මීළඟ පාර්ලිමේන්තුව කුමක්‌ සඳහා විය යුතුද-1
මහාචාර්ය නලින් ද සිල්වා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අනුව විසුරුවා හැර ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංගගේ පාර්ලිමේන්තුව ය. ඒ පාර්ලිමේන්තුව 2004 දී පත්කරගනු ලැබූයේ පරිවාස ආණ්‌ඩු සංකල්පය ඉදිරියට ගෙන යැමට වුවත් ජ.වි.පෙ. එවකට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිට ආසන හතළිහක්‌ ලබාගත්තත් නොබෝ කලකින් සියල්ල අවුල් වන තැනට කටයුතු යෙදුණේ ආණ්‌ඩුවට නායකත්වය දුන් චන්ද්‍රිකා හා මංගල අනුර කුමාර වැන්නන් නිසා ය. සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය මංගල සමරවීර වැන්නෝ ජ.වි.පෙ. සමග පරිවාස කාලයෙහි සිට ම සම්බන්ධකම් පැවැත්වූහ. ජ.වි.පෙරමුණෙහි ඇමරිකන් බලපෑම් මේ සම්බන්ධකම් ඔස්‌සේ ඇතිවිණි යෑයි සිතිය හැකි ය. අනුර කුමාර දිසානායක මෙම ඇමරිකන් ධාරාවේ නායකත්වයට පත්විය. චන්ද්‍රිකා - මංගල - අනුර කුමාර ඔස්‌සේ බටහිර අනුග්‍රහයෙන් ඊළමක්‌ ලබාදෙන තැනට අප එකල සේන්දු වී සිටි බව එදා නොදැනුනත් ආපසු හැරී බලන විට අද පැහැදිලි වෙයි. ඊනියා වාමාංශිකයන් දකුණට ගමන් කළ පළමු අවස්‌ථාව එය නොවේ. ජනාධිපති ප්‍රේමදාසට සේවය කළ මාක්‌ස්‌වාදියෝ ද වූහ. එපමණක්‌ නොව අදත් බටහිරයන්ගේ ඕනෑ එපාකම් අනුව දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින කසිකබල් මාක්‌ස්‌වාදීහු වෙති. අනූව දශකයේ ජ.වි.පෙ. වික්‍රමබාහු කරුණාරත්න සමග එකතු වී දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි බව නැවතත් මතක්‌ කරගත යුත්තේ ඉදිරි කාලයේදීත් ජ.වි.පෙ. එවැනි ස්‌ථාවරයකට යා හැකි බැවිනි. 2004 පාර්ලිමේන්තුවේ ශ්‍රී ල.නි.ප. චන්ද්‍රිකාගේ නායකත්වයෙන් කටයුතු කළ බොහෝ දෙනා සිංහලයන්ගේ ඕනෑ එපාකම්වලට පිටින් යැමට සැදී පැහැදී සිටියහ.

2005 පැවති ජනාධිපතිවරණයෙන් ඒ සියල්ල වෙනස්‌ වූයේ අප බොහෝ දෙනකු බලාපොරොත්තු නොවූ ආකාරයට ය. මහින්ද රාජපක්‍ෂ මහතා අනූනමයෙන් ජනාධිපති පදවියට පත්විය. රනිල් ජනාධිපති වී නම් 2004 පාර්ලිමේන්තුව ඔස්‌සේ ම ඊළාමය දීමට සියල්ල සූදානම් කිරීමට නියමිත ව තිබිණි. මහින්ද රජපක්‍ෂ මහතා සිංහල ජාතිකත්ව මතය නියෝජනය කෙළේය. ඒ මහතා ගත් හොඳම තීරණයක්‌ වූයේ මංගල සමරවීර අගමැති නොකිරීමට ගත් තීරණය ය. මංගල අගමැති වී නම් ඔහු අනුර කුමාරලා සමග එක්‌ වී ඊළමක්‌ ලබාදීමට කටයුතු කරනු නො අනුමානය. එහෙත් ඒ වැළකී ගියේ ය. මංගල ආණ්‌ඩුව අත්හැර ගියේය. ජ.වි.පෙ. ද ආණ්‌ඩුවෙන් ඉවත් විය. අනුර කුමාර ඒ වන විට ජ.වි.පෙ. ගමන් මග බටහිරට අවශ්‍ය කරන අන්දමට වෙනස්‌ කරමින් සිටියේ ය. ආණ්‌ඩුව කඩා වැටෙන තත්ත්වයකට පත්ව සිටි නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපායශීලීත්වය හේතුවෙන් ඒ එසේ නොවීය. ආණ්‌ඩුව පාර්ලිමේන්තුවේ ශක්‌තිමත් වූවා පමණක්‌ නොව මාවිල්ආරු සිද්ධියෙන් පසු කොටින්ට විරුද්ධ මානුෂික මෙහෙයුම් ඉදිරියට ගියේය. එහෙත් මේ අතර ආණ්‌ඩුව වැට්‌ටවීමේ බටහිර ක්‍රියා පිළිවෙත නොනවත්වා ක්‍රියාත්මක විය. අයවැය විවාදයක දී ආණ්‌ඩුව පැරදවීමට ජ.වි.පෙ. සූදානම් විය. මංගල සමරවීර ද එහි යම් භූමිකාවක්‌ රඟපෑවේ ය. අනුර බණ්‌ඩාරනායක මහතා ආණ්‌ඩුවෙන් ඉවතට ගෙන ඔහු අතරමං කෙරුණේ ඒ අයවැය විවාදයේ දීය. ඔහු පසුව ආණ්‌ඩුව පමණක්‌ නොව ජීවිතය ද අත්හැර ගියේය. ජ.වි.පෙ. නොදැන සිටිය ද ඒ වන විට මෙරට ජාතික බලවේග ශක්‌තිමත් ව සිටියේ ය. ජ.වි.පෙ. අයවැය විවාදයේ දී ආණ්‌ඩුවට එරෙහිව ඡන්දය දීමට සූදානම් වීම ගැන ජාතික බලවේග විරුද්ධ විය. එහි ප්‍රතිඵලය වූයේ ජ.වි.පෙ. දෙකඩ වීම හා ජ.වි.පෙ.ට අයවැයට විරුද්ධව ඡන්දය දීමට නොහැකි වීමය. එසේ වුවත් දේශපාලනයේ පැහැදිලි පිල් බෙදීමක්‌ ඒ වන විට සිදුවෙමින් පැවතිණි. මංගල - අනුර කුමාර අක්‍ෂයක්‌ දේශපාලන පිටියේ කරළියට පැමිණෙමින් තිබිණි. මේ අවධියේ නඩු තීන්දුවල පැහැදිලි වෙනසක්‌ සිදුවිණි. බටහිර භෞතික විද්‍යාවේ ද නිගමන ඊනියා වාස්‌තවිකත්වයකට අනුව සිදු නොවන කළ බටහිර අධිකරණ තීන්දු ගැන කියනුම කවරේ ද? බටහිර භෞතික විද්‍යාවේ ද නිගමන ඊනියා වාස්‌තවිකත්වයකට අනුව සිදු නොවන කළ බටහිර අධිකරණ තීන්දු ගැන කියනුම කවරේ ද?

මේ සම්බන්ධයෙන් මට ද පෞද්ගලික අත්දැකීම් වෙයි. කොළඹ විශ්වවිද්‍යාලය විසින් කරන ලද ඊනියා පරීක්‍ෂණයක්‌ මගින් මා රැකියාවෙන් පහකෙරිණි. මට විරුද්ධව සාක්‍ෂි මෙහෙය වූ මහාචාර්යවරයා හා පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු වූ මහාචාර්යවරයකු අද මියගොස්‌ය. පැමිණිල්ලේ තවත් ප්‍රධාන සාක්‍ෂිකාර මහාචාර්යවරයෙක්‌ අද ඉහළ උපදේශකවරයෙකි. මා වෙනුවෙන් සටන් කිරීමට ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති කටයුතු නො කෙළේය. ඒ මා ඒ වෘත්තීය සමිති දෙකක සභාපතිව සිටියදීත් ය. කොළඹ ශිෂ්‍ය සංවිධානවල බලය ජාතික චින්තන කණ්‌ඩායම ලෙස හඳුන්වනු ලැබූවන් සතු වුවත් එහි නායකයෝ ද ජ.වි.පෙ. හා ඊනියා ස්‌වාධීන කණ්‌ඩායමේ ශිෂ්‍ය නායකයෝ ද මා වෙනුවෙන් සටන් නො කළහ. (මට රැකියාව අහිමි වූයේ ශිෂ්‍ය ප්‍රශ්නයකට මැදිහත්වී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය) ඔවුන් කිහිප දෙනකු අද දේශපාලන පොර පිටියේ විවිධ පක්‍ෂවල දැකගත හැකි අතර ජාතික චින්තන කණ්‌ඩායම ලෙස හැඳින්වුවත් මෙහෙය වූ වෙනත් විශ්වවිද්‍යාලයක නායකයෙක්‌ (ඒ විශ්වවිද්‍යාලයේ එකල බලයේ සිටියේ ජ.වි.පෙ. බව සැඟවීමට ඔහු දැන් උත්සාහ කරයි) අද ආණ්‌ඩුවේ ප්‍රබලයෙකි. මා වෙනුවෙන් සිටියේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ කිහිප නමකුත්, ආචාර්ය අර්ජුන සොයිසා මහතා ඇතුළු ආචාර්යවරු කිහිප දෙනකු, ගාමිණී සුමනසේකර මහතා ඇතුළු ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකු, දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනකු, ගුණදාස අමරසේකර මහතා ඇතුළු විද්වතුන් කිහිප දෙනකු, ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු ශිෂ්‍යයන් හා ඒ වයසේ කිහිප දෙනකු, මගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන්, තමන්ට හිමිවීමට තිබූ ඇතැම් පහසුකම් නැතිවුවත් පිය සෙනෙහස අඩුකර නොගත් මගේ පුතුන් දෙදෙනා, (අද සරසවි සිසුවියක වුව ද එවකට හයක්‌ හතරක්‌ නෙතේරුණු දියණියට ඒ පිළිබඳ හැඟීමක්‌ නොතිබිණි. ඇයට රැකියාවක්‌ කරන පියකු පිළිබඳ සංකල්පය ඇතිවූයේ ඇය සාමාන්‍ය පෙළ පංතියට උසස්‌වීමෙන් පසුව යෘ) හා රැකියාව නැතිවීමෙන් පසුව අවුරුදු දහයකට වැඩි කාලයක්‌ නොඅඩු සෙනෙහසින්, මා නැති තැන තම ඇතැම් හිතවතුන් සමග හැඬූ කඳුළෙන් ඒ ගැන කතා කරමින් හරි හමන් ආදායමක්‌ නැති මා රැක බලාගත් මගේ භාර්යාව ය.

මගේ සභාපතිත්වය යටතේ කරන ලද සටනින් පසුව විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ට ඉතිහාසයේ ඉන් පෙර හෝ පසු හෝ නොලැබුණු ප්‍රමාණයේ වැටුප් වැඩිවීමක්‌ ලැබුණ ද මට ඒ අහිමි විය. එහෙත් මා පන්නා දැමීමට කටයුතු කළ ආචාර්ය මහාචාර්යවරුන්ද එහි ඵල භුක්‌ති විඳීම ගැන මට ඇත්තේ නිරාමිස සතුටකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා පන්නා දැමීමෙන් පසුව මම කම්කරු උසාවියේ නඩුවක්‌ පැවරීමි. එහි තීන්දුවෙන් මට රුපියල් ලක්‍ෂ හතහමාරක්‌ ගෙවන ලෙස විශ්වවිද්‍යාලයට නියමකෙරිණි. විශ්වවිද්‍යාලය ඒ තීන්දුවට විරුද්ධව මහාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කෙළේ ය. මහාධිකරණය මා වරදකරු කර මට සතයක්‌වත් ගෙවීම ප්‍රතික්‍ෂ්ප කෙළේ ය. මම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කෙළෙමි. සරත් සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක්‌ මට රුපියල් ලක්‍ෂ පහක්‌ ගෙවන ලෙස විශ්වවිද්‍යාලයට නියෝග කෙළේ ය. ඒ මුදල මට පසුගියදා ලැබිණි. අධිකරණයෙන් අධිකරණයට මේ තීරණ වෙන්ස්‌වීමෙන් ම පෙන්නුම් කෙරෙන්නේ එහි ඊනියා වාස්‌තවික බවක්‌ නැති කම ය. ඒ අතර අවුරුදු දහයක වැටුප් හා අර්ථ සාධක අරමුදල් අහිමිවීම නිසා මට නැති වූ ලක්‍ෂ පනහකට වැඩි මුදල වෙනුවට ලක්‍ෂ පහක්‌ පමණක්‌ ගෙවීම ද මට තේරුම් ගත නො හැකිය. ඒ කෙසේ වෙතත් නඩුවේ බරපතල චෝදනාවලින් නිදහස්‌ වීම පිළිබඳ මම සතුටු වෙමි. එහි දී කිවයුතු කරුණක්‌ වනුයේ කම්කරු උසාවියේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්‌වා නඩුවල දී එස්‌. එල්. ගුණසේකර, තිස්‌ස යාපා හා කණිෂ්ක විතාරණ යන නීතිඥ මහත්වරු නොමිලයේ පෙනී සිටි බව ය.

2003 සිට මම කැලණිය විශ්වවිද්‍යාලයේ රැකියාව කරමි. එහෙත් එය ද මට බන්දේසියක තබා පිරිනමන ලද්දක්‌ නොවේ. 1993 සිට යාපනය හා මඩකලපු විශ්වවිද්‍යාල හැරුණු විට එවකට තිබූ සෑම විශ්වවිද්‍යාලයක ම විවිධ ගණිත අධ්‍යයනංශවල විවිධ ශාස්‌ත්‍රාලීය තනතුරු සඳහා මම ඉල්ලුම් කෙළෙමි. එහෙත් ඒ සෑම විශ්වවිද්‍යාලයක්‌ ම මා විශ්වවිද්‍යාල භූමියක පස්‌පෑගීමට නුසුදුසු අයකු ලෙස සලකා මා කිසිම තනතුරකට පත්නොකිරීමට වග බලාගත්තේ ය. ඒ තීරණවලට විරුද්ධව මම විශ්වවිද්‍යාලයීය අභියාචනා මණ්‌ඩලය හමුවට ගියෙමි. ඒ මණ්‌ඩලය හමුවේ අවුරුදු අටක්‌ පමණ නඩු කීමේ ප්‍රතිඵලයක්‌ ලෙස කැලණිය විශ්වවිද්‍යාලයෙන් මට පත්වීමක්‌ ලැබිණි. එහෙත් ඒ ලබාගැනීම සඳහා ද අවසානයේ දී පාර්ලිමේන්තුවේ උසස්‌ අධ්‍යාපන සම්බන්ධ කමිටුවට පැමිණිලි කිරීමට සිදු වූ බවත් එහි දී දිනේෂ් ගුණවර්ධන මහතා, මහින්ද රාජපක්‍ෂ මහතා, කබීර් හෂීම් මහතා ඇතුලු විවිධ දේශපාලන පක්‍ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය මට ලැබුණු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් ද එහි දී කාර්යභාරයක්‌ ඉටුකළ බවත් සඳහන් කළ යුතුය. ඉහත සඳහන් මන්ත්‍රීවරුන් නොවන්නට එවකට තිබූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මා පත්නොකිරීමට තීරණයක්‌ ගැනීමට ද ඉඩ තිබිණි. නඩු කීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද මට පත්වීමක්‌ ලැබිණි. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ නඩු තීන්දුවල ඇති ආත්මීය භාවය ය. කලින් කියන ලද දේශපාලන අක්‍ෂයට සරත් ෆොන්සේකා එකතු වී ඇත්තේ ඔහු හමුදාපතිව සිටි කාලයෙහි දීම බව විශ්වාස කිරීමට කරුණු ඇත. සරත් ෆොන්සේකා සම්බන්ධ සිද්ධිදාමය ආරම්භවන්නට ඇත්තේ ඔහු හමුදාපතිව සිටිය දීම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දී කරන ලද කතාවකින් පසුව යෑයි සිතිය හැකිය. එයට කලින් ඉහත සඳහන් දේශපාලන අක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිටියේ සරත් සිල්වා ය.

(මතු සම්බන්ධයි)

 
Powered By -