ඇසි දිසි මානය
ජ. වි. පෙ. කොහේද යන්නේ?

මැතිවරණ උණ නැවතත් පැතිර යන හෙයින්, දේශපාලනයෙන් බැහැරව ලිවීම අපහසු දෙයකි.

දේශපාලනය ආසියාතික රටවල වැසියන් වන අපගේ ප්‍රියතම විෂයකි. ඊළඟට සිදුවන්නේ කුමක්‌ දැයි දැන ගැන්මේ විමසීමේ නොසිඳෙන කුතුහලයක්‌ අප තුළ තිබේ.

දැනටමත් අසුවල් ඇමැතිවරු පරාද වෙතැයිද, අසුවල් අපේක්‍ෂකයන් උඩින්ම දිනතැයි ද මිනිස්‌සු කතා බහ වෙති.

මේ මාතෘකා අතර වඩාත් කතා බහට ලක්‌වන්නේ ජනතා විමුක්‌ති පෙරමුණයි.

නමුත් සැබෑ තත්ත්වයට අනුව ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැත. ජනතා විමුක්‌ති පෙරමුණ නමින් කිසිදු අපේක්‍ෂකයකු ඉදිරිපත් වී නැත.

ඔවුන් මෙවර ඉදිරිපත් වී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නම් පක්‍ෂයෙනි.

නමුත් මෙයින් සති කිහිපයකට පෙර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ සිටියේ එක්‌සත් ජාතික සන්ධානයේ ය. එජාප (රනිල්), මුස්‌ලිම් කොංග්‍රසය (රවුෆ් හකීම්), බස්‌නාහිර ජනතා පෙරමුණ (මනෝ ගනේෂන්) ශ්‍රීලනිප (ම පිල) මංගල සමරවීර සිටියේ ඒ සංධානයේ ය. එය පක්‍ෂ 19 කින් යුත් සංධානයක්‌ වුවද, අනෙක්‌ පක්‍ෂ මොනවා දැයි කිසිවෙකුත් හරි හැටි නොදනිති.

එම එක්‌සත් ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශකකම කළේ ජ.වි.පෙ. යේ අනුර කුමාර දිසානායකය. එ. ජා. සංධානයේ පොදු අපේක්‍ෂකයා වූයේ ජෙනරාල් ෆොන්සේකා මහතා ය. ලකුණ හංසයා ය.

ජනාධිපතිවරණයේ බරපතල පරාජයෙන් පසු එක්‌සත් ජාතික සංධානය නමැති ඒ පක්‍ෂය දැන් එක්‌සත් ජාතික පෙරමුණ බවට පත් වී තිබේ. ලකුණ අලියා වුවද එහි නම එක්‌සත් ජාතික පක්‍ෂය නොවේ.

ක්‍ෂණික දැන හැඳුනුම් මත ඇති කර ගන්නා විවාහ ක්‍ෂණිකව කැඩී යැම බොහෝ විට සිදු වන්නකි. ජ.වි.පෙ.ය එජාපයට පෙම් කළේ නැත. ඔවුන් එජාපය සමඟ ඇතිකර ගත්තේ තාවකාලික එකගෙයි කෑමකි. වුවමනාව තිබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් පලිගැනීමය.

ජවිපෙ එයින් පරාජය ලැබුවා පමණක්‌ නොව රටේ ජනතාවගෙන් ද බරපතල ලෙස ගැරහුම් ලදහ. සිය පාක්‍ෂිකයන්ගේ අපවාදවලට ලක්‌වූහ.

යූ.එන්.පී.ය සමඟ කරට අත දමා ගැනීම ජවිපෙයට හිතවත් ප්‍රගතිශීලී අදහස්‌ ඇත්තවුන් නොරිස්‌සූහ.

ජනතාව තුළ ජවිපෙය කෙරෙහි ප්‍රසාදයක්‌ තිබුණේ ඔවුන් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක්‌ කළ අය බැවිනි. ඔවුන් කෙතරම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක්‌ කළේද යත් 2004 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ සන්ධානගතව ඡන්දය ඉල්ලූ අවස්‌ථාවේදී ජ.වි.පෙ. මන්ත්‍රීවරු 38 දෙනෙක්‌ පාර්ලිමේන්තුවට එවීමට තරම් මෙරට ප්‍රගතිශීලී අදහස්‌ දරන ඡන්දදායකයෝ ඔවුන් කෙරෙහි ප්‍රසාදජනක වූහ.

ඒ 2004 මැතිවරණයේදී ගාලු දිස්‌ත්‍රික්‌කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක්‌ ලැබූ මන්ත්‍රීවරයා වූයේ ජවිපෙයෙන් ඉදිරිපත් වූ අජිත් කුමාර නමැති ලාබාල උපාධිධාරී තරුණයාය. ඔහු ලද සියලු ඡන්ද ජ.වි.පෙ. ඒවා නොවේ.

නමුත් ජවිපෙ. ලද 38 දෙනකුගේ පාර්ලිමේන්තු බලය රාජපක්‍ෂ රජය මෙල්ල කිරිමේ කෙවිටක්‌ කර ගැන්මට යැම නිසා පාර්ලිමේන්තු බලය තුලනය කර ගැනීමට සන්ධාන රජය එ.ජා.ප.යෙන් මන්ත්‍රීවරු 17 දෙනකු ඇමැතිකම් දෙමින් බා ගත්තේය.

(ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව විපක්‍ෂ මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඇමැති තනතුරක්‌ දුනහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ හැකියාව නිශේධනය වේ.)

මේ සා විශාල ඇමැති තනතුරු සමූහයක්‌ වැඩි වූයේ ජ.වි.පෙ.ය සිය මන්ත්‍රීවරු 38 හරහා රාජපක්‍ෂ ආණ්‌ඩුව පාර්ලිමේන්තුව තුළදී වට්‌ටවන්නට තැත් කළ නිසා ය.

ජෙනරාල් ෆොන්සේකා ජ.වි.පෙ.යේ තෝරා ගැනීමකි. එය හොඳ ඉලක්‌ක සහගත තෝරා ගැනීමකි. ජෙනරාල් ෆොන්සේකා පිටුපස තිබෙන විදේශ බලවේගත්, ඒවා සමඟ ජ.වි.පෙ. කොතෙක්‌ බැඳි සිටී ද යන්නත් දෘෂ්‍යමාන නොවේ. නමුත් එහි කොන්ත්‍රාත්තුවක ලක්‍ෂණ තිබේ.

ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇමරිකාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය රජයට කරන බලපෑම්වලින් පෙනෙන්නේ ජෙනරාල්වරයා ජනාධිපති තරගයට ඉදිරිපත් වීම පිටුපස විදේශ බලපෑම් තිබී ඇති බවයි.

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක යෙදෙන ජවිපෙයට ලෝක අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත්තුවලට සහයෝගය දිය හැකිද?

එය ජනතාව කල්පනා කරන දෙයකි. ජ.වි.පෙ.යේ ප්‍රධාන සටන් පාඨය අල්ලස. දූෂණය, ඥාති සංග්‍රහය සහ ඒකාධිපතිවාදයට එරෙහි වීමයි. ජනාධිපතිවරණයේදී ඔවුන් එකට හිඳ ගත් එ.ජා.ප.ය තුළ ඒවා නොතිබුණේ ද.

කෝප් වාර්තාව හෙළි කළ දූෂකයන් අතර එ.ජා.ප ඇමැතිවරු නොසිටියේ ද?. එජාපය රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොතෙක්‌ දූෂණය කළා දැයි ජවිපෙය හොඳින් දනී. මක්‌නිසාද අතීතයේ එ.ජා.ප. රජයන් ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කළ අවස්‌ථාවන්හිදී ඒවාට එරෙහිව වීදි බැස වඩාත්ම සටන් කළේ ඔවුන් වන බැවිනි.

ජ.වි.පෙ. සාමාජිකයන් පමණක්‌ නොව රටේ ඉතා අහිංසක තරුණ තරුණියන් පවා දස දහස්‌ ගණනින් ඝාතනය කළේ එජාපයි.

නමුත් දැන් ජ.වි.පෙ. නායකයන් කියන්නේ ඒවා අමතක කළ යුතු බවයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිංහාසනයෙන් බැස්‌සවීම සඳහා ඒවා අමතක කළ යුතු බවයි.

ඒවා ජ.වි.පෙ.යට අමතක වුවද රටේ ජනතාව අමතක කළේ නැත. එජාපය සමඟ කරට අත දමා ගැනීම ජනතාව නොරිස්‌සුවේ එබැවිනි. ජවිපෙය ඉදිරිපත් කළ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීමට ඡන්දය නුදුන්නේ එබැවිනි.

දැන් ජ. වි. පෙ. ඡන්දය ඉල්ලන්නේ සිය පක්‍ෂය පසෙකින් තබා ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය නමැති පක්‍ෂයෙනි. එහි නායකයා ජෙනරාල්වරයා ය.

මුළු රටම දන්නා ආකාරයට ජෙනරාල් ෆොන්සේකා ජ.වි.පෙ. පාක්‍ෂිකයකු නොවේ. කිසිදාක ඔහුට ජ.වි.පෙ. සබඳතාවක්‌ තිබුණේ නැත. හමුදා ප්‍රධානියකු වෙතින් කිසිසේත්ම එවැන්නක්‌ බලාපොරොත්තු විය හැකි ද නොවේ.

ජවිපෙය මේ යන්නේ කොහේ දැයි ජනතාව විමතියෙන් බලා සිටින්නේ එබැවිනි.

ජවිපෙය විනය ඉතා තදින් සලකන පක්‍ෂයකි. මා දන්නා හඳුනන ජවිපෙ සාමාජිකයෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබුයේ අඩු වයස්‌ යුවතියකගේ විවාහයට අත්සන් තැබීමේ වරද නිසා ය.

ධනුන තිලකරත්නගේ මව සන්තකයේ බැංකුවක තිබුණු ඩොලර් මිටි සහ ප්‍රෑන්ක්‌ස්‌ නෝට්‌ටු කුමක්‌ සඳහා දැයි ප්‍රශ්නයට ඇය පිළිතුරු දී තිබුණේ ඒවා ජෙනරාල්වරයාගේ මැතිවරණයට වියදම් කරනු පිණිස තබා ගත් ඒවා බවය.

කෝටි 7 ක්‌ පමණ වන ඒ මුදල් කුමන ආකාරයෙන් ලැබුණු ඒවා දැයි අපි නොදනිමු.

නමුත් ජ.වි.පෙ. විනයට අනුව නම් මුදල් ද පාරිශුද්ධ විය යුතුය. ඒ හරහා ඔවුන්ගේ නායකයා ද පාරිශුද්ධ විය යුතුය.

විමල් වීරවංශ ජ.වි.ප.යෙන් ඉවත්ව ආණ්‌ඩු පක්‍ෂයට ගිය අවස්‌ථාවේ සීගිරි ගලෙන් පතුරක්‌ ගැලවුණාට සීගිරිය හෙල්ලෙන්නේ නැතැයි අනුර කුමාර දිසානායක කීවේය.

සීගිරියේ වටිනාකම තිබෙන්නේ එය ගල් පර්වතයක්‌ වන නිසා නොවේ. එය රජෙකුගේ අපූර්වතම බලකොටුවක්‌ වන නිසා ය. එහි ඇති බිතු සිතුවම් නිසාය. කැටපත් පවුරේ කුරුටු ගී නිසා ය.

ජවිපෙ නමැති සීගිරියේ ප්‍රෙෘඪත්වය ඉතිහාසගත වටිනාකම් ගරා වැටෙමින් තිබෙන බැව් පෙනේ. එහි නායකයෝ එහි ඉතා වටිනා සිතුවම්වල තාර ගාමින් සිටිති. කැටපත් පවුරේ වටිනා අකුරු මකමින් අලුත් ගී ලියමින් සිටී.

මෙවැනි සටහනක්‌ තැබුවේ ජ.වි.පෙ. ය යනු අපේ දේශපාලන පක්‍ෂ අතර වඩාත්ම පිරිසිදු පක්‍ෂය ලෙස 30 වසරක්‌ විශ්වාසය දිනා ගෙන සිටි නිසා ය.

චJද්‍රසිරි දොඩන්ගොඩ

 
Powered By -