දඟකම නරක නැත මැරකම එහෙම නැත

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව ළමයෙක්‌ යනු වයස අවුරුදු දහ අටට අඩු අයෙකි. බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ නිර්වචනයට අනුව නූපන් හෝ බිළිඳු වයසේ පසුවන හෝ තරුණ වියට නොඑළැඹුන අයෙක්‌ යනු ළමයෙකි. සාමාන්‍යයෙන් දරුවන් ක්‍රියාශීලීය. විශේෂයෙන් පිරිමි දරුවන් ක්‍රියාශීලී මෙන්ම දඟකාරය. ක්‍රියාශීලී නොවන දඟ වැඩ නොකරන ගැහැණු ළමුන් මෙන්ම පිරි ළමෝ ද අප සමාජයේ සිටිති. එවැනි අය බොහෝ විට ඉගෙනීමට දක්‌ෂය. ඔවුන් ගෙදර හිටියත්, වාහනයක ගියත්, නෑ ගෙදරක ගියත් වැඩියෙන්ම කැමති නිශ්චලව සිටිමින් පොතක්‌ පත්තරයක්‌ කියවීමට හෝ පාඩම් කටයුත්තක නිරතවීමටය. ක්‍රීඩා පිටියට රැගෙන ගියත් ඒ අය කරන්නේ ගසක්‌ යට වාඩිවී නිශ්චල ක්‍රියාවක යෙදීමයි.

කුඩා අන්දරේ මඟුල් ගෙදර ගිය හැටිත්, එදා ඔහුගේ මව කියූ පරිදි ගොනා වගේ හිටි අන්දමත්, ඕනෑම කුඩා ළමයෙක්‌ පවා දනී. දඟකාර ළමෝ එසේය. දඟකාරයා යනු අපරාධකාරයා නොවේ කියා නිතරම කියන ගුණපාල සර් නම් ගුරු මහතෙක්‌ අප කුඩා කල අපගේ පාසලේ සිටියේය. ඔහුගෙන් ගුටියක්‌ නොකෑ හෝ ඇඟිලි දෙකේ පොල් ටොක්‌කක රස නොබැලූ කොල්ලෙකු අප අතර වේ නම් ඒ අප කලින් කී පරිදි ක්‍රීඩා පිටියට ගියත් ගසක්‌ යටට වී පාඩම් කරන පාසල් බස්‌රියේ හෝ ස්‌කූල් වෑන් එකේ යද්දීත් චක්‌කරේ මතුරන චබී බෝයි කෙනෙකු හෝ ලැක්‌ටෝජන් බබෙකු විය යුතුය. අපි පාසල් යන කාලයේදී අප වටා දඟකාරයන්ගේ ලෝකයක්‌ සෑදී තිබිණි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අපට දායාද කර දී තිබූ මඩොල් දූවේ උපාලි ගිනිවැල්ලේ හෝ ජින්නා එසේත් නැත්නම් මාර්ක්‌ ට්‌වේන් නිර්මාණය කළ ටොම් සෝයර් සහ හතල් බෙරි ෆින් නම් දඟකාර ඇමරිකානු කොළු ගැටවුන් දෙන්නා එකල අපේ ළමා ලෝකයේ වීරයන්ව සිටියෝය. අදටත් මුළු ලෝකයම මේ ටෝම් සෝයර් ගැන කතා කරන්නේ නාට්‍ය චිත්‍රපට හදන්නේ ඇත්තටම ඒ මන(කල්පිත චරිතය ළමා ලොව ජයගත් නිසාය.

එදා සමාජය සමග සස¹ බලන කළ අද දඟකාර ළමුන් එතරම් දකින්නට නැත. වෙනයම් ආකාරයෙන් කීවොත් දඟ කරන්නටවත් දරුවෙකුට අද වෙලාවක්‌ නැත. ශිෂ්‍යත්ව පන්ති, ක්‍රිකට්‌ ප්‍රැක්‌ටිස්‌ ටියුෂන් රිවිෂන් කම්පියුටර් ක්‌ලාස්‌ ආදී දේවලට කාලය යොදන විට දඟ වැඩක්‌ වත් කරන්නට හෝ ඊට මිඩංගුකරන්නට කාලයක්‌ ඔවුන්ට නැත.

දඟකාරයන් වෙනුවට අද ඉන්නේ බාල අපරාධකාරයන්ය. සිර ගෙදරක කොළු වාට්‌ටුවකට කරපොවා බැලුවහොත් එහි සිටින බාල අපරාධවලට යොමුවුණ තරුණ දරුවන් ගැන ඇති වන්නේ ඉතා දුකකි. වැලිකඩ ඇති වයි ඕ වාට්‌ටුව (ශදමබට ධෙෙeබාaබඑs ආරා) තුළ රඳවන්නේ එවැනි බාල අපරාධකරුවන්ය. මත්ද්‍රව්‍ය සොරකම්, ගැටකැපීම්, ළමයින් හෝ කාන්තාවන් දූෂණය කිරීම, කල්ලි ගැසී කරන මංකොල්ල හෝ කාන්තා අතවර, රන් දම්වැල් කැඩීම වැනි චෝදනා මත මෙසේ ඔවුන්ව රඳවා තබයි. ඒ කාලයේදී මෙවැනි බාල අපරාධකාරයන් නොසිටියේම නැත. ඒ අය සඳහා තිබුණේ මග්ගොන ළමා පුහුණු කඳවුර හෝ බෝස්‌ටල් නමින් හඳුන්වන බාලක බන්ධනාගාරයයි. ළමයෙකු මග්ගොන යවනවා යයි කියූ විට එකල හිතෙන්නේ මහා අපරාධයක්‌ ලෙසිනි. හදන්නට බැරි අයව මග්ගොන යවා වෘත්තීය පුහුණුවක්‌ ලබාදීම නිසා යහමඟට ආ අවස්‌ථා කොතෙකුත් අප අසා දැක ඇත. බොස්‌ටල් කඳවුර සඳහා ප්‍රසිද්ධව තිබුණේ නිට්‌ටඹුවේ වතුපිටිවලට අනුබද්ධ බන්ධනාගාර පරිශ්‍රයයි. එහි යවනු ලබන්නේ පොලිසිය මගින් අධිකරණය හරහාය. දරුණු වැරැදි කරන සමාජයට හානිදායක විෂමාචාර ළමයින් හෙවත් බාල අපරාධකරුවන් යයි නියම අය මෙහි යවා විශෝධනය කරති. මෙය දඬුවම් ක්‍රමයකි.

බාල අපරාධකාරයා කියූ සැණින් අද සමහරු සිතන්නේ නොදරුවන්ට අතවර හිංසා කරන හෝ කුඩා දරුවන් අපහරණයට ලක්‌ කරන්නන් ලෙසිනි. නමුත් සමාජ විද්‍යාවට හෝ අපරාධ විද්‍යාවට අනුව බාල අපරාධකරු යනු ළමා කාලයේදී විවිධ වැරැදි දේ කරන්නාය. ළමා අපචාර යනු ඊට වෙනස්‌ මාතෘකාවකි. ඉන් අදහස්‌ කරන්නේ ළමුන්ට අතවර හෝ හිරිහැර කිරීමයි. මෙම මාතෘකාව ගැන අප වසර කීපයකට පෙර ලියා ඇත. අපරාධ නීතිය හෝ වෙනත් ස්‌ථාපිත නීතියක්‌ බාල වයස්‌කාරයන් විසින් උල්ලංඝණය කිරීම හෝ සදාචාර විරෝධී හෝ සමාජ විරෝධී කටයුත්තක නිරත වීම බාල අපරාධයයි කියා අපරාධ නීතිය මෙය නිර්වචනය කරයි. Jමඩැබසකැ deකසබුමැබජහ හෙවත් මේ බාල අපරාධ යනු සෑම රටකම වාගේ දක්‌නට ලැබෙන තත්ත්වයකි. අප රටේද මෙවන් බාල අපරාධකරුවන් ගැන ඉතා සුලබව අසන්නට දකින්නට ලැබේ.

අද වැඩිපුරම සිටින ළමා වැරැදිකරුවන් වන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා මත සිරගත වූ අයයි. එසේම සොරකමට හා මිනීමැරීමට දායක වුණ ළමයින් ද සිරගෙවල්වල රඳා සිටී.

අන්තර් ආශ්‍රයන් පිළිබඳ සිද්ධාන්ත ගැන ලියූ එඩ්වින් සදර්ලෑන්ඩ් නම් අපරාධ විද්‍යාඥයා නිර්වචනය කරන පරිදි අපරාධය යනු ඉගෙනුම මගින් ලබා ගන්නා චර්යා රාවකි. Cරසපැ සි a කැaරබසබට ඉeය්ඩසදර - Edඅසබ Sදඑයෑරක්‌බා

අප දැක ඇති පරිදි බොහෝ තරුණ වරදකරුවන් ඒවාට පොළඹවනු ලබන්නේ තමා වටා ඇති පරිසරය සහ ඇසුරු කරන සමාජය විසිනි. වරක්‌ සුමිත් නම් තරුණ පාසල් සිසුවෙක්‌ බොරැල්ල කැම්බල් පිටියේ තව කීප දෙනෙක්‌ සමග කංසා උරමින් සිටියදී පොලිසියට අසුව රිමාන්ඩ් ගත කළේය. දින කීපයක්‌ කොළඹ සිරගෙදරක කූරු ගනිමින් සිට දඩයක්‌ ගසාගෙන යළි සුමිත් ගෙදර ආවේ අපරාධ පිළිබඳ උපාධියක්‌ ලබා ගෙනයි. සිරගෙවල් යනු අපරාධ උගන්වන පාසල් කියා ප්‍රසිද්ධ කියමනක්‌ ඇති බව අප අසා ඇත. (ඡරසිදබි aරු ජරසපැ sජයදදකි)

හිරෙන් එළියට ආ සුමිත් කළේ පාසලින් කට්‌ටි පැන තමාට හිර ගෙදරදී හමුවුණ නිමල් නමැති අපරාධකරු සොයා ඔහුගේ කාමරය වෙත ගොස්‌ ගංජා උරමින් කාලය ගත කිරීමයි. මෙතැනට ආ ඩික්‌සන් නමැති නමගිය මංකොල්ලකරුවාව හඳුනා ගන්නට නව යොවුන් සුමිත්ට අවස්‌ථාව ලද අතර ඉන්පසු කාටත් හොරා ඔහු ඩික්‌සන්ට එකතුව ඇත. නගරවලට ගොස්‌ මංකොල්ලකෑම්වල යෙදුනි. වත්තල ප්‍රදේශයේ කළ ලක්‌ෂ ගානක සිගරැට්‌ මංකොල්ලයකට සහභාගිව ආපසු එන අතරදී පොලිසියට අසුවීම නිසා යළිත් ඔවුන් හොඳටම ගුටි බැට කා සිරගත විය. එවර සුමිත්ට හිරගෙදරදී හමු වූයේ හොර චෙක්‌ කාරයෙකි. ඒ සමාජයට වැටුණු සුමිත් අද වන විට පෑනෙන් සහ අත්සනින් මහත් ගේම් දෙන වංචාකාරයෙක්‌ ලෙස කුප්‍රසිද්ධය. මෙවැනි කතා බොහෝය.

කුඩා කාලයේ ලබන නරක අත්දැකීම් දරුවකු නොමඟ යැමට බොහෝ ලෙස ඉවහල් වෙයි. නිසි දෙමාපිය ආදරය නොලැබීම ආදරය අසීමිත මෝඩ ලෙස පෙන්වීම අඬදබර හෝ වෙන්වුණු දික්‌කසාද වුණු වැඩිහිටියන්ගේ දරුවන් මෙසේ නොමඟට යැමේ ප්‍රවණතාව වැඩියි. කොතරම් වැඩ රාජකාරී තිබුණ ද ප්‍රශ්න ගැටලු ආර්ථික අපහසුතා අසනීප අමාරුකම් තිබුණ ද තම දරුවා ගැන සොයා බැලීම දෙමාපියන්ගේ යුතුකමකි. වගකීමකි. ඔහු වැඩිපුරම ඇසුරු කරන්නේ කවුද දවසේ වැඩි කාලයක්‌ යොදන්නේ කුමක්‌ සඳහා ද, කුමන දෙයකට ද, ඔහු වැඩි කෑමැත්තක්‌ දක්‌වන්නේ මොනවාට ද යන්න සංවේදීව සොයා බැලීම තුළින් දරුවාව නොමඟට යැම අවම කර ගත හැක. මෙය පිරිමි දරුවන්ට පමණක්‌ නොව දූවරුන්ටත් පොදු කරුණකි.

"මගේ ගෙදර තරම් ප්‍රශ්න තිබුණ තැනක්‌ වෙන කොයි ලෝකයකත් නැතිව ඇති. තාත්ත රෑට බීල ඇවිත් කෑගහනව. අම්මට හොඳටම ගහනව. අම්ම කොයි වෙලාවකවත් ගෙදර නැහැ. අයිය එයාගෙ යාළුවොත් එක්‌ක රස්‌තියාදුවෙ යනව. මල්ලියි නංගියි අඬනකොට මං තමයි නළවන්න ඕන. මං ගැන බලන්න මගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න කවුරුත් නැහැ. අම්මටත් මාව තේරුං ගන්න බැරිවුණා. ටීචර්ලත් මාව ගණන් ගත්තෙත් නැහැ. ඉතිං මට ගෙදර දැනුණෙ අපායක්‌ වගේ ඉස්‌කෝලෙ යැමත් එපා වුණා. ඒ නිසයි මං දවසක්‌ පාරට බැස්‌සෙ මට හමුවෙච්ච ඒ කට්‌ටිය මගේ ගැලවුම්කාරයො කියලයි මට හිතුණේ."

මේ නීලා නම් නොමඟට ගිය තරුණ ගැහැණු ළමයෙකුගේ කතාවයි. සුරූපී කෙල්ලක්‌ වන ඇය දැන් ඉන්නේ පරිවාස මධ්‍යස්‌ථානයකයි. ගෙදර එපා වී ඉබාගාතේ මහ මඟ රාත්‍රියේ ඇවිදගෙන යන විට හමුවූ තවත් යොවුන් කණ්‌ඩායමකට එක්‌ව වාහන මංකොල්ලකෑම්වලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ භාවිතයට ලිංගික ක්‍රියාවන්ට නැඹුරු වුණ නීලා මේ වන විට නීති විරෝධී ලෙස ගබ්සා හතරක්‌ම කරගෙනත් තියෙනව. ඒ වගේ විවිධ විෂමතාවන්ට අසුවණ තරුණ ගැහැණු ළමයි අද අනන්තයි. ගැඹුරින් විමසා බලන කළ මේ සියල්ලටම මුල පුරන්නේ ගෙදර සහ සමාජ වටපිටාව බව අපට දැකිය හැක. කුඩා කළ අපිත් අප සමග සිටි සමකාලීනයන් නොයෙක්‌ දඟකාර දඩබ්බර වැඩ කළත් අප බහුතරයකට දෙමාපිය අවධානය සහ ගුරුවන්ගේ බැල්ම නිතර ලැබිණි. ඒ නිසා අපරාධවලට අයුතුකම්වලට නැඹුරු වූයේ නැත.

දැන් කාලයේ ළමයින් මෙන් නොව එකල අප කළ උපරිම දඟ වැඩ වූයේ හෙදරට හොරා මුහුදෙ නාන්නට යැම ඉඳහිට පාසලින් කට්‌ටි පැන චිත්‍රපටයක්‌ බලන්නට යැම එදිරිකාර කණ්‌ඩායම් සමග පිට්‌ටනිය අයිනකට ගොස්‌ අභියෝග කර අතින් පයින් ගහ ගැනීම කණ්‌ඩායමක්‌ වශයෙන් කාන්තා විද්‍යාලයකට හෝ නේවාසිකාගාරයකට පැන ඔවුන් බය කර පැන ඒම පාසල් බස්‌ රියේ පාපුවරුවේ යමින් කෙල්ලන්ට වැඩ පෙන්වීම අසල්වැසි ගෙදරක ඇති පොල් ගසකින් හොරාට කුරුම්බා කඩාගෙන බීම හෝ අඹ ගසකට ගල්ගසා ගෙඩි කඩා කෑමයි. ඒවා අපරාධ නොව කොළුකම නොහොත් දඟකාරකම් බව එකල වැඩිහිටියන් කියූ බව මතකය.

අපේ කාලයේ අප සමග සිටි දඟකාරයන් දැන් මගේ සිහියට එයි. දැනට ප්‍රංශයේ සිටින පයිලට්‌ හෙවත් නිශාන්ත එකල සිටි හොඳම දඟයෙකි. එමෙන්ම පවුලස්‌ හෙවත් සංජීව ඊට දෙවෙනි නැත. ගුණසේන ටීචර් ඒ දෙදෙනා හැඳින්වූයේ දඟදාස සහ දඟසේන කියා බව මට මතකය. ඒ දෙන්නාට අමතරව වෙඩි දීපාල්, කළු ජගත්, තිස්‌ස, අරුණ, පුස්‌සෙ නලින්ද, බට්‌ නලින්ද, කබරෙ සුමනෙ, අසංක ආදී බොහෝ දඟකාරයො අපේ පන්තියේ සිටියෝය. දඟ වැඩක්‌ කර අසුව වෙනත් පාසලක සිට උසස්‌ පෙළ සඳහා ඒ පාසලට ආ මට සිදු වූයේ කබලෙන් ළිපට වැටුණා වගේ දෙයක්‌ බව එකල මගේ අම්මා පවසනවා මට මතකය. අලුත් පාසලකට ආ විට සිසුවකුට මුහුණ දෙන්නට වන රැග් ගැන හොඳින් අසා සිටී. මා ඊට මුහුණදීම සඳහා මගේ තනියට පැරැණි පාසලේ මිතුරකු වන නිෂාම් මුතාලිෆ් නම් මගේ අතිජාත අඹ යාළුවාව ද එක්‌කන් ආ හැටි තාම සිහිවෙයි. තක්‌ෂිලා ශාලාව පිටුපසට මා ඇතුළු නවක සිසුවන් කීප දෙනෙක්‌ එක්‌කගෙන ගොස්‌ කොතරම් අසීරු රැග් දෙන්නට ඒ දඟ නඩය උත්සාහ කළත් ඇඹරෙන්නේ නැතිව කිච වෙන්නේ නැතිව නවක වධයට මුහුණදීම නිසා පසුදිනම මට ඒ කණ්‌ඩායමේ උප නායකත්වයට සමාන තනතුරක්‌ හිමි විය.

එකල කුඩා අපි කොතරම් දඩබ්බර හිතුවක්‌කාර දඟ වැඩ කළත් කිසි දිනක ගුරු මව්වරුන්ගේ හෝ පියවරුන්ගේ සිත් රිදවූවේවත් ඒවා තලා පෙලා දැමුවේවත් නැත. අදටත් මගේ ලිපි කියවන රාජසිංහ මැඩම්, කිරිමංචිතාන මැඩම් වැනි ගුරු මෑණිවරුන් කෙසේ හෝ "දිවයින" පුවත්පත මාර්ගයෙන් මගේ දුරකථන අංකය සොයාගෙන මට කතා කරන්නේ අපි තුළ එදත් අදත් තිබූ ගුරු භක්‌තිය සහ ගෞරවය නිසාය. නමුත් අද පාසල්වල තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්‌ය. එදා තිබූ දඟකාරකම් වියෑකී ගොස්‌ කුපාඩිකම් ජඩකම් හෝ අපරාධ කරන මට්‌ටමකට ළමා සිත් දූෂණය වී ගොසිනි. එසේත් නැත්නම් තරගයට විභාග පසුපසම දුවන ඒකාකාරී යාන්ත්‍රික රොබෝවරුන්ගේ තත්ත්වයට ළමුන් පරිවර්තනය වී ඇත.

අපි එදා ඇත්තටම වැඩිපුරම දඟ වැඩ කළේ ක්‍රිකට්‌ තරග හෝ ක්‍රීඩා තරග පවත්වන කාලවලටයි. ගුරුවරු පවා මේ දවස්‌වල ඒවාට වැඩිය හරස්‌ කැපුවේ නැත. සමහර ගුරුතුමන්ලා අප සමග විනෝදයෙන් එක වයසේ අය මෙන් නට නටා ගී ගයන්නටත්, කරට කර බජව් දාන්නටත් එක්‌ වුවද අප අතර ගෞරවණීය සීමා බන්ධන සහ කඩුළු සාදාගෙන තිබිණි. පසුදා පාසලට ආ කල්හි සියල්ල අමතක කරන අපි ඔවුන් ඉදිරියේ බිම වැටී දෙකට තුනට නැවී දෙපා නමැද ආශිර්වාද ගන්නටත්, ගරු බුහුමන් දක්‌වන්නටත් පුරුදුව සිටියෙමු. අප කොතරම් දඟ වැඩ කළත් කිසිදා අපව අපේ ගුරු මව්වරු පියවරු කොන් කළේ වත් එපා කළේවත් නැත. ගෙලේ ඇට මාලයක්‌ දමන ජයකොඩි ටීචර්, අංශභාර සිරිවර්ධන සර්, අලුතින් පත්ව ආ ලෙච්චමී හෙවත් වසන්ති ටීචර්, රෙද්ද බැනියම් ඇන්ද හයේ හතරේ මුණවීර සර් වැනි උත්තම උත්තමාවියන් සමහර අවස්‌ථාවලදී තම දුක සැප බෙදා ගන්නටත් ඇවැසි වූ විට පුටුවක්‌ බංකුවක්‌ ඇද ගැනීමට පන්තියක්‌ අස්‌ පස්‌කර ගැනීමට නයෙක්‌ පොළඟෙක්‌ පලවා හැරීමට කතා කළේද දඟකාරයන් ලෙස ලේබල් ගැසී සිටි අප හටයි. ශිෂ්‍ය නායකයන් වීම සඳහා අයෑදුම් කර සිටි මාත් පයිලට්‌ නම් මිතුරත් වරක්‌ ඒ සම්මුඛ පරීක්‌ෂණයට යන්නට ගොස්‌ මුහුණ දුන් ඇබැද්දිය සිහිවෙද්දී තාම අපට සිනා නොවී සිටිය නොහැක. ප්‍රිෆෙක්‌ට්‌ස්‌ලා වීමට කැමැති අය අතින් සාදන ලද ඉල්ලුම් පතක්‌ සමග සිකුරාදා උදේ නවයට තක්‌ෂිලා ශාලාවට එන ලෙස කියා රෝනියෝ කරන ලද දැන්වීමක්‌ අපගේ දැන්වීම් පුවරුවේ අලවා තිබුණු නිසා අප දෙදෙනාත් නියමිත වේලාවට අයදුම් පතක්‌ද හදාගෙන එතැන පෝලිමට එක්‌වුණෙමු. අංශභාර ගුරුතුමා සහ තව ගුරුවරුන් කීප දෙනෙක්‌ දොර වසාගෙන සම්මුඛ පරීක්‌ෂණ කටයුතු කළ අතර පෝලිම ඉදිරියට යැම මඳක්‌ පමාවන නිසා අපි දෙදෙනා ශාලාව පිටුපසින් හොරෙන් ගොස්‌ ඇතුළේ වෙන්නේ මොනවාදැයි ජනෙල් කවුළුවකින් අසා සිටියෙමු.

"හොඳයි කියන්න බලන්න අපේ ඉස්‌කෝලෙ ඉන්න දඩබ්බරම ළමයි වන අහවල් දෙන්න වෙලාවට ඉස්‌සෙල්ල තාප්පෙන් පැනල ගෙදර යන්න යනවනං ඔය ළමය මොකද කරන්නෙ?"

යන පැනය සර් කෙනෙක්‌ විසින් අයදුම්කාර සිසුවෙකුගෙන් අසා සිටිනු අපට ඇසුණු අතර "අහවල් දෙන්නා" කියා නම් කියුවේ අප දෙදෙනාගේ නම්ය. ශිෂ්‍ය නායකයන් වන සිහිනය පසෙක දමා පොත් මිටියක්‌ කිහිල්ලේ ගසාගෙන අපි දෙන්නා එවේලේම හාෆ් ඩේ එකක්‌ දමා බෲස්‌ ලී රඟපෑ "ද බිග් බොස්‌ හෝ එන්ට ද ඩ්‍රැගන්" චිත්‍රපටය බලන්නට මරදානේ නිව් ඔලිම්පියා එක වෙත පිය මැන්නේ ලැ-ජාව වසා ගන්නට වෙන විකල්පයක්‌ නොතිබූ නිසාය. අප යන විටත් මැස්‌සන්ගෙන් පිරුණු කුණු කරවලයක්‌ ලෙස ශාලාව ඉදිරිපස පෝලිම අතුරු සිදුරු නැතිව සෙනගෙන් පිරී තිබුණ ද ගැලරි පෝලිමේ ඉදිරියේම සිටි හපුගොඩ, සජිත්, දීපාල් පවුලස්‌ ඇතුළු පිරිස අපව ද ඒ අය ළඟට අඬ ගසා ගත් අයුරුත් පෝලිමේ පිටිපස්‌සේ සිsටි අවට ඉස්‌කෝලවල කොල්ලන් කෑකෝ ගසමින් දබරයට ආ හැටිත් මතකය.

නියමිත වේලාවට කලින් පාසලෙන් පිටවෙනවා නම් ගේට්‌ටුවේ සිටින ගුණපාල අයියාට සිසුවාගේ දෙමාපියකු විසින් කාරණය විස්‌තර කරන ලද ලියුම් කෑල්ලක්‌ දිය යුතුය. වරක්‌ පයිලට්‌ මෙසේ ගේට්‌ටුවෙන් පිටව ගියේ තම ඉංග්‍රීසි පොතෙන් ඉරන ලද කොළයක්‌ ගුණපාලට බාරදීමෙනි. ගුණපාල ඉංග්‍රීසි නොදන්නා නිසා මුවෙන් නොබැණ එය බාරගෙන ඇත. වැඩේ පැත්තු වුණේ පසුදාය. කරුමෙට මෙන් අපේ යාළුවා මුරකරුට දී ඇත්තේ මයි සෙල්ෆ් පහ seකෙ හෙවත් මගේ ජීවිත විස්‌තර ගැන ලියන ලද රචනාවේ කොළයයි.

මෙවැනි වැඩ දඟකාරකම් කළා කියා ඒ ගැන උදම් ඇනීම හොඳ නැත. නමුත් දඟ වැඩ කළා කියා ඒ අය කවදාවත් ගුරු සිත් රිදවූයේ වත් කවුරුත් අපරාධවලට පෙළඹුණේවත් නැත. නමුත් දැන් අපට අසන්නට දනින්නට ලැබෙන නව පරපුරේ ඇත්තේ කියන්නට නොව සිතන්නට පවා අසීරු විෂමාචාරයන්ය. වරදක්‌ පෙන්වා දෙන ගුරු පියකුට අත පය අමෝරාගෙන ගහන්නට එන සිසුන් මහමඟ රැක සිට පහර දෙන්නට සැරසෙන අය ගැන අනන්තවත් අපට වාර්තා වී තිබේ. එසේම සමහරු තම ගුරුවරුන් හට කතා කරන හැටි සලකන හැටි ඉතා නරකය.

අද අපි වැඩියෙන් කතා කළේ දඟකාරකම් සහ ඉන් ඔබ්බට ගිය බාලයන් කරන අපරාධ ගැනයි. දඟ වැඩ ගැන කෙසේ වෙතත් ඇත්තටම බාල අපරාධකරුවන් යයි කියන අය ගැන නම් මෙයට වඩා ගැඹුරින් කතා කළ යුතුය. ඒවාට පෙළඹෙන්නට පෙර ඔවුන්ව ඉන් වළක්‌වාගත යුතුය. මෙහි ප්‍රධාන වගකීම ඇත්තේ නිවසේ ඉන්න දෙමාපියන්ට බව අවධාරණය කළ යුතුය. ඉන්පසු පාසල් ගුරුවරුන්ය. සිප් සතර දෙනවා මෙන්ම දරුවාව තේරුම් අරන් ඔවුන්ගේ දුබලතා මෙන්ම කුසලතා හඳුනා ගැනීමට ඒ අය විසින් විය යුතුය.

තෙවනුව වගකීම ඇත්තේ දරුවා සහ ඒ අයගේ පවුලේ සාමාජිකයන් සාමාජිකත්වය දරන වතාවත් කරන ආගමික සිද්ධස්‌ථානයේ නායකයන් හෝ පූජකයන්ටයි. පන්සලේ ලොකු හාමුදුරුවන්, පල්ලියේ පියතුමා, කෝවිලේ පූසාරියා වැනි අය තම සේවාලාභීන් ගැන වඩා හොඳින් විමසා බැලිය යුතුය. අද ඇතිව තිබෙන ගෞරවනීය තත්ත්වය නම් අධ්‍යාපනය අතිරේක පන්ති, ක්‍රීඩා පුහුණුවීම් ආදිය නිසා දරුවා පන්සලෙන් හා පල්ලියෙන් ඈත් වීමයි. මෙය එතරම් හොඳ තත්ත්වයක්‌ නොවන බව සමාජ නිරීක්‌ෂකයන්ගේ මතය වී තිබේ. අපිත් එය විශ්වාස කරමු. පොත පතේ දැනුම ලබාදී දැනුම බුද්ධිය වර්ධනය කරනවා මෙන්ම දරුවාගේ අධ්‍යාත්මය පෝෂණය කරන කුඩා කාලයේ සිටම ආත්මික ගුණ වගාවෙන් ඉදිරියට ගෙන ආවොත් ඔහුගේ හෝ ඇයගේ අනාගතය ගැන විශ්වාසයක්‌ තැබිය හැකිය. කෙසේ වෙතත් දහම් පාසල් ගිය පලියට හෝ පන්සල් පල්ලි සමග ඇසුරු කළ පලියට ළමයින් අපරාධවලට නොපෙළඹීම යයි කිව නොහැකි වුණත් ප්‍රායෝගිව ඔවුන් දිනාගෙන අධ්‍යාත්මය පෝෂණය කරන කල්හි නොමඟට යැම අවම කරගත හැකිය.

මිත්‍ර ශ්‍රී කරුණානායක

 
Powered By -