එදා මේ ගීතය තහනම් කළේ මගේ හිත රිදවන්නේ නැතුවයි
නාරද දිසාසේකර

මුළු හදින් මම
ඇයට පෙම් කර
අනාගත සුබ
සිහින මැව්වෙමි...

එක්‌තරා යුගයක මේ ගීතය ගුවන් විදුලියේ තහනම් කිරීමට ද සිදු විය. ඒ යම් යම් අයගේ කුහකකම් සහ පෞද්ගලික කෝන්තර නිසා නොවේ. ප්‍රේමයෙන් පරාජිත වූ ප්‍රේමවන්තයන්ගේ බිඳවැටුණු මනස තවදුරටත් රිදවන්නට තරම් මේ ගීතය ප්‍රබල වූ බැවිනි. අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඇතැම් පරාජිත පෙම්වතුන් හුදෙකලාවේ සිට මේ ගීතය මුමුණන බවට ද ඒ කාලයේ වෛද්‍යවරු ගුවන් විදුලියට දන්වා තිබිණි. මෙසේ වෛද්‍යවරුන්ගේ හා සාමජයේ ඇතැම් පුද්ගලයන්ගේ කාරුණික ඉල්ලීම පරිදි ටික කලකට මේ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම නවතා දැමීමට එවක සිටි පාලකයන්ට සිදු විය.

"පරාජිත ප්‍රේමවන්තයෙක්‌ තම පෙම්වතිය අහිමි වූ වියෝව වෛරයකින් තොරව උපේක්‍ෂා සහගතව දරා ගන්නා ආකාරය මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා. මේ ගීතය ලිව්වේ එඩ්මන් ජයසූරිය යි. සංගීතය නිර්මාණය කළේ කුලරත්න තෙන්නකෝන්, එදා මේ ගීතය ගුවන් විදුලියේ තහනම් කළේ මගෙ සිත රිදවන්නේ නැතුවයි. ඇත්ත තත්ත්වය මට පැහැදිලි කරලා අවුරුදු තුනක්‌ පමණ මේ ගීතය තහනම් කළා. මගේ ජීවිතයේ සුන්දරම කාලය මම ගත කළේ ගුවන් විදුලියේ යි".

කළුතර ප්‍රදේශයේ හැදී වැඩුණු මේ අපූරු මිනිසා අන් කවරකු නොව නාරද දිසාසේකරයි. මෙම ගායන ශිල්පියා කළුතර විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි. මුල් කාලයේ පාසලේ සංගීත ගුරුවරයෙක්‌ නොසිටියත් වින්සන් ලියනගේ මහතා යටතේ පෞද්ගලිකව ඔහු සංගීතය හැදෑරුවේය. පාසලේ නොයෙකුත් උත්සව ප්‍රසංග ආදියේදී ඔහුගේ ගායනයක්‌ අනිවාර්ය විය.

"පාසලේ සංගීත ගුරුවරයෙක්‌ හිටියේ නැති නිසා මම විද්‍යා විෂයයන් තෝරා ගත්තා. නමුත් අන්තිම කාලේ සීමන් ලොකුලියන කියලා මහත්තයෙක්‌ සංගීතය ඉගැන්වීම සඳහා පාසලට ආවා. ඒ වෙලාවේ මම විද්‍යා විෂයයන්ගෙන් එකක්‌ ඉවත් කරලා ඒ වෙනුවට හින්දුස්‌ථානී සංගීතය තෝරා ගත්තා. විභාගය ලියලා ඉවර වෙලා කොල්ලෝ කට්‌ටියත් එක්‌ක කළුතර ඇවිදින වේලාවක කොලොප්පමට වගේ රැකියා මධ්‍යස්‌ථානයට ගිහින් මගේ නමත් රැකියාවත් අවශ්‍යයි කියලා ඇතුළත් කළා. ඔය අද කාලේ රැකියා නැති අයට රැකියා සොයා දෙන්න නොයෙකුත් මධ්‍යස්‌ථාන තියෙන්නේ ඒ වගේ ඒ කාලෙත් තිබුණා. ඔන්න ටික කාලෙකින් එහි ප්‍රතිඵලයක්‌ හැටියට ගුවන් විදුලි කාර්මික අංශයේ පුහුණුකරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට මටත් කැඳවීමක්‌ ලැබුණා. දවසට සිය දෙනා බැගින් අයදුම්කරුවන් දාහක්‌ පමණ මේ සඳහා පැමිණ සිටි බව මට දැනගන්න ලැබුණා. ඒ පැමිණ සිටි හැමෝම වගේ විද්‍යා අංශයෙන් සමත් වූ අයයි. මට විශේෂ සුදුසුකමක්‌ තිබුණා. ඒ තමයි විද්‍යා විෂයයන් සමඟ සංගීතයත් සමත් වී තිබුණා. ඒ සම්මුඛ පරීක්‍ෂණයෙන් පළමු වැනියා හැටියට මාව තේරුණා. මම පුංචි කාලේ පටන් ගරු කළ ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්ත යන දෙදෙනාට ඒ වන විටත් ගුවන් විදුලිය තහනම් කලාප බවට පත්ව තිබුණා. ඒ දෙදෙනාට පෞද්ගලිකවම ඇළුම් කළ කෙනෙක්‌ හැටියටත්, ඔවුන්ගේ ගීත බෙහෙවින් රසවිඳි කෙනෙක්‌ හැටියටත් ඔවුන්ගේ ප්‍රතිපත්ති මම දිගටම ආරක්‍ෂා කළා. සිංහල සංගීතයක්‌ ගොඩනැඟිමේ ප්‍රයත්නයට මමත් ගුවන් විදුලියේ ඉන්න අතරතුර දායක වුණා. ගුවන් විදුලි ජීවිතය මගේ සංගීත දිවියට ලොකු රුකුළක්‌ වුණා. ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න අතර වැඩි කාලයක්‌ මම ගුවන්විදුලි මැදිරිවල ගත කරමින් සංගීත ශිල්පීන්ගේ ඇසුර ලැබුවා"

චන්දන ඇඟ ගාලා
කොණ්‌ඩෙ කඩා දාලා...

සිය පළමු සරළ ගී වැඩසටහනට කරුණාරත්න අබේසේකරයන් ලියා දුන් ගීත දෙක අතරින් මේ ගීතය පසු කාලයකදී බෙහෙවින් ජනප්‍රිය විය. සිය පාසල් මිතුරකු වූ එඩ්මන් ජයසූරිය ද මෙම මුල් සරළ ගී වැඩසටහන සඳහා බුදු ගුණ ගීයක්‌ ලියා දී තිබිණි.

"ඔය කාලේ අමරදේවයන් ගුවන් විදුලි වාදක මණ්‌ඩලයේ ප්‍රධානියා හැටියට බැඳුණා. දවස තිස්‌සේ ම ගුවන් විදුලියේ ශබ්ද පාලන ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළා විතරක්‌ නෙවෙයි ඒ අංශය මම වඩ වඩාත් දියුණු කළා. ඒ අතරේ ගීත ගායනයත් කළා. එම්. පී. රොක්‌සාමි මට බොහෝ සේ උදව් කළා. ශේෂා පලිහක්‌කාරගේ මැදිහත්වීමෙන් සෙරන්ඩිබ් නමින් චිත්‍රපට සමාජයක්‌ හදාගෙන පළමු වැනි වර්ණ චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳ ඔය කාලයේ සාකච්ඡා වුණා. අමරදේවත් මීට දායක වෙලා කටයුතු කරමින් සිටියා. ඒ චිත්‍රපටය සඳහා ගීත රචනා කිරීමට භාර දෙන්න මානවසිංහයන් හමුවෙන්න ගිය දවස මට තවම මතකයි. ඔහු එදා කිව්වා මම මේ සඳහා නිර්මාණය කරන්නේ ගීත තුනයි. ඊට වැඩිය ඕනේ නම් වෙන කාටහරි කියන්න කියලා". ඒ අනුව රන්මුතු දූව චිත්‍රපටයට ඔහු රචනා කළ ගීත තුනටම ගායනයෙන් දායක වෙන්න මේ අපූරු ගායන ශිල්පියාට වරම් ලැබිණි.

"ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මීහිර පතා ආදරේ
ළපලු නටයි ගං තෙරේ...

විශාරද නන්දා මාලිනිගේ පළමු චිත්‍රපට ගීත ගායනය ද වන්නේ මෙයයි.

"මේ ගීතය පසු කලෙක රවීන්ද්‍ර මුණසිංහ මහතා විසින් "සිනමා ගීතාවලෝකණ" නමින් රූපවාහිනියට නිර්මාණය කළ වැඩසටහනක්‌ සඳහා රූපරචනය කළා. මම දන්නා විදිහට ඔහු තරම් ප්‍රතිභා පූර්ණ රූප රචකයෙක්‌ තවම බිහි වෙලා නැහැ. ඒක හරි අපූරු නිර්මණයක්‌ වගේම ඒ වැඩසටහන සඳහා සම්මානත් හිමි වුණා. ඒ ගීතය නුවර පැත්තේ හරි ලස්‌සන තැනක පිහිටි අපූරූ දිය දහරක්‌ අසල රූගත කෙරුණා. එදා තව හරි අපූරු දෙයක්‌ වුණා. ලිස්‌සලා ගිහින් මාව වැටුණා. හරියට එදා වැටුණා නම් අද මම ජීවතුන් අතර නැහැ. ජීවිතය නැති වුණා වගේ නෙවෙයි පුදුම මහන්සියකින් රවීන්ද්‍ර නිර්මාණය කළ වැඩසටහන තව පොඩ්ඩෙන් මට නරඹන්නත් බැරි වෙනවා...." යෑයි ඔහු ඒ සුන්දර අතීතය සිහි කරමින් මහත් වින්දනයක්‌ ලැබුවේය. යම් හේතුවකින් අපගේ අවාසනාවට එදා එසේ වූවා නම් අද අපට සිහිගන්වන්න වෙන්නේ ද ඔහුගේම ගීයකි.

"ලස්‌සන සැම දේ..."

සිකුරු තරුව, ගැටවරයෝ, හතර කේන්දරය, සඳ නැග එද්දී, ආදී වශයෙන් චිත්‍රපට විස්‌සකට පමණ ඔහු ගැයූ ගීත සංඛ්‍යාව පනහ ඉක්‌මවා තිබේ.

ආදර නිල් දෑසේ, පිපී පිපී රේණු නටන, බුද්ධ දිවාකර, ගමන නොනිමෙයි... වැනි ගීත ගණනාවක්‌ අදට ද ජනප්‍රිය තලයේ පවතී.

පිපී පිපී රේණු නටන
වනේ මලක හැප්පිලා...

මෙය තරමක වේගවත් රිද්මයක්‌ සහිත ගීතයකි. එහෙත් අද කාලයේ කිසිදු අරුතක්‌ හෝ වචනයක්‌වත් ඉස්‌මතු නොවන පරිදි අවර ගණයේ වේග රිද්ම ගීත ගයන නව පරපුරට මේ ගීතය යස පාඩමකි.

සිය පියාගෙන් උරුම වූ ගායන කෞෂල්‍යය විදහා පාමින් නාරද දිසාසේකරගේ පුත් සාරංග දිසාසේකර නිර්මාණය කළ නව ගීත එකතුව පිළිබඳ වඩාත් සතුට පළ කළ ඔහු සිය පුතු පිළිබඳ ආඩම්බර වන බවද අප සමග පැවැසුවේ මහත් සතුටිනි.

"පුතාගේ රඟපෑම් දකිද්දී මගේ ජීවිතයේ එක්‌තරා අවස්‌ථාවක්‌ මතකයට නැඟෙනවා."

තරමක රෝගී තත්ත්වයෙන් පසුවන නාරද දිසාසේකරයන්ට අපි ඉක්‌මන් සුවය පතමින් ඒ කැදැල්ලෙන් නික්‌ම ආවේ ඔහුගේ දුක සැප ආදරයෙන් බලමින් ඔහු ළඟම සිටිනා බිරිඳ නීලාංගනීට ද ස්‌තුතිය පළ කරමිනි.


තුෂාරී කළුබෝවිල
ඡායාරූප - ගාමිණී මුණසිංහ

 

 
Powered By -