අපට අහිමිව තිබූ බිමක අසිරිය
නරඹන්නට ලැබුණු මොහොතක්‌


සිරිලක වංශ කතාවේ කලු පැල්ලමක්‌ බඳු ඊළාම් බෙදුම්වාදී යුද්ධය වසර තිහකට පසු නිමා වූයේ උතුරේත් දකුණේත් ජනතාවට බොහෝ දෑ අහිමි කරමිනි. ජීවිත හා දේපළ පමණක්‌ නොව මේ දෙපිරිස අතර තිබූ සමාජීය, සංස්‌කෘතිකමය බැඳීම් ද මනුස්‌සකම් ද යුද්ධය නිසා වැනසුනි. "බැඳීම්" බිඳී, "බිඳීම්" සැදී "රිදීම්" ඇතිවී "බෙදීම්" සහිත ජාතියක්‌, රටක්‌ අපට ඉතිරි විණි. සහෝදරත්වය වෙනුවට, කෲරත්වයද සතුට වෙනුවට භීතිය ද යහපත වෙනුවට නපුරද ආදේශ වූ රටෙක අපි සැවොම බෙදී, දුරස්‌ වී හුදෙකලා වී සිටියෙමු. ඉදින්, යුද්ධය අපට බොහෝ දෑ නැති කළේය.

යුද්ධය නිමා වූ මේ සමයේදී කලින් නැති වූ අපගේ මනුස්‌සකම්ද සුහදත්වයද සමාජ, සංස්‌කෘතික බැඳීම් ද යළි ඇතිකර ගැනීමට උතුරේත්, දකුණේත් සෑම දෙනා පෝළිමට නෑගම් බලා යති එති. සැබැවින් කොතරම් අපූරු අප මෙසිරිලක....?

අද වන විට ලක්‌ෂ සංඛ්‍යාත ජනකායක්‌ උතුරේ තෙරපෙති. නාගදීපය වැඳ පුදා ගැනීමට පොරකති. උතුරේ කොට්‌ට කෙළිඟු, තල් හකුරු, මිදි රස විඳිති. උතුරේ අය නුවරඑළියේ සීතල විඳිති. කතරගම, මුන්නේශ්වරම වැඳ පුදා ගනිති. සිරිපාද කන්ද තරණය කරති. අද දිවයින පුරා එකම සංචාරක වසන්තයක්‌ය. උණුසුම් මැතිවරණයක්‌ තිබෙන බව වත් කාටත් අමතකය. නැතිනම් ඒ ගැන ඕනෑකමක්‌ නැතිවා වගේයි.

සියලු දෙනා උතුරට දුවද්දී අප මේ ඔබව රැගෙන යැමට තැත් දරන්නේ තවත් වෙනත් සංචාරක ඉසව්වකටය. ඒ අතීතයේ "මාතොට" නමින් පරසිදු, දූපතක්‌ ලෙසින්ද ගිණිය හැකි මන්නාරම ප්‍රදේශයටය. එසේත් නැතිනම්, වැඩිම උෂ්ණත්වයක්‌ හා අඩුම වර්ෂාපතනයක්‌ ඇතැයි වාර්තාගත පෙදෙසෙකටය.

සුපුරුදු ගමන් මාර්ගය වෙනුවට අප මේ සඳහා තෝරා ගත්තේ කිලෝමීටර් සියයක්‌ (100) පමණ කෙටි ගමන් මාර්ගයක්‌ වූ පුත්තලම මුරුන්කන්, මන්නාරම් රළු මාර්ගයයි. ඒ සඳහා හේතු ද තිබිණ. මෑත දිනෙක යළි විවෘත කළ (විවෘත කළද පරිසරවේදීන්ගෙන් ගැටලු පැනනැගී තිබේ.) ශ්‍රී ලංකාවේ විsශාලතම වනෝද්‍යානය වූ විල්පත්තුව කෙළවරින් මෙම මාර්ගය පිහිටීමත්, එහි විල්, පක්‌ෂීන්, වන සතුන් දැකීමේ අභිලාෂයත් යුදයෙන් විනාශ වු හා යළි සංවර්ධනය වන පෙදෙස්‌ දැක ගැනීමත් සිරිලක ඓතිහාසික ස්‌ථාන දැක ගැනීමත් අපගේ අරමුණු අතර විය.

පුත්තලම වනාතවිල්ලුව මාර්ගයේ කලාඔය තැලවිල්ල නාවුක හමුදා මුර කෙපොලු පසුකර මහ දූවිලි ඉරි මාර්ගය දිගේ විල්පත්තු වන කැලය තරණය කරද්දී දැනෙන්නේ භීතිය මුසු සතුටකි. සින්න උප්පුවිල්ලු, පෙරියඋප්පු විල්ලු මයිල්විල්ලු වැනි තිහක්‌ පමණ විල්ලුවල වන සත්තු ඈතින් බියෙන් බලා සිටියහ. වසර තිහක කුළු ගතිය උන්ගෙන් මොනවට ප්‍රදර්ශනය විණි. උන්ගේ ආරක්‌ෂාවට අපට නරත වීමට ඉඩක්‌ නැත.

පොම්පරිප්පුව අපගේ ඉතිහාසයේ වැදගත් පෙදෙසකි. ඒ දියුණු මානවගති ලක්‌ෂණ විද්‍යා පාන පොම්පරිප්පුව සුසාන භූමිය නිසාත් මිනී වැළලීම සඳහා එකල ජනතාව විශාල මැටි භාජන භාවිත කොට තිබිණි. පොම්පරිප්පුව පසු කරමින් උප්පාරු, මරිච්චකට්‌ටි, මල්ලිකුලම කල්ලාරු කොන්ඩවිවිකුඩා, සොක්‌කුපඩයාන් හරහා සිලාවතුරෙයි පෙදෙසට ළඟා වෙයි. මේ වන විට කලාඔය ද, මෝදරගම් ආරු ද සිරිලක දිගම ඔය වන මල්වතු ඔය ද අප පසුකර ඇත. මිනිස්‌ පහසින් තවම මේවා දූෂ්‍ය වී නොමැත. කොණ්‌ඩච්චි වල ආසියාවේ විශාලම කජු වතු තිබුණැයි පැවැසුවද යුද්ධය දැන් ඒවා වනයක්‌ බවට පත් කොට ඇත.

සිලාවතුරෙයි (මුතු හලාවත) හා මරිච්චිකට්‌ටි අතීතයේදී බෙල්ලන්ගෙන් ලබාගත් මුතු සඳහා පරසිදුව පැවැතුණි. මේ සඳහාම ප්‍රගුණ "මරක්‌කල" නොහොත් "මට්‌ටයින්", කන්වලට කිරල ඇබ ගසාගෙන් දිගු හුස්‌මක්‌ ගෙන මුහුදු දියේ කිමිදී ගල්පා මත රැඳී සිටින බෙල්ලන කඩා ගොඩබිමට අවුත් බෙල්ලන් පළා මුතු ලබාගෙන ඇත. රාජ්‍ය සමයේදී පැවැතුණු මෙම කර්මාන්තය ඉංගී්‍රසින් පාලන සමයේදී වඩාත් දියුණු ආකරයෙන් පවත්වා ගෙන එනු ලැබීය. අද දවසේ මෙම කර්මාන්තය එහි දක්‌නට නැත. බෙල්ලන් හිඟවීම, යුද්ධය, බලපත් ලබා නොදීම ඊට හේතුයි. එම කර්මාන්තය සිදු කළ පැරැණි උදවිය ද නැත. කෙසේ වෙතත් ෙඓතිහාසික ග්‍රන්ථ රැසක මෙම මුතු හලවෙත ගැන කරුණු සඳහන් වී තිබේ.

ජයග්‍රාහී යුද්ධය ආරම්භ කළ පෙදෙසක්‌ වූයේ සිලාවතුරයි. එම පෙදෙස කොටි ත්‍රස්‌තවාදීන්ගේ තෝතැන්නක්‌ බවට පත් වී තිබිණි. එහි තිබූ රෝහල අත්පත් කරගත් ඔවුහු ඊට "තිලීපන් රෝහල යයි නම් තැබූහ. මුහුදු, ගොඩබිම්, වනාන්තර මාර්ග තිබීම හා මන්නාරම, යාපනය පෙදෙස්‌වලට පහසුවෙන් යැම, ඒම කළ හැකි වීමත්, මුහුදු කොටි බළකාය ඇතුළු ගොඩබිම් පුහුණු කඳවුරුද මෙහි පැවැතීම උන්ට මෙම පෙදෙස අත්‍යවශ්‍ය තැනක්‌ බවට පත් කළේය. යුද්ධය දරුණු ලෙස ඇවිළේද්දී කොටි ත්‍රස්‌තවාදීහු උතුර දෙසට පළා ගියහ. අද එම රෝහල හමුදා මූලස්‌ථානයයි.

එකල එහි සිටි මුස්‌ලිම් පිරිස්‌ කොටින් විසින් වෙඩි තබා බියවද්දා පළවා හැර තිබුණේ ඔවුන් සතු සියලු දේපළ කොල්ල කමිනි. සිලාවතුරෙයි හා අවට මුසලි පණ්‌ඩාරවෙලි, පොට්‌කේනි, පුලන්කුලම, පුදුවලි, වෙප්පන්කුලම, සිරික්‌කන්ඩල්, පරියාරි (වෙදගම) මුරුන්කන් පෙදෙස්‌වල සිටි බොහෝ දෙනා යුද අනාථයන් ලෙස අවසානයේ නතර වූයේ පුත්තලම හා අවට අනාථ කඳවුරුවලය. මුලින් තිස්‌ හතළිස්‌ දහස්‌ වූ මෙම පිරිස පසුව ලක්‌ෂයට එහා ගියේය.

වසර ගණනාවකට පසු යළිත් මෙම පිරිස්‌ තම ගම්බිම් වල පදිංචි වනු දක්‌නට ලැබේ. සිලාවතුරෙයි හි කුඩා තාවකාලික පැල්පත්ද නගරයේ වෙළෙඳ කුටි ද ඉදිවනු පෙනෙයි. සිමෙන්ති අලෙවි කිරීමට තහඩු මඩුවක්‌ ගසාගෙන සිටි මුහයියදීන් හාජියාර් පැවැසුවේ වසර විසි ගණනකට පසු තමා යළිත් මෙහි පැමිණියේ දින හයකට පෙර බවත්, තමාගේ උළු සෙවිළි කළ සාරි හා රෙදි පිළි සාප්පුව වසා පණ බේරා ගැනීමට පළා ගිය බවත්, අද ඒ ගොඩනැඟිල්ල පවා සොයා ගැනීමට නොහැකි වූ බවත්ය. මෙම නගරයේ තිබූ වෙළෙඳ ව්‍යාපාරවල බලය ලබාගත් කොටි ත්‍රස්‌තවාදීහු ඒවායේ තිබූ ලක්‌ෂ, කෝටි ගණන් වටිනා බඩු භාණ්‌ඩ කොල්ල කෑහ. උතුරට විකුණා දැමූහ. අවසන ගොඩනැඟිලි කඩා ගලවා විකුණා දැමූහ. ඉඩම් විකුණා දැමූහ. අනුන්ගේ ලෝකයක්‌ උන්ගේ ලෝකය බවට පත් කළේ වෙඩි උණ්‌ඩයට බෝම්බයට අහිංසකයන් ගොදුරු කොට බිය වද්දා පළවා හැරීමෙන් පසුවය. උන් අනුන්ගේ දෙයින් සුර සැප විඳිද්දී නිසි අයිතිකරුවෝ පුත්තලමේ කල්පිටියේ දුෂ්කර කඳවුරුවල වසර ගණන් දුක්‌ වින්දාහ. ඔවුන්ගේ දුක්‌ කඳුළු, ශාප, හැඬිලි ආපිට කොටින්ට නොලැබේවිදෝ...?

බණ්‌ඩාරවෙලියේ මොහමඩ් පාසිල්ගේ නිවස ඔහු මට පෙන්වූයේ කඳුළු පිරි නෙතිනි. එහි අත්තිවාරම ද ගලවාගෙන ගොසිනි. ඔහු කුඩා දරුවකු ලෙස පුත්තලමට පැමිණ දුක සේ ඉගෙන දැන් පුත්තලමේ ම රැකියාවක්‌ කරයි. පාසිල් මෙන්ම බොහෝ සරණාගතයන්ද එලෙසය. ඔවුහු පුත්තලමේ තිල්අඩියේ කල්පිටියේ එරික්‌කලම්පිඩ්ඩි, මාම්පුරියේ නව ජීවනයක්‌, ගමනක්‌ ඇරඹූහ. තම ගම වෙන් කෙරුව ද පුත්තලමේ නව ගම් ඇති කරගත්හ ජීවනය, ආර්ථිකය, රැකියා, සියලු කටයුතු පුත්තලමේ ඉටු කර ගත්හ. යුද්ධය මොන තරම් දෛවය වෙනස්‌ කරන්නේද...? මිනිසුන් ගම් බිම් පරම්පරාවන් දුරස්‌ කරන්නේද..? පවුලක්‌, ගමත් සමාජයත්, කොපමණ දුරකට පරිවර්තනය කරන්නේද...?

සිලාවතුර පෙදෙසේ ඉදිවන නව නිවෙස්‌ සඳහා තවමත් ලබාදී ඇත්තේ (එන්ජීඕ සංවිධානයකින්) තහඩු ටිකක්‌, දැව දඬු කීපයක්‌, සිමෙන්ති කොට්‌ට කීපයක්‌ හා රජයෙන් රුපියල් පන්දහසක්‌ පමණක්‌ බව නව පදිංචි කරුවෝ කීහ. රජයෙන් තව මුදල් දෙන බවද පැවැසෙයි. කෙසේ වුවද ලද දෙයින් සැනසී ඔවුහු තම උපන් බිමේ අයිතිය සොයා අවුත් පැල්පත් අටවා ගනිති. ඒ උණුසුම් බිමේ තහඩු වහලයක්‌ යට සිටිය හැක්‌කේ වේලුණු කරවලයකුට හැර වෙන යම් කිසිවකුට නම් නොවේ. (තවමත් යුද්ධයේ දුක්‌ ගිනි නිමා වී නම් නැත.)

දූලි අවුස්‌සමින් ඉදිවන මාර්ග ඔස්‌සේ අරිප්පුතුරෙයි පෙදෙසට ළඟා වන විට දක්‌නට ලැබෙන්නේ මනස්‌කාන්ත දසුනකි. අහසේ සුනීල බව සපුරා සොරා උදුරා ගත් නිසල නිල්වන් මුහුදු තලයක්‌ ඔබ හමුවේ දිස්‌වෙයි. එහි සුන්දරත්වය වර්ණනා කිරීමට මා "දුප්පත්" වැඩිය. ඔබටම එය විඳ ගැනීමට ආරාධනා කරමි.

ඒ අසළම ඇති ඉපැරැණි ප්‍රදීපාගාරයක්‌ද කඩා වැටුණු ගඩොල් බිත්ති ඇති ගොඩනැඟිල්ලක්‌ද අතීත කතාවක්‌ අපට කියා පායි. මේ නිර්මාණයන් ඉංගී්‍රසින්ගේය. ලාම්පු පත්තු කොට මුහුදට පාර කියූ ප්‍රදීපාගාරය තවමත් යහතින් පවතී. ඒ අසලම ඇති බිඳ වැටුණු ගොඩනැඟිල්ල දැවැන්තය. පුළුල් ගඩොල් බිත්තිවලින් සැකසුණු විය දෙමහල්ය. ගරා වැටුණ ද එහි අභිමානය අදත් එලෙසින්ම දිස්‌වෙයි. ඒ අසල ඇති පුවරුවක මෙසේ සඳහන් වෙයි.

මෙම නිවස (ගොඩනැඟිල්ල) ලංකාවේ පළමු ඉංගී්‍රසි අණ්‌ඩුකාර ප්‍රෙඩ්රික්‌ නොර්ත් වෙනුවෙන් මුහුදින් ඈත්ව, ගලින් ඉදිකරන ලද්දකි. නිදන කුඩා කාමර සතරක්‌ පහළ මාලයේ ඇති අතර මධ්‍යයෙන් ඉහළ මාලයට නගිනා පඩි පෙළකි. ඉහළ මාලයේ විශාල කෑම කාමරය හා ආණ්‌ඩුකාරවරයාගේ නිදන කාමරය පිහිටියේය. ඔහුගේ අදහසකට අනුව සැළසුම් කරන ලද්දේ ඩොරික්‌ විසිනි. 1804 වසරේදී ඉදි කළ මෙය බටහිර (අපරදිග) ඉදිකිරීම් ශිල්ප ක්‍රම අනුව ඉදිකොට ඇත. කොණ්‌ඩච්චි බොක්‌කේ මුතු කැඩීම පරීක්‌ෂාව සඳහා මෙහි පැමිණ තිබේ.

එහිම සඳහන් වැදගත් වාද්‍ය ඛණ්‌ඩයකි. මේ... එය 1807 දී ලංකා විස්‌තරය (DESCRෂඡJෂධභ ධF CEශඛධභ-1807) ග්‍රන්ථයේ පූජ්‍ය (පූජක) ෙ-ම්ස්‌ කොර්ඩිනර් විසින් සඳහන් කොට ඇත.

වාස්‌තු විද්‍යානුකූලව දිවයිනේ ඉදිකරන ලද එකම සුන්දර ගොඩනැඟිල්ල මෙය බව සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකිය.... මෙහි පැරැණි ස්‌වරූපය දැක්‌වෙන ඡායාරූපයක්‌ද එහි වෙයි. එහි දැක්‌වෙන්නේ ලංකාවේ අරිප්පු හි ආණ්‌ඩුකාර නිවස ලෙසයි. (ඔHE ඨෑඪෑRභධR.S HධඹීE ඔA ARෂඡධ ෂභ CEශඛධභ)

මෙය සමුද්‍ර ඛාදනයට ලක්‌වී කොටස්‌ වශයෙන් මුහුදට ඇද වැටී ඇත. මුහුදින් ඈත් කොට ඉදිකළ මෙය අද වන විට මුහුදට බිළිවෙමින් පැවැතීම සමුද්‍ර ඛාදනයේ බිහිසුණු බව පෙන්වා දෙයි. ඒ අසළ ඇති ප්‍රදීපාගාරයද ශ්‍රී ලංකාවේ ඉපැරණිම එකක්‌ යයි සැලකෙයි.

මෙම ස්‌ථානය මීටත් වඩා වටින්නේ මෙහි පවත්නා ජනප්‍රවාදයන් නිසායි. ගැමියන් මෙම ස්‌ථානය හඳුන්වන්නේ ඇල්ලිරාණිගේ බලකොටුව පිහිටි ස්‌ථානය ලෙසයි. "ඇල්ලිරාණි" යයි ඇතැමෙක්‌ කුවේණිය හඳුන්වති. කුවේණියගේ නැන්දණියක ලෙස ද අතැමෙක්‌ හඳුන්වති. කෙසේ වෙතත් මෙම ප්‍රදේශ ද මුහුදු බඩ කලාපය කල්පිටිය දක්‌වා පාලනය කළ සාන්තා අධිපතිනියක්‌ ගැන වංශකතාවල ද සඳහන් වෙයි. ඉතිහාසය යළි ගවේෂණය සඳහා සුදුසු මොහොතයි මේ...

ඓතිහාසික මෙම ස්‌ථානය ද සුනිල මුහුදු වෙරළ ද මා දමා ආයේ බලවත් අකැමැත්තෙනි. ඒ තරමට එතැන සුන්දරය. ඇල්ලිරාණි ද, ප්‍රෙඩ්රික්‌ නෝරත් ද මෙතන බලකොටු තැනුවේ මේ සුන්දරත්වය ද, සිව් දිශාවම පෙනෙන නිසා ද, නොගැඹුරු මුහුද ද නිසාවෙන් යයි සිතෙයි.

මේ මුහුදේ අද ධීවරයෝ මුහුදු කූඩැල්ලන්, හක්‌ බෙල්ලන් ද, මසුන්ද ඇල්ලීමේ නිරතව සිටිති. මුහුදු කූඩැල්ලාට ඉහළ මිලක්‌ විදේශවල පවතී. උන් අල්ලා, තම්බා, ලුණු දමා පසුව වේලා ශ්‍රේණි කර විකිණීමට යවයි. හක්‌ බෙල්ලන්ද ශ්‍රේණි කර පිටරටවලට පටවයි.

අනතුරුව වෙප්පන්කුලම මල්වතු ඔය හරහා මුරුන්කන්වලට ළඟාවී මැදවච්චි මන්නාරම පාරට වැදී මන්නාරම දෙසට ගමන් ඇරඹීමු. මුරුන්කන් දුම්රිය පළ ද, රේල් පීලි ද කොටින් ගලවා ගෙන ගොස්‌ බංකර තනා තිබිණි. යෝද වැවට පිවිසෙද්දී අපට දැනුණේ අප කොතරම් කුඩා ද කියායි. දැවැන්ත යෝද වැව අද වල් වැදිලාය.

උසිලන්කුලම මාර්ග සන්දිය දිගේ යාපනයට ගමන් කළ හැකිය. මන්නාරම දූපත දිස්‌වත්ම අප ශ්‍රී ලංකාවේ තවත් ඓතිහාසික පූජනීය ස්‌ථානයකට ගොඩ වැදුණෙමු. ඒ හින්දුන්ගේ උත්තරීතර කෝවිලක්‌ වූ තිරුකෝනිස්‌වරම් කෝවිලටයි. ඊශ්වර නැතහොත් ශිව දෙවියන්, හින්දුන් ගේ උත්තරීතර දෙවියායි. මෙම දෙවියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෝවිල් පහක්‌ පවතී. ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම්, හලාවත මුන්නේෂ්වරම් මන්නාරම තිරුකෝනේශ්වරම්, කීරමලේ නගුලේස්‌වරම් හා මාන්කුලම් ඔඩ්ඩුසුඩාන්හි පිහිටි කෝවිලයි. මින් කීරමලේ හා මාන්කුලම කෝවිල් යුද්ධය නිසා ජනතාවට වැඳ පුදා ගැනීමට නොහැකි විණි.

මෙම මස 13 වන දින මහා ශිවරාත්‍රි දින ඉතා උසස්‌ අයුරින් සැමරීමට මෙම මන්නාරම තිරුකෝරිෂ්වරම් (තිරුකෝවිල්) ලහි ලහියේ සූදානම් වනු අපි දුටිමු. රජය කෝටි ගණනක මුදල් මේ සඳහා වැය කොට නව මාර්ග, කෝවිල් පරිශ්‍රය හා කිරි වැව (පාලාවි) ප්‍රතිසංස්‌කරණය කරයි. කිරි වැවේ කිරි පැහැ ජලය දෙවියන් ස්‌නානය සඳහා ද වන්දනා කරුවනට ස්‌නානය වී පවිත්‍ර වීමටද උපකාරී වෙයි. දෙවියන් වෙනුවෙන් පේවී, උපවාසසේ යෙදෙමින් නිරාහාරව, දේව වන්දනා, බජන් ගීත ගායන ඇතුළු මුළු රැයම දෙවියන් වෙනුවෙන් වෙන්වී දේවාශිර්වාදය ලැබීම මෙම ශිවරාත්‍රි දිනයේදී හින්දුන්ගේ එකම අභිප්‍රායයි. අභිලාෂයයි. එය ඉටුකර ගැනීමට යාපනය, වන්නි, මන්නාරම හා සිරිලක පුරා විසිරී, සිටින හින්දු බැතිමත්හු මෙහි ලක්‌ෂ ගණනින් පැමිණීමට සූදානම් වී සිටිති.

මන්නාරම දූපතටත්, සිරිලක සුවිශාල ශාකය බැසෝවැබ්, මන්නාරම ලන්දේසි බලකොටුව, පේසාලේ නිසල මූද, තලේමන්නාරමටත් ඔබව ඊළඟ සතියේදී රැගෙන යමි. එතෙක්‌ ඔබට මහන්නාරමට ප්‍රවේශ වන කලපු තීරුව අසල රැඳී සිටීමට සිදුවනු ඇත. අප කුඩා සිරිලක්‌ දිවයින කෙතරම් සුන්දර ද. ජය ශ්‍රී මා බෝ සමිඳුන් වැඳ, මඩු දේවස්‌ථානය වැඳ, තිරුකෝවිල් වැඳීමට ඔබට, මට එකවර ලැබෙන්නේ මගේ පුංචි ශ්‍රී ලංකාවේ ඇති මේ අරුම පිහිටීම නිසාමය.

ටෙරන්ස්‌ වනිගසිංහ

 
Powered By -