මට එන විවේචන වලට මම කැමතියි
අරුණ ලියාන්

මෑත යුගයේ අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයට බිහි වූ ශිල්පීන් අතුරින් ආන්දෝලනාත්මක චරිතයක්‌ ලෙස ඔහු හැඳින්විය හැකිය. බොහෝ දෙනා පවසන්නේ මොහු යුරෝපීය ආභාෂයකින් හෙබි පුද්ගලයෙක්‌ ලෙසයි. තවත් සමහරු පවසන්නේ මොහුගේ නිර්මාණ අපේ රටට නොගැලපෙන බවයි. කවුරු කොහොම කිව්වත් මොහු අතින් බිහිවන නිර්මාණයන්ට අපේ රටේ විශාල ජයප්‍රියත්වයක්‌ තිබෙනවා කියලයි අපට හැඟෙන්නේ. ඔහු නමින් අරුණ ලියාන්. මේ දිනවල ස්‌වර්ණවාහිනියේ විකාශනය වන මෙගා ස්‌ටාර් වේදිකාවේ සංගීත අධ්‍යක්‍ෂණය අරුණගෙනි. ඔහුගේ සංගීත ආගමනය ගැන ඔහු අපට පැවසුවේ මෙලෙසිනි.

අරුණ ලියාන් කියන්නේ කවුද කියලා මුලින්ම කිව්වොත් ?
මම ලංකාවේ මාතර කියන ගමේ ඉපදුනේ. නමුත් කුඩා කාලයේ පටන්ම හැදුනේ වැඩුනේ මහනුවර. අධ්‍යාපනය ලැබුවේ කිංග්ස්‌වුඩ් විද්‍යාලයේ. පාසල් යන කාලේ පටන් බටහිර සංගීතයට වැඩි නැඹුරුවක්‌ දැක්‌වූවා. ඒ කාලයේදී මම ගොඩක්‌ ප්‍රියකළා නන්දා මාලනී, පණ්‌ඩිත් අමරදේව, ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන, ගුණදාස කපුගේ වැනි ප්‍රවීණයන්ගේ ගීතවලට. ඔය කාලෙ පාසලේ චෙරීස්‌ කියලා සංගීත කණ්‌ඩායමක්‌ හැදුවා. ඊට පස්‌සේ මම කිංග්ස්‌ කියලා ලංකාවේ ප්‍රධාන පෙළේ සංගීත කණ්‌ඩායමක්‌ මුණ ගැසුණා. ඔවුන් සමග වැඩ කරද්දී අපිට යුරෝපයේ සංචාරවලට සහභාගිවෙන්න හැකිවුණා. පසුකාලීනව ලංකාවට පැමිණියාට පසුව නැවත මා යුරෝපයට ගියා විශ්ව සංගීතය හැදෑරීමට.

ලංකාවට ඇවිත් නිර්මාණය කළේ යුරෝපීය සම්ප්‍රදායේ ගීත ?

මගෙන් ගොඩක්‌ දෙනෙක්‌ අහන දෙයක්‌ තමයි මාර්කට්‌ එකට නිර්මාණ කරන්නෙ නැත්තේ ඇයි කියලා. මම ඔවුන්ගෙන් පළමුවෙන්ම අහන්නේ මොකක්‌ද මේ මාර්කට්‌ එක කියලා. මම සංගීතය කරන්නේ පර්යේෂණාත්මක රටාවක්‌ සමග. ගොඩක්‌ ජනප්‍රිය වුණේ යුරෝපියානු සංගීත රටාවන් සමග කළ ගීත. විශේෂයෙන් හද හැලෙනා ගීතය, අජිත් බණ්‌ඩාරට කරපු ගීතය වගේම මංජුලට කරපු ගීත එහෙම ගොඩක්‌ ජනප්‍රිය වුණා. ලංකාවේ සංගීත භාණ්‌ඩ එකතුකරගෙනත් ගීත කර තිබෙනවා. නමුත් ගොඩක්‌ම ජනප්‍රිය වුණේ යුරෝපීය ආභාෂයෙන් කළ ගීත. මේ දවස්‌වල මම උදයකාන්ත මහතාගේ චැලෙන්ජර් චිත්‍රපටයේ ගීතයකුත් නිර්මාණය කළා. එහි වෙනස්‌ම ගීත රටාවක්‌ තමයි අනුගමනය කළේ. මම නම් කියන්නේ යුරෝපීය සංගීතය, බටහිර සංගීතය, භාරතීය සංගීතය කියලා මත බේද ඇතිකරගත යුතු නැහැ. තමන්ට අවශ්‍ය දේ නිර්මාණය කිරීම තමයි ඉතාම වැදගත්.

අරුණ කියන චරිතය ජය ශ්‍රී හරහා බිහිවූවක්‌ නේද?

ලංකාවේ ජයශ්‍රී කියන ව්‍යාපෘතිය තමයි ගොඩක්‌ ජනප්‍රිය වුණේ. එහිදී අපි තුන්දෙනාම ඉතාම සාර්ථකව වැඩකළා. මට වැඩ කොටසක්‌ තිබුණා. එය මම සාර්ථකව ඉටුකළා. කොහොම වුණත් ජය ශ්‍රී හරහා තමයි මම ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුණේ. හැබැයි ඉන් පසුව අරුණ ලියාන් කියන නම මම තනියම ගොඩ නැගුවා.

සංගීත කණ්‌ඩායමේ නම ඒලියාන්. එහි අරුත කුමක්‌ වුවත් නම ගොඩ නැගෙන්නේ ඔබේ ඇසුරෙන්?

ඇත්තටම ඒ ලියාන් කියන නමින් තමයි ගොඩනැගෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන මගේ සංගීත කණ්‌ඩායමට හොඳ ටීම් එකක්‌ ඉන්නවා. මගේ පාසල් කාලයේ මිතුරකු වූ රංජිත් සිල්වා සමග තමයි මෙය ගොඩනැගුවේ. මේ වෙනකොට ගොඩක්‌ මාධ්‍යයන්වල වැඩ කරනවා. ඒලියන් කියන වචනයේ අරුත පිටසක්‌වල ජීවින් යන්නයි. මගේ සංගීත රටාවන් සමග ඒ නම ගැලපෙනවා කියලා හිතනවා. විශේෂයෙන් කිවයුතු දෙයක්‌ නැහැ. ඒ වෙලාවේදී ඇති වූ හැඟීම් අනුව ගොඩනගාගත් නමක්‌ තමයි යෙදුවේ.

ඔබේ නිර්මාණ ගොඩක්‌ දුරට විවේචනයට ලක්‌වෙනවා ?

ඒක නම් සම්පූර්ණ ඇත්ත. මුල් කාලයේදී මගේ නිර්මාණ ගොඩක්‌ දුරට විවේචනයට ලක්‌කළා. එහෙම විවේචනයට ලක්‌වෙන්නේ යම්කිසි කෙනෙක්‌ ඒ ගැන සොයා බලන නිසා වෙන්න ඇති. මම කරන නිර්මාණ කවුරුවත් සොයාබලන්නේ නැතිනම් විවේචනයට ලක්‌වන්නේ නැහැ. ඒ ගැන ගොඩක්‌ සතුටුවෙනවා. ඉතාමත් සුහදව, ගරුත්වයෙන් ඒ විවේචන භාර ගන්නවා. මේ ලැබෙන විවේචනවලට මම ඉතාමත් සතුටුයි.

ගායකයකු ලෙස ජනප්‍රිය වීමට නොහැකි නිසාද නිවේදනයට යොමුවුණේ?

නැහැ. ගායකයකු ලෙස ඉන්නේ වෙනමම පැත්තක. නිවේදනයට යොමුවුණේ ස්‌වර්ණවාහිනියෙන් ලැබුණු ආරාධනාවකට. එහිදී බුද්ධික කුලසේකර මහතාට විශේෂයෙන් ස්‌තූතිවන්ත වෙන්න ඕනෑ. ඇත්තටම එහිදී මම ගොඩක්‌ සතුටුවුණා. මොකද හැම සතියකදීම මට සංගීත ශිල්පියෙක්‌ අලුතෙන් අඳුරගන්න ලැබෙනවා. සංගීත ක්‍ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය දැනගන්නත් ලැබෙනවා.

නිවේදකයකු කියලා මම ගොඩක්‌ පරතෙරට හිතලා වැඩසටහන් කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට තමයි එහිදී මම වැඩකරන්නේ. නමුත් මම ගොඩක්‌ ජනප්‍රිය සංගීත ශිල්පියෙකු ලෙසටයි.

ඔබ එක නාලිකාවකට විතරක්‌ කොටුවෙලා?

එහෙම කියන එක වැරදියි. මගේ ගීත හැම නාලිකාවකම වගේ ප්‍රචාරය වුණා. ස්‌වර්ණවාහිනියට එකතු වුණාට පස්‌සේ ඔවුන් මගේ සංගීත වැඩසටහන් ගැන පැහැදිලා වෙන්න ඇති එවැනි වැඩසටහන් භාරදෙන්නේ. අනික හුඟක්‌ නාලිකාවන් සමග මට සම්බන්ධවෙන්න වෙලාවක්‌ නැහැ. එහෙම වෙනවට මම කැමැතිත් නැහැ. මොකද මගේ සංගීත දිවියේ වැඩ කටයුතු අඩාලවෙනවා.

මෙගා ස්‌ටාර් වේදිකාවේ ඔබේ කාර්යභාරය එළියට දකින්න ලැබෙන්නේ නැහැ නේද?

මෙගා ස්‌ටාර් වේදිකාවේ අපිට ලොකු කාර්යභාරයක්‌ තිබෙනවා. මෙතැනට එන්නේ වෘත්තීය ගායකයන් නොවෙයි. වෙනත් වෘත්තියකින් ඉහළ තලයකට ගිය තරගකරුවන් පිරිසක්‌ තමයි ඉන්නේ. ඔවුන්ව සහභාගි කරවල තිබෙන්නේ වෙනත්ම ආකාරයකට. අපේ ශබ්දාගාරයේ තමයි ඔවුන්ගේ පුහුණුවීම් සිදුවන්නේ. ඒලියාන් සංගීත කණ්‌ඩායම තමයි ඒ හැම දෙයක්‌ පිටුපසම ඉන්නේ. එහි වැඩකටයුතු අපි සාර්ථකව කරගෙන යනවා. ඒ ගැන මට ලොකු ප්‍රශ්නයක්‌ නැහැ.

අලුත් නිර්මාණ එකතුවකටත් සූදානම් කියලත් ආරංචියි ?

ඔව්. මේ දවස්‌වල එහි වැඩකටයුතු තමයි කරගෙන යන්නේ. ඒ අතරම තවත් සංගීත ශිල්පීන් සමගත් වැඩ කරනවා. ඒ නිසා ටිකක්‌ පිටිපස්‌සට යනවා මගේ නිර්මාණ එකතුව. මගේ පළමු ගීත එකතුවේදීත් ඔහොම වුණා. තවද මම වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් කටයුතුවලද නිරත වෙනවා. මම කොහොමත් මාර්කට්‌ එකකට ගීත නිර්මාණ කරන්නේ නැහැ. එහෙම දෙයක්‌ විශ්වාස කරන්නෙත් නැහැ.


දිනේෂ් විතාන
ඡායා - සමන් අබේසිරිවර්ධන‍

 

 

 
Powered By -