒ සූත්‍ර තිස්‌දෙක තමයි පාලි ත්‍රිපිටකයට අයත් පැරැණිම සූත්‍ර ලෙස සලකන්නේ. එහෙම සලකන්න බලපෑ නිර්ණායක කිහිපයක්‌ම තිබෙනවා. ලංකාවට බුදුදහම එන කාලේ ඉන්දියාවේදී බුද්ධාගම නිකාය දහඅටකට බෙදනවා. අටළොස්‌ නිකාය නමිනුයි එය හඳුන්වන්නේ. ලංකාවට බුදුදහම පැමිණියාට පසුව නිකාය හයක්‌ ඇතිවෙනවා. එහෙම බලද්දි පැරැණි නිකාය විසිහතරක්‌ තිබෙනවා. මේ විසිහතරටම අනන්‍ය වූ ත්‍රිපිටකයක්‌ තිබුණා. ඒ සියල්ලෙහිම සුළු සුළු වෙනස්‌කම් තිබුණත් බොහෝ දුරට සමානයි. දැනට සොයාගෙන තිබෙන කරුණු අනුව ඉන්දියාවේ බොහෝ නිකායන් අට්‌ඨක වග්ගයයි පාරායන වග්ගයයි පිළිගත්තා. ඒ විතරක්‌ නොවෙයි ඒ අට්‌ඨක වග්ගයට අයත් ප්‍රාකෘත, සංස්‌කෘත, චීන, ටිබෙට්‌ පිටපත් දැන් සොයාගෙන තිබෙනවා. ඒ නිසා සියලුම නිකායන් අවිවාදයෙන් පිළිගත් සූත්‍ර කොටස්‌ දෙකක්‌ වශයෙනුයි මෙය පිළිගන්නේ. එහි සියලුම සූත්‍ර තිබෙන්නේ ගාථාවලින්. මේ සූත්‍ර දෙකෙහි තිබෙන ධර්මය ගද්‍යයෙන් දේශනා කළ ධර්මයට වඩා වෙනස්‌. බුදුරජාණන් වහන්සේ පසුකාලීනව සංකල්පගත ධර්මයකුයි දේශනා කළේ. නමුත් අට්‌ටක හා පාරයන වග්ගය කියන සූත්‍ර තිස්‌දෙකේ තිබෙන්නේ එහෙම සංකල්ප ගත ඉගැන්වීමක්‌ නොවේ. නිවන, චතුරාර්ය සත්‍යය ගැන පටිච්ඡසමුප්පාදය, ත්‍රිලක්‌ෂණය ඒ ඉගැන්වීම් මේ සූත්‍රවල සඳහන් වන්නේ නැහැ. ඒ සූත්‍රවල සඳහන් වන්නේ කොහොමද වාද විවාද කරන්නේ නැතිව, දෘෂ්ටියකට වැටෙන්නේ නැතිව යථාර්ථවාදීව කල්පනා කරන්නේ යන්නයි. මෙහි අන්තර්ගතය ගැන සලකා බැලූ විචාරකයන් නිගමනයට ඇවිත් තිබෙනවා මේ සූත්‍ර තිස්‌දෙක තමයි පැරැණිම කියලා.

ඉන්දියාව තරම් අඛණ්‌ඩ සාහිත්‍යයක්‌ තිබෙන ලොව කිසිදු රටක්‌ නැහැ. ක්‍රි.පූ. 3000 ඉඳලා එන අඛණ්‌ඩ සාහිත්‍යයක්‌ ඉන්දියාවට තිබෙනවා. බුදුරජාණන් වහන්සේට පෙර සිටි වෛදික චින්තකයින්, උපනිෂද් මුණිවරු අදහස්‌ ප්‍රකාශ කිරීමට බහුල වශයෙන් යොදාගත්තේ ගාථා. කවි. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පද්‍යයට වැඩි උනන්දුවක්‌ තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් පද්‍යවලින් තමයි ධර්මය දේශනා කළේ. නමුත් පසුකාලීනව බුදුරජාණන් වහන්සේට තේරුම් ගියා පද්‍ය කියන්නේ බමුණන්ගේ අධිකාරය තහවුරු කරන්නක්‌ බව. එනිසා බුදුරජාණන් වහන්සේ පද්‍යයෙන් ඉවත්ව ගද්‍යයෙන් ධර්මය දේශනා කරන්න කල්පනා කළා.

ප්‍රශ්නය - පාලි ත්‍රිපිටකය සාහිත්‍යය නිර්මාණයට දායක වන්නේ කෙසේද?

පිළිතුර - සාහිත්‍යයක්‌ කියන්නේ එකම තාලයකට යන වැඩපිළිsවෙළක්‌ නොවේ. භාෂාණුසාරයෙන් ඉදිරිපත් කරන අදහස්‌ සමුහයක්‌ තමයි සාහිත්‍ය යනුවෙන් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ එක එක ශෛලිවලින්. ත්‍රිපිටකය සාහිත්‍යයක්‌ වන්නේ එහෙමයි. සිංහල භාෂාවේ ශෛලි රාශියක්‌ තිබෙනවා. සංස්‌කෘත භාෂාවට නම් දීර්ග වාක්‍ය, සමාස බහුල, උපමා රූපක ආදී වශයෙන් නොයෙකුත් ශෛලීන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එකම තාලයකට බණ දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ බණ, අදහස්‌, ධර්මය එකම තාලයකට හදාරන්න එපා කියා. විවිධ ශෛලිවලින් හදාරන්න කියලා. උන්වහන්සේ ශෛලි නවයකින් තමයි ධර්මය දේශනා කර තිබෙන්නේ. එම ශෛලි නවයට අයත් උන්වහන්සේගේ අදහස්‌ මෙම පාලි ත්‍රිපිටකයේ තිබෙනවා. භාෂාවක්‌ කියන්නේ ශෛලි කිහිපයකට සීමා කළ හැක්‌කක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ කිසිදු තැනක ශෛලින් නවයක්‌ කියා සඳහන් කරන්නේ නැහැ. ශෛලිවල පද පමණයි සඳහන් කරන්නේ. ඒකේ තේරුම පාලි භාෂාව තුළත් තව ශෛලි වැඩෙන්න පුළුවන් කියන එකයි. මෙය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නාට පසුව තවත් ශෛලින් තුනක්‌ බිහිවුණා. ඒ අවධාන, විධාන, උපදේශ කියන නමින්.

බයිබලය ගත්තොත් එය කියවන විට සාහිත්‍යමය ප්‍රකාශ බොහෝ ප්‍රමාණයක්‌ තිබෙනවා. උපනිශද් ධර්මය, ශුද්ධ වූ කුරාණයෙත් එහෙමයි. එහෙම බලද්දි ස්‌වභාවයෙන් පාලි ත්‍රිපිටකයටත් සාහිත්‍ය නිර්මාණ ප්‍රවිශ්ඨ වුණා.

ප්‍රශ්නය - සිංහල සාහිත්‍යයේ ප්‍රගමනයට බෞද්ධ සාහිත්‍යයේ දායකත්වය කෙබඳුද?

පිළිතුර - සිංහල සාහිත්‍යයට වස්‌තු විෂය දෙකක්‌ තිබුණා. එකක්‌ බුද්ධ ධර්මය ගැන සඳහන් කරුණු. අනෙක බුද්ධ චරිතය ගැන කරුණු. මෙය අමාවතුර ආරම්භයේදීම සඳහන් කර තිබෙනවා. බුදුදහම සම්බන්ධයෙන් ලියෑවුණු පොත් සිංහල භාෂාවෙන් අඩුයි. වැඩියෙන් ලියෑවුණේ බුද්ධ චරිතය. බුද්ධ චරිතය කියන්නේ කථා සාහිත්‍යයකට ආදර්ශ දෙන මුල පුරන තැනක්‌. ඒක පැහැදිලි වන්නේ අපේ ජාතක පොතෙන්. මාතර යුගය දක්‌වා මුළු සිංහල සාහිත්‍යම පෝෂණය කළ ග්‍රන්ථ දෙකක්‌ තිබෙනවා. සිංහල සාහිත්‍යයම භ්‍රමණයවන්නේ මේ පොත් දෙක වටේ. ඒ තමයි ජාතක අට්‌ඨකතා. නැතිනම් ජාතක අටුවාව අනෙක ධම්මපදට්‌ඨ කතා. එනම් ධම්ම පද අටුවා. සාහිත්‍යය පමණක්‌ නොවේ සමස්‌ත සිංහල සංස්‌කෘතිය ගොඩනැඟෙන්නෙත් මේ පොත් මතයි. අපේ චින්තනය, භාෂා ශක්‌තිය, චාරිත්‍ර දියුණු කරලා තිබෙන්නේ මේ පොත් දෙක.

මේ රටේ විශිෂ්ටතම ගද්‍ය කෘතිය තමයි විශුද්ධිමාර්ග සන්නය. ථෙරවාද බුදුදහමේ තිබෙන අතිවිශිෂ්ට කෘතියක්‌ තමයි මෙය. එය සිංහලයාගේ ඥන සම්භාරය නිරුපණය කළ, භාෂා නෛපුනණ්‍යතාව නිරූපණය කළ ඉහළම කෘතියක්‌. ෂෂ පරාක්‍රමබාහු රජතුමා ලියූවක්‌ ලෙසයි එය සැළකෙන්නේ. දඹදෙණි යුගයේ බුදුදහම සම්බන්ධයෙන් ලියෑවුණු සියලු සංස්‌කෘත පොත් පවා අධ්‍යනය කරලයි විශුද්ධි මාර්ගය ලියන්නේ. ඒ අනුව අපේ ඉහළම ගද්‍ය නිර්මාණය වන්නේ බෞද්ධ පදනමක්‌ යටතේ.

අපේ පද්‍ය ග්‍රන්ථ ගත්තොත් කව්සිළුමිණ ශ්‍රේෂ්ඨතම මහාකාව්‍ය වශයෙන් තමයි සැලකෙන්නේ. එහි කර්තෘ පිළිබඳ විවිද මතවාද තිබුණත් ඉහළ ප්‍රතිභාවක්‌ තිබුණ අයෙක්‌. කව්සිළුමිණේ ජාතක කතාවට ඉතා සූක්‍ෂම ලෙස වෙනස්‌කම් යෝජනා කර තිබෙනවා. කව්සිළුමිණ මහාකාව්‍ය සම්ප්‍රදායට අනුවයි ලියෑවෙන්නේ. ඒ සම්ප්‍රදායට අනුව කුස රජු විකෘති අයෙක්‌ වෙන්න බැහැ. ඉතා අලංකාරව කතුවරයා කුසගේ විකෘතිභාවය පබාවතියගේ හා කුස රජුගේ සම්බන්ධතාව ගොඩනැගෙන අයුරු ඉතා හොඳින් නිරූපණය කරනවා. කව්සිළුමිණ හැරුණාම කාව්‍යශේඛරය සඳහන් කරන්න පුළුවන්. එයට පදනම්වන්නෙත් ජාතක කතාවක්‌. ගුත්තිලයට වුණත් එහෙමයි. බෞද්ධ සාහිත්‍යයට පසුබිම් නොවන සාහිත්‍යයක්‌ ගොඩනගුණා නම් ඒ සංදේශ කතා ආශ්‍රයෙන් පමණයි. ඒ සංදේශ කතාවලත් ආරාම විsස්‌තර, පිරිවෙන් විස්‌තර ඒ ආදී වශයෙන් බෞද්ධ ඌරුව රැකිලා තිබුණා. මාතර යුගය දක්‌වා අපේ පැරැණි සාහිත්‍යය තනිකරම බුදුදහමෙන් පෝෂණය වූවක්‌.

ප්‍රශ්නය - ජාතක පොත සහ ධම්මපදය සිංහල සාහිත්‍යය තුළ ඉටුකරන කාර්යභාරය මොන වගේද?

පිළිතුර - අපේ ජාතක පොතේ කථා පන්සිය හතළිස්‌ හතක්‌ තිබෙනවා. මේ සියල්ලම අනියමින් බුද්ධ චරිතය හා සම්බන්ධයි. බුද්ධ චරිතය හා සම්බන්ධ වුණාට අද පවා අපට හිතාගන්නට බැරි ඉතා සූක්‍ෂම ජීවිත පරිඥනයක්‌, චරිත විග්‍රහයක්‌ මේ ජාතක කතාවල තිබෙනවා. ජාතක කතා පිළිබඳ බොහෝ අය කතාකිරීමේදී අවධානය යොමුකරන්නේ අතීත කතාව පිළිබඳ පමණයි. බුදුරජාණන් වහන්සේ අදාළ ජාතක කතාව දේශනා කරන්න වර්තමාන කතාවෙත් සූක්‍ෂමව චරිත විග්‍රහ කර තිබෙනවා. බුද්ධ කාලයේ ඇතැම් භික්‌ෂුන්ගේ, ගිහියන්ගේ චරිත ලක්‌ෂණ ක්‍රියාකලාප අරමුණු කරගෙනයි මේවා දේශනා කරන්නේ. එනිසා අතීත වගේම වර්තමාන කතාවත් ඉතා වැදගත් වෙනවා.

සසදා වත, මුවදෙව්දාවත, කව්සිළුමිණ, කාව්‍යශේඛරය, ගුත්තිලය ආදී කාව්‍ය ග්‍රන්ථ බිහිවුණේ ජාතක කතාපොත ඇසුරෙන්. ජාතක කතාවල තිබෙන සූක්‍ෂමබව එහි තිබෙන ගැඹුර පිළිබඳ මෙරට කිසිදු සාහිත්‍යධරයකුගේ විමසුමට ලක්‌වී නැහැ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව ඒ ගැන ලොකු අධ්‍යයනයක්‌ කිරීමට තරම් සිංහල, පාලි, සංස්‌කෘත දැනුමක්‌ තිබෙන විද්වතුන් අද නැති නිසා.

දෙවැනියට සිංහල සාහිත්‍ය පෝෂණය කළ පොත තමයි ධම්ම පද අටුවාව. පාලි ත්‍රිපිටකයට අයත් පොත්වලින් වැඩිම භාෂා ගණනකට පරිවර්තන වුණ පොත තමයි ධම්මපදය. ධම්ම පදය විතරක්‌ ඉංග්‍රීසි, ප්‍රංශ, ජපන්, ස්‌පාඤ්ඤ ආදී භාෂා කිහිපයකට වර්තමානය වනවිට පරිවර්තනය වී තිබෙනවා. එදා තත්ත්වයත් මෙයමයි. ධම්ම පදයේ චීන පරිවර්තනම පහක්‌ තිබෙනවා. එමෙන්ම ප්‍රාකෘත පරිවර්තනයක්‌ සහ සංස්‌කෘත පරිවර්තනයක්‌ තිබෙනවා. ධම්මපද අටුවාවල වස්‌තු විෂය වන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටි භික්‌ෂුන් සහ ගිහියන් චරිත ඇසුරින් විග්‍රහයක්‌. ධම්ම පදයේ තිබෙන කතා ජාතක අටුවාවේ තිබෙන වර්තමාන කතාවලට හුඟක්‌ ගැළපෙනවා. ධම්ම පදයේ ගාථා කතාව නැතිව වුණත් තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා. ජාතක ගාථා එලෙස තේරුම් ගන්න බැහැ. ධම්මපදයේ තියෙන ගාථා අටුවාවක්‌, ටීකාවක්‌ ආදි කිසිම දෙයක්‌ නැතිව ධම්ම පදයේ ගාථා තේරුම් ගන්න පුළුවන්. ස්‌වාධීනව අර්ථ ගන්වන්න පුළුවන්. නමුත් ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවර සන්දර්භයකද යන්න සඳහන් වන්නේ ධම්මපද අටුවාවේ. එය ගථාවේ එන අදහස ව්‍යක්‌ත කිරීමට අමතරව බුද්ධ කාලයේ හිටපු චරිත එකක්‌ දෙකක්‌ පිළිබඳ විග්‍රහයකුත් එනවා. ජාතක අටුවාවේ චරිත සහ ධම්ම පද අටුවාවේ එන චරිත අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන කරුණක්‌ ක්‍රි.පූ. හයවැනි සියවසට අයත් චරිත පමණක්‌ නොවෙයි ඒ තිබෙන්නේ. වර්තමානයේ සිටින අනාගතයේ බිහිවන චරිතයි ඉන් විග්‍රහ කරන්නේ.

ප්‍රශ්නය - සිංහල නවකතාව සඳහා ජාතක පොතෙන් ලබාගත හැකි ආදර්ශයන් මොනවාද?

පිළිතුර - සාහිත්‍ය පරමාර්ථය නැතිනම් එහි ස්‌වභාවය ලෙස බොහෝ දෙනා සලකන්නේ චරිත විග්‍රහය, මිනිස්‌ ස්‌වභාවය අධ්‍යයනය කිරීම, ජීවිත පරිඥනය ආදී කරුණු. ඒ තේමාව යටතේ ගත්තොත් ජාතක කතා සහ ධම්ම පද අටුවාවේ එන කතාවල පුදුමාකාර සාහිත්‍ය වටිනාකමක්‌ තිබෙනවා. බුද්ධ ධර්මයට අදාළ කාරණයකුත් තිබෙනවා. අප නවකතාවක චරිත විග්‍රහ කරන ආකාරය බැලුවොත් හොඳ නවකතාවක එය ලියන පුද්ගලයා අවුරුදු ගණනක්‌ ජීවත්වෙලා, මිනිසුන් ඇසුරු කරලා, පතපොත ඇසුරු කරලා ලැබූ දැනුමෙන් තමයි චරිත විග්‍රහ කරන්නේ. බුදුදහම මිsනිසාගේ චරිත බොහෝම ගැඹුරු ලෙස විග්‍රහ කරනවා. මේ පිළිබඳ ලොකු විස්‌තරයක්‌ විශුද්ධිමඟ කෘතියේ තිබෙනවා. මිනිසුන් කතාකරන විට, ඇවිදින විට, ඉඟි බිඟි පාන විට, සිතනවිට ආදී ඉරියව්වලින් මිනිසාගේ ස්‌වභාවය නිරූපණය වන ආකාරය එහි විග්‍රහ කර තිබෙනවා. රාග, ද්වේශ මෝහ ආදී වශයේ චරිත බෙදීමක්‌ බුදුදහමේදි සිදුකෙරෙනවා. ධර්මානුකූලව මිනිස්‌ ස්‌වභාවය විග්‍රහ කිරීමක්‌ බුදුදහමේ තිබෙනවා. එය හදාරන අයකුට පතපොත කියවා, මිනිසුන් ඇසුරු කර, කාලයක්‌ ජීවත්වෙලා ලැබෙන දැනුම ඉබේම ලැබෙනවා. එය සාහිත්‍යය කටයුතුවල යෙදෙන අයට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. සිංහල සාහිත්‍ය ඉතා වාසනාවන්තයි මෙවැනි පොත් දෙකක්‌ සාහිත්‍ය ගොඩනැගීම සම්බන්ධව.

සාකච්ඡා කළේ - ලක්‌මාල් බෝගහවත්ත
ඡායාරූප - කමල් වන්නිආරච්චි
 




උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
                                                    223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -