ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගී කර ගැනීම!

මැතිවරණයක්‌ එළඹෙන හැම මොහොතකම මැතිවරණ කොමසාරිස්‌වරයාට මෙන්ම පොලිස්‌පතිවරයාටද මුහුණදීමට සිදු වන්නේ බරපතල අභියෝගයන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ. මැතිවරණ කොමසාරිස්‌වරයාගේ නියෝග හා උපදෙස්‌ නොතකා කටයුතු කරන දේශපාලන (අ)Êසංස්‌කෘතිය එයට හේතුවී තිබේ.

මේ මැතිවරණ ක්‍රමයද 1978 ව්‍යවස්‌ථාව විසින් නිර්මාණය කරන ලද ගර්හිත හා කූට ව්‍යවස්‌ථාවේම අතුරු ඵලයක්‌ බව දේශපාලන විචාරකයන් පමණක්‌ නොව දේශපාලන පක්‌ෂවල නායකයන් හා අනුගාමිකයෝද ප්‍රකාශ කරති. එදා එම ව්‍යවස්‌ථාව වෙනුවෙන් පෙනී සිටි එ.ජා.ප. නායකයා මෙන්ම ඔහුගේ පාක්‌ෂිකයන්ටද මෙම ඡන්ද ක්‍රමය පමණක්‌ නොව විධායක ජනාධිපති ක්‍රමයද එපා වී තිබේ.

1978 දී මේ රටේ ජනතාව අපේක්‌ෂා නොකළ ව්‍යවස්‌ථාවක්‌ රටට බලහත්කාරයෙන් හඳුන්වා දුන් බව අපගේ අදහසය. ඒ ව්‍යවස්‌ථාව රට වෙනුවෙන් හෝ රටේ අනාගතය වෙනුවෙන් කළ යහපත් සංශෝධනයක්‌ ලෙස අපි පිළිනොගනිමු. යටි අරමුණු සහිත දේශපාලන කෞටිල්‍යයන්ගේ දුෂ්ට අභිලාෂයන්ට සරිලන පරිදි එම ව්‍යවස්‌ථාව සැකසිණි.

මේ රටේ ජනතාව විසින් කලක්‌ තිස්‌සේ භුක්‌ති විඳින ලද සරල ඡන්ද ක්‍රමය විකෘති හා සංකීර්ණ අවුල් ජාලයක්‌ බවට පත් කිරීමේ වරද තවමත් අපට නිවැරැදි කරගත නොහැකි වී තිබේ. ඇත්ත වශයෙන්ම මේ රටට හැම විපතක්‌ම කර තිබෙන්නේ ද ජාතික චින්තනයක්‌ නොමැති දේශපාලන සන්නාසියන් විසින් බව ඉතා පැහැදිලිය. අපට එයින් රට මුදවාගත හැකිද?

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නම් මේ විවාදාත්මක ජනාධිපති ධුරයෙන් විස්‌කම් ක්‍රියාවක්‌ කළේය. ඒ තිස්‌ වසරක ත්‍රස්‌තවාදය පරාජය කිරීම පමණක්‌ නොව එහි දේශීය හිසද සිඳලීමය. 1978 ව්‍යවස්‌ථාවෙන් මේ රට පොදුවේ අත්පත් කරගත් ජයග්‍රහණයක්‌ වී නම් එය පමණක්‌ බව අපගේද අදහසය.

දැන් මෙම ක්‍රමය වෙනස්‌ කර රටට හා රටේ අභිලාෂයන්ටද ජාතික සමගියටද ඉවහල් වන ව්‍යවස්‌ථාවක්‌ සාදාගත යුතුය යන ඉල්ලීම හැම පැත්තකින්ම ඉදිරිපත් වී තිබේ. ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඒ පිළිබඳව ක්‍රියාකළ බවක්‌ද කියති.

කෙසේ හෝ වේවා මෙම ගර්හිත දේශපාලන (අ)Êසංස්‌කෘතිය නම් වෙනස්‌ විය යුතුමය. එහෙත් ඒ වෙනස සිදුවන තෙක්‌ පවතින නීතියට ගරු කිරීම කාගේත් වගකීමය. අද ප්‍රශ්නය වී තිබෙන්නේ කිසිවෙක්‌ ඒ සඳහා අවශ්‍ය සහාය නොදීමය.

මැතිවරණ කොමසාරිස්‌වරයාත් ඔහුට සහාය දෙන පොලිස්‌පතිවරයාත් මේ වාතාවරණය යටතේ ඉතා අසරණව සිටිති. දේශපාලන පක්‌ෂවල කිසිවෙක්‌ මැතිවරණ නීතියට ගරු නොකරන්නෝ බවට තාප්පයක්‌ තාප්පයක්‌ ගානේ ඇලවී තිබෙන පෝස්‌ටර්වලින්ද මඟ දෙපස තිබෙන කටවුට්‌වලින්ද පෙනේ.

මාර්තු 03 වනදායින් පසුව පෝස්‌ටර් හෝ කටවුට්‌ ඉවත් කළ යුතු බවට ඉතා පැහැදිලි නියෝගයක්‌ද විය. එහෙත් ඉන්පසු අපේක්‌ෂකයන්ට ලබාදුන් මනාප අංක සහිත පෝස්‌ටර් යායක්‌ම අපට දැකගත හැකිවිය. මේ පෝස්‌ටර් අතර පක්‌ෂවල ලේකම්වරුන්ගේ මනාප අංක ඇතුළත් පෝස්‌ටර්ද විය. එහි තේරුම පක්‌ෂ ලේකම්වරුන්ද මේ මනාප පොරයට වැටී නීතිය කඩන බවය.

ලංගම හා පෞද්ගලික බස්‌වලද අපේක්‌ෂකයන්ගේ පෝස්‌ටර් තවමත් ඉවත් කර නැත. ඒවායේ අපේක්‌ෂකයන්ගේ සිනාමුසු මුහුණු මෙන්ම මනාප අංකද ප්‍රදර්ශනය වේ. එහෙත් මේවාට එරෙහිව පොලිසියට හෝ මැතිවරණ කොමසාරිස්‌වයාට හෝ කළ හැකි දේ කුමක්‌ද?

යුක්‌තිය හා සාධාරණය ස්‌ථාපිත කිරීම පොලිසියට භාරදීමෙන් පමණක්‌ කළ නොහැකි බව අපි දනිමු. පොලිසියට මෙන්ම මැතිවරණ කොමසාරිස්‌වරයාටද අවනත නොවන මෙම මනාප සටන ත්‍රාසජනක ගැටුමක්‌a දක්‌වා ව්‍යාප්ත වන්නේද එනිසාය.

මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින 7000 කට වඩා අපේක්‌ෂකයන් ගෙන් ජයග්‍රහණය ලබන්නේ 196 ක්‌ පමණි. ඇතැම් තැන්වල ස්‌වාධීන අපේක්‍ෂකයන් නිසා ඡන්ද පත්‍රිකාව අඩිවලින් යාරවලටද ගොස්‌ තිබේ. ඊට අමතරව ඇතැම් අපේක්‍ෂකයකු විසින් කෝටි ගණනක මුදලක්‌ද මේ මැතිවරණයේදී වැය කරන බවද කියති. ඒ මුදල් කඳු ගැන පසු විපරමක්‌ කෙරෙන ක්‍රමයක්‌ද නැත.

ප්‍රජාතන්ත්‍රවාදය යනු කෝකටත් තෛලයක්‌ බවට අද පත්ව තිබේ. ඒ නමින් සිදු වන්නේ මොන විගඩම්ද? මේ මැතිවරණ සටනම එයට නිදසුන්ය. මේ අපේක්‍ෂකයන් අතර අර්ථවත් සමාජ දේශපාලන හෝ ආර්ථික විග්‍රහයක්‌ සුළුවෙන් හෝ කළ හැකි අය කී දෙනෙක්‌ සිටිත්ද?

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නම් මනාප ගැන හොඳ පිළිතුරක්‌ දී තිබේ. මනාප සංඛ්‍යාව සිය දේශපාලන තීන්දුවලදී සාධකයක්‌ නොවන බවයි ඒ. එය ඉතා බුද්ධිමත් ප්‍රතිචාරයකි. එහෙත් මනාප සටන ඒ කිසිවකින් අඩුවන බවක්‌ද නොපෙනේ.

කෙසේ හෝ වේවා මේ ව්‍යවස්‌ථාවෙන් රෝගී කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සුවපත් කර ගැනීම අද අවශ්‍යතාව වී තිබේ. මනාප මී පොරයට වැටුණු අයට වුවද මතක හිටින පාඩමක්‌ ඉගැන්වීමට ජනතාවට හැකිය. ඔබේ කතිරය රටේත්, ජනතාවගේත් යහපත උදෙසා බුද්ධිමත්ව පාවිච්චි නොකළොත් ප්‍රජාතන්ත්‍රවාදය මියයනු ඇත.

 
Powered By -