ජනාධිපතිගේ  2/3 ඉලක්‌කය !

මෙම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ ජනාධිපතිවරණය තරම්වත් උණුසුම් බවක්‌ තවමත් නොපෙනේ. මෙවරද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අයත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නිසැක වශයෙන්ම ජයගන්නා බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ජනාධිපති රාජපක්‍ෂ සිය දේශපාලන අත්දැකීම් ඉතා මැනවින් භාවිත කරන ශූර නායකයකු බව මේ වන විට තහවුරු වී තිබේ.

ඉකුත් ජනාධිපතිවරණයේදී බොහෝ දෙනෙකුගේ තක්‌සේරුව වූයේ සරත් ෆොන්සේකා ප්‍රබල ප්‍රතිවාදියෙක්‌ විය හැකි බවය. එ. ජා. ප. යේ හා ජ. වි. පෙ. ආධාරයත් යුද ජයග්‍රහණයේ පංගුකාරයකු ලෙස ජනතාව තුළ තිබූ ගෞරවයත් නිසා සරත් ෆොන්සේකා ප්‍රබල පෞරුෂයක්‌ ගොඩනඟා ගෙන සිටියේය. එහෙත් අවසාන ප්‍රතිඵලය ඔහුට ද අදහා ගත නොහැකි එකක්‌ විය. එසේ වුවද සරත් ෆොන්සේකා සීග්‍රයෙන් රටේ විපක්‍ෂ දේශපාලන කඳවුරේ ප්‍රබල ප්‍රතිවාදියා ලෙස කැපී පෙනුණි. ඇත්ත වශයෙන්ම ඔහු සිටියේ එ. ජා. ප. නායක රනිල්ට හෝ ජ.වි.පෙ. නායක සෝමවංශට හෝ ඉදිරියෙනි. වඩාත්ම ප්‍රබල දේශපාලන චරිතය ඔහු බවට පත් වෙමින් තිබිණි.

ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයට වාර්තා සපයන බී. බී. සී. ආයතනය පවා සරත් ෆොන්සේකා විපක්‍ෂයේ දේශපාලන චරිතය ලෙස පිළිගෙන තිබිණි. රනිල් වික්‍රමසිංහ එ.ජා.පයේ නායකයා මෙන්ම විපක්‍ෂයේ නායකයා වුවද බටහිරට වැදගත් චරිතය සරත් ෆොන්සේකා විය. ජනාධිපතිවරණයේදී රනිල්ට වඩා ලක්‍ෂ 6 ක්‌ පමණ අඩුවෙන් ඡන්ද ලබාගත් ෆොන්සේකාට බී. බී. සී. ආයතනය ඉහළ තත්ත්වයක්‌ පිරිනැමීමට සූදානාම් බව පෙනුණි. එසේ වූයේ ඇයිද යන්න පිළිබඳ කවුරුත් විමසා නොබැලුවත් මගේ හැඟීම වන්නේ බටහිරට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට එරෙහි බටහිරයන්ට වඩාත් අවශ්‍ය චරිතය වී ඇත්තේ ෆොන්සේකා බවය.

මතුයම් දිනක බටහිරට වුවමනා දේශපාලන සාක්‍ෂියක්‌ ලෙස රනිල්ට වඩා ෆොන්සේකා වැදගත් වන බව තවමත් බටහිර විශ්වාසයයි. අත්අඩංගුවට පත්වූ ෆොන්සේකා පිළිබඳ ඔවුන් තුළ කනස්‌සල්ලක්‌ද තිබේ. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඒ සඳහා සෘජුවම ඉදිරිපත් නොවුවද එහි ප්‍රබල දේශපාලන හා රාජ්‍ය නිලධාරීහු ෆොන්සේකා ගැන අවධාරණයෙන් සිටිති. රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම අත පුච්චා ගැනීමක්‌ බව මේ රටවල් හොඳින් දනී. ඒ නිසා ඔවුහු මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම් වැනි ආවරණ සමග ආරක්‍ෂා සහිත මැදිහත්වීමක්‌ පිළිබඳව උනන්දු වෙති. බටහිර රටවල්, තමන්ට අවනත නොවන මහින්ද රාජපක්‍ෂ වැනි නායකයන් කෙරෙහි එතරම් ප්‍රසාදයක්‌ නොදක්‌වන බවද ඉතා පැහැදිලිය. එහෙත් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා තෝරා ගත් සරත් ෆොන්සේකා ගැන ඔවුහු තවමත් බලාපොරොත්තුවෙන් සිටිති. එහෙත් සරත් ෆොන්සේකා සරදම් සහිත දෛවයකට මුහුණ දී සිටියි. සැබැවින්ම ඔහු ඔහුගේම ප්‍රතිරූපයට හානිදායක බොහෝ දේවල් සිදු කළ බව සමහරු කියති.

ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නිදහස්‌ හා සමාජ වෙනසක්‌ කිරීමට පුලපුලා සිටින අයෙක්‌ ලෙසය. දේශපාලනයට නවකයෙක්‌ වුවද ඔහු රටට නිදහස ලබා දුන් සටනේ වීර චරිතයක්‌ බවට පිළිගැනීමක්‌ තිබිණි. එහෙත් ඔහු රටට පෙන්වූ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර කෙබඳු ව්‍යාජයක්‌ද? ඔහුට විරුද්ධව ඉදිරිපත් වී තිබෙන කුමන්ත්‍රණ චෝදනා මෙන්ම ඔහුගේ හැසිරීම්ද සුළුවෙන් තැකිය නොහැකිය. සිනමන් ලේක්‌ හෝටලය මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කර ගැනීම තුළින් ඔහු අපේක්‍ෂා කළේ කුමක්‌ද? එය ඔහුගේ චරිතය තුළ සැඟවී සිටි ඒකාධිපති වියරුවක්‌ නොවිය හැකිද?

රටට යහ පාලනයක්‌ රැගෙන එන්නට ප්‍රතිඥා දුන් ෆොන්aaසේකාගේ බෑණා සහ සමීපතම නෑයන්ගේ නීති විරෝධී මුදල් සේප්පු අතිශය ආන්දෝලනාත්මක පුවත් විය. ෆොන්සේකාගේ ප්‍රබල ආධාරකරුවන් පවා අසීරුවට පත් කළ එම මුදල් සේප්පු මේ රටේ විනිමය නීතියට පවා පටහැනි බවට දැනටමත් චෝදනා නැඟී තිබේ. වැදගත්ම කරුණ වන්නේ ඒවා පිළිබඳ ඔහු නොදැන සිටියේද යන්නයි. එසේ නම් එම මුදල් ඔහුගේ මැතිවරණයට ලැබුණු ඒවා ලෙස කිව හැකිද? ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ ගණනක්‌ ඔහු වෙනුවෙන් පරිත්‍යාග කළේ නම් ඒ කවුද? කුමක්‌ සඳහාද? මේ ප්‍රශ්න තවමත් විසඳී නැත. කුමක්‌ වුවත් ෆොන්සේකාගේ සුජාතභාවය පිළිබඳ අද කා තුළත් ප්‍රශ්නයක්‌ නොව ප්‍රශ්න වැලක්‌ම තිබෙන බව නම් පැහැදිලිය.

කෙසේ හෝ සරත් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට රැගෙන රඳවා තැබීමත් සමග බටහිරයන්ගේ අපේක්‍ෂාවන් යම් ප්‍රමාණයකට දෙදරා ගිය බවද කල්පනා කළ හැකිය. දවසින් දවස ෆොන්aසේකාගේ අවාසියට තුඩු දෙන හේතු කාරණා මතු වීමද රජයේ වාසියට හේතු විය. එසේම ෆොන්සේකාට මුහුණ දෙන්නට සිදු වූ ඉරණම එජාප නායක රනිල්ගේ වාසියට හේතු වූ බවද හැඟේ. රනිල්, සිය ආශිර්වාදය ලැබ තරග වැදුණු නායකයා අත්අඩංගුවට පත්වීම ගැන විරෝධය පළ කළත් එය ඉතා ඇල්මැරුණු එකක්‌ බව පෙනුණි.

මේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හංසයා වෙනුවට අලියා තෝරා ගත් රනිල්ට ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රබල හේතුවක්‌ද නොවීය. මොන අතින් බැලුවත් ෆොන්සේකා තරග වැද සිටින්නේ රජයට මෙන්ම තමන්ටද එරෙහිව බව ඔහු දනී. ෆොන්සේකා අත්අඩංගුවේ සිට වුවද රනිල්ට දුන් පණිවුඩය වූයේ අලියා වෙනුවට හංසයාගෙන්ම තරග කළ යුතු බවය. එහෙත් රනිල් එයින් සිය ස්‌ථාවරය වෙනස්‌ කළේ ද නැත.

අන්තිමට සිදුවූයේ අනෝමා ෆොන්සේකා පෙරට දමා ගෙන ජ. වි. පෙ. වෙනම පාර්ලිමේන්තු= සටනට යොමුවීමය. ෆොන්සේකා අමතක කර දැමීමට රනිල්ට මෙන්ම මංගල, හකීම් ඇතුළු අන් අයටද සිදු වූහ. මංගල මෙන්ම විජයදාස රාජපක්‍ෂ ද ෆොන්සේකා අත්හැර දමා රනිල්ගේ නායකත්වයෙන් තරග වැදීම කැපී පෙනුණි. අර්ජුන රණතුංග පමණක්‌ ඔහුට ඉතිරි විය. අර්ජුනත් ෆෙන්සේකාගේ නායකත්වය පිළිගෙන කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට ඉදිරිපත් විය. ඔහු කළුතර නායකයාද වේ. එහෙත් ඔහුට කළුතර ඡන්ද පදනමක්‌ නැත.

අර්ජුන රණතුංග අඩු වශයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට හෝ තරග වැදුණා නම් එය සාධාරණය. එහෙත් එහිදී ඔහුට රජය වෙනුවෙන් කැපවී සිටින ඔහුගේම සහෝදරයන්ට එරෙහිව ක්‍රියා කිරීමට සිදුවන බව ඔහු දනී. කොළඹත්, ගම්පහත් දෙකම අතහැර ඔහු කළුතරට ගියේ එහෙයිනි. මෙම මැතිවරණයේ කවුරුත් උනන්දුවෙන් බලාසිටින්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කය දෙයස. කොළඹ එ. ජා. ප. බලකොටුවක්‌ වුවත් එහි සමස්‌ත බලය හිමිවන්නේ රජයටය. එහෙත් කොළඹ සටනේ ප්‍රබල ප්‍රතිවාදියා වන්නේ සරත් ෆොන්සේකා බව සමහරුන්ගේ මතය වී තිබේ. සරත් ෆොන්සේකාට කොළඹ තිබෙන ඡන්ද පදනමක්‌ වේ නම් ඒ එජාපය විසින් සාදා දෙන ලද ඡන්ද පදනමකි.

එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ කොළඹින් තරග වදිද්දී එජාප පාක්‌ෂිකයන් විසින් සරත් ෆොන්සේකාට ඡන්දය දෙනු ඇතැයි සිතිය නොහැකිය. රනිල් වික්‍රමසිංහ ඉහළම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවීම කොළඹ එජාප අනුගාමිකයන්ගේ අදහසය. කොළඹදී එජාපයට බියවීමට හේතුවක්‌ නැතත් සරත් ෆොන්සේකා ලබාගත යුත්තේද එජාප හා වෙනත් පාවෙන ඡන්ද බවද නිසැකය. සරත් ෆොන්සේකා ලබා ගන්නා හැම ඡන්දයක්‌ම එජාපයට අවාසි වනු වැලැක්‌විය නොහැක.

සරත් ෆොන්සේකා යනු දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටි එජාපයට කටහඬක්‌ හා ප්‍රාණයක්‌ ලබා දුන් වීරයාද වේ. ඒ වීරයාට කළගුණ සැලකීම තමන්ගේ වගකීමක්‌ ලෙස සිතන එජාපයේ අයද සිටිති. එසේ වුවහොත් කුමක්‌ සිදුවේද? එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට රනිල් හෝ සරත් ෆොන්සේකා ප්‍රශ්නයක්‌ නොවේ. එහෙත් සන්ධානයේ පාක්‌ෂිකයන්ටද මෙවර මානසික ගැටුමකට මැදිවන්නට සිදුවී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රබල අනුගාමිකයකු මෙන්ම කටහඬ බවටද පත්ව සිටින විමල් වීරවංශ මෙන්ම පාඨලී චම්පික රණවක ද කොළඹ නියෝජනය කරති. මේ දෙදෙනාට අමතරව ඉතා ප්‍රබල ප්‍රචාරක ජාලයක්‌ දියත් කරන තිලංග හා දුමින්දත් කොළඹ සටනේ පෙරමුණේම සිටින්නේය. මේ සිව් දෙනාටම මනාප හිමිවීම යනු තවත් කීප දෙනෙකුම අවදානම් කලාපයට තල්ලු වීමකි.

දැනටමත් සමහර ඇමැතිවරුන්ගේ නම් ඒ සඳහා කියෑවේ. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ආසන 19 න් 11 ක්‌ රජයට හිමි වුවහොත් එජාපයට ඉතිරි වන්නේ ආසන 8 කි. එවිට කුසලානයෙන් තරග වදින ෆොන්සේකාට හා ජ. වි. පෙට සිදු වන්නේ කුමක්‌ද? ෆොන්සේකාගේ පිහිටෙන් ආසනයක්‌ හෝ දිනාගැනීම ජ. වි. පෙ අරමුණ විය යුතුය. එවිට එ. ජා. පය සිය බලකොටුව තුළ මුහුණ දෙන තත්ත්වය කුමක්‌ද?

එජාපයේ අලියාට කතිරය ගසන කිසිවෙකුට ෆොන්සේකාගේ කුසලානයට කතිර ගැසීමට බැරිය. එහි තේරුම මෙහිදී එකට සිටි අයට දෙකට බෙදීමට සිදුවන බවය. මෙම බෙදීම කෙබඳු එකක්‌දැයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ විට බලාගත හැකිය. එහෙත් ඉතා පැහැදිලිව කිව හැක්‌කේ එයින් රජයට සුළු හෝ බලපෑමක්‌ නොවන බවය. මෙහිදී තවත් උභතෝකෝටිකයක්‌ තිබේ. මෙම ඡන්ද සටනේදී අලියා හා කුසලාන අතර ගැටුම ප්‍රබල එකක්‌ ලෙස නොපෙන්වීමට සිදුවීමය. රනිල්ට ෆොන්සේකා හෝ ෆොන්සේකා පිලට රනිල් හෝ විවේචනය කිරීමද කළ නොහැක. මෙයද දෙපක්‍ෂයටම අසහනකාරී දෙයකි. ඡන්ද සටනේදී ඔවුන් දෙගොල්ලන්ටම ප්‍රවේශමින් හා කල්පනාවෙන් විවේචන කිරීමට සිදුවේ.

රනිල් මෙන්ම ඔහුගේ එක්‌සත් ජාතික පෙරමුණේ දේශපාලන වේදිකාවල දැන් ප්‍රධාන විවේචනය වී ඇත්තේ රජය ඉල්ලා සිටින 2/3 බලයත් ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ රජයේ සේවකයන්ගේ වැඩිකළ දීමනාත් පිළිබඳවය. 2/3 ක්‌ දෙන්න එපා කීමෙන් ඔවුහු රජය මේ මැතිවරණය ජයගන්නා බව පිළිගනිති. ඒ සමගම ඔවුන් කියා සිටින්නේ රට හදන ටීම් එක සිටින්නේ එක්‌සත් ජාතික පෙරමුණ සමග බවය.

රනිල් සිය මැතිවරණ වේදිකාවලදී සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂිකාවක්‌ වන ගීතා කුමාරසිංහට ප්‍රහාර එල්ල කරයි. එසේම සනත් ජයසූරිය හා සුසන්තිකා වැනි සුපිරි ක්‍රීඩා තරු ගැනද විවේචන කරයි. රනිල්ගේ විවේචනයේ හරය වන්නේ බඩුමිල අඩුකර ආර්ථිකය නැංවීමට සන්ධානයට නොහැකි බවය.

මැතිවරණ වේදිකාවල රජයේ කථිකයන් මොන දේවල් ප්‍රකාශ කළත් මේ වනවිට රජයටද ආර්ථික ගැටලු පැන නැඟී තිබේ. ඉන් වඩාත්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවට අනුමත වූ ඩොලර් බිලියන 2.6 ක ණය වාරිකය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගත් තීරණයයි. එයට හේතුවී ඇත්තේ 2010 වසර සඳහා අයවැය පරතරය සියයට 7 කට සීමා කිරීමට රජය විසින් දෙන ලද පොරොන්දුව ඉටු නොවීමය.

මැතිවරණ සමය තුළ ජනතාවට පීඩාවක්‌ වන කිසිවක්‌ සිදු නොකිරීමටද රජය වග බලා ගත යුතුවේ. ගෑස්‌මිල සංශෝධනය කිරීමට ගෑස්‌ සමාගම් විසින් කරන ලද ඉල්ලීමට රජයට එකඟ විය නොහැකි විය. රජය කළේ ඔවුන්ට බදු සහනයක්‌ ලබාදීමය. හෙට අනිද්දා වන විට රනිල් දිගින් දිගටම මෙම ආර්ථික අර්බුද ගැන අනාවරණය කරනු නිසැකය. එහිදී රජය දෙන පිළිතුර කුමක්‌ විය හැකිද?

ඒ කුමක්‌ වුවත් තවත් හය වසරකට සුපිරිසිදු ජනවරමක්‌ ලබා විජයග්‍රාහී ලෙස සිටින ජනාධිපතිවරණයාට ශක්‌තිමත් පාර්ලිමේන්තු කණ්‌ඩායමක්‌ද අවශ්‍යය. ඔහු මේ දක්‌වා කටයුතු කළේ චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තුව සමගය. එයට ඔහු විසින් දිනා ගන්නා ලද එජාපයේ මන්ත්‍රීවරු පිරිසක්‌ද අයත් වූහ. සිය මන්ත්‍රී කණ්‌ඩායම ඇමැති කණ්‌ඩායමක්‌ බවට පත් කර ගනිමින් බලය ගොඩ නඟා ගත් ඔහු ලද විශිෂ්ටම ජයග්‍රහණය මෙන්ම රටට ලබා දුන් ජයග්‍රහණය වන්නේද ප්‍රභාකරන් සමග එල්. ටී. ටී. ඊ. ය දේශීය වශයෙන් විනාශ කිරීමය.

ජනතාව ඒ වෙනුවෙන් ඔහුට විශිෂ්ට කෘතවේදිත්වයක්‌ පළ කර තිබිණි. එහෙත් ඔහුගේ ඇමැති මණ්‌ඩලය තුළ වුවද කාර්යක්‍ෂම හා ජනප්‍රිය ඇමැතිවරු කී දෙනෙක්‌ සිටියෝද යන්න ප්‍රශ්නයකි. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂෙත්‍ර මේ මොහොත වන විටත් අර්බුදයට යමින් තබේ. ඒ කුමක්‌ වුවත් ඔහු ඔහුගේම කණ්‌ඩායමට වුවද අලුත් මුහුණ එක්‌ කර ගත්තේ අඩුවෙනි. සිනමා හා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සුපිරි තරුවලින් ජනප්‍රිය දේශපාලනයක්‌ විනා නූතන අභියෝගාත්මක දේශපාලනයට පිළිතුරු සොයා ගත හැකි යෑයි කල්පනා කළ නොහැක.

දැනට වාර්තා වන අන්දමට ඔහුගේ කණ්‌ඩායම තුළ ශ්‍රී. ල. නි. ප. පැරැණි සාමාජිකයන් එක්‌තරා කලකිරීමට පත්ව සිටින්නේදැයි දන්නේ ද ජනාධිපතිවරයා පමණි. එ. ජා. ප. යෙන් පැමිණි ඇතැම් අපේක්‍ෂකයන්ට මනාප නොදෙන ලෙසට පක්‍ෂයේ පැරැණියන්ගෙන් ව්‍යාපාරයක්‌ ආරම්භ වී ඇතැයිsද අසන්නට ලැබිණි. ඒවායේ ඇත්ත නැත්ත කුමක්‌ වුවත් සන්ධානය තුළ වුවද හුදෙකලා මනාප සටන් ඇවිලී තිබෙන බවද පිළිගත හැකිය. එබඳු මනාප පොරයක්‌ නතර කිරීමට මෙම ගර්හිත මැතිවරණ ක්‍රමය යටතේ ඉඩක්‌ නැති බවද සත්‍යයකි.

මනාප ක්‍රමය ඉවත් කිරීමට සමස්‌ත ව්‍යවස්‌ථාවම වෙනස්‌ කළ යුතුය. මෙවර ජනාධිපතිවරයා ජනවරමක්‌ ඉල්ලා සිටින්නේද ඒ සඳහාය. මෙවර ඡන්දය තීරණාත්මක ඡන්දයක්‌ වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. එහෙත් ඡේ. ආර්.ගේ ව්‍යවස්‌ථා සූත්තරය අනුව ඒ 2/3 ලබා ගැනීම අසීරු බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම එ. ජා. ප. ය ජනතාවට කියන්නේ ව්‍යවස්‌ථා වෙනසක්‌ සඳහා අවශ්‍ය සහයෝගය දීමට තම පක්‍ෂයද කැමැත්තෙන් සිටින බවය. ජනතාවට වුවමනා ව්‍යවස්‌ථාවක්‌ නොව යහපත් ආර්ථික ජීවිතයක්‌ බව ඇත්තය.

යුද්ධය නිමවී ලබන මැයි 18 වන දිනට වසරක්‌ ද පිරේ. එහෙත් ඒ වසර තුළ ජනතාවට දැනෙන ආර්ථික සංවර්ධනයක්‌ ලබා දිය නොහැකි වුවද ඔවුන්ට සහනයක්‌ ලැබිය යුතුව තිබුණු බව විපක්‍ෂයේ විවේචනයයි. මැතිවරණ වේදිකාවලදී මොන තරම් පුරසාරම් කීවත් රජය ආර්ථික කළමනාකරණයකට යා යුතු බව ජනාධිපතිවරයා මෙන්ම රජයේ සිටින දේශපාලන අත්දැකීම් සහිත ඇමැතිවරුද දනිති. කැබිනට්‌ මණ්‌ඩලය අඩු කිරීම වැනි විප්ලවීය වෙනස්‌කම් මගින් ජනාධිපතිවරයා රටට දී තිබෙන සංඥාව ද යහපත් එකකි. ඡන්දපලට යන මහජනතාව තුළ වෙනසක්‌ පිළිබඳ බලාපොරොත්තු විශ්වාසනීය ලෙස ගොඩනැගීමට හැකි වන්නේ නම් මෙවර ජයග්‍රහණයද දුෂ්කර නොවන බව පෙනේ.

-මේඝ

 
Powered By -