කලාකරුවාගේ ඉදිරි මඟ

ප්‍රබන්ධ කාර්යයෙහි යෙදී සිටියදී ඊට සම්බන්ධ නූල් පොටවල් මා වෙනුවෙන් ඉදිරි කාලයටත් ගෙතෙනු ඇත්තේය. අවශ්‍ය වන්නේ මොන දේවල් ද කියා තෝරා බේරා ගැනීමට මට ඉස්‌පාසුවක්‌ නැත්තේය. ලේඛන කාර්යයෙහි නිරතවීමට මා වෙස්‌වලාගත් විටෙක මළගිය ඇත්තන් අතර සිටින්නන් රාශියක්‌ මගේ උරහිසට උඩින් එබිකම් කරමින් මා ලියන දේ නිවැරැදි දැයි පිරික්‌සමින් ඉමහත් සෝදිසියෙන් සිටින්නේය.

ග්‍යqන්තර් ග්‍රාස්‌

ගොලුබෙල්ලකුගේ දිනපොත ඉහත ප්‍රකාශය සාහිත්‍ය ව්‍යාපාරයක නිරත වන්නකුට අතිශය වැඩදායක වනු ඇත. අනාදිමත් කාලයක සිට අපේ කලා නිර්මාණයන් වර්ධනය කොට එමෙන්ම ඒවා වෙන් වෙන් කොට ඒවායේ භාවිතාවන් ස්‌ථාපිත කරන ලද්දේ අපට වඩා බොහෝ සෙයින් වෙනස්‌ වූ යුගයක විසූ ද්‍රව්‍ය මත තම අසහාය ශක්‌තිය කැපකළ මිනිසුන්ය. ඔවුන් විසින් සාක්‌ෂාත් කරගන්නාවූ කලා පරිඤාණය හා අප දැනට ලබමින් සිටින විශ්වාස උපද්‍රව හා ක්‍රමෝපායන් ද එක්‌ වූ කල ඉදිරි කාලයේ කෙබඳු නිර්මාණ පහළ වේදැයි අපට සිතා ගැනීම පවා අසීරුය. සකල කලාවන්හි එක්‌තරා භෞතික ගුණාංගයක්‌ ඇත්තේය. එනම් එය පෙර පැවැතියා සේම තව දුරටත් නොපවතින බව හා දැඩි සැලකිල්ලට භාජන නොවන බවයි. නිෂ්පාදන කාර්යයෙහි ප්‍රතිනිර්මාණ ව්‍යාපාරය හා අවකාශය හා කාලය මේ සියල්ල කෙරෙහි බලපෑම ඊට හේතුවයි. පසුගිය දශක දෙක වුණත් සුපරීක්‌ෂාකාරි නිරීක්‌ෂණයකට භාජන කළහොත් ද්‍රව්‍යය හෝ කාලය හෝ අවකාශය මොනම ආකාරයෙකින් වත් ඒවා කලින් පැවැති තත්ත්වයන්ට කොහෙත්ම සමාන වන්නේ නැත. එසේනම් කලා ක්‍ෂේත්‍රය තුළ පවතින මුළු මහත් සියලු ශිල්ප ක්‍රම හා ක්‍රමවේදයන් පරිවර්තනයකට බඳුන් කොට දැවැන්ත කලා නිර්මාණ කෙරෙහි අපි ඉමහත් අපේක්‌ෂාවෙන් සිටිය යුතුය.

පෝල් වලේරි (ඡසැජැ sමර ෂ. aරඑ) විසින් දක්‌වා ඇති ඉහත ඡේදයේ සඳහන් තොරතුරු වෝල්ටර් බෝජමින්ගේ කෘතියක පෙරවදනක සඳහන් තොරතුරු බව සලකන්න.

නව සමාජ රටාවන් බිහි කිරීමේදී නිෂ්පාදන කටයුතුවලට මුල්තැනක්‌ දීම සමාජ සංවර්ධන න්‍යායට අදාළ සත්‍යයකි. ඊට සමාන්තර කාර්යයකට කලා නිෂ්පාදනයන්ද ඇතුළත්ය. ඕනෑම සමාජයක අධ්‍යාත්මික සුවය රැඳී තිබෙන්නේ සාහිත්‍ය හා සංස්‌කෘතිය මතය. ක්‍රියාශීලී සමාජ හා දේශපාලන ප්‍රතිසංවිධාන ව්‍යාපාරයක රටක ක්‍රියාත්මක වනවිට එම ව්‍යාපාරයේ අරමුණ සාක්‌ෂාත් කිරීම සඳහා එහි වෙසෙන නිර්මාණශීලී හැකියාවන් ඇති බුද්ධිමත්හු උනන්දුවෙන් කටයුතු කරති. කලාව මහජනතාව සතු වස්‌තුවක්‌ විය යුතු යෑයි ලෙනින් පවසන ලද්දේ ඒ නිසාය. එහි අරටු වැඩ කරන ජනතාව අතර මුල්බැස ගතයුතු යෑයිද වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මහජනතාවගේ හැඟීම් ද, චින්තනයද අධිෂ්ඨානය ද කලාව තුළින්ම ඒකරාශි විය යුතුය යන්න එහි හරයයි. එයින් ගම්‍යවන්නේ කලාව ජනතාව අවදි කිරීමට සමත්විය යුතුය යන්නයි. එබැවින් ජනතාව අවදියෙන් සිටීම තූළ ඔවුන්ගේ කලා රුචිකත්වය ද ප්‍රගුණ කිරීමට හැකි වෙයි. නිර්මාණශීලී බුද්ධිමතුන්, සාහිත්‍යයත්, කලාවත් ජනතා සිතුම් පැතුම් හා අපේක්‍ෂාද ඔවුන්ගේ අධිෂ්ඨානයෙන් ද නිරූපණය නොකරන්නේ නම් නියම අර්ථයකින් තොර ප්‍රවණතාවන්ට එය යට වීමට හා ඊට නැඹුරු වීමට ඉඩ ඇත.

ඒ සියලු සාධක ජනතාව තුළ පෝෂණය වෙත්ම එයට නිසි නායකත්වය සපයන දේශපාලන ව්‍යාපාරයන් අනිවාර්යයෙන්ම ගොඩ නැගෙන්නේය. එම දේශපාලන නායකත්වය විසින් කලා ක්‍ෂේත්‍රයේ විදහා දැක්‌වෙන දක්‌ෂතාවන් හා හැකියාවන් ප්‍රගුණ කිරීම සඳහාත් ඒ වර්ධනයන් ආරක්‌ෂා කිරීම සඳහාත් කටයුතු කරනු ඇත. ජනතාව සතු සැබෑ අනන්‍යතාව හා අවංක භාවය තහවුරු කිරීම සඳහා ද ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කිරීම සඳහා ද නිර්මාණ කෘති බිහි කිරීමට එම දේශපාලන නායකත්වය කලාකරුවන්ට බල කරණු ඇත. එවිට නිර්මාණාත්මක කලාකරුවන් තමන්ගේ කෘති ආණ්‌ඩුව විසින් තහනම් කරනු ඇතැයි බිය විය යුතු නොවේ. හේතුව කලාව විසින් භූක්‌ති විඳිනු ලබන නිදහස නීතිමය වශයෙන් එරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව විසින් සහතික කර තිබීමයි.

සෝවියට්‌ සංගමයේ පාලනය පැවැති සමයේ ජනතාව යුද්ධය ඇවිලවීමට ද ප්‍රචණ්‌ඩ ක්‍රියා ප්‍රගුණ කිරීමට ද අවශේෂ ජනතාවන්ට වෛර කිරීමටද සමාජ සංවර්ධන න්‍යායන්ට පහර ගැසීමට ද යම් කෘතියක්‌ හෝ නිෂ්පාදනයක්‌ ඉදිරිපත් වුවහොත් එය නියත වශයෙන්ම ප්‍රතික්‌ෂේප කරන ලදී. එකල සෝවියට්‌ සංගමයේ ප්‍රධාන පෙළේ ලේඛකයකු වන යූරි බොන්දොරොව් ද මෙම අදහස කිසිම පැකිලීමකින් තොරව අනුමත කළේය. එහෙත් පොදු යහපත සඳහා ක්‍රියා කිරීමේදීත්, ජීවිතයේ නියම හරය අවබෝධ කරගනිමින් කටයුතු කිරීමේදීත් නිදහස තිබිය යුතු යෑයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සමාජ සංවර්ධන ව්‍යාපාරයේ දී කලාව විසින් භාරගත යුතු ව්‍යාපෘති සඳහා බුද්ධිමතුන් ඉදිරිපත් වීම අනිවාර්යය. තමන් ජීවත්වන සමාජය තුළ කලාකරුවන්ට ප්‍රමුඛත්වය ලැබෙන්නේද ජාතික කාර්යභාර්යයන්හිදී ඔවුන් වෙතින් ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමට හැකිවන්නේද කලාකරුවන් ජනතාව සමග උරෙනුර ගැටී ක්‍රියා කළහොත් පමණි. කලාකරුවන් ජනතාවගේ ගරු සම්මානයට පාත්‍රවන්නේද එවැනි වාතාවරණයක්‌ තුළය.

යම්කිසි සමාජයක්‌ තුළ ඉතාමත් තීරණාත්මක වෙනස්‌කම් සිදුවන විට නොයෙකුත් සංකීර්ණ තත්ත්වයන් මධ්‍යයේ එම සමාජය එම කලාකරුවන්ගෙන් එක්‌ පැහැදිළි සේවයක්‌ බලාපොරොත්තුවෙයි. ඒ සේවය නම්, ජීවිතයේ ගැඹුරු හරයන් ද සත්‍ය වූ දැක්‌මක්‌ ද ඔවුන් විසින් නිරූපණය කරන බවට ඇති විශ්වාසයයි. මෙම මූලධර්මය සමාජ සංවර්ධන ව්‍යාපාරයකට යොමුවන දේශපාලන අධිකාරියක්‌ තුළ විශදවිය යුත්තකි. සෘජු තීරණ ගැනීම, නිතර නිතර සංශෝධනයට හා ප්‍රතිසංවිධානය හිතවත් වාතාවරණයකින්ද විවෘත භාවයෙන් හා යථාර්ථවාදයට නැඹුරුවීමෙන් ද වරින්වර ලේඛන හා කලා කරුවන්ගේ සම්මේලන පැවැත්වීමෙන්ද එම මෙහෙවර ඉටු කිරීම කළ යුත්තේය. ප්‍රතිසංවිධාන කටයුතුවල නියෑළීමට හා උණුසුම් හා තියුණ සාකච්ඡා එහිදී අනිවාර්ය ලක්‌ෂණයන් වේ. ජීවිතය වඩාත් වර්ධනය කිරීම හා යහපත් තත්ත්වයකට පත්කර ගැනීම පිණිස ජීවිතය පිළිබඳ සැබෑ සත්‍යය ප්‍රකාශ විය යුතුය. එසේම සත්‍යය ප්‍රකාශ කිරීම කලාකරුවන් විසින් මගහැර සිටිනා තාක්‌ තත්කාලීන සමාජයට ඔහු කරන්නේ ෙද්‍රdaහී කමකි. පහත දැක්‌වෙන්නේ බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ ගේ කවිපදයක ගැබ්වූ එවැනි යථාර්ථයකි.

තාත්තා ( ඒක හරි භීම සමයක්‌ පුතා
වධකාගාරවල දහස්‌ ගණන් පිරුණ
මිණී කඳ ගොඩ ගැසුනා
පුතා ( ඉතින් තාත්තේ ඒ කාලේ

කවියෝ හිටියේ කොහේද?

මෙයින් විශද වන්නේ සමාජය කිසියම් ව්‍යාධියකට ලක්‌වන්නේ නම් ඊට කලාකරුවාද වගකිව යුතු බවයි.

මේ අරමුණ කරා ගමන් කිරීමේදී අප ඉදිරියේ බාධක ප්‍රදානය කර තිබෙන්නේ අතීතයෙනි. මේ නිසා කලා හා සාහිත්‍යය ක්‍ෂේත්‍රයේ සියලු අංශවල ප්‍රතිසංවිධාන කටයුතු දියත් කිරීමේදී දුෂ්කරතාවන් පැන නැගී තිබේ. මෑත දී පවා සාහිත්‍යය වටිනාකමෙන් හා කලා රුචිකත්වයෙන් බෙහෙවින් අඩු නිර්මාණ හා චිත්‍රපට නිෂ්පාදනය වී තිබීම කලාකරුවන්ගේ අවධානයට ලක්‌විය යුත්තකි. මේ කාර්යය සඳහා අනතුරු ඇඟවීම පවා කලාකරුවන්ගෙන් ඉටුවිය යුත්තකි. තමන්ගේ කලා කෘතියනට අනර්ථයක්‌ සිදුවූ විටෙක බුද්ධිමය දේපළ පනත ඔස්‌සේ නීතිමය පිළිසරණ පැතීමට ඔහුට සිදුවන්නේ හුදකලාවය. කලාකරුවන් ප්‍රතිසංවිධානය වී සිටියේ නම් තහනමට ගොදුරුවූ සෑම කලාකරුවකුගේම (මෙම ලියුම් කරු ඇතුළුව) ඉරණම කෙරෙහි සක්‍රිය වැඩකොටසක්‌ කිරීමටද ඉන් අවකාශය සැලසෙනු ඇත. මෙවැනි දුර්වලතාවන් හා අනර්ථකාරී ප්‍රවණතාවන් මග හරවා ගැනීම පිණිස සාහිත්‍යකරුවන් හා කලාකරුවන් අතර විවෘත භාවය ද විශ්වාසය ද, ප්‍රජාතන්ත්‍රවාදය ද ප්‍රගුණ කළ යුතු වන්නේය. මේ සම්බන්ධයෙන් සාහිත්‍යය පිළිබඳව විවේචන ඉතා දැඩි ලෙස මේ අවධිය තුළ සිදුවේ. පුද්ගලයා කවරෙකු වූවත්, ඒ පුද්ගලයා අතින් නිමැවී ඇති කෘති විවෘතව විවේචනය කිරීමට තරම් වාතාවරණයක්‌ රටක උදාවිය යුත්තේය. වර්ධනීය ප්‍රවණතාවන් දක්‌නට නොලැබේ නම් ලේඛන සංවිධානවල නායකත්වයන් පවා වෙනස්‌ කළ යුතුය. විවිධ සාහිත්‍ය සඟරාවල කර්තෘ මණ්‌ඩල තුළ ද වෙනස්‌කම් සිදුවිය යුතුය. ව්‍යවසායකයන්ගේ මනදොළ සපුරන කලා ව්‍යාපාරිකයෝ හඳුනාගත යුතුය. කලා රුචිකත්වයේ ගුණාත්මක බව හඳුනා ගත යුතුය. උසස්‌ දේශපාලන වටිනාකම් ඉස්‌මතු වන්නේද උසස්‌ සාහිත්‍යමය වටිනාකම් පැවතියහොත් පමණි. ඒ නිසා කලාකරුවා දේශපාලනයට වඩා ගව්ගණනක්‌ ඉදිරියෙන් දෘෂ්‍යමාන වෙන පතාක යෝධයෙකි. ඔහු කිසියම් හෝ විධියක රැඩිකල් වාදියෙකි.

නූතන සංස්‌කෘතියේ බලයලත් කවටයකු බවට කලාකරුවා පත්වීම රජයේ මෙන්ම ව්‍යාපාරයේ ද ෙ€දනීය ඉරණම හුවාදක්‌වන ලක්‌ෂණයකි. මධ්‍යතන යුගයේ රජ වාසල කවටයන්ගේ ප්‍රතිරූප පෙන්නුම් කරන ලද්දේ අර්ධ තාර්කනික, මුඛරි, සාටෝපකාරී අමන ලක්‌ෂණ ඉස්‌මතු කරන්නාවූ පුරාණ මිනිස්‌ වර්ගයම වේ.

1903 - 1913 කාලය අතර මැක්‌සිම් ගෝර්කි හා ඇනටෝලි ලුනකාස්‌කි ඇතුළු පිරිස්‌ සංයුක්‌ත විකල්ප කලා ව්‍යාපාර ගොඩනැගීමට උත්සුක වූහ. ඓතිහාසිකව උරුම වූ ආගම්වල, සමාජවාදයට එකඟ නොවන මතවාදී කොටස්‌ බැහැර කර, සාධනීය හා නිර්මාණශීලී අංග උකහාගත යුතු බවට ගෝර්කි හා ලුනකාර්ස්‌කි තර්ක කළහ. සමාජවාදී ලබ්ධිය තුළ ස්‌වාභාවිකත්වය ඉක්‌ම වූ සංකල්පවලට ඉඩක්‌ නොමැති වුවද එය තුළ ලෝකය සමග එකමුතු බව හා ස්‌වයං විමුක්‌තිය සඳහා උත්සාහයට ඉඩ තිබිය යුතු බව ඔවුන්ගේ මතය විය. ඊට නීට්‌ෂේගේ දෙවියන් ගොඩනැගීමේ සංකල්පය ද බලපෑවේය. ගෙවුණු සියවසේ ශ්‍රේෂ්ඨතමයෙක්‌ වූ පෙඩ්රික්‌ නීට්‌ෂේ සුවිශේෂී කලාකරුවකු විය.

"දෙවියන් වහන්සේ වෙනුවට ආත්මීය දැනුවත්කම හා නිර්මාණශීලී මනුෂ්‍යත්වය ආදේශ කළ යුතු විය. දෙවියන්ගේ සැබෑ නිර්මාපකයා නිර්ධන පංතිය වේ. දෙවියන් ගොඩ නැගීමේ කාර්යයේ ප්‍රධානතම ගැලවුම්කාර ක්‍රියාකාරකම විප්ලවය විය යුතු විය." යන්න ලුන කාර්ස්‌කි යෝජනා කළේ යුගය නියෝජනය කරන්නාවූ කලාකරුවකු පරිදිය.

සාධනීය කලා ව්‍යාපාරයන් හි නිරත වූවන්ගේ අතීත පූර්වාදර්ශයන් කීපයක්‌ හුවා දැක්‌වීමට මා මෑතදී කියවන ලද පියතිස්‌ස හේරත්ගේ "නීට්‌ෂේ මොහු කවුද" කෘතියේ එක්‌තරා පිටුවක්‌ ගෙනහැර දක්‌වන්නෙමි.

"තම කෘතීන් මගින් ගෝර්කි පන්ති විරහිත මිනිසුන් වන පාදඩයන්, සොලටත් වර්ට්‌ සොව්වරුන් ගැන ලියමින් ඔවුන්ගේ මනෝභාවය ගැනද පෞද්ගලිකවම පරම නිදහස ලබාගැනීම සඳහා ඔවුන් තුළ ඇති අරාජිකවාදී අභිප්‍රාය ගැනද "පිරිස" සදාචාරය හා සමාජ යුතුකම් ගැන ඔවුන් ප්‍රෙඩ්රික්‌ නීට්‌ෂේගේ මතවලට සමාන මත දරමින් ඒවා දෙස නරුමවාදී ලෙස බැලීම ගැනද ලියූ නිසා ගෝර්කි ජනප්‍රිය වූහයි බොහෝ විචාරකයෝ අදහස්‌ කළහ. එයද සාවද්‍ය මතයකි. ගෝර්කි සැබැවින්ම පාදඩයන් ගැන ලියුවේය. ඔහුට පෙර කිසිවකු විසින් නොලියූ පරිදි ඔහු ඔවුන්ගේ චරිත පැහැදිලි ලෙස සාහිත්‍ය නිර්මාණවලට ඇතුළු කළේය. එහෙත් පාදඩයන්ගේ අරාජිකවාදී හැඟීම්වලට ඔහු කිසිදිනෙක පක්‌ෂපාතී නොවීය. ප්‍රෙඩ්රික්‌ නීට්‌ෂේගේ දර්ශනවාදයට විරුද්ධව ඔහු මුල සිටම සටන් කළේය. නීට්‌ෂේ මෙන්ම ගෝර්කි ද පහළ මැද පංතියට වෛර කළ අතර, නීට්‌ෂේ පහළ මැද පන්තියත් බහු ජනතාව එකට එක්‌කොට සැලකීය. (මේ නිසා නීට්‌ෂේ උග්‍ර ප්‍රතිගාමී මත දැරීය) එහෙත් ගෝර්කි, ග්‍රාම්‍ය අදහස්‌ දරන පහළ මැද පන්තිය බහු ජනතාවගේ හතුරෙකු ලෙස සැලකීය."

මෙවැනි ඓතිහාසික විශේලේෂණ තුළින් කලාවේ පෙර ගමන්කරුවන් පාඩම් ඉගෙන ගත යුතු වීම අනිවාර්යම වන්නේ එය කලාවේ ගුණාත්මක ප්‍රවණතාවන්ට අතිශය බලපෑමක්‌ එල්ල කරන බැවිණි.

බටහිර අධිරාජ්‍යවාදී ආඥදායකත්වය විසින් තීරණය කරනු ලැබූ දේශපාලන හා ආර්ථික වියගහෙන් මිදී නාමික නිදහසක්‌ ගැන කයිවාරු ගසන ඊනියා බලවේගවල සුරතලුන් බවට කලාකරුවා අයත්විය යුතු නැත. කලාකරුවකු වශයෙන් භුක්‌ති විඳින නිදහස ගැන කතා කිරීමට ඔහුට බොහෝ දේ තවම ගොඩගැසෙමින් පවතී. දේශීය කලාකෘති බොහොමයකම පුරාතන ආකෘති තුළ කලා රසිකයා කොටුකර තැබීම හා ඊට බලකරනු ලැබීම ජනප්‍රිය ප්‍රවණතාවන් තුළ රසික මනස කොටු කිරීම, සුරකින ව්‍යවසායක ප්‍රාග්ධන හිමි පංතියේ වුවමනාවන් ඉටුකිරීමට කලාකරුවන් වහල් මෙහෙයක යෙදවීම වැනි බොහෝ තහංචි හා යදම්වලින් මිදී අලුත් මං පෙත් නිර්මාණ වෙනුවෙන් හඬගා කතා කිරීමට කලාකරුවාට කාලය එළැඹ තිබේ. පුර දෙරණ මත සාහිත්‍ය ව්‍යාපාර වෙනුවෙන් දෙසුම් හල් විද්වත් කතාවලින් පිරි අධ්‍යයනාගාර සමාජ පරිÆණය පුළුල් කරන්නාවූ ලෝ පතල විශ්ව සම්භාව්‍ය කෘති හඳුන්වාදී අපේ සාහිත්‍යකාමීන් ළිං මැඩියන් බවට පත් නොකොට නිවහල් මානසික වටපිටාවක්‌ වෙනුවෙන් සමාජ ධුරාවලිය හා ගැටීමට කලාකරුවාට කාලය එළැඹ ඇත. එවිට ජන විÆණය, චින්තනය, හා අධිෂ්ඨානයද ඒකරාශිවීමෙන් ජනතාව අවදියෙන් තබා ගැනීමට කලාවට හැකිවේ.

ඩබ්ලිව්. එස්‌. විඡේසිංහ

 

 
Powered By -