විද්වත් හමුව
සංවර්ධන ප්‍රතිපත්ති ආයෝජකයන්ට
හිතකර ලෙස හැඩගැස්‌විය යුතුයි
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් අබේරත්න


ත්‍රස්‌තවාදය පරදා දිනූ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීම මීළඟ කාර්යය බව රජය කියයි. ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිsළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් අබේරත්න කරන විග්‍රහයකි මේ.

ශ්‍රී ලංකාව ලෝකයේ ආශ්චර්යය බවට පත් කිරීම මහින්ද චින්තනයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ විදිහටයි මේ රජය හඳුන්වන්නේ. මේ වැඩපිළිවෙළ තුළින් ඒ ඉලක්‌ක සපුරා ගන්න පුළුවන්ද?

අපේ රටට දැන් මේ උදාවෙලා තියෙන්නේ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌. ඒ හේතු දෙකක්‌ නිසා. එක හේතුවක්‌ තමයි මේ යුද්ධය අවසන්වීම. අනික්‌ හේතුව ලෝක ආර්ථිකයේ ඇති වී තිබෙන පුනර්ජීවනය. මේ කරුණු දෙක නිසා ඉතාමත් කලාතුරකින් හිමිවෙන ඉඩ ප්‍රස්‌ථාවක්‌ රටට ලැබිල තියෙනවා. මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන අරගෙන වේගවත් සංවර්ධන ක්‍රියාදාමයක්‌ තුළට රට ගේන්න පුළුවන්. මෙවැනි අවස්‌ථා ඉතිහාසයේ කිහිප වරක්‌ම අපේ රටට ලැබී තිබුණත් එයින් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. මේ අවස්‌ථාවෙනුත් නිසි ප්‍රයෝජන ගනීද නැද්ද කියල ඉදිරි කාලයේදී බලා ගන්න පුළුවන්.

මේ සඳහා යෝජිත වැඩපිළිවෙළක්‌ හැටියට මහින්ද චින්තනයේම එන ශ්‍රී ලංකාව ලෝකයේ ආශ්චර්යයක්‌ බවට පත් කිරීම, ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික සෞභාග්‍යයක්‌ ඇති කිරීම, ඊළඟ අවුරදු හය තුළ ඒක පුද්ගල ආදායම දෙගුණ කිරීම, ආර්ථික වර්ධන වේගය සියයට අටකට පවත්වා ගැනීම, නාවික, ගුවන්, වාණිජ, බලශක්‌තිය සහ දැනුම අංශ පහෙන් ශ්‍රී ලංකාව ග්ලෝබල් හබ් එකක්‌ එනම් විශ්ව කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කිරීම යන කරුණු ඇතුළත් ඒ දර්ශනය ඉතාම හොඳයි. නමුත් මේ දර්ශනය ක්‍රියාත්මක කරන්න තියෙන වැඩපිළිවෙළ කුමක්‌ද කියන කාරණය පිළිබඳ ගැටලුවක්‌ තියෙනව.

රටක්‌ සංවර්ධනය වීමට නම් එය ලෝකයට විවෘත වෙන්න ඕන. ඒ විවෘත වීම තුළින් අවශේෂ ලෝකය සමඟ ඇති සම්බන්ධකම් තව තවත් දැඩි වෙන්නට ඕන. රටක්‌ විශ්ව කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වන්නේ එහෙමයි. නමුත් පසුගිය අවුරුදු කිහිපය අරගෙන බැලුවොත් විදේශයන් හා අපේ රට අතර ඇති සබඳතා ක්‍රමයෙන් දුර්වල වෙමිනුයි තියෙන්නේ. විදේශ සබඳතා, මුදල් ගනුදෙනු, ආනයන පාලන සීමා සබඳතා දේශීය ආර්ථිකය නැංවීමේ පරමාර්ථයෙන් ගත් ක්‍රියාමාර්ග ආදී දේවල්වල අඩුවීමක්‌ තිබෙනවා. නමුත් ග්ලෝබල් හබ් එකක්‌ නොහොත් විශ්ව කේන්ද්‍රස්‌ථානයක්‌ බවට යම් රටක්‌ පත්වෙන්නට නම් මේ ක්‍රියාදාමයන්ගේ වර්ධනයක්‌ ඇති වෙන්නට ඕන.

ගුවන් ගමන් පිළිබඳ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වී ඇති සිංගප්පූරුවේ සෑම විනාඩි තුන හතරකට වරක්‌ ගුවන් යානයක්‌ ළඟා වෙනවා. ඒ වගේම පිටත් වෙනවා. ශ්‍රී ලංකාවත් එවැනි කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වෙන්නට නම් දවසකට අඩු තරමින් ගුවන් මගීන් මිලියනයක්‌ වත් හසුරුවා ගත හැකි ගුවන් ගමන් පද්ධතියක්‌ තියෙන්න ඕන. ගුවන් ගමන් සම්බන්ධ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වෙන්නට නම් කටුනායක හෝ හම්බන්තොට එවැනි තත්ත්වයකට දියුණු කර ගත යුතු වෙනවා.

නාවික ක්‍ෂේත්‍රයේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වෙන්නට නම් ඇත්ත වශයෙන්ම භූගෝලීය වශයෙන් අපේ රට බටහිර සහ නැගෙනහිර නාවික ගමන් මාර්ගය තුළ පිහිටා තිබීම විශාල වාසියක්‌. හම්බන්තොට ඒ සඳහා සුදුසුම වරාය බවත් පිළිගත් කාරණයක්‌. අද මේ සම්බන්ධයෙනුත් ආසියාවේ කාර්ය බහුලම වරාය තිබෙන්නේත් සිංගප්පූරුවෙයි. අපේ රටත් නාවික කටයුතු පිළිබඳ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වෙන්නට නම් එවැනි කාර්යබහුල තත්ත්වයකට සූදානම් විය යුතු වෙනවා.

වාණිජ අංශයෙන් ගත්තත් සියලුම ආකාරයේ ජාත්‍යන්තර මුදල් ගනුදෙනු ආනයන අපනයන සහ බැංකු හරහා කෙරෙන මුදල් ගනුදෙනු - ප්‍රාග්ධන ප්‍රවාහ වඩාත් කාර්යක්‍ෂමව සිදු වෙන්නට ඕන.

යම් යම් සීමාවන් හදාගෙන මේවා කාර්යක්‍ෂම කරන්න බැහැ.

බලශක්‌තිය සම්බන්ධයෙන් කේන්ද්‍රස්‌ථානයක්‌ වීම අපේ රටේ තෙල් සොයා ගැනීම පිළිබඳ විශ්වාසය හරහා ඇති කරගත් සංකල්පයක්‌ විය යුතුය. නමුත් බල ශක්‌තිය සම්බන්ධයෙන් කේන්ද්‍රස්‌ථානයක්‌ වීමට ඛණිජ සම්පත් තිබිය යුතුම නැහැ. කිසිම ඛනිජ සම්පතක්‌ සිංගප්පූරුවේ නැතත් ඔවුන් aඒ ක්‍ෂේත්‍රයේත් කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්ව සිටින්නේ ලොව ප්‍රධාන පෙළේ තෙල් සම්බන්ධ බහුජාතික සමාගම් දහයක්‌ පමණ සිංගප්පූරුවේ ආයෝජනය කර තිබෙන නිසයි. අපේ රටේ එවැනි ප්‍රධාන පෙළේ සමාගමක්‌ ලෙස තිබෙන්නේ අයි. ඕ. සී. සමාගම විතරයි.

දැනුම සම්බන්ධයෙන් කේන්ද්‍රස්‌ථානයක්‌වීමට නම් විදේශ ශිෂ්‍යයන් අධ්‍යාපනය සඳහා මෙරට විශ්වවිද්‍යාලවලට පැමිණෙන තත්ත්වයක්‌ ඇති කර ගත යුතුයි. නමුත් අද සිදුවන්නේ ඉන්දියාවට බංගලිදේශයට සහ නේපාලයට පවා අපේ ශිෂ්‍යයන් දහස්‌ ගණනින් උසස්‌ අධ්‍යාපනය හැදෑරීමට යැමයි. දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වීමට නම් දැනුම අපේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක්‌ විය යුතුයි. දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ වීමට නම් අපේ රටේ විශ්වවිද්‍යාලවල විදේශ ශිෂ්‍යයන් පිරිල ඉන්න ඕන. ඒ තත්ත්වයට ගේන්න නම් රටේ අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක්‌ ප්‍රතිසංස්‌කරණයක්‌ අවශ්‍ය වෙනව. අපේ රට ආසියාවේ ආශ්චර්ය වෙන්නට නම් ඉහත අප කතා කළ හැම ක්‍ෂේත්‍රයකම විශාල පරිවර්තනයක්‌ සිදුවිය යුතු වෙනවා.

අද දැන් තවත් මහ මැතිවරණයක්‌ හමුවේදී විපක්‍ෂය රජයට එල්ල කරන ප්‍රධාන චෝදනාවක්‌ නම් යුද්ධය ඉවර වුණත් බඩු මිල තවමත් වැඩි වෙනවා කියන කාරණය. ජනතාවගෙන් ඇහුවොත් ඔවුනුත් කියන්නේ ඔව් බඩු මිල වැඩියි කියලයි. මේ කතාව ඔබ විස්‌තර කරන්නේ කොහොමද?

යුද්ධය අවසන් වුණත් බඩු මිල වැඩිවෙනවා. යුද්ධය අවසන් වූ පසු බඩු මිල වැඩිවීමේ වේගය තරමක්‌ අඩු වී තිබෙනවා.

බඩු මිල වැඩිවෙන්න බලපාන්නේ හේතු දෙකක්‌. ලෝක ආර්ථිකය දැන් යථා තත්ත්වයට පත්වී තිබීම එක හේතුවක්‌. අවපාතයකදී බඩු මිල වැටෙනවා. නමුත් දැන් තියෙන්නෙ ලෝකයේ මිල ගණන් ඉහළ නඟිමින් තිබෙන අවස්‌ථාවක්‌. ඒ විදේශ මිල ගණන් ඉහළ යැමේ බලපෑම අපටත් එනව. අපේ රටේ බඩු මිල ඉහළ යැමට බලපාන අනිත් කාරණය නම් මේ ආර්ථික ප්‍රතිපත්තිය. පසුගිය වසරේ අයවැය ගැන ප්‍රශ්නයක්‌ තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය අතර ඇති කර ගත් එක්‌ එකඟතාවක්‌ වුණේ අය වැය හිඟය ජාතික දළ නිෂ්පාදිතයන් සියයට 7 ක මට්‌ටමේ තබාගත යුතුය කියන කාරණය. ගියවර අය වැය ඉදිරිපත් කරන විට රජය කිව්වේ මෙය සියයට 6.5 මට්‌ටමේ තබා ගන්න බවයි. නමුත් සත්‍ය තත්ත්වය නම් මෙය සියයට 9 කටත් වඩා ඉහළ තත්ත්වයකයි තිබුණේ.

දැන් යුද්ධය අවසන් වී තිබුණත් යුද්දයට වියදම් කළ මුදල් පුනරුත්ථාපනය සහ යළි ගොඩනැඟීමේ කටයුතුවලට වියදම් කරන්නට සිදු වුණා. ඒ නිසා යුද්ධයට වියදම් කළ මුදල් දැන් ඉතිරි වී තිබෙනවා යි තීරණය කරන්න බැහැ.

ජී. එස්‌. පී. සහනය තාවකාලිකව නතර කිරීම රටේ ආර්ථිකයට කෙබඳු බලපෑමක්‌ ඇති කරයිද?

පසුගිය කාලය තුළදී යුරෝපා රටවල් සමග අපේ රටේ සම්බන්ධතා සෑහෙන්න අඩු වුණා. ඒ වගේම අලුත් මිත්‍රයන් ඇති කර ගත්තා. අලුත් මිත්‍රයන් ඇති කර ගැනීම හොඳයි. චීනය, ඉන්දියාව වැනි රටවල් අනාගතයේදී විශාල ලෝක වෙළෙඳපොළවල් නමුත් පරණ වෙළෙඳපළවල් අමතක කරන්නට හොඳනැහැ. තවමත් අපේ රටේ අපනයන වෙළෙඳපෙළ තියෙන්නෙ යුරෝපයේ සහ ඇමරිකාවේ. චීනයේ නෙමෙයි, ඉන්දියාවේ හෝ රුසියාවෙත් නෙවෙයි. දේශපාලන වශයෙන් යම් යම් තීරණවලදී යුරෝපා රටවල් අපට විරුද්ධ යෑයි සිතුවත් එය ඒ සමස්‌ත රටවලම අදහස නෙමෙයි. කොහොම වුණත් ජී. එස්‌. පී. කියන්නෙ සහනයක්‌. සහන පිළිබඳ හැමදාම බලාපොරොත්තු තියා ගන්න බැහැ.

අපේ රටේ ඉදිරි ආර්ථික ගමන්මග පිළිබඳ කෙබඳු අනාවැකියක්‌ද ඔබ පළ කරන්නේ?

ඇත්ත වශයෙන් සියයට 8 ඉක්‌මවන ආර්ථික වර්ධන වේගයක්‌ පවත්වා ගැනීමට අපේ රටට හැකියාවක්‌ තිබෙනව. යුද්ධය අවසන් වීමෙන් ඇති වී තිබෙන ස්‌වභාවික පුනර්ජීවනය එක හේතුවක්‌. සංචාරක අංශයේත් කෘෂි අංශයෙත් දියුණුවක්‌ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති මේ ප්‍රගතිය වැඩි කරගන්න වගේම අඩු කර ගන්නත් හේතු වෙනවා. අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කර ගන්නත් මැතිවරණ ප්‍රකාශනවල කියන ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙන්නටත් නම් ප්‍රධාන වශයෙන්ම අපේ සංවර්ධන ප්‍රතිපත්ති ආයෝජනයට හිතකර ආකාරයට හැඩ ගැසෙන්න ඕන. අද ලෝකයේ ආයෝජකයන්ට තම ආයෝජන සඳහා තෝරා ගැනීsමට රටවල් විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. ඒ තෝරා ගැනීමට ඇති රටවල් ප්‍රමාණය විශාල නිසා එයට තරගකාරීව මුහුණ දෙන්නට අපේ රටටත් සිදුවී තිබෙනවා. ඒ තරගකාරීත්වයෙන් ජය ගන්නට නම් ආයෝජනයට හිතකර පරිසරයක්‌ අප රට තුළ තිබෙන්නට ඕන. ඒ සඳහා දේශපාලන ස්‌ථාවරත්වයක්‌ ඉතාම වැදගත්. යුද්ධය අවසන් වීමෙන් එය ඇති විය හැකි වුවත් පක්‍ෂ කා කොටා ගන්නට ගියොත් නැවතත් දේශපාලන අස්‌ථාවරත්වයක්‌ ඇති වෙන්න පුළුවන්.

වංචාව හා දූෂණය ඉහළ ගිය රටක්‌ තුළ ආයෝජනයට හිතකර පරිසරයක්‌ ඇති වෙන්නේ නැහැ. පසුගිය වසර පහකට පමණ පෙර ට්‍රාන්ස්‌පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් පළ කළ වාර්තාවකින් ලෝකයේ දූෂිතම රට ලෙස හැඳින්වූයේ බංග්ලාදේශයයි. නමුත් බංග්ලාදේශය අද ඒ තත්ත්වයෙන් මිදෙමින් සිටිනවා. ඉන්දියාවත් තම රට තුළ දූෂණයට සතුටුදායක මට්‌ටමකට අඩු කර ගෙන තිබෙනවා. නමුත් අපේ රටේ දූෂණය හා වංචාව පිළිබඳ තත්ත්වය ක්‍රමයෙන් වඩාත් නරක අතට ගමන් කරමින් තිබෙනවා. ලෝකයේ හැම රටකම ආර්ථික තත්ත්වය දේශපාලන තත්ත්වය, වංචා දූෂණවල තත්ත්වය, ආණ්‌ඩුවේ යහපත් පාලනය පිළිබඳ දර්ශක, අයවැය තත්ත්වය ආදිය පිළිබඳ ජාත්‍යන්තර වාර්තා දෙස බලල ඒවා වඩාත් හොඳ මට්‌ටමින් පවත්වා ගෙන යන්නට කටයුතු කළත් ආයෝජකයන් සඳහා තරගකාරීත්වයක්‌ ඇති රටවල් අතරින් මුල් තැනක ඉන්නට අපේ රටට පුළුවන්. ආයෝජකයන් වැඩි වශයෙන් අපේ රටට ඇදී එන්නේ එවිටයි. ආසියාවේ පමණක්‌ නොව ලෝකයේම ආශ්චර්ය වෙන්නට එවිට අපේ රටට අවස්‌ථාවක්‌ උදාවේවි.

සාකච්ඡා කළේ -  පාලිත සේනානායක

 
Powered By -