වන දිවි සර
මාරක තුනකින් ගැලවුණු එAබ්‍රහම්
යළිත් දරු පවුලට එක්‌වෙයි

ත්‍රස්‌තවාදීන් විසින් පෙළට සිටුවා වෙඩිතබා මරාදමනු ලබද්දී කැලේට පැන දිවි ගලවා ගත් කම්කරු මුණසිංහ ඒබ්‍රහම්ට හමු වූයේ මරදන්මඩුවේ දී ය. ඔහුත් සමඟ වෙඩි හඬ ඇසුණු තැනට පැමිණි විට මරදන්මඩුවේ මාර්ගය රත් පැහැයට හැරී තිබෙනු ඒබ්‍රහම් දුටවේය. හෝරාවකට පමණ පෙර තමන් සමඟ කොටින්ගේ අත්අඩංගුවේ පසුවූ වනජීවී නිලධාරීන් දොළොස්‌දෙනකු පමණ එක ගොඩේ වෙඩි තබා මරා දමා ඇත. ජීවිතයේ කිසිදු දිනයක අත්නොවිඳි මේ කාලකන්නි අත්දැකීම සිහිනයෙකුදු යෑයි සිතා ඒබ්‍රහම් දැස්‌ පිසදමා නැවත වරක්‌ මේ දසුන් පෙළ දෙස බැලුවේය. නැතá එය සිහිනයක්‌ නොවේ. පසෙකින් හුණුවිලගම සිට කොටින් පැමිණි බස්‌ රථය ද වෙයි. ත්‍රාසය සිතින් දරා සිද්ධිය පිළිබඳව විපරම් කළ ඒබ්‍රහම් යළිත් සැතපුම් නවයක්‌ දුර උද්‍යාන මූලස්‌ථානයට යන්නට පිටත් වූයේ තම බිරිඳ හා දරුවා ගැනද සැක සංකා සහිතවය. ඒ අවස්‌ථාවේදී මිනීගොඩ අතරින් කෙනෙකු ඉක්‌මනින් මෙතනින් පිටවන්නට ඒබ්‍රහම් ට අතින් සංඥ කරනු දැකීමෙන් ඒබ්‍රහම් වික්‍ෂිප්ත විය. ඒබ්‍රහම් ද තවමත් මරණයෙන් ගැලවී නැති බව ඔහුට හැඟේ. ඉහින් කනින් දහදිය දමමින් මරණ භය අතරේ ඒබ්‍රහම් එතැනින් යළිත් වන වැදුණේ ලෙයින් නැහැ වී තමාට අතින් සංඥ කළ කම්කරු සෝමපාලට වාහනයක්‌ එවන බවට ඒත්තු ගන්වමිනි.

"තාමත් බේරිලා නෑ කියල මම දන්නවා. හොරෙන් හොරෙන් මිනීගොඩ ගැන විපරම් කරල මම එතනින් කැළෙන් කැළෙන් ආවා. මාත් එක්‌ක දැන් මුණසිංහත් ඉන්නවා. මෙයා මට විස්‌තරය ඔක්‌කොම කිව්වා. අපේ කට්‌ටිය මරපු හැටි. මේ මනුස්‌සය බයේ ගැහි ගැහී කිව්ව සර් ටිකක්‌ ඉන්න මගේ බෑග් එක බංගලාවෙන් අරන් එන්නම් කියල. එතකන් මම හිටිය. බෑග් එක අරන් ආවට පස්‌සේ අපි දෙන්න දැන් පාරදිගේ උද්‍යාන මූලස්‌ථානය පැත්තට එනවා. ඔහොම හැතැප්මක්‌ ආවා. අටේ කණුව ළඟදී එක පාරටම අර කොලුව මගේ ඇඟට අතින් ඇනල කිව්ව පාරෙ කවුද ඉන්නවා කියලා. බැලින්නං මැෂින් තුවක්‌කු අරන් හමුදා ඇඳුම් ඇඳගත්ත කට්‌ටියක්‌. අපිව දැක්‌ක විතරයි මුන් අපිට වෙඩි තියන්න පටන් ගත්තා. අපි කැලේ පැත්තට දිව්වා. වෙඩි පාරවල් ළඟ ළඟම වදිනවා. අපි නැමි නැමී තවත් හයියෙන් දිව්වා. එක තැනකට ගිහිං බලනකොට අර මාත් එක්‌ක ආපු මුණසිංහ නැහැ. වෙඩි වැදිලා. මමත් වෙඩි වැදුනා වගේ පොඩි ඇළකට වගේ තැනකට වැටුණා. ටික වෙලාවක්‌ ඉඳලා ආයිමත් නැගිටලා දුවන්න හදනකොට වෙඩි තියන්න පටන් ගත්තා. මම කොහොමහරි කැලේට පැන ගත්තා. වෙඩි ඔළුවට උඩින් ගිහිල්ලා ගස්‌වල වැදෙනවා. මට දැන් හොඳටම විශ්වාසයි ඇඟ හැමතැනම වෙඩි පාරවල් ඇති කියලා. කැලේ ඇතුළටම ගිහිල්ලා හොඳට අතගාලා බැලුවා. ඒත් පුදුමෙ එක වෙඩිල්ලක්‌වත් මට වැදිල තිබුණෙ නෑ" ඒබ්‍රහම් එය අපට පැවසුවේ ඔහුගේ වාසනාව ගැන කියන්නට මිස වීරත්වයක්‌ හුවාදක්‌වන්නට නොවේය.

අවසානයේ ඒබ්‍රහම් පාර මඟහැර කැලේ මැදින් ම නිච්චියට මෙන් උද්‍යාන මූලස්‌ථානය සොයාගෙන පැමිණියේය. ඒ එන ගමනේදී ඔහුගේ සිතුවිලි අවුල් වියවුල් වී තිබිණි. තමා මරණ අවස්‌ථා දෙක තුනකින් ම ගැලවුණේය. එහෙත් බිරිඳටත් පුතාටත් මොකද වුණේ යන්න ඔහුගේ යටිහිත පුන පුනා ඔහුගෙන් අසයි. ආයි අහන්න දෙයක්‌ නැහැ. උන් මේ දෙන්නව මරන්න ඇති. තුවාල වෙලා හරි බේරිල හිටියොත් හොඳයි වැනි සිතුවිලි මැද ඔහු දැඩි තීරණයකට පැමිණියේය. ඔව්ෘ මගේ තුවක්‌කුවයි පතරොම් ටිකයි උන්ට අහුවුණේ නෑ. මම වෙඩි තියාගෙන මැරෙනවා. ඔහු උද්‍යාන මූලස්‌ථානයට පැමිණියේ එසේ දැඩි හිත් වේදනාවකිනි. පස්‌වරු 3.30 ට පමණ උද්‍යාන දොරටුවෙන් එළියට එන විට ඔහු දුටුවේ මිනිසුන් රැස්‌වී මේ ප්‍රහාරයෙන් මියගිය අය දෙස බලා හඬා වැළපෙන අයුරකි. තැන තැන මිනී වැටී තිබිණි. ඔවුන්ට වෙඩි තබන අයුරු ඒබ්‍රහම් දුටුවේය. උද්‍යාන මූලස්‌ථානයම එකම සොහොන් පිටියකි. ඒබ්‍රහම් දුටු විට මිනිසුන්ගේ මුවින් නැඟුනේ සතුටේ, වේදනාවේ සම්මිශ්‍ර කෑකෝ ගැසීමකි. එකකු දුවමින් ඔහුට කීවේ බිරිඳත් පුතාත් කිසිම කරදරයක්‌ නැතිව ඉන්නා බවකි. එහෙත් ඔවුන් දකින තුරු ඔහු එය පිළිනොගත් අතර ඔවුන් සොයා දිව ගියේය. මේ වන විටත් බිරිඳ සෝමලතාටත් පුතා දර්ශකටත් තම ආදරණීය ස්‌වාමියා තම ආදරණීය තාත්තා නිරුපද්‍රිතව පැමිණි පුවත සැළවී තිබිණි. ඔවුන් එකිනෙකා වැළඳගත් ඒ හැඟුම්බර මොහොත තරම් අවස්‌ථාවක්‌ වෙන කවරදාකවත් විල්පත්තුවට උදා වූයේ නැත. සෝ සුසුම් හා වේදනාවේ මෙන්ම සතුටේ තරම උණු කඳුළු දෙකොපුල් තෙමා මේ පුංචි පවුලේ සාමාජිකයන් අතරින් කර්කෂ වූ මහපොළොව සිපගත්තේය. සැබැවින් ම ඒබ්‍රහම් - සෝමලතා හා පුතා දර්ශක යළි මෙසේ එකතුවීම දෛවයේම හාස්‌කමකි.

"එතකොට මගේ වයස අවුරුදු 10 ක්‌ විතර ඇති. අම්මයි මමයි තාත්තත් එක්‌ක විල්පත්තුවේ උද්‍යාන මූලස්‌ථාන කාර්යාලයට එහා පැත්තෙ තිබ්බ තාත්තගේ ක්‌වාටස්‌ එකේ තමයි හිටියේ. එදා 1985 මැයි 14 වැනිදා මම ඉස්‌කෝලෙ ගියේ නෑ. තාත්තටයි මටයි මැලේරියාව හැදිල හිටියේ. අම්මත් එදා ගෙදර නැවතුනා. තාත්තා ටිකක්‌ දවල් වෙලයි කාර්යාලයට ගියේ. එකපාරටම අපි දැක්‌ක තුවක්‌කු අතින් ගත්ත, කොට කලිසම් ඇඳගත්ත වැඩි වයසක්‌ නැති දෙන්නෙක්‌ පාර දිගේම එනවා. ඇවිල්ල අපේ ක්‌වාටස්‌ එකට ඇතුළු වුණා. මට මොකුත් තේරුම් ගන්න බැරි වුණා. ඇවිත් එක පාරටම අම්මයි මාවයි අල්ල ගත්තා. .අම්ම ඇහුව උන්ගෙන් ඇයි මොනවද ඕන කියල. එක්‌කෙනකුට සිංහල කතා කරන්න පුළුවන්. කන්න මොනවද තියෙන්නෙ කියල ඇහුවා. අම්ම කිව්වා කුස්‌සිය පැත්තෙ මොනව හරි ඇති කියලා. කොහොම හරි දෙමළ විතරක්‌ කතා කරපු කොටියා එයාගෙ අතේ තිබ්බ තුවක්‌කුවේ බඳෙන් අම්මට එකක්‌ ගැහුවා. අම්මා කෑගහගෙන ඇඳට වැටුණා. ඊට පස්‌සෙ ඇඳේ තිබ්බ ඇතිරිල්ලකින් අම්මගෙ අත් දෙක පිටිපස්‌සට තියල බැන්දා. ඒ කරල උන් එතනින් ටිකක්‌ එහාට ගියා. මට මොකුත් තේරෙන්නේ නෑ. කොටි කියල අහල තිබ්බට මේ වගේ කරදරයක්‌ වෙයි කියල අපි හිතුවෙ නැහැ. අපි මර බයෙන් කෑ ගැහුවා. සිංහල කතා කරන කොටිය ඇවිල්ල මොකද කෑගහන්නෙ කියල ඇහුවා. අම්ම කිව්වා මෙයා මට තුවක්‌කුවෙන් ගැහුවා කියලා. ඔහොම ඉන්න අතරෙ මේ කොටි දෙන්න එහෙට මෙහෙට ගියා. දැන් අපිට පේනවා තවත් කණ්‌ඩායමක්‌ තාත්තලව යටත් කරගෙන ඉන්නවා. වනජීවී එකේ ගොඩාක්‌ දෙනා අත් උස්‌සගෙන. කොටි එහෙට මෙහෙට කලබලෙන් දුවනවා. මේ අතරෙ අම්ම අත්දෙක බැඳල තිබ්බ ගැටේ ලිහාගෙන "පුතා අපි මෙතනින් පනිමු" කියල මට කිව්වා. එයාල එනකං ඉන්න කිව්වනෙ අපි මෙතනම ඉමු කියල මම අම්මට කිව්වා. නෑ අපි යමු කියල අම්ම මාවත් අරගෙන එළියට ආවා. පස්‌ස දොරෙන් ආවත්, ඉස්‌සර දොරෙන් එළියට ආවත් උන්ට පේනවා. ඒත් අම්ම ඒ වෙලාවේ කල්පනා කරල මාව පිටිපස්‌සට හංගගෙන හෙමින් බිත්තිය දිගේ පැත්තෙන් පැත්තට උන්ට නොපෙනෙන්න එළියට ආවා. වෙඩි තිබ්බ නම් වදින්නේ අම්මට. පස්‌සේ වටේ තිබුණු කම්බි වැටට යටින් රිංගලා මාවත් එළියට ගත්තා. ඊට පස්‌සෙ හැකි ඉක්‌මනට අපි වැටට එළියෙන් තියෙන පාර දිගේ දුවල පාළු ගෙදරක පිල් කණ්‌ඩියට ඇවිත් වාඩිවුණා." එදා දස හැවිරිදි දර්ශක අද (රේගු නිළධාරී) 35 වැනි වියට පා තබා එදා විල්පත්තුවේදී තම මව සමඟ දිවි ගලවා ගත් අයුරු මා සමඟ කෑගල්ල ඇඳුරාපොත නිවසේදී පැවසුවේ පියා ඒබ්‍රහම්ගේ දෑස්‌ කඳුලෙන් තෙමෙද්දී ය.

මඳක්‌ ඒ නිවසේ වෙහෙස නිවා ගනිද්දී අම්මා දර්ශකට කීවේ කොටි මිනිස්‌සු නොමරණ බවය. එහෙත් රජයේ දේපළ විනාශ කරන නිසා තවත් මොහොතකින් බෝම්බ හඬ ඇසේවි යෑයි කියා කන් වසා ගන්නට ද අම්මා දර්ශකට කීවේය. එහෙත් ඒ වෙනුවට වෙඩි හඬ දසත රැව් දුන්නේය. වනජීවී නිලධාරීන් හයදෙනකු දිවියෙන් සමුගත්තේ එහිදී ය. තම තාත්තාත් එහිදී මුහුණ පෑවේ කුමන ඉරණමකට ද යන්න දර්ශකට මහා ප්‍රශ්නයක්‌ විය. වෙඩි හඬ තුරුල්ව බස්‌ රථයක හා ජීප් රථයක හඬ මැකී යද්දී තවත් හෝරා භාගයකින් පමණ පසු අම්මා දර්ශකත් තුරුල් කර ගනිමින් තම ආදර ස්‌වාමියා සොයා ගියේය. එහෙත් මිනිසුන් එකා දෙන්නා රැස්‌ වූ ඒ මිනී කනත්තේ තැන තැන විසිර ගිය මළමිනී අතර තම ස්‌වාමියාගේ සිරුර නැති බව සෝමලතාට වැටහිණි. සිද්ධියෙන් ගැලවුණු එක්‌ නිලධාරියකු වූ ආරියරත්න පැවසුවේ "මහත්තයා" කොටි අරං ගියා කියා ය. එහෙත් සෝමලතා යළිත් තම ස්‌වාමියා ඒබ්‍රහම් දකින්නට ලැබේ යෑයි සිතන්නට නැත. ඔහු යළිත් කොටින්ගෙන් බේරී ආ බව කෙනෙකු පැවසූ විට පිළිගන්නට තරම් අකමැති වුයේ ද යම් විනාශයක්‌ සිදුව ඇති බවට ඇයට වැටහී තිබුණු නිසාය. එහෙත් ඇය හදවතින් ම හඬා වැළපුණාය. ඒ උණු කඳුළු කැටි සතුටු කඳුළු බවට පත් වූයේ යළිත් හවස්‌ යාමයේ ඒබ්‍රහම් ඔවුන්ගේ කැදැල්ලට එකතු වීමත් සමඟ ය. දර්ශක තාත්තා ඉදිරියේ මේ කරුණු අපට කියද්දී ඔවුන්ගේ පමණක්‌ නොව මාගේ දෙනෙත් වලද කඳුළු කැට පිරී තිබිණි.

එදා 1985 මැයි 14 වැනිදා මෙසේ කොටි ත්‍රස්‌තවාදීන් විසින් විල්පත්තුව කඳුලෙන් මෙන්ම ලෙයින් ද තෙත් කරනු ලැබුවේ අනුරාධපුර ශුද්ධ නගරයට පැමිණ බෞද්ධයාගේ උතුම් මුදුන් මල්කඩක්‌ වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස සිල් සමාදන් වූ උවසු උවැසියන් ද 120 දෙනකු ඇතුළු 122නකු ඝාතනය කොට නැවත පලා යන ගමනේදී ය.

එහෙත් විල්පත්තුවට පැමිණෙන තෙක්‌ ඒබ්‍රහම් හෝ එහි කාර්ය මණ්‌ඩලය අනුරාධපුරයේ සිදුවීම් දැන සිටියේ නැත. නොච්චියාගම ප්‍රදේශයේදී බැංකු ආරක්‍ෂකයකු විසින් තබන ලද වෙඩි පහරකින් එක්‌ කොටි ත්‍රස්‌තවාදියකු පමණක්‌ බරපතල තුවාල ලැබුවේය. එම ත්‍රස්‌තවාදියා විල්පත්තුවේදී රැගෙන ගියේ ඒබ්‍රහම් රැගෙන ගිය ජීප් රථයෙනි. පිටුපස කොටසේ තුවාලකරු සමඟ තවත් කොටි සාමාජිකයෝ හතර දෙනකු වූහ. මේ තොරතුරු ද පසුව අනාවරණය වූයේ ඒබ්‍රහම්ගෙනි. වාසනාවක තරම ඒබ්‍රහම් එදා බේරුණේය. එදා ඔහුටත් බේරීගත නොහැකි වූයේ නම් මේ බොහෝ තොරතුරු කාලයේ වැලිතලාවෙන් යට වී යනු ඇත. මේ තොරතුරු අසන්නට පමණක්‌ නොව බෙරී පලාගිය ත්‍රස්‌තයන් සොයන්නට ද ඒබ්‍රහම් හෙලිකොප්ටරයක හොවාගෙන ආරක්‍ෂක අංශ ඔහුව රැගෙන ගියේය. ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා ඔහුව කොළඹට කැඳවා ගෙන සිද්ධිය ගැන විස්‌තර අසා ගත්තේය. එහෙත් ඒබ්‍රහම්ට ලැබුණේ යාල උද්‍යානයට ස්‌ථාන මාරුවක්‌ හා බිරිඳ සෝමලතාට ද පුතුට ද ගමේ ඉස්‌කෝලයට ස්‌ථාන මාරුවීමකි. එතැනින් එහා දෙයක්‌ ඔහුට නොලැබුණත් විල්පත්තුව ත්‍රස්‌ත ග්‍රහණයෙන් දෙවරක්‌ මුදාගෙන සංචාරකයන්ට විවෘත කරන මොහොතක ඔහුටත් ඇරයුමක්‌ ලැබෙනු ඇතැයි ඔහු උදක්‌ම බලාපොරොත්තුව සිටියේය. එහෙත් ඒබ්‍රහම් ගැන බොහෝ දෙනකුට අමතකව ඇත. අප ඔහු සොයා ගියේ ඒ මතකය පමණක්‌ නොව ඔහුගෙන් විල්පත්තු වනදිවියේ ම මතකය අවදි කරගනු සඳහා ය.

නිමි

ජගත් කණහැරආරච්චි
ඡායාරූපය - වාසල සේනාරත්න

රාජකාරි මිතුරන් සමග විල්පත්තුවේදී

 
Powered By -