සිහින දකින්නා තුළින් කතා කරන්නේ මේ සමාජය ගැන
චන්ද්‍රසෝම බිංදුහේවා

දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය සරච්චන්ද්‍ර, කේ. බී. හේරත් වැනි වේදිකා නාට්‍ය කලාවේ දැවැන්ත නිර්මාණකරුවන්ගේ සිට ධර්මසිරි බණ්‌ඩාරනායක, ජයලත් මනොරත්න වැනි වර්තමාන නාට්‍ය කරුවන්ගේ නිර්මාණවලට සිය රංගන හැකියාව එක්‌ කළ චන්ද්‍රසෝම බිංදුහේවා මෙරට වේදිකාව ආලෝකවත් කළ ප්‍රතිභාපූර්ණ කලා කරුවෙකි. නවසිය 58 වසරේ කීර්ති සේනාරත්නගේ අනෝතත්ත විලෙන් එහා වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන ඔහු බැද්දෙ ගෝරනාඩුව, ගජමන් පුවත, සිංහබාහු, කදා වළලු නාග ගුරුලා, දෝන කතිරිනා ආදී තවත් නිර්මාණ රැසකට එක්‌වෙමින් වේදිකා නාට්‍ය විෂය පිළිබඳ හසල අත්දැකීම් ලද්දෙකි. අඩසිය වසකටත් වඩා දිගු සිය කලා දිවිය පසුකරමින් සිටින මේ කලාකරුවා නුදුරු දිනයකදී සිය අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය කරන ප්‍රථම වේදිකා නාට්‍යය කොටළුවා නොහොත් සිහින දකින්නා" ඔබ හමුවට ගෙන ඒමට සැරසෙමින් හිඳින මොහොතක අපි ඔහුට කථා කළෙමු. නාට්‍ය කලාවට අරණක්‌ බඳු සුදර්ශියෙ අඹ සෙවනක හිඳ ඇරඹි ඒ කථාවට මුල පුරමින් අපි ඔහුගෙන් මෙසේ ඇසුවෙමු.

වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ වසර 50 කට වඩා අත්දැකීම් ඇති ඔබ ඇයි නාට්‍යයක්‌ නිර්මාණය කරන්න මෙතරම් පරක්‌කු වුණේ.

ඔය ප්‍රශ්නයට පිළිතුරම තමයි මම වේදිකා නාට්‍යයක්‌ කරන්න පෙළඹ වූ කාරණය. බොහෝ විට ක්‍ෂේත්‍රයේම මගේ මිත්‍රයන් අහනවා බිංදු අයියට මේ තරම් අත්දැකීම් තියෙද්දී මෙච්චර හැකියාවක්‌ තියෙද්දි ඇයි නාට්‍යයක්‌ කරන් නැත්තේ කියල. හැබැයි මම හොඳ පිටපතක්‌ සොයමින් හිටියා. කාලීන මාතෘකාවක්‌ එක්‌ක ගැලපෙන හොඳ පිටපතක්‌ ලැබෙනකන් මම බලන් හිටියා කිව්වත් නිවැරදියි. කොලින් සෙට්‌ටිනායක තමයි මගේ බලාපොරොත්තුව ඉටුකර දෙන්නේ. ඔහුව මම හඳුනගන්නෙ නවසිය 78 වසරේදී ඔස්‌ටින් මුණසිංහ මහත්මයා නිසා. ඔහුගෙ මාර්ගයෙන් කොලින් සෙට්‌ටි නායකගෙ ඉසුරුබර සිටුපුතෙක්‌ නාට්‍යයේ සිටුපුතා චරිතය නිරූපණය කරන්න එක්‌ අවස්‌ථාවකදී මට ඉඩ ලැබෙනවා. ඉන් පස්‌සේ මේ මෑතකදී ඔහු මට හමුවුණා. ඔහුගෙ රචනා විලාසයට මම හරිම කැමතියි. ඔහු වීරෝදාර කවියෙක්‌ වගේම දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක්‌. මගේ අදහස කිව්වහම එය නිරූපණය වන ලෙසම ඔහු මට නාට්‍ය පිටපත ලියා දුන්නා.

කොටළුවා නොහොත් සිහින දකින්නා නිර්මාණයෙන් කථා කරන්නෙ මොනවගේ මාතෘකාවක්‌ ගැනද?

මම හිතන්නෙ මේ ලෝකයේ වැඩි දෙනෙක්‌ එහෙමත් නැත්නම් අපි හැමෝම කොටළුවො. බහුතරයක්‌ දෙනා කරන්නේ ජීවත් වීම සඳහා කරන අරගලයේදී එක එක්‌කෙනාගෙ බර අදින එක. විවිධ ආයතනවල බර අදින එක. සමහර අවස්‌ථාවලදී අපේ ඉහළ නිලධාරීන් ඉස්‌සරහ අපේ හැඟීම් ප්‍රකාශ කරන්න ඕන කම තිබුනත් ඒවා කියාගන්න විදියක්‌ නෑ. අපි ඉන්නෙ යටත්වෙලා. එම මාවතෙන් මිදෙන්න ඕන කියන කාරණයයි මම ප්‍රේක්‍ෂකයාට ඒත්තු ගන්වන්නෙ.

කොටළුවා සිහින දකින්නෙ ඔබ ඔය කියන සමාජ ක්‍රමයෙන් මිදෙන්නද?

නෑ මෙහෙමයි කොටළුවා කියන්නෙ මේ නාට්‍යයේ වෙළෙන්දකුගෙ අතවැසියට. මේ දෙන්නා රජගහනුවරට යනවා. කොටළුවා තමයි වෙළෙන්දගෙ බරපොදිය කරගහගෙන එන්නෙ. කොටළුවාට කන්න දෙන්නෙ තුන්වේලටම එක වේලයි. ඒ වුණත් වෙළෙන්දට අතර මගදී වාඩිවෙන්න ඕන වුණාම පුටුව පවා ගේන්නෙ මේ කොටළුවා කියන මනුස්‌සයා. ඒ අතර මගදී වෙළෙන්දා උදේ කෑම කන්න නතර වුණාම කොටළුවා යනවා විලකට ඇඟපත සෝදා ගන්න. ඒ අවස්‌ථාවේදී විලේ මල් නෙළමින් ඉන්න ගෑනු ළමයි ටිකක්‌ කොටළුවාට මුණගැසෙනවා. ඔවුන් කොටළුවා තුළ තිබෙන ශක්‌තිය ගැන කොටළුවාට අවබෝධ කර දෙනවා. උඹ ඔහොම ඉන්න එපා නැගිටපන්, මනුස්‌සයෙක්‌ වෙයන් කියන හැඟීම කොටළුවාට ලබා දෙනවා. මෙයා ඒක ඔළුවෙ තියා ගෙන රජගහ නුවරට එනවා. වෙළෙන්දා පුරඟනක්‌ ළඟට ගිහින් ඇති වන දෙබස්‌ හුවමාරුවකදී කොටුළුවා ස්‌වාධීනව නැගී සිටිනවා. ඒ ඇතිවන විරසකයෙන් වෙළෙන්දගෙන් වෙන්වී ඔහු ගමට යනවා. ඉන්පස්‌සෙ මෙතෙක්‌ කොටළුවා තුළ ලියලමින් පැවති දර්ශනය ගමේ ඉන්න ගොවියන්ට කම්මල්කරුවන්ට ලබා දීමට කටයුතු කරනවා. ඔය අතරදි තමයි රඡ්ජුරුවන්ගේ නැති වූ පදක්‌කමක්‌ සොයා දීමට මුවාවෙන් කොටළුවා රජ වාසලට ඇතුළු වන්නෙ. කොහොමහරි ඔය හැල හැප්පීම් අතරේ රඡ්ජුරුවන්ට කොටළුවා නැතිවම බැරි කෙනෙක්‌ බවට පත්වෙනවා. . රඡ්ජුරුවො කොටළුවාට රජවාසලේ දිගටම ඉන්න ආරාධනා කළත් කොටළුවා නැවතත් තමන්ගේ දර්ශනයත් එක්‌ක යන්නෙ ජනතාව අතරට. කොටළුවා ඒ වගේ පුද්ගලයෙක්‌ බවට පත්වෙන්නෙ චින්තන පෙරළියක්‌ නිසායි.


තිස්‌ස ගුණතිලක‍

 

 
Powered By -