අවතක්‌සේරු වන නිර්මාණ මම කරන්නේ නැහැ
කීර්ති පැස්‌කුවෙල්

ළයාන්විතයා... සිව්පෙතිකුසුමක්‌ දෝතට ගෙන යළි රසිකයා වෙත පැමිණ සිටී. ළයාන්විතයාගේ මේ පැමිණීම සහෘද රසිකයාගේ අමන්දානන්දනයට හේතුවනු නිසැකය.

කවුද මේ ළයාන්විතයා.... මීට වසර හයකට පෙර නවසීලන්තයේ සිට මවුබිමට පාතබා මිහිරි වූ "කඳුළක්‌" ගීතලෝලීන්ට තිළිණ කළේද ඔහුය. ඔහු කීර්තිය.... කීර්ති පැස්‌කුවෙල්ය. කීර්ති අලුත්ම ගීත හතරක්‌ අලුත් විදිහට නිර්මාණය කර ඇත. නවතම ගීත හතරක්‌ රූගත කළ ඔහු ඒවා රූපවාහිනි මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටී. රූප රචනා... එහෙම නැත්නම් විෂුවල්ස්‌ සමඟ ගීතයක්‌ රසවිඳින්නට රූපවාහිනි නරඹන්නන් දැන් දැන් මහත් සේ උනන්දුවෙති. කැමැත්තෙන් පසුවෙති. තම ආදරණීය රසිකයන්ගේ කැමැත්ත හඳුනාගත් කීර්ති ද ඔහුගේ නවතම ගීත හතර රූප රචනා ද සමගින් එළැඹෙන දහතුන්වැනිදා රූපවාහිනි නාලිකාවන්ට නිකුත් කරයි. එතැන් සිට අපට කීර්ති පැස්‌කුවල්ගේ මේ ගී දැක බලා රස විඳීමේ භාග්‍යය උදාවේ.

කීර්ති මීවිතට ඔහුගේ සිවුපෙති කුසුම ගැන තොරතුරු හෙළි කළේය. අපි දැන් කීර්ති වෙත හැරෙමු.

විෂුවල්ස්‌ සමඟ ගීත හතරක්‌ කිරීමට පෙළැඹුණු කරුණු කාරණා ගැන ඔහු පළමුව මීවිතට පහදා දුන්නේය.

ඉස්‌සර ගායක ගායිකාවන්ව හඳුනා ගත්තේ ගුවන් විදුලියෙන්. ඒත් අද... රූපවාහිනිය ප්‍රබලයි. එනිසා රූප මාධ්‍ය තුළින් ගීතයකට ආවේ නැතිනම් ඒ ගීය ප්‍රචාරය වන්නේ නැහැ. ඒකට ඒ රූපවාහිනි නාලිකාවන්ට වරදක්‌ කියන්න බැහැ. අද රසිකයා ගුවන් විදුලියට වඩා වැඩියෙන්ම නැඹුරුවෙලා ඉන්නේ රූපවාහිනියට නේ. ඉතින් රූප රාමු සමඟ රූපවාහිනියෙන් ගීයක්‌ ප්‍රචාරය වුණාම තමයි රසිකයා දන්නේ අලුත් ගීයක්‌ ඇවිත් කියලා. මම අවුරුදු හතරක්‌ නවසීලන්තයේ ඉඳලා 2004 දී ලංකාවට ආවා. ඉන්පසු ගීත දෙකයි රූප මාධ්‍යයට නිර්මාණය කළේ. එකක්‌ "කඳුළ ඉතින් සමාවන්න...." අනෙක "මා උපන් බිමට" නමින් යුද සමයට අදාළ ගීයක්‌. ඒත් ගායකයකුගේ පැවැත්මට ගීත දෙකක්‌ විෂුවල්ස්‌ කිරීම මදි කියලා මට හිතුණා. මම පසුගිය කාලයේ ගීත පනහක්‌ විතර ගැයුවා.. ඒත් හඬ පටයක්‌ පමණක්‌ නිසා ඒ ගී රසිකයා අතරට ගියේ නැහැ. මගේ උපන්දිනය ජනවාරි 29 දා. හැම උපන්දිනයකටම මම ගීත ප්‍රසංගයක්‌ කළා. ඒත් මා අත්දැකීමෙන් දන්නවා ගීත ප්‍රසංගයක්‌ ඒ අවස්‌ථාවේ පමණයි රසවිsඳින්නේ. පසුව ඒ ගැන කතා කරන්නේවත් නැහැ. පැවැත්ම සඳහා රට වඩා හොඳ දෙයක්‌ කළයුතු නිසා තමයි මම මේ ගීත හතර රූප රචනා සමඟ එළිදක්‌වන්න කල්පනා කළේ.

කීර්ති දීර්ඝ පිළිතුරක්‌ ලබාදුන්නේය. ඔහුගේ මේ සිවුපෙති කුසුමට අයත් ගීත අලුත්ම අලුත් ගීතද... නැතිනම් පැරණි ගීත හතරක්‌ද.... රසිකයා තුළ මතුවන මේ ප්‍රශ්නය මම කීර්තිට යොමු කළෙමි.

නැහැ... අලුත් ගීත දෙකක්‌ තියෙනවා. එකක්‌ නිරෝෂා විරාජිනී සමඟ කළ යුග ගීයක්‌. අනෙක කඳුළ ඉතින් ගීයේ දෙවැනි කොටස "බකිණි ගහේ..." අනෙක්‌ ගීත දෙකත් පැරැණිම ඒවා නොවේ. මගේ කඳුළ සී. ඩී. එකේ තිබෙන "මනමාල හැන්Eදවේ" කියන හැඟුම්බර ගීය සහ චන්ද්‍රරත්න මාපිටිගමගේගේ ටෙලිනාට්‍යයට කළ "ගලායාවි ජීවිතේ" ගීතය.

කීර්ති පැස්‌කුවෙල් දෙරණ ඩි්‍රම් ස්‌ටාර් වැඩසටහනේ විනිශ්චය මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌. ඔහු තරගකරුවන්ට ලබාදෙන අවවාද අනුශාසනා ඉතා වැදගත්. එවන් තත්ත්වයක්‌ තුළ කීර්ති විසින් කරන නිර්මාණ ද උසස්‌ මෙන්ම ආදර්ශමත් නිර්මාණ විය යුතුයි. මේ ගැන ඔහු දැක්‌වූයේ මෙවන් අදහසකි.

මම දැනගත යුතුයි මා කවුද කියා. තමන්ගේ ගීත ප්‍රචාරය නොවීම හා රූපවාහිනි නාලිකා තුළින් තමන් අමතක කර ඇතැයි ප්‍රවීණයන් තුළ උදාසීන බවක්‌ තියෙනවා. ඒත් රූපවාහිනි නාලිකාවලට රූප රචනා සඳහා වැයවන මුදල අතිශය ඉහළයි. ඒ නිසා පෞද්ගලිකවම ගායකයෙක්‌ හෝ ගායිකාවක්‌ රූප රචනා නිර්මාණය කර දුන්නොත් ඒවා ප්‍රචාරය වෙනවා. මම උත්සාහ කළේ මෙතෙක්‌ කලක්‌ මා ගෙන ආ සංගීත රටාව සහ මගේ අනන්‍යතාව තහවුරු වන මට්‌ටමේ නිර්මාණ රසිකයාට තිළිණ කරන්න. මම අද රැල්ලට හරියන සිංදු මම කවදාවත් කරලා නැහැ. කඳුළ අතිශය ජනප්‍රිය අතර බොහෝ රැළි ආ කාලවලදී ඒ ගීත හා සමාන ගීත හතරක්‌ තමයි මම දහතුන්වැනිදාට එළිදක්‌වන්නේ. ලස්‌සන තනු, හරවත් පදමාලා, කණට මිහිරි, මානසික වින්දනයක්‌ ලබන, රසයක්‌ සහිත සංගීතයන් මේ ගීත හතරේ ඇතැයි මම සැක නැතිව කියනවා. මාව අවතක්‌සේරුවට ලක්‌වන නිර්මාණ මම කරන්නේ නැහැ.

කීර්ති පැස්‌කුවල් මීට වසර විසිතුනකට පෙර ගැයූ සඳලතා පායලා... නීල අහසේ, නිල් උපුලී මල් කැකුලී වැනි ගීත අදත් අප අතර ජනප්‍රියයි. ඒ ගී කිසිදා පැරණි නොවේ. තවමත් නැවුම්ය. ඉදින් ළයාන්විතය අපට තිළිණ කරන සිවුපෙති කුසුමද කිසිදා පැරණි නොවන කාලාන්තරයක්‌ රස විඳිය හැකි නැවුම් ගීත හතරක්‌ වනු නොඅනුමානය.

අජිත් අලහකෝන්

 

 
Powered By -