ප්‍රජා ආණ්‌ඩුකරණය
ධම්ම දිසානායක
කොබෙයි කූඩු දේශපාලනය

එක එක වර්ගවල කොබෙයියො හිටියත් මේ කියන කතාවට පසුබිම වෙන්නේ අළු කොබෙයියො. කොබොයියො සම්බන්ධ කතන්දරයක්‌ මීට ඉස්‌සරත් මේ කොලමේම ලිව්වා බොහෝ දෙනාට මතක ඇති. ඒක දරු දෙන්නා මරපු කොබෙයියො ගැන ලියවුණ එකක්‌. මේ සැරේ කතාවට අදාළ වෙන්නෙ කොබෙයියො කූඩු හදපු හැටි.

ඉස්‌සර කාලෙ වඩු කුරුල්ලන්ට හැර අනික්‌ කුරුල්ලන්ට ගෙවල් තිබුණෙ නැතිලු. ඉතින් අව්වට වේලෙමින් වැස්‌සට තෙමෙමින් කිසිම ආරක්‌ෂාවක්‌ හෙවනක්‌ නැතිව හිටපු කුරුල්ලන්ට හිතුනලු අපිත් ගෙවල් හදාගත්තනම් හොඳයි කියල. ඉතින් කුරුල්ලො කුරුලු සභාවක්‌ තියල ඒකමතිකව තීරණය කරාලු ගෙවල් හදාගන්න ඕනිය කියල. මේ සභාවට ආවේ නැති කුරුල්ලො දෙන්නෙක්‌ ඉඳල තියෙනවා. ඒ අර කොබෙයියයි කොවුල යි.

කුරුලු සභාව ගෙවල් හදමු කියල තීරණය කරාට ගෙවල් හදන හැටි කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ. ගෙයක්‌ හදන එක සෙල්ලං වැඩක්‌ නොවෙයිනෙ. කීයක්‌ දේවල් ඕනිද? කීයක්‌ කාරණා ගැන හිතන්න වෙනවද? කාලය, ශ්‍රමය මේ හැම දෙයක්‌ම හිතා බැලිය යුතු දේවල්. ඊටත් වඩා තම තමන්ට ගැලපෙන ගෙවල්වල හැඩය ආකෘතිය වගේම සුවපහසුවට අවශ්‍ය දේවල්, කොයි තැනකද ගෙවල් හදන්නෙ. තම තමන්ගේ ආරක්‌ෂාව සැලසෙන්නෙ කොතැන ගෙවල් හැදුවොත්ද? මේ ආකාරයේ දහසකුත් එකක්‌ ප්‍රශ්න කුරුලු හොටවලින් එළියට විසිවුණා. කුරුලු සභාව එකම ගාලගෝට්‌ටියක්‌. අන්තිමේ ඉතා වැදගත් තීරණයකට සභාව එළඹුණා. ගෙවල් හදන තැන තේරීම ඒ ඒ කුරුල්ලන්ටත් කිරිල්ලියන්ටත් භාරවුණා. තමන්ට අවශ්‍ය තැන තේරුවාම තමන්ට අවශ්‍ය පහසුකම් මොනවාදැයි තීරණය කරාම එතැන ඒ වුවමනාවන්ට ගැලපෙන විධියට ගේ ස්‌වරූපය වගේම ගේ හදන ක්‍රමය කියා දෙන්න උපදේශකයෙක්‌ නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක්‌ විධියට කටයුතු කරන්න වඩු කුරුල්ලා පත්කර ගත්තා. අද කාලේ වචන වලින් කිව්වොත් ගෘහ නිර්මාණ ශිල්පියාගේ වාස්‌තු විද්‍යාඥයාගේ කාර්යය පැවරුණා වඩු කුරුල්ලන්ට.

හැබැයි මේ කුරුලු ගෘහ නිර්මාණ ශිල්පියා, වාස්‌තු විද්‍යාඥයා අද අපට වඩා ගොඩක්‌ වෙනස්‌. අද ඔය දෙන්නා ගැන මතක්‌ වෙනකොටත් ඇඟේ ලේ වතුර වෙනවා. නිදහස්‌ අධ්‍යාපනයෙන් ජනයාගේ බදු මුදලින් ඉගෙන ගත්ත ගෘහ නිර්මාණ ශිල්පියෝ ජනයාට කියන ගණන් ඇහුවම දවල්ටත් තරු පේනවා. විශ්වවිද්‍යාලෙන් පිටවෙලා හදන පළමු ප්ලෑනට ගණන් කියන්නේ ඒ ගානෙන්ම තමන්ගේ මාළිගාව හදාගන්න බලාගෙන. අපේ රටේ බොහෝ මැද පන්තිකයෝ ඒ නිසාම ගෘහ නිර්මාණ ශිල්පීන්ට බයයි. කොහොම වෙතත් මේ අපේ කතාවේ එන වඩු කුරුලු ගෘහ නිර්මාණ ශිල්පියා නූතන ගෘහ නිර්මාණ ශිල්පීන්ට වඩා බොහෝ සෙයින් වෙනස්‌. තමන්ගේ සේවය ලබා ගැනීමට එන කිසිම කුරුල්ලෙක්‌ගෙන් කිරිල්ලියකගෙන් කිසිම දෙයක්‌ අය කළෙත් නෑ ලබා ගත්තෙත් නෑ. ඒ වෙනුවට වුණේ උපදෙස්‌ ලබා ගැනීමට එන අය සඳහා තමන්ගේ ශ්‍රමය හා කාලය වැයකරපු එක. හැම දෙයක්‌ම කළේ නිස්‌සරණා ධ්‍යාශයෙන්.

කාලයක්‌ යනකොට මුළු වනාන්තරය පුරාම කුරුලු ගෙවල් හැදුණා. ගස්‌ මුදුන්වල අතු අග, වැල් අග, ගස්‌ බෙනවල, පඳුරුවල මේ හැමතැනම, බලන්න ලස්‌සනයි. කාලයක්‌ යන කොට මේ කුරුලු ගෙවල්වලින් පොඩි පැටවුන්ගේ කිචි බිචිය ඇහෙන්න පටන් ගත්තා. හරිම සුන්දර පරිසරයක්‌.

ඒත් කුරුල්ලෝ දෙන්නෙකුට මේ අසිරිය විඳින්න අවස්‌ථාවක්‌ ලැබුණේ නෑ. අළු කොබෙයියටයි කොවුලටයි සිද්ධ වුණේ තමන්ගේ බිරින්දෑවරුන්ගෙන් හැමදාම බැනුම් අහන්න. අනික්‌ හැමෝටම ගෙවල් තියෙනවා. අපිට තමයි නැත්තෙ කිය කියා හැමදාම දෝෂාරෝපණය කළා. අළු කොබෙයියා හරිම ආඩම්බරකාර සතෙක්‌. එයා කැමති නෑ එක එක්‌කෙනාගෙන් උපදෙස්‌ දැනමුතු කම් ගන්න විශේෂයෙන්ම වඩු කුරුල්ලා වගේ පුංචි සතෙකුගෙන් දැනමුතුකම් ගන්න එක මදි පුංචිකමක්‌ කියලයි කොබෙයියා හිතුවේ. බිරිඳගේ ඇවිටිල්ල නිසා මිසක්‌ අළු කොබෙයියා වඩු කුරුල්ලා ළඟට ගියේ ඒ තරම් තියා කොහෙත්ම කැමැත්තකින් නොවේ. වඩු කුරුල්ලා ළඟට ගිය කොබෙයියා තමන් ආ කාරණය පැහැදිලි කළා. ඊට පස්‌සෙ වඩු කුරුල්ලා කොබෙයියා සමග ටික වෙලාවක්‌ සාකච්ඡා කරල වටහා ගත්තා කොබෙයියාට අවශ්‍ය මොන වගේ ගෙයක්‌ද කියලා. දැන් ගේ හදන හැටි කියල දෙන වෙලාව. වඩු කුරුල්ලා මුලින්ම කිව්වා "මේ ලීය හරහට දාන්න ඕනි" කියලා. කොබෙයියා ගත් කටටම කිව්වා "ඒක මං දන්නවා" කියලා. ඊළඟට වඩු කුරුල්ලා කිව්වා "මේ ලීය කෙලින් අතට තියන්න ඕනි" කියලා. කොබෙයියා කිව්වා "ඒකත් මං දන්නවා" කියල. වඩු කුරුල්ලා ආයෙත් කිව්වා "අනික්‌ ලීය මේ පැත්තෙන් රිංගවන්න ඕනි" කියල. කොබෙයියා කිව්වා "ඒකත් මං දන්නවා කියලා. මේ වන විට වඩු කුරුල්ලා දෙන හැම උපදේශයකටම අළු කොබෙයියාගේ ප්‍රතිචාරය වුණේ "ඒක. මං දන්නවා. එකත් මා දන්නවා. ඕක මං ඉස්‌සර ඉඳලම දන්නවා වැනි පිළිතුරුයි. මේ නිසා වඩු කුරුල්ලා හිතුවා මෙයාට කියල දීල වැඩක්‌ නෑ මෙයා හැම දෙයක්‌ම දන්න කෙනෙක්‌ කියලා. ඒ වගේම වඩු කුරුල්ලට පොඩි කේන්තියකුත් ආවා පස්‌සෙ වඩු කුරුල්ලා කිව්වා. හැම දෙයක්‌ම ඔයා දන්න නිසා ආපසු ගිහින් තමන්ට ඕනි විධියකට ගේ හදාගන්න කියලා. කොබෙයියා ආපසු ආවා. බිරිඳට කිව්වා වඩු කුරුල්ලටත් උගන්වන තරමට තමන් ගෙවල් හදන සාස්‌තරේ දන්නවා කියලා. ඒත් ඇත්තටම නම් කොබෙයියා දන්න ගෙවල් හැදිල්ලක්‌ නෑ.

කොහොම හරි කොබෙයියා ගේ හදන්න පටන් ගත්තා. තෝරාගත්තෙ කොහෙත්ම ගැලපෙන්නෙ නැති තැනක්‌. ඒ වගේම ලී කෝටු ටිකක්‌ එහාට මෙහාට ඇඳල තැටිල්ලක්‌ හදා ගත්තා. ඒකෙ හිදැස්‌ ගොඩයි. කිරිල්ලි බිත්තර දාපුවාම කූඩුවේ රැඳෙන්නෙ කලාතුරකින්. ගොඩක්‌ වෙලාවට වෙන්නෙ හිදැස්‌ අතරින් බිත්තර බිමට වැටෙන එක. කොබෙයි කූඩුවක්‌ පරීක්‌ෂා කරල බැලුවොත් කාටත් තේරෙනවා මේක ඇත්තක්‌ කියලා. ඒ නිසා කොබෙයි ගහණය ඉතාම අඩුයි. පේනවා නේද කොබෙයියන්ට අත්වෙලා තියෙන ඉරණම.

කතාව නම් ඉවරයි. ඒත් මොකක්‌ද මේ කොබෙයි කූඩු දේශපාලනය? අපේ රටේ උපදේශකයෝ වැහි වැහැල. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, ලේකම්වරුන්ට, දේශපාලන පක්‌ෂ වලට වගේම ඒවායේ නායකයන්ට, අමාත්‍යාංශවලට, දෙපාර්තමේන්තු වලට, මණ්‌ඩලවලට, අධිකාරිවලට, සංස්‌ථාවලට යනාදී රාජ්‍ය අංශ වලට වගේම රාජ්‍ය නොවන අංශ වලටත් උපදේශකයන්ගේ නම් අඩුවක්‌ නෑ. හැබැයි රටත් එතනමයි, අපිත් එතනමයි කියල කෙනෙක්‌ කිව්වොත් ඒක බොරුවක්‌ නෙවෙයි. තිබුණට වඩා රට ඉදිරියට ගිහින් තියෙනවා නම් ඒ තිස්‌තුන් කෝටියක්‌ විතර ඉන්න උපදේශකයො හින්ද නම් නොවේ. ඒ නායකයින්ගෙ වගේම ගොඩනැඟී තිබෙන යාන්ත්‍රණ වල යම් යම් විභවතා නිසාය කියලයි මට හිතෙන්නෙ.

අනික්‌ කාරණය තමයි තිස්‌තුන් කෝටියක්‌ විතර ඉන්න උපදේශකයන් ගෙන් නිසිලෙස උපදේශනයේ යෙදෙන අය ගණන් කළොත් අතේ ඇඟිලි ගණනට සීමා වෙනවා. ඒ ටික දෙනා ඇරුණු කොට අනික්‌ සේරම වගේ කරන්නෙ පින් පඩි හා පින් වරප්‍රසාද භූක්‌ති විඳිමින් අහන අහන එකට කියන කියන එකට ඔව් සර්, ඔව් මැඩම් කියමින් ඔහේ වමාර වමාර කන ගමන් රටේ ජනයාට පාට්‌ දාන එක. මේක රටට බරක්‌ වගේම හානියක්‌, විනාශයක්‌, ජනතා දේපල නාස්‌ති කිරීමක්‌. 1977 න් පස්‌සේ බලයට පත්වුණ හැම ආණ්‌ඩුවක්‌ම කළේ ඔයාකාරයෙන් උපදේශකයෝ රොත්තක්‌ නඩත්තු කරපු එක.

උපදේශකයන්ගේ ගැටලුව හැදුනේ කොහොමද? 1977 න් පස්‌සේ තදින්ම ක්‍රියාත්මක වුණ අනුග්‍රාහක සේවාදායක සම්බන්ධය නිසා වුණ දෙයක්‌ තමයි හිතවතුන් මූල්‍ය සහ මැර දේශපාලන ආධාර කරුවන්, ඥාතීන්, පරාජිත දේශපාලඥයන්, පෙම්වතුන් පෙම්වතියන් බිරින්දෑවරුන් සැනසීමේ උපක්‍රමයක්‌ ලෙස උපදේශන තනතුරු දීමට සිද්ධ වුණ එක. එතැනදි ඉහතින් කියාපු සුදුසුකම් මිස ඒ ඒ අදාළ ක්‌ෂේත්‍ර පිළිබඳ දැනුමක්‌, ඥානයක්‌, වැටහීමක්‌, පළපුරුද්දක්‌, සංවේදීකමක්‌ තියෙනවාද කියන කාරණය සැලකිල්ලට ගත්තේ නෑ. අපේ රටේ ජාතික ලැයිස්‌තු හදන්නෙත් ඔය සුදුසුකම් මත තමයි. සම්බන්ධීකරණ තනතුරු දෙන්නෙත් ඒ විදියට. ඒ නිසා නොදන්නා ක්‌ෂේත්‍ර භාරවුණ මේ උපදේශකවරුන්ට ඔහේ ඉන්නවා හැර වෙන කරන්න දෙයක්‌ නෑ. කරන්න දෙයක්‌ දන්නෙත් නෑ. ඒ නිසා සිද්ධ වුණේ උපදේශකයෝ උපදෙස්‌ නොදී ඉහළින් දෙන උපදෙස්‌ අනුමත කර, ඒවාට අවනත වී ඕන ඕන කියන පිරිසක්‌ බවට පත්වීම, නැත්නම් කොයිවෙලාවෙත් බැනුම් අහන පිරිසක්‌ බවට පත්වීම.

1977 න් පස්‌සෙ බලයට පත්වුණ නොවුණ කවුරුත් අමාත්‍ය මණ්‌ඩලවල දිග පළල ගැන කතා කරාට වැඩකට නැති උපදේශක මණ්‌ඩලවල දිග පළල ගැන කතා කළේ නෑ. ඒකට හේතුව කාටත් ඒක නඩත්තු කරන්න වෙනවාය කියන හැඟීම තම තමන්ගේ හිත් යට තිබීම කියලයි මට දැනෙන්නෙ. ඒ නිසා වුණ තවත් දෙයක්‌ තමයි රාජ්‍ය වගේම අනෙකුත් ආයතන හෝ සංවිධාන හෝ කටයුතු සඳහා දැනුවත් බුද්ධිමත් පළපුරුදු මිනිසුන් උපදේශන කටයුතු සඳහා යොදා ගැනීමෙන් මගහැරී යාම. බොහෝ ප්‍රගතිශීලී ආණ්‌ඩුවලටත් මේ මගහැරීම මගහරින්න බැරි වුණා. සමහර ලොක්‌කෝ ලොක්‌කියෝ උපදේශ ගන්න කැමැත්තක්‌ ඇත්තෙම නෑ. උපදේශනය නොවැදගත් වෙන්න ඒකත් බලපෑවා.

අළු කොබෙයියත් එහෙමනෙ. අනුන්ගෙන් නිසිලෙස උපදෙස්‌ ගැනීම තමන්ගේ මහන්තත්තකමට ගැලපෙන්නෙ නැති දෙයක්‌ කියලයි කොබෙයියා හිතුවේ. හැමදෙයක්‌ම දන්නේ තමන් කියලත් එයා හිතුවා. ඒ නිසා අර්බුදයට ගියේ තමන්ගේ ගෙදර. ඒ ගේ නිසා විනාශ වුණේ තමන්ගේ අනාගත පරම්පරාව යුද්ධයෙන් පස්‌සෙ රට ගොඩනැඟීම නිකම්ම නිකම් ඉස්‌සෙල්ල කියපු ආකාරයේ උපදේශකයන් එක්‌ක කරන්න බැහැ. ඊළඟ ඡන්දෙදි කවුරු බලයට පත්වුණත් රටේ අනාගත අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න නම් අනාගත දැක්‌මක්‌ සහිත ඥානවන්ත, දක්‌ෂ පළපුරුදු උපදේශකයන්ගේ උපදේශ අවශ්‍යයි. ඒ වගේම එවැනි උපදේශනයකට ඉඩදෙන මානසිකත්වයක්‌ මත කුඩා අනුකුඩා ජනතා නියෝජිතයන් ගොඩනගා ගත යුතුයි.

අළු කොබෙයියගේ වැරැද්ද නිසා එයාට ලැබුණේ කිසිම චාරයකට පිළිවෙළකට නැති ගෙයක්‌. දරුවන්ට විපතක්‌. රටකට ඒ දේ වුණොත් ලැබෙන්නෙ අර්බුදකාරී ව්‍යාකූල අසංවර්ධිත රටක්‌. විනාශ වෙන්නේ අනාගත සමාජයක්‌.

 

 
Powered By -