විදේශ සංචාරයට නර්තන කණ්‌ඩායමක්‌
තෝරා ගැනීමට තරගාවලියක්‌

 
එංගලන්තයේ පුරවැසිභාවය ලබා පදිංචිව සිටින නන්දන වේරපිටිය මහතා එරට අධ්‍යාපන ආයතන කීපයක ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායයන් පිළිබඳ පාඨමාලා පවත්වාගෙන යමින් දේශීය නර්තනය ලෝකයට ගෙන යැමට ගන්නා උත්සාහය ප්‍රශංසනීය ය.

එම උත්සාහය මල්ඵල ගනිමින් දෙස්‌ විදෙස්‌ සංචාර සඳහා දේශීය සාම්ප්‍රදායික නර්තනයන්ගෙන් සන්නද්ධ වූ නර්තන කණ්‌ඩායමක්‌, එංගලන්තයේ ලියාපදිංචි කොට ඇති නන්දන ඩාන්ස්‌ ලංකා ආයතනය නමින් පිහිටුවා ගැනීමට වේරපිටිය මහතා සූදානම් වෙයි.

          නන්දන වේරපිටිය

පසුගියදා දින කීපයකට සිය මව්බිමට පැමිණි වේරපිටිය මහතා මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ද අමතක කළේ නැත. දශකයකට අධික කාලයක්‌ එංගලන්තයේ ජීවත් වෙමින් යුරෝපා රටවල සංචාරය කර ඇති ඔහු ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නර්තනයට එම රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙන්ම සුදු ජාතිකයන්ද වඩාත් ප්‍රිය කරන බව අත්දැක ඇත. ගීතයකට ඉදිරිපත් කරන හුදු රංගනනයකට වඩා සිංහල පාරම්පරික නර්තනයන්ට ඔවුන් වශිකෘත වන බව ඔහු අප හා පැවසීය. මේ හේතුවෙන් පාරම්පරික සිංහල නර්තනය ලෝකයට ගෙන යැමේ අරමුණත්, ශ්‍රී ලංකාවේ දක්‌ෂ තරුණ තරුණියන් පිරිසකට අතදීමේ අරමුණත් පෙරදැරිව තම ආයතනය යටතේ නර්තන කණ්‌ඩායමක්‌ පිහිටුවා ඔවුන් දේශීය හා විදේශීය ප්‍රසංගවලට සහභාගි කරවීමත්, ඒ ඔස්‌සේ ආදායම් මාර්ගයක්‌ සකසා ගැනීමට ඉඩ ලබා දීමත් තම අභිප්‍රාය බව වේරපිටිය මහතා කීය.

මෙම නර්තන කණ්‌ඩායම තෝරා ගැනීම සඳහා වන තරගාවලිය මේ වසරේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන්ගෙන් හා ශිල්පිනියන්ගෙන් අයෑදුම්පත් කැඳවීම අප්‍රේල් මස අගදී සිදු කෙරෙනු ඇත.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව රැකියා බලාපොරොත්තුවෙන් සිටින, අ.පො.ස උ/පෙළ නැටුම් විෂය හැදෑරූ, අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විෂයන් හයක්‌ සමත්ව නැටුම් ඇතුළුව සම්මාන තුනක්‌ සහිත සහ ජාතික නැටුම් හා සංගීත විභාගයේ ආරම්භ, මධ්‍යම, අවසාන දක්‌වා හැදෑරූ අවුරුදු 20-28 අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයෑදුම් කළ හැක. විශේෂ සුදුසුකම් ලෙස උඩරට - පහතරට බෙරවාදනය, හේවිසි වාදනය, හොරණෑ පිඹීම, රබන් කරකැරවීම, කරණම් ගැසීම හා ජන ගී ගායනය සැලකේ.

"විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිsකයන්ගේ විශේෂ ඉල්ලීමක්‌ වී ඇත්තේ සාම්ප්‍රදායික සිංහල නර්තනයෙහි දක්‌ෂ ශිල්පීන්ගේ දක්‌ෂතා දැකබලා ගැනීමට ඔවුන්ට අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙසයි. ඒ ඉල්ලීම සපුරාලීම සඳහා මෙබඳු නර්තන කණ්‌ඩායමක්‌ තෝරා ගැනීමට මා අදහස්‌ කළා. මේ සඳහා තෝරා ගන්නන් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රධාන වශයෙන් උඩරට නර්තනයේ දක්‌ෂ ශිල්පීන් ඔවුන් පහතරට සහ අනෙකුත් නර්තන සම්ප්‍රදායන් දැනසිටීම ද වැදගත් කොට සලකනවා. මේ තෝරා ගැනීම සඳහා වන අයෑදුම් පත්‍රය ඉදිරි දිනකදී පුවත්පත්වල පළ කෙරෙනවා. ඒ අනුව අයෑදුම් කරන ශිල්පීන්ගෙන් තෝරාගත් පිරිසකට ප්‍රවීන විනිසුරු මඩුල්ලක්‌ හමුවේ සිය හැකියාවන් දැක්‌වීමට අවස්‌ථාව ලැබනවා. ඒ අනුව අවසාන වටය සඳහා තෝරා ගන්නා පිරිසගේ ප්‍රසංගයක්‌ රූපවාහිනි මාධ්‍ය හරහා විකාශය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා" යෑයි ද වේරපිටිය මහතා වැඩිදුරටත් පැවැසීය.


ලක්‌මිණී
ඡායා- කමල් වන්නිආරච්චි

 

 
Powered By -