අද ගීත රචනයේ තිබෙන්නේ විශාල කඩාවැටීමක්‌
රවී සිරිවර්ධන

දැයම පුබුදුවාලූ
නිමල පහන නිවුණා
අවිදු අඳුර දුරලූ
නුවණ පහන නිවුණා

අප අතරින් නික්‌ම ගිය සෝම සමිඳුන්ට ලියෑවුණු මේ ගීතය ඔබට අමතක නැතැයිs අපි සිතමු. දයාන්ගේ හඬින් ගැයුණූ මෙහි ගේය පද රචනය අප රටේ තරුණ ගී පද රචකයකු වන රවී සිරිවර්ධනයන්ගෙනි. මෙවැනි හරවත් වූ නිර්මාණ රැසක්‌ තරුණ්‍යයට දායාද කළ ඔහු අපේ පරම්පරාවේ දක්‍ෂ නිර්මාණකරුවෙකි. මේ ඔහු සමග කළ කෙටි පිළිසඳරකි.

ගී පද රචනයට යොමුවුණේ කොහොමද කිව්වොත් ?

මම ගීත රචකයෙක්‌ විදිහට මුලින්ම යොමුවුණේ 1999 වසරේ. එහිදී මට හොඳම ගීත රචකයා විදිහට යෞවන සම්මානද ලැබුණා. ඒ ලබාගත් පන්නරය තුළින් තමයි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ. කොහොම හරි යෞවන සම්මාන ගත්තහම හොඳ ගීත ලියන අලුත් පරපුරේ රචකයකු විදිහට ක්‍ෂේත්‍රය තුළ නමක්‌ දිනාගන්න පුළුවන් වුණා. එහි ප්‍රතිඵලයක්‌ හැටියට තමයි දීපිකා, සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, සෝමතිලක ජයමහ, ප්‍රදීපා ධර්මදාස වැනි ගීත ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් නිර්මාණය කළ සෑම සංයුක්‌ත තැටියකටම මගේ ගීතයක්‌ තෝරාගැනීමට අමතක නොකළේ. එයින් දැනෙන දෙයක්‌ තමයි මගේ ගීත ගැන ඔවුන් යම් විශ්වාසයක්‌ තැබුවා කියලා. ඒ විතරක්‌ නොවෙයි ඊට පසුකාලීනව බිහි වූ පරම්පරාවත් මගේ ගීත රචනයට ඇලුම් කළා. හැබැයි මගෙ ගීතයක්‌ මුලින්ම ජනප්‍රිය වුණේ 2002 වසරේදී. ඒ දයාන් විතාරණ ගායනා කළ "ඔබෙ සුසුම් පවන් සලයි" කියන ගීතය. තවද වසත් කාලය මනරම්, දැයම පුබුදුවාලූ, ක්‍රිෂාන්ත එරන්දක ගායනා කරන ඉක්‌මන් නෝනා අපි වගේ, කිරි ඉද්ද ගහට වගේ ගොඩක්‌ ගීත ජනප්‍රිය වුණා.

ජනප්‍රියම ගීත "වසත් කාලය මනරම්" කියලා සංයුක්‌ත තැටියකට ගන්න අදහස්‌ කළේ ?

මේ ගීත තනිකර හුදෙකලා වෙලා ගායකයන්ගේ සංයුක්‌ත තැටිවල තිබුණේ. මට වුවමනාවක්‌ තිබුණා අවුරුදු දහයක්‌ තිස්‌සේ එකදිගට මිනිස්‌සු අහපු එම ගීත ටික එක පොකුරක්‌ විදිහට ඔවුන්ට සමීප කරන්න. මගේ ගීත අහපු රසිකයන්ට එකවර රසවිඳීමේ අවස්‌ථාවක්‌ තමයි මම ලබාදුන්නේ.

ගීතවල අයිතිය ඔබ සතු කරගෙනද ගායකයන්ට ලබාදෙන්නේ ?

අනිවාර්යයෙන්ම. සාමාන්‍යයෙන් අපි ගීතයක්‌ ගායකයෙකුට ලබාදෙන විට ලිතව ඔහුට පැවරුවේ නැතිනම් සාමාන්‍ය නීතිය යටතේ අයිතිය තිබෙන්නේ ගීත රචකයාට සහ සංගීතඥයාට. එය අවලංගු වෙන්නේ කාටහරි ලිතව පවරා දුන්නොත්. "වසත් කාලය මනරම්" මගේ ගීත එකතුව මම රචකයෙකු විදිහට එළිදැක්‌වූ සංයුත්ත තැටියක්‌ නිසා එහි නිෂ්පාදන අයිතිය මට නැහැ. නමුත් නිර්මාණ අයිතිය මට තිබෙනවා.

එතකොට ඔබේ දෙවැනි නිර්මාණ එකතුව "මිලේනියම් පෙම්වතුන්" අයිතිය ඔබ සතුයි නේද?

ඔව්. මේක සම්පූර්ණයෙන්ම මගේ වියදමින් කළ නිර්මාණ එකතුවක්‌. එයට වියදම් කළේ මම. ඒක නිසා මගේ නිෂ්පාදනයක්‌ විදිහටයි තිබෙන්නේ.

මිලේනියම් පෙම්වතුන් ගීත එකතුව ගැන යමක්‌ පැවසුවොත් ?

මගේ ගීත පද රචනය සම්බන්ධයෙන් උනන්දුවෙන සහ කැමැත්තක්‌ දක්‌වන රසිකයන්ට නව ප්‍රවේශයක්‌ විදිහට තමයි මේ ගීත එකතුව නිර්මාණය කළේ. මෙහි එකිනෙකට වෙනස්‌ නිර්මාණ තිබෙනවා. සමහර අවස්‌ථාවලදී සංගීතාත්මක පර්යේෂණත් සිදුකළා. විශේෂයෙන් සුරේෂ් මාලියද්ද වැනි දක්‍ෂ සංගීතඥයන් සමග එකතුවෙලා ජපන් සංගීතය භාවිතා කරලා නව ආරක පර්යේෂණාත්මක ගීත නිර්මාණය කළා. එයට ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර මේ වන විට ලැබී තිබෙනවා.

මෙතෙක්‌ නිර්මාණය කළ සාම්ප්‍රදායික රාමුවට වඩා වෙනස්‌ නිර්මාණාත්මක ප්‍රවේශයක්‌ තමයි මෙහි තිබෙන්නේ. මෙයට අපේ කාලයේ දක්‍ෂ ගායක ගායිකාවන් එකතුකරන්න පුළුවන් වුණා. හැබැයි පර්යේෂණයක්‌ කිව්වට අදහස්‌ වන්නේ නැහැ නවක රැල්ලට නැඹුරුවීමක්‌ කියලා.

ඇයි මේ සාම්ප්‍රදායික රටාව බිඳින්න අදහස්‌ කළේ ?

සම්ප්‍රදාය බින්දාම නොවේ. සම්ප්‍රදාය කියන දේ කලින් කලට වෙනස්‌ වෙනවා. මෙහිදී සිදුවුණේ සම්ප්‍රදාය තුළ සිටිමින් එහි තිබෙන සීමා මායිම්වලින් ටිකක්‌ ඔබ්බට ගොස්‌ පුළුල් කිරීමක්‌ තමයි සිදුකළේ.

තාරුණ්‍යයේ පවතින ගීත රටාව පද රචකයකු විදිහට දකින්නේ ?

අද ගීත රචනයේ තිබෙන්නේ විශාල කඩාවැටීමක්‌. ඒකට හේතුව ගීත රචනයේ තිබෙන නිර්මාණාත්මකභාවය අමතක කරලා අර්ථ විරහිත තැනකට ගීතයේ පද රචනය ගාල් කිරීම. අපේ කලින් පරම්පරාවේ හිටපු රත්න ශ්‍රී විඡේසිංහ, සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, මහගමසේකර, වැනි ශේ්‍රෂ්ඨ ගීත රචකයෝ පද රචනයේ තිබෙන අර්ථ පූර්ණ බව ඉහළට ගත්තු කට්‌ටිය. ඒ යුගයේ නිර්මාණ සමග අද ගීත රචකයාගේ කාර්යභාරය බැලුවහම ප්‍රමිතියෙන් සැලකිය යුතු මට්‌ටමේ ගරාවැටීමක්‌ තමයි දකින්න ලැබෙන්නේ. එයට හේතුව ඔවුන් නිර්මාණකරුවන් විදිහට විෂය හරියාකාරව හදාරා නැතිකම. ක්‍ෂණික නූඩ්ල්ස්‌ වගේ නිර්මාණ කරන්න බැහැ. ඒකට කිසියම් අධ්‍යාත්මයක්‌ හා උසස්‌ රස වින්දන ශක්‌තියක්‌ අවශ්‍යයි.


දිනේෂ් විතාන

 

 
Powered By -