අවුල් වුණත් රට-පවුල් වලට සැප
ඉගිලෙන විට පමණක්‌ පෙනෙන දේශපාලන කන කොක්‌ සුද!


ලිපේ ගින්දර නිවෙන්නට මත්තෙන් තවත් වෑංජනයක්‌ ලිප මත තබන්නා සේ එක්‌ මැතිවරණයක උණුසුම නිම වන්නට මත්තෙන් තවත් මැතිවරණයක්‌ ආරම්භ වීම දැන් අපට පුරුදු වී තිබේ. පසුගිය වසරේ මේ රට මුහුණ දුන් මැතිවරණ ප්‍රමාණය කොපමණද? ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, ජනාධිපතිවරණය, මහා මැතිවරණය ආදී වශයෙන් ගෙවුණු කාලය එයට නිදසුන්ය. කුමක්‌ වුවත් පාර්ලිමේන්තු මැතිවරණය නම් පැවැත්වෙන්නේ නියමිත කාල වකවානුව ඇතුළතම බවද කිව යුතුය. මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ හරය වුවත් ඒ බර රටට වැඩි බවද සමහරු කියති. දේශපාලඥයා යනු රටක්‌ පාලනය කරන තැනැත්තා ය. ඔහුට හෝ ඇයට රටක සංවර්ධනය ඇති කිරීම, විදේශ බලපෑම් වලින් රට බේරා ගැනීම, අභ්‍යන්තර ආරවුල් නිරාකරණය කිරීම ආදී පරිපාලනය එසේත් නැත්නම් පාලනය කළමනාකරණය කර ගැනීමේ වගකීම ජනතාව විසින් පවරනු ලබන්නකි. ඡන්ද විමසීමක්‌ සිදු කිරීමේ සැබෑ අරුත නම් එය යි. ජනතාව කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ වටිනා ඡන්දය ලබා දීමෙන් අපේක්‍ෂා කරන්නේ අදාළ පුද්ගලයා රටට, ජාතියට, ආගමට, ගමට, රට වැසියාට පිහිට වේවි හෝ දියුණුව වෙනුවෙන් පොදු මෙහෙවරකට කැප වේවි යන විශ්වාසය ඇතිව ය. ඔහු හෝ ඇය එම මෙහෙවර නිසි පරිදි ඉටු නොකළහොත් එසේත් නැතහොත් ජනතා අපේක්‍ෂා යම් තරමකට හෝ ඉටු කර නොදුන්නහොත් ඊළඟ මැතිවරණයේදී ජනතා මනාපය එකී අපේක්‍ෂකයන්ට නොලැබෙනු ඇත. පොදුවේ තමන් බලයට පත් වන ප්‍රදේශයට යම් කිසි සේවයක්‌, පොදු පහසුකම් නංවාලීමක්‌ බලයට පත්වන පුද්ගලයා විසින් සිදු කරන්නේ නම් නිරායාසයෙන් ම ඒ හරහා ජනතාවගේ ඕනෑ එපාකම් ද ඉටු වනු ඇත. එහෙත් මේ රටේ දේශපාලන අපේක්‍ෂකයන් සිදු කරන්නේ කුමක්‌ද? පොදුවේ ගමට රටට සේවය කිරීම පසෙක ලා පුද්ගලයන්ට සැලකිලි දැක්‌වීමක්‌ නොවේද? තමාට හිතවත් පිරිසක්‌ යම් යම් දේ ලබා දීමෙන් ළං කරගෙන ඒ අය මගින් තවත් පිරිසකටත්, එයින් තවත් පිරිසක්‌ වශයෙන් සම්බන්ධතා ජාලයක්‌ ගොඩනගා ගැනීමේ ක්‍රමයක්‌ අද දේශපාලඥයන් අතර පවතී.

එකී සම්බන්ධතා ජාලයේ මුල් පුරුක්‌ තනා ගැනීම තරමක්‌ දුෂ්කර වන බැවින් ඒ වෙනුවෙන් දේශපාලඥයෝ වැඩි වැඩියෙන් මුදල් හා ශ්‍රමය කැපකරති. තමාට වඩාත් සමීප දේශපාලන බල අධිකාරයක්‌ නිර්මාණය කර ගැනීමට අද අපේ දේශපාලනයද වෑයම් කරනු පෙනේ. එය අපට මෙන්ම ආසියානු කලාපයටම පොදු අත්දැකීමකි. දේශපාලන පවුල් අද විවාදාත්මක මාතෘකාවකි. දේශපාලනය කරන පවුල් සහ උරුමය තම පවුලේ හා නෑදෑයන් අතර පවත්වා ගෙන යැමේ හොඳ මෙන්ම නරකද තිබේ.

දේශපාලඥයන්ගේ ඥති සබඳතා මේ රටේ හැමදාමත් තිබිණි. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්‌. සේනානායක ඊළඟට තෝරා ගත්තේ තම පුත් ඩඩ්ලිය. ඩඩ්ලි සේනානායක ජනතාවගේ ආදරයට පාත්‍ර වූ බව සත්‍යයකි. ඊළඟට මේ රටේ ප්‍රබල දේශපාලන පවුල වූයේ බණ්‌ඩාරනායක පවුලය. එහි දේශපාලන වාර්තා ඉතිහාසයටද එක්‌ව තිබේ. ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිවරයා ඝාතනය කර දැමීමෙන් පසුව එතුමාගේ බිරිඳ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය දේශපාලනයට ආවාය. ඇය ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස වාර්තාවක්‌ තැබුවාය.

මේ බණ්‌ඩාරනායක අගමැති දෙපළගේ දියණිය චන්ද්‍රිකා මේ රටේ අගමැති හා ජනාධිපති ධූරවලටද පත්වූ අතර ඇගේ සහෝදරයා වූ අනුර බණ්‌ඩාරනායක විපක්‍ෂනායක හා ඇමැතිවරයෙක්‌ ලෙසද කටයුතු කර ඇත.

හොරගොල්ලේ ඒ උරුමය මැදමුලන රාජපක්‍ෂවරුන් අතට මාරු වූයේ ඉන් පසුවය. ඩී. ඒ. රාජපක්‍ෂ පවුලේ චමල්, මහින්ද හා බැසිල් අද දේශපාලනයේය. අද කවුරුත් කතා කරන රාජපක්‍ෂ සමාගමක්‌ ද වේ. එයට ගෝඨාභය රාජපක්‍ෂ ද අයත් වේ.

මේ රාජපක්‍ෂ සමාගම පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදීත් විපක්‍ෂයේ දැඩි විවේචනයට ලක්‌විය.

කෙසේ හෝ මෙවර පැවැත්වෙන මැතිවරණයේදීත් පවුල් හා ඥති සම්බන්ධතා රටාව කැපී පෙනේ. එකම පවුලේ සහෝදර සහෝදරියන් මෙන්ම පියවරුන් හා පුතුන්ද වෙනත් ලේ නෑයෝද වශයෙන් ඒ දේශපාලන චරිත මෙවර අපිට හඳුනා ගත හැකිය.

දේශපාලනයේ අරමුණ විය යුත්තේ රට සංවර්ධනය කිරීමද නැතහොත් පවුල් සංවර්ධනය කිරීමද යන්න සමහරු විමසති. ඒ කුමක්‌ වුවත් රට ජාතිය වෙනුවෙන් සේවය කරන අයට පවුල් සබඳතා බාධාවක්‌ නොවන බවද තවත් සමහරුන්ගේ අදහසය. එළැඹෙන මහා මැතිවරණයේදී එම ඥති සබඳතා හා පවුල් සබඳතා අපට දැක ගත හැකිය.

ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රබල චරිත වන රාජපක්‍ෂ පවුලේ චමල්, බැසිල් එක කුස උපන් සහෝදරයන් වන අතර සිය සොහොයුරු වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතු නාමල් ද මෙවර සන්ධාන අපේක්‍ෂක ලේඛනයෙන් දේශපාලනයට පැමිණ ඇත. ඔවුන්ගේම ඥති සොහොයුරියක වන නිරූපමා රාජපක්‍ෂ ද තරග බිමේය. අගමැති වික්‍රමනායක මහතාගේ පුත් විදුර ද තවත් චරිතයකි. විජිතමුණි ද සොයිසා පවුලේ ද විජිත් සහ සුමිත් යන සහෝදරයන් දෙදෙනෙක්‌ ද ලොකු බණ්‌ඩාර පවුලේ පිය පුතුන් වන වි.ජ.මු. සහ උදිත ද, යාපා අබේවර්ධන පවුලේ මහින්ද සහ ලක්‍ෂ්මන් ද සන්ධාන අපේක්‍ෂකයෝ වී සිටිති. දි. මු. ජයරත්නගේ බෑණා වන දුමින්ද දිසානායක ද අමුණුගම පවුලේ සරත් අමුණුගම සමග සිය ඥති පුත් දිලුම් ද තරග වදිති. වීරවංශ පවුලේ විමල් සහ සරත් යන අපේක්‍ෂකයන් දෙදෙනා ද සහෝදරයෝය. සන්ධානයෙන් තරග වදින නවීන් දිසානායක එජාපයෙන් තරගවදින කරූ ජයසූරියගේ බෑණා ය. සන්ධානයෙන් තරග වදින නවීන් දිසානායක සහ එජාපයෙන් තරග වදින මයන්ත ද සහෝදරයන්ය. ජීවන් කුමාරතුංග සන්ධානයෙන් තරග වදින විට රංජන් රාමනායක එජාපයෙන් තරග වැදුනත් ඔවුහු ද ඥතීහුය. එකම වහලක්‌ යට අඹුසැමියන් ලෙස ජීවත්වන සැමියා හා බිරිඳ දේශපාලනයේදී දෙපිළකට බෙදී සිටිති. ඒ සරත් කෝන්ගහගේ සහ ශාන්තිනී කෝන්ගහගේය. ශාන්තිනී එ.ජා.ප.යෙන් තරග වදිද්දී සරත් සන්ධානයේ ජාතික ලැයිස්‌තුවේය. මනෝ ගනේශන්, ප්‍රභා ගනේෂන් හා පී ගනේෂන් ද මැතිවරණයට තරග වදින සහෝදරයන් තිදෙනෙකි.

ජාතික ලැයිස්‌තුවේ සඳහන් වන අනුරුද්ධ රත්වත්තේ හා ඔහුගේ පුතු ලොහාන් රත්වත්ත ද මෙවර තරග වදිති. ගීතාංජන ගුණවර්ධන දිනේෂ් ගුණවර්ධන දෙසොහොයුරෝද තවත් දෙදෙනෙකි. අර්ජුන රණතුංග හා සංජීව රණතුංග කුසලානයෙන් තරග වදිද්දී ඔවුන්ගේ සොයුරු රුවන් රණතුංග සන්ධාන අපේක්‍ෂකයෙකි. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ඥති පුත්‍රයකු වන රුවන් විඡේවර්ධනද මෙවර සටන් බිමේය. වසන්ත අළුවිහාරේ සහ රංජිත් අළුවිහාරේ යන දෙසොහොයුරෝ දෙදෙනාද එජාපයෙන් තරග වදිති. රුක්‌මන් සේනානායක සහ වසන්ත සේනානායක යන දෙදෙනාද එජාප සහ එජනිසයෙන් මෙවර මැතිවරණය සඳහා තරග කරති. රවීන්ද්‍ර සමරවීර සහ උපාලි සමරවීර යන සහෝදරයන් දෙදෙනා ද එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන්ය. සියලු පක්‍ෂවලින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ඥතීන් සංඛ්‍යාව හතළිහකි.

වැඩිහිටි පරපුර සමග තරුණ සාමාජිකයන් දේශපාලන තරග බිමට අවතීර්ණ වීම යහපත් ප්‍රවණතාවකි. උසස්‌ පෙළ අවසන් කර එක්‌කෝ උසස්‌ අධ්‍යාපනයට යොමු විය යුතුය. නැත්නම් රැකියා අවස්‌ථාවක්‌ ලබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් රැකියාවක්‌ ලැබෙන තුරුම දෙමව්පියන්ගෙන් යෑපුනද ලෝකයේ වෙනත් රටවල මේ තත්ත්වය නැත. ඔවුන් යන්තම් වයස අවුරුදු දහ අට සපිරි තැන් පටන් තමන්ගේ යෑපීම් තමන් විසින් ම උපයා ගත යුතුය. උසස්‌ අධ්‍යාපනයට යොමු වන්නේ නම් ඒ සඳහා යන වියදම් ද තමා විසින්ම දැරිය යුතුය. අපේ රටේ එවැනි තත්ත්වයක්‌ නැත. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන දරුවන්ටද රජයෙන් කිසියම් ආධාර මුදලක්‌ හිමි වේ. නමුත් වසර දහඅටක්‌ දෙමව්පියන් වින්දා වූ දුක්‌ ගැහැට තව දුරටත් ඔවුන්ට උරුම නොකර වයස අවුරුදු දහ අටෙන් පසුව කුමන හෝ රැකියාවකට යොමුවීම දරුවන්ගේ යුතුකමකි.

දේශපාලනඥයෙකු වීම ද අද කාලේ ඉතා හොඳ රැකියාවකි. දේශපාලනයේ රැඳී සිටින කාලය කොතරම් වුවද එක්‌ වරක්‌ හෝ දේශපාලඥයෙකු ලෙස බලයට පත් වූයේ නම් එම තැනැත්තා විශ්‍රාම වැටුපකට ද හිමිකරුවකු වීමේ වාසනාව අපේ දේශපාලනය තහවුරු කර තිබේ.

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් පනස්‌ දහසට ආසන්නය. පෙට්‍රල් දීමනා, වාහන පහසුකම්, දුරකතන බිල් ආදී දීමනා සමග ඇමැතිවරයෙකුගේ මාසික ආදායම රුපියල් ලක්‍ෂය ඉක්‌මවනු ඇත. උසස්‌ පෙළ ඉහළින් ම සමත් වී විශ්වවිද්‍යාලයක ගෞරව උපාධියක්‌ ලබන පුද්ගලයෙක්‌ රැකියා විරහිතයන්ගේ කණ්‌ඩායමට එක්‌ වී මහ පාරේ ගිනි අව්වේ විරෝධතා ව්‍යාපාරවලට සහභාගි වී පොලිසියෙන් කඳුළු ගෑස්‌ කන අතරතුර දේශපාලනයට අවතීර්ණ වන ළාමක තරුණයෙකුට වුවද කිසිදු ප්‍රශ්නයකින් තොරව උපරිම සැප සම්පත් භුක්‌ති විඳිමින් මසකට අඩුම තරමේ රුපියල් විසිතිස්‌ දහක්‌වත් ශුද්ධ ලාභය ලෙස ලැබිය හැකිය.

අපේ රටේ දේශපාලඥයෙකු වීමට කිසිදු සුදුසුකමක්‌ද අවශ්‍ය නැත. එහෙත් දැන් දැන් පවුල් සබඳතාව දේශපාලන දොරටු හැර දෙයි. එහෙමත් නැත්නම් යහමින් සල්ලි තිබේනම් එයද දේශපාලනයට පිවිසිය හැකි මාවතකි. නළු නිළියන් වීම මෙන්ම ක්‍රීඩා තරු වීමද දේශපාලනයට තවත් සුදුසුකමකි. මාධ්‍යකරුවෝද දැන් දේශපාලනයට උනන්දු වෙති. මෙවර මහමැතිවරණය සඳහා මාධ්‍යවේදීන් කීප දෙනෙකුම ඉදිරිපත්වීම එයට නිදසුන්ය.

එකල අපේ රටේ දේශපාලඥයන් වූයේ උගත් බුද්ධිමතුන් ය. ඔවුන් වැඩි දෙනෙක්‌ නීතිය හෝ දේශපාලන විද්‍යාව හැදෑරූ අය වූහ. ඇතැම් අය ආචාර්ය මහාචාර්යවරු විය. සමහරු බොහෝ කලක්‌ සමාජ සේවා කටයුතුවල නිරත වූ අයයි. ඔවුන්ගේ කතා හරවත් ය. රසවත් ය. ප්‍රසිද්ධ මාධ්‍යවල අද ඇසෙන, දකින විකාර හැසිරීම් සහ ප්‍රකාශ එදා ඔවුන්ගේ මුවගින් පිටවූයේ නැත. අද සියලු දේ සිල්ලරට අලෙවි වන්නා සේ දේශපාලඥයා නමැති භූමිකාවද පුස්‌ වෙඩිල්ලක්‌ පමණි. මෙවර මහා මැතිවරණයේ දී ජනතා මනාපය අපේක්‍ෂිතව තරග බිමට අලුතෙන් අවතීර්ණවී සිටින කී දෙනෙක්‌ මීට සාක්‍ෂි නොවේදැයි බුද්ධිමත් ජනතාවට කල්පනා වනු ඇත. පවුල් සබඳතා ඥති සබඳතා මත පහසුවෙන් ම දේශපාලන තරග බිමට පැමිණ ඊටත් වඩා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ද හැකි වීම පුදුමයක්‌ නොවේ. කුමන ආකාරයකින් හෝ ජනප්‍රියත්වය ලබා සිටීම වර්තමාන දේශපාලන පොර පිටියේ පහසුවෙන් මනාපයක්‌ ලබා ගැනීමට ඉහළම සුදුසුකමකි. එකී ජනප්‍රියත්වය එක්‌කෝ නළුවෙකු වීම විය හැකිය. එක්‌කෝ නිළියක වීම විය හැකිය. එහෙත් දූෂිත චරිතවලටද අද ජනප්‍රියත්වයක්‌ තිබීම පුදුම සහගතය. එනිසා මේ දේශපාලනය ලේසියෙන් තේරුම් ගැනීමද අසීරුය. සමහරු මැර බලය හා පාතාල සබඳතා නිසාද ජනප්‍රිය වී සිටිති. මේ අයට සාපේක්‍ෂව උගත් බුද්ධිමත් පුද්ගලයන්ට සමාජයේ ප්‍රසිද්ධියක්‌ නොලැබේ. ප්‍රසිද්ධියක්‌ නැත්නම් ජනතාවගේ මනාපය ද හිමි නොවේ. එයින් පැහැදිලි වන්නේ ජනතාව විසින් සිය නායකත්වයට පත් කරගනු ලබන්නේ නුසුදුසු පුද්ගලයන් බවද?

කෙසේ හෝ වේවා අද දේශපාලනය තේරුම් බේරුම් කර ගැනීමේ අභියෝගය ජනතාව අබියස තිබේ. කෝටි ගණනින් මුදල් ආයෝජනය කරමින් දේශපාලනයට එන අයගෙන් රටට විය හැකි යහපත කුමක්‌ද යන්නත් විමසා බැලීම වටී. පවුල් වාදය ඥතිවාදය දේශපාලනයේදී විවාදාත්මක වන්නේ එමගින් රටට විය හැකි අනතුරු හා නරක ප්‍රතිඵල නිසාය. එහෙත් රට හදන ජාතිය නංවන වැඩපිළිවෙළකදී රාජ්‍ය නායකත්වයකට නියම සහාය ලැබෙන්නේද තම පවුලෙන් බව අද තහවුරු වී තිබේ. ඒ මොනවා වුවත් දේශපාලන කන කොක්‌ සුද ජනතාවට බලාගත හැකි වන්නේ ඡන්දය දිනා ඉගිළෙන විටය. එහෙත් ඒ වනවිට ජනතාවට කළ හැකි දෙයක්‌ නැත.

තුෂාරී කළුබෝවිල

 
Powered By -