රජයට මුදල් සොයා ගැනීමේ අභියෝගය

2009 වර්ෂය අපටත්, සමස්‌ත ලෝකයටත් ඉතා තීරණාත්මක සහ අභියෝගාත්මක වසරක්‌ විය. ලෝක ආර්ථික අර්බුදය නිසා ලෝකයේ සෑම ආර්ථිකයකටම පාහේ අඩු වැඩි වශයෙන් අහිතකර බලපෑම්වට මුහුණදීමට සිදුවිය. මෙම ලෝක මූල්‍ය අර්බුදය නිසා ගිය වසරේදී අපේ ආර්ථිකයද පසුබෑමට ලක්‌වූ අතරම ආර්ථික වර්ධන වේගයද පහත වැටිණි. එසේම තිස්‌ අවුරුදු ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී ශාපයෙන් අත්මිදෙන්නට අප වරම් ලද වසර වූයේ ද පසුගිය 2009 වසරමය. 2009 වසරේ ආර්ථික පසුබෑම්, වැටීම් සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ කරුණු කාරණා කිසිවක්‌ අපට අමතක කළ නොහැකිය. මේ පසුබිම තුළ, 2009 වසරේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳවද සාකච්ඡා කිරිමට අපට සිදුව තිබේ. ඒ පසුගියදා නිකුත්වූ පූර්ව මැතිවරණ අය-වැය තත්ත්වය (2010) පිළිබඳ වාර්තාවත් සමගය.

සෑම මහ මැතිවරණයකටම පෙර රටේ අය-වැය තත්ත්වය මහජනතාවට ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවක්‌ බවට පත්ව තිබේ. මේ අනුව 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව මුදල් හා ක්‍රමසම්පාදන අමත්‍යාංශය විසින් නිකුත් කළ යුතු පූර්ව මැතිවරණ අය-වැය තත්ත්වය පිළිබඳ වාර්තාව පසුගිය මාර්තු 01 වැනිදා මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත් කළේය. මේ වාර්තාවෙන් අනාවරණය වන, රජයට මුදල් නොමැතිකමේ ප්‍රශ්නය හා අය-වැය හිඟය ඉහළ යැම පිළිබඳව මේ ලිපියෙන් අපි අවධානය යොමු කරමු.

මුදල් අමාත්‍යාංශය විසින් මේ වාර්තාව නිකුත් කිරීමත් සමග අද කාගේත් අවධානය යොමුව ඇත්තේ එම වාර්තාවේ ඇති සමස්‌ත අය-වැය හිඟය ඉහළ යැම ඇතුළු කරුණු කාරණාවලටය. මූලික වශයෙන්ම මෙම වාර්තාවට අනුව 2009 වසර සඳහා රජය ඉලක්‌ක කළ අය-වැය හිඟය විශාල වශයෙන් ඉහළ ගොස්‌ ඇත. සාමාන්‍යයෙන් අය-වැය හිඟයක්‌ තිබීමත්, වසරක්‌ මුලදී ඉලක්‌ක කරන අය-වැය හිඟය තරමකින් ඉහළ යැමත් පුදුමයට කරුණක්‌ නොවේ. එහෙත් 2009 වසරේ අය-වැය හිඟය ඉහළ ගොස්‌ ඇත්තේ සුළුපටු ගණනකින් නොවේ. අතිවිශාළ අගයකිනි. එනම් රුපියල් කෝටි 12676.9 කිනි. 2009 වසර සඳහා ඉලක්‌ක කළ අය-වැය හිඟය වූයේ රුපියල් කෝටි 34285.8 කි. එය වසර අග වන විට රුපියල් කෝටි 46962.7 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 7 සිට 9.7 දක්‌වා අය-වැය හිඟය ඉහළ ගොස්‌ ඇත.

අය-වැය හිඟය ඉහළ යැමට මූලික වශයෙන්ම හේතුවී ඇත්තේ රජයේ ආදායම් අඩුවීම සහ රජයේ ඇස්‌තමේන්තුගත වියදම් ඉහළ යැමයි. මේ අතරින් අය-වැය හිඟය ඉහළ යැමට වැඩි වශයෙන්ම හේතුවී ඇත්තේ රාජ්‍ය වියදම් ඉහළ යැමයි. අය -වැය හිඟය ඉලක්‌කය අභිබවා ඉහළ යැමට බලපෑ ආදායම් සහ වියදම් තත්ත්වයන් පිළිබඳව මීළඟට අපි අවධානය යොමු කරමු.

සංශෝධිත අය වැය ඇස්‌තමේන්තු අනුව, 2009 වසර සඳහා රජය ඇස්‌තමේන්තු කළ ආදායම රුපියල් කෝටි 72570.8 කි. එහෙත් 2009 වසර අගදී ලැබී ඇති ආදායම රුපියල් කෝටි 70212.8 කි. වෙනස (ආදායම් අඩුවීම) රුපියල් කෝටි 2358 කි. මුළු රාජ්‍ය ආදායම සමන්විත වන රජයේ බදු ආදායම රුපියල් කෝටි 65577.9 සිට රුපියල් කෝටි 61957.9 දක්‌වා රුපියල් කෝටි 3620 කින් අඩු වන විට රජයේ බදු නොවන ආදායම රුපියල් කෝටි 6992.9 සිට රුපියල් කෝටි 8254.9 දක්‌වා රුපියල් කෝටි 1262 කින් ඉහළ ගොස්‌ ඇත. මේ නිසා රුපියල් කෝටි 3620 කින් බදු ආදායම පහත වැටුනත්, බදු නොවන ආදායම ඉහළ යැම නිසා මුළු ආදායම අඩුවීමට ඇති වූ අහිතකර බලපෑම තරමක්‌ සමනය වී තිබේ. එසේම රජයට ලැබුණු නිල ප්‍රදාන (ටර්බඑs) රුපියල් කෝටි 2300 සිට රුපියල් කෝටි 2548.5 දක්‌වා ඉහළ යැම නිසා ද රාජ්‍ය ආදායමේ අඩුවීමේ අහිතකර තත්ත්වය තරමක්‌ පාලනය වී තිබෙන බව ද පෙනේ. රජයේ මුළු ආදායමේ සිදුව ඇති රුපියල් කෝටි 2358 ක අඩුවීම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 0.5 ක්‌ ලෙස ද ගණනය කර ඇත.

මීළඟට රාජ්‍ය වියදම් ඇස්‌තමේන්තුවලට සිදුව තිබෙන බලපෑම ගැන අවධානය යොමු කරමු. සංශෝධිත අය වැය ඇස්‌තමේන්තු අනුව රුපියල් කෝටි 109156.6 ක මුළු රාජ්‍ය වියදමක්‌ 2009 වසරේදී දරන්නට සිදුවේ යෑයි රජය අපේක්‍ෂා කළ ද වසර අගදී රාජ්‍ය වියදම රුපියල් කෝටි 119724 ක්‌ දක්‌වා රුපියල් කෝටි 10567.4 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇත. මෙයිනුත් වැඩි වශයෙන්ම සිදුව ඇත්තේ රජයේ එදිනෙදා වියදම් (පුනරාවර්තන වියදම්) ඉහළ යැමයි. 2009 වසරේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 82964.1 කට සීමා කර ගැනීමට රජය ඉලක්‌ක කර තිබුණත්, වසර අගදී පුනරාවර්තන වියදම රුපියල් කෝටි 88466.4 ක්‌ දක්‌වා රුපියල් කෝටි 5502.3 කින් ඉහළ ගොස්‌ තිබුණි. රාජ්‍ය ආයෝජන වියදම රුපියල් කෝටි 26658 සිට රුපියල් කෝටි 31465.4 දක්‌වා රුපියල් කෝටි 4807.4 කින් ද ඉහළ ගොස්‌ තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස රාජ්‍ය ආයෝජන වියදම සියයට 1 කින් ඉලක්‌කය අභිබවා ගොස්‌ ඇත. යටිතල පහසුකම් ව්‍යාපෘති අපේක්‍ෂා කළ මට්‌ටමටත් වඩා කඩිනමින් ක්‍රියාත්මක වීම, රාජ්‍ය ආයෝජන වියදම් ඉහළ යැමට හේතුව බව රජයේ පැත්තෙන් ප්‍රකාශ වෙයි.

පුනරාවර්තන වියදම තුළ ඇති වැටුප් හා වේතන වියදම රුපියල් කෝටි 26128.6 සිට රුපියල් කෝටි 26824.6 දක්‌වා රුපියල් කෝටි 696 කින් ද පොලී ගෙවීම් රුපියල් කෝටි 26982.8 සිට රුපියල් කෝටි 30829.2 දක්‌වා රුපියල් කෝටි 3846.4 කින් ද (ද. දේ. නි. % ලෙස සියයට 0.8), සහනාධාර සහ පැවරුම් වියදම් රුපියල් කෝටි 18712.8 සිට රුපියල් කෝටි 19429 දක්‌වා රුපියල් කෝටි 716.2 කින් සහ වෙනත් භාණ්‌ඩ හා සේවා වියදම් රුපියල් කෝටි 11139.9 සිට රුපියල් කෝටි 11383.6 දක්‌වා රුපියල් කෝටි 243.7 කින් ද ඉහළ ගොස්‌ තිබේ. මේ අනුව මුළු පුනරාවර්තන වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 16.9 සිට සියයට 18.4 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. ඉහතින් සාකච්ඡා කළ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් එකතුවෙන් සමන්විත වන මුළු රාජ්‍ය වියදම, දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 22.2 සිට 24.8 දක්‌වා ද ඉහළ ගොස්‌ ඇත.

රජයේ අය-වැය ඉලක්‌ක බිඳවැටීම පිළිබඳව මේ අප සාකච්ඡා කළේ 2009 වසරේ සංශෝධිත අය-වැය ඇස්‌තමේන්තු සහ වසර අග තත්ත්වය සමගය. 2009 වසරේ රජයේ මුල් අනුමත අය-වැය ඇස්‌තමේන්තු සමග සස¹ බලන විට රජයේ අය-වැය ඉලක්‌ක බිඳවැටීම මීටත් වඩා උග්‍ර තත්ත්වයක පවතින බවද කිව යුතුය.

2010 වසර සඳහා වන රජයේ අය-වැය ඉදිරි දැක්‌ම පිළිබඳවත් අපි සැකෙවින් අවධානය යොමු කරමු. 2010 වසරේදී රුපියල් කෝටි 82461.6 ක මුළු රාජ්‍ය ආදායමක්‌ උපයා ගැනීමට සහ රුපියල් කෝටි 126255.7 ක මුළු රාජ්‍ය වියදමක්‌ දැරීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව ජනිත වන 2010 වසරේ සමස්‌ත අය-වැය හිඟය රුපියල් කෝටි 41474.1 කි. මෙය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 7.5 කි. රජයේ ආදායම් හිඟය රුපිය් කෝටි 10796.2 කි. ඒ නිසා 2010 වසරේදී ද රජයේ ආදායම රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. මෙසේ එදිනෙදා වියදම්වලිනුත් රුපියල් කෝටි 10796.2 ක්‌ ණය වී පියවා ගැනීමට සිදුවන තත්ත්වයක්‌ තුළ රජයට ප්‍රාග්ධන වියදම් සඳහා මේ වසරේදී ද රාජ්‍ය ආදායමින් කීයක්‌වත් ඉතුරු වන්නේ නැත.

මේ අය-වැය හිඟය ඉහළ යැමට අප මුහුණ දෙන්නේ කෙසේද? රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමත්, රාජ්‍ය වියදම් හැකිතාක්‌ තාර්කීකරණය කර ගනිමින් පමුඛතාවයේ අවශ්‍යතාව මත රාජ්‍ය වියදම් දැරීම තුළින් මේ අය-වැය හිඟයට අප පිළියම් සෙවිය යුතුව ඇත. රජයේ මුදල් තත්ත්වයන් අනුව හැකිතාක්‌ රාජ්‍ය ආදායම් එකතු කිරීම කාර්යක්‍ෂම කර ගනිමින් වැඩි බදු ආදායමක්‌ උපයා ගන්නා අතරම, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම් දැරීම තරමක්‌ ප්‍රමාද කළ හැකිය. මෙහිදී අත්‍යවශ්‍ය ව්‍යපෘති මුලින් ක්‍රියාවට නංවා සෙසු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තරමක කාලයක්‌ ගැනීමටද බැරිකමක්‌ නැත.

රජය ඉදිරිපත් කර ඇති 2009 අය වැය තත්ත්වයන් අනුව රජයේ ආදායම් හිඟය (Reඩැබමැ Deසෙජසඑ) රුපියල් කෝටි 18253.6 කි. ආදායම් ගිණුමේ හිඟය යනු රජයේ මුළු ආදායමත් රජයේ පුනරාවර්තන වියදමත් (එදිනෙදා වියදමත්) අතර වෙනසයි. මෙහි අදහස වන්නේ රජයේ ආදායම රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නැති බවයි. එනම් රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමට රජයේ මුළු ආදායමත් වැය කර ඒ සඳහා තවත් රුපියල් කෝටි 18253.6 ක්‌ ණය වන්නට සිදු වී ඇති බවයි. රජයේ එදිනෙදා වියදම් දරන්නටවත් රජයේ ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයක්‌ තුළ, රජයට ප්‍රාග්ධන වියදම් දරන්නට, රාජ්‍ය ආදායමින් ශත පහක්‌වත් ඉතුරු වන්නේ නැත. රජය අතිවිශාල, දැවැන්ත රාජ්‍ය ආයෝජන ව්‍යාපෘතිවලට යොමුව සිටින්නේ රජයට මෙවැනි ඉතා අහිතකර ආදායම් තත්ත්වයක්‌ තිබියදී ය.

රාජ්‍ය ආයෝජනය තුළින් අනාගත නිෂ්පාදන හැකියාවන් වර්ධනය වන බව ඇත්තය. ඒ තුළින් අනාගතයේදී රටට ආර්ථික ප්‍රතිලාභ අත්වන බව ද සැබෑය. එහෙත් ඔය කොයි වියදමක්‌ දැරිය යුත්තේ රජයේ ආදායම් තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන මහජනතාවට දැරිය හැකි පරිද්දෙනි. මේ සියලු වියදම්වල බර දරන්නේ මහජනතාවයි. මුදල් වටිනාකම් අතින් විශාල ප්‍රාග්ධන වියදම් දැරුවත් එම වියදම් හොරකමට, වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවලට යටවන්නට නොදී අදාළ ව්‍යාපෘති ඉතා ඵලදායී ලෙස ක්‍රියාත්මක කීරීමට ද රජය වගබලා ගත යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -