කුමරතුඟුන් පෑ මඟ පෙරට ගෙනයැමට නම්...

මාර්තු 2 වැනිදාට යෙදුණු මුනිදාස කුමාරතුංග 66 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

මෑත යුගයේදී සිංහල භාෂා සාහිත්‍ය විෂයයෙහිලා අද්විතීය සේවාවක්‌ ඉටු කළ මුනිදාස කුමාරතුංග පඬිවරයාණන් මෙලොව හැරපියා ගොස්‌ 2010 මාර්තු 02 වැනි දාට හැටහය වසරක්‌ සපිරෙයි. ජාතියෙක අනන්‍යතාව කැපී පෙනෙන මූලික සංස්‌කෘතිකාංගය ඒ ජාතිය සතු භාෂාව බවත්, බස පිරිහුණු විට දැය ද අනිවාර්යයෙන් ම පිරිහෙන බවත් දුටු කුමාරතුංගයෝඒ වන විට අනන්තයටම පරිහානියට පත් ව සිටි සිංහල ජාතිය යළි පණ ගැන්වීමට නම් අන් හැමට පළමුවෙන් කළ යුත්තේ වැටුණු බස ඔසොවා ලීමට ගත හැකි සෑම පියවරක්‌ ම ගැනීම බව පෙන්නා දෙමින් ඒ වෙනුවෙන් සිය දිවිය කැප කොට භාෂා සටනෙහි පුරෝගාමීයකු වශයෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළහ.

ඒ කාර්යය සාර්ථක කැර ගැනීමෙහිලා "නිවැරැදි බස්‌ වහර කිමෙක්‌දැයි" හඳුන්වා දෙන වියරණ පොතක්‌ නොමැති වීමේ අඩුව දුටු ඔවුන් ඒ වෙනුවෙන් මුලින් ම කළේ භාෂාවේ වැදගත්ම අංගය ලෙස සැලැකෙන ක්‍රියාපදය පිළිබඳ අංග සම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථයක්‌ පළකිරීමය. සිංහලයේ ඇති සියලු ක්‍රියාපද ගණන හයකට බෙදා එකෙන් කිසිදු වියරණ ඇදුරකු විසින් හෙළි නොකළ ආත්මනේ පද පරස්‌මෛ පද භේදව මුල් වරට හඳුන්වා දෙමින් එයින් හෙළි කළ කරුණු ඇතුළු නව අදහස්‌ කොතෙක්‌ ප්‍රබල ද යත් ඒ පිළිබඳ අභියෝග කිරීමට සමත් කිසිවකු මෙතෙක්‌ පහළ නොවීමෙන් ම පැහැදිලි වෙයි.

ඉන් අනතුරුව සිංහලයේ නාම පදය පිළිබඳ එතෙක්‌ පැවැති අශාස්‌ත්‍රීය කරුණු සිහල්ල සහේතුකව කරුණු දක්‌වා බැහැර කරමින් ශාස්‌ත්‍රීය මෙන්ම විද්‍යානුකූල පදනමෙක පිහිටා නිපාත පදය පිළිබඳ කරුණු සියල්ල ද අන්තර්ගත කොට පළ කළ "ව්‍යාකරණ විවරණය" ද ඒ පිළිබඳ මෙතෙක්‌ පළ වී ඇති එකම අංග සම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථය ලෙස හැඳින්විය හැකිය.

ඒ අවශ්‍යතාව මැනැවින් සපුරා ලූ කුමාරතුංගයන් ගේ ඊළඟ අරමුණ වූයේ එයින් මතු කළ නිවැරැදි බස්‌ මඟ ඉදිරියට ගෙන යැමට සවිමත් සංවිධානයක්‌ පිහිටුවීමයි. ඒ උදාර අරමුණ ඉටු කිරීමෙහිලා එතුමන්ගේ පුරෝගාමීත්වයෙන් ඇරැඹූ "හෙළ හවුල" නමැති භාෂා සංවිධානය මේ දක්‌වා හැට නව වසරක්‌ පුරා ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කරයි.

එහෙත් නිවැරැදි බස්‌ වහර මතු කොට එය නව පරපුරට දීමට "නන්" උපා මං සෙවූ කුමාරතුඟුනට සරසවිවලින් ලැබිය යුතු නිසි තැන ලැබිණි ද? ඒ වෙනුවට ඉංගිරිසියෙන් සිංහල උගෙන සිසුනට ද දෙවන බසක්‌ මෙන් එදා ඉංගිරිසියෙන් ම සිංහල උගැන්වූ බොහෝ සරසවි ඇදුරන් කුමරතුඟුන් දෙස හෙලුවේ අවඥ සහගත බැල්මෙකින් බව බොහෝ විට දක්‌නට ලැබිණි. ඇතැමකු ඔවුන් හැඳින්වූයේ භාෂාව පිළිබඳ ශුද්ධාත්මවාදියකු වශයෙනි. තවෙකකු ඔවුන් භාෂාව පිළිබඳ අතීතගාමියකු වශයෙන් හැඳින් වූ අතර ඇතැම් අය ඇකාරවාදියකු හැටියටත්, වර්තමානයේ ජීවත්වන පැරැන්නකු හැටියටත් හැඳින් වූ බව ද අමතක නොකළ යුත්තෙකි. එමතු දු නොව සාමාන්‍ය උපාධියක්‌ වත් නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ නොලද මුනිදාස කුමාරතුංග මහතා ලියා ඇති ව්‍යාකරණ පොත් සම්භාවනීය ව්‍යාකරණ ලෙස සැලකිය හැකි ද යන්න පවා විමසමින් පළකළ ලිපි ද පුවත්පත්වල දක්‌නට ලැබිණි. කුමාරතුංගයන් හෑල්ලු කරන මෙවන් මතවාද ඇතැම් සරසවි ඇදුරන්ගෙන් හා ඔවුන්ගේ ගෝල බාලයන්ගෙන් බහුල වශයෙන් ප්‍රචාරය වෙද්දී ඊට එරෙහිව හෙළ හවුලේ වගකීම ඉටු කිරිමට කොතරම් දුෂ්කර වෑයමක්‌ ගත යුතු ද යන්න මෙකී තතු විමසා බලන්නකුට වැටැහෙනු ඇත.

එහෙත් මෙවන් සරසවි ඇදුරන්ගේ තරමත් කුමරතුඟුන්ගේ තරමත් මඳකින් හෝ පහදා දීමට හෙළ හවුලේ පුරෝගාමියකු වන වි. ජ. මු. ලොකුබණ්‌ඩාර සූරීන් ගත් වෑයමක්‌ වශයෙන් කළ දෙසුමක සටහනක්‌ "විශ්වවිද්‍යාල සම්ප්‍රදායයෙන් වැඩක්‌ තියෙනවාද?" යන මැයෙන් 2006.08.08 වනදා ජාතික පුවත්පතෙක පළ වූ ලිපියෙකින් අපට කියවන්නට ලැබිණි. එහි සඳහන් අදහස්‌ කීපයක්‌ උපුටා දැක්‌වීම යෝග්‍ය යෑයි සිතමි.

"කුමරතුඟු මුනිදසුන්ගේ ව්‍යාකරණ ඥානය පෙන්වන පොත් දෙකක්‌ තිබෙනවා. එකක්‌ ව්‍යාකරණ විවරණය. අනික ක්‍රියා විවරණය. අද මෙපමණ විශ්වවිද්‍යාල තිබෙනවා. ආචාර්ය, මහාචාර්යවරු අනන්තයි අප්‍රමාණයි. ඒත් කවුරුවත් කියන්නට සමත් වෙලා නැහැ. එය වැරැදියි කියලා. ව්‍යාකරණ විවරණය කියන්නෙ තනිකරම සිංහල භාෂාව හැදැරීමක්‌. ඒත් අපේ රටේ කිසිම විශ්වවිද්‍යාලයකින් එතුමාට තවම නිසි සැලැකිල්ලක්‌ දක්‌වලා නැහැ. සිංහල මහාචාර්යවරු ඉන්නවා විරිත් වැකිය දැකලාවත් නැහැ. කුමාරතුංගයන්ට අපේ විශ්වවිද්‍යාල තවම බයයි. ඇතැම් උගත්තු කුමාරතුංග නම වත් කියන්නෙ නැහැ. ඊළඟට එන සහකාර කථිකාචාර්යවරයා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වුණා. ජ්‍යෙෂ්ඨයා සහාය මහාචාර්යවරයා වුණා. ඉංග්‍රීසිවත් හරි හැටි දන්නෙ නැහැ. සිංහල ගන්න දෙයක්‌ නැහැ. එහෙම රටක්‌ මේක. මේ විශ්වවිද්‍යාල සම්ප්‍රදායෙන් ඇති වැඩේ මොකක්‌ද කියලා කල්පනා කරල බලන්න කාලය ඇවිත්."

කුමරතුඟුන් හා ඔවුන්ගේ අද්විතීය ඥන පථය ගැන මැනැවින් අධ්‍යයන කළ අයකු වශයෙන් ලොකුබණ්‌ඩාර සූරීන් පළ කළ අදහස්‌ අද භාෂා පරිහානිය ගැන කතා කරන, වගකිවයුතු හැමගේ අවධානයට යොමු විය යුත්තෙකි. ඔවුන් කියන ලෙස කුමරතුඟුන් ගේ විරිත් වැකියවත් දැක නැති ඇතැම් මහ ඇදුරන් පවා සිටින රටෙක එවැන්නන් කුමරතුඟුන් හෙළා දකිමින් අවඥාවට ලක්‌ කරන්නේ සැබැවින් ම ව්‍යාකරණ විවරණය වැනි ශාස්‌ත්‍රීය විවිරණ පොත් තබා දරුවන් සඳහා එතුමන් පළ කර ඇති අකුරු සැහැල්ල ශික්‍ෂා මාර්ගය, රසායන පොත් පෙළ වැනි ළමා පොත්වත් කියෑවීමෙන් අනතුරුව දැයි ප්‍රශ්නයක්‌ පැන නගී. සරසවිය පැත්තෙන් කුමරතුඟුනට කෙණෙහිලි ඇති වන්නට මූලික හේතුව අන් කිසිවක්‌ නොව එහි ඇතැම් ඇදුරන්ගේ පොත පතෙහි මෙන්ම ලියෑවිලිවල ද දක්‌නට ලැබුණු දහසක්‌ වැරදි කල එළියේ ම නිර්දය ලෙස විවේචනය කිරීමේ ශාස්‌ත්‍රීය මෙහෙවරට එතුමන් අත ගැසීම බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.

කරුණු එසේ වුවද කුමරතුඟුන්ගේ අගය දුටු ඇතැම් මැදහත් සරසවි ඇදුරන් කීප දෙනකු හෝ අප අතර දක්‌නට ලැබීම භාග්‍යයක්‌ සේ සලකමි. එවන් අය අතුරෙන් කෙනෙකු වූ කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අශෝ`ක ප්‍රේමරත්නයන් "කුමරතුඟුන් නැවත කියවීම" යන මැයෙන් 2005 ජුලි 25 වනදා පුවත්පතකට ලියූ ලිපියෙකින් දැක්‌වූ අදහස්‌ කීපයක්‌ පහත උපුටා දක්‌වමි.

"කුමාරතුංග මුනිදාස මහතා මෑත භාගයේ අප රට තුළ වූ ශාබ්දිකයන් අතර අග්‍රගණ්‍ය පුරුෂයාණන් ලෙස සැලකිය හැකි බවට සැකයක්‌ නැත. හැම වසරකට පසුවත් ඔවුන් ලියු ව්‍යාකරණ කෘති ඉක්‌මවා යන කෘතියක්‌ කිරීමට අන් කිසිවකු හෝ සමත් නොවීමෙන් ඒ බව හෙළි වේ." අවංක හදවතින් බලන කවර වියතකු වුව ද කුමරතුඟුන් දකින්නේ අශෝක ප්‍රේමරත්නයන් දකින අයුරින්මය.

ඒ නිසා මේ සියවසේ පහළ වූ අග්‍රගන්‍ය මහා ශාබ්දිකයාණන් වන කුමාරතුංග මුනිදාසයන් පිළිබඳ ඇතැම් අන්තවාදීන් වපුරා ඇති දුර්මත සහේතුකව ඛණ්‌ඩනය කරමින් ඔවුන් පිළිබඳ යථා තත්ත්වය නව පරපුරට හඳුන්වාදීමට මඟ අගයන සරසවි ඇදුරන් ඇතුළු අවංක සැබෑ වියතුන් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ තිබේ.
 

 
Powered By -