විල්පත්තුව පරිසර සෞන්දර්යයේ තෝතැන්න

විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිළිබඳව කතාකරන්නට කාලීන මාතෘකා දෙකක්‌ ඇත. එහෙත් වැදගත්ම මාතෘකාව දින කිහිපයකට පසෙකින් තබා වසර තුනකට පසු මේ අගනා වනෝද්‍යානය සංචාරකයන්ට විවෘත වීමේ කතාන්දරය කියන්නට කැමතිය.

ජාතික වනෝද්‍යාන 20 ක්‌ අතුරින් ශ්‍රී ලංකාවේ ඇති අති සුන්දරම හා අද්විතීයම වනෝද්‍යානය විල්පත්තුව ලෙස හැඳින්වීම වැරදි නැතැයි සිතමි. 2006 වසරේ සිට පුරා වසර දෙකක්‌ මෙම වනෝද්‍යාන 20 පුරාම අධ්‍යයනය කර එහි සෞන්දර්යාත්මක අගය මෙන්ම භූගෝලීය ප්‍රාග් ඓතිහාසික හා ජෛව විද්‍යාත්මක අගය විමර්ශනයට ලක්‌කිරීමෙන් මේ බව අත්දැකීමෙන්ම මම හොඳින් දනිමි.

සිරිලක්‌ දෙරණ තලය නිර්මාණයේදී භූමියේ සිදුවූ වෙනස්‌කම් හොඳින්ම පෙන්නුම්කරන භූමි ප්‍රදේශය විල්පත්තුවයි. මුහුදයට කොරල්පරයක්‌ ඉහළට එසැවීමෙන් නිර්මාණය වූ විල්පත්තුවේ බටහිර පෙදෙස එනම් කුදිරමලේ ප්‍රදේශයේ පාෂාණ තුළ මේ සාධක තවමත් ශේෂව පවතී. විජයකුමාරයා ගොඩබට තම්බපණ්‌ණියද මේ විල්පත්තුව නොහොත් කුදිරමලයයි. කෙසේ හෝ විල්පත්තුව නමින් මෙයට ඒ නම ලැබීම දක්‌වා වූ සුවිශේෂීතා මේ භූමියේ නිර්මාණය හා බැඳී පවතී. ශ්‍රී ලංකාවේ වෙනත් වනෝද්‍යානයකදී විල්ලු හමු නොවේ. මුහුද ඉහළට එසැවීමේදී සිදුවු වෙනස්‌කම් මත විල්ලු නිර්මාණය වූ බවට සැලකෙන අතර මෙවන් විල්ලු පරිසර පද්ධති හතළිහක්‌ පමණ විලපත්තුවේ ඇත. කිසිදා මුහුද හා සම්බන්ධව මුහුදට හෝ විල්ලු තුළට ජලය ගලා නොගියද සම්පූර්ණයෙන්ම ලවණ නොහොත් කරදිය පිරි විල්ලුද විල්පත්තුවේ ඇත. විල්වලින් පිරි පත්තුව විල්පත්තුව බවට පත්විණි.

වියළි කළාපීය වනාන්තරවලින් සමන්විත වුවද, මේ උද්‍යානය තුළ වෙරළබඩ, කඩොලාන, ගංගාධාර, ගල්පර, පඳුරු තෙත්බිම්, තණපිටි, වැලිපර, ශුෂ්ක, ඇතුළු පරිසර පද්ධති ගණනාවකින් පෝෂිත ජීව විවිධත්වයක්‌ මෙහි ඇත. මේ හැමටත් වඩා විල්පත්තුවේ දක්‌නට ලැබෙන සෞන්දර්යාත්මක වටිනාකම වෙනත් කොතැනකදී හෝ දැකගන්නට ලැබේ දැයි මම නම් නොදනිමි.

මේ සියලු වටිනාකම්වලට අගුළු වැටුණේ 2007 මාර්තු මස 09 වැනිදා විල්පත්තුව උද්‍යාන භාරකාර අප හිතවත් වසන්ත පුෂ්පානන්ද මහතා ඇතුළු වනජීවී නිලධාරීන්ද උතුරු - මැද හමුදා අණදෙන නිලධාරිවරයා ඇතුළු හමුදා සෙබළුන්ද අට දෙනකු උද්‍යානයේ කොක්‌කාරි විල්ලුව අසලදී ත්‍රස්‌තවාදීන් විසින් වෙඩිතබා ඝාතනය කිරීමත් සමගය ඊට ඉහත 2006 වසරේදී තවත් පිරිසක්‌ ඝාතනය කරමින් කොමොටේ ප්‍රදේශයේදී පිපිරීගිය බෝම්බ ප්‍රහාරයෙන් පසු උද්‍යානය නොනිල වශයෙන් වැසී තිබිණි.

1905 දී අභයභූමියක්‌ බවට සුද්දන් විසින්ම ප්‍රකාශයට පත්කර තිබු ඔවුන්ගේ දඩයම් රක්‍ෂිතයක්‌වූ මෙම විල්පත්තුව 1938 වසරේදී ජාතික වනෝද්‍යානයක්‌ බවට පත් කෙරිණි. එතෙක්‌ මෙතෙක්‌ වන සත්ව ලෝලීන්ගේ සිත දිනාගත් විල්පත්තුව ශ්‍රී ලංකාවේ කොටියන් ඇතුළු වනසතුන්ගේ ක්‍ෂේම භූමියක්‌ ලෙස ලොව ප්‍රකට විය. එහෙත් අසූව දශකයේදී දෙමළ ත්‍රස්‌තවාදී වියවරු පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟම විල්පත්තුවටද තර්ජන එල්ල විය. 1985 මැයි මස 14 වැනිදා මෙම උද්‍යානය අවාසනාවන්ත ලෙස වැසී ගියේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් වනජීවී නිලධාරීන් 24 දෙනකු උද්‍යානය තුළදී වෙඩිතබා මරා දැමීම නිසාය. එදින අළුයම අනුරාධපුර පූජා නගරයේදී හා ජයශ්‍රීමා බෝධීන්වහන්සේ අසලදී බැතිමතුන් 122 කු මරා දැමූ ත්‍රස්‌තවාදීහු ආපසු මන්නාරමට පැන යන ගමනේදී විල්පත්තුව උද්‍යානයට ඇතුළුවී මෙසේ වනජීවී නිලධාරීන් මරා දැමූහ. ඉන්පසු විල්පත්තුව යළිත් 2003 වසරේ මාර්තු මස 16 වැනිදා සංචාරකයන් සඳහා ඇරුණේ වසර 18 කට පසුවය. සාම ගිවිසුමකට රජයත් - එල්ටීටීඊ සංවිධානයත් අත්සන් තැබූ මොහොතක වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම හා කාර්යශූරම නිලධාරිවරයකු වූ වසන්ත පුෂ්පානන්ද මහතා සියලු වගකීම් තමා භාරයට ගෙන ඉතා අපහසුවෙන් උද්‍යානය සංචාරකයන් සඳහා විවෘත කළ අයුරු අපට අදමෙන් මතකය. එපමණක්‌ නොව වසර දෙකක්‌ පමණ ඇතුළත කොක්‌මොටේ, තලවිල, මනවිල හා පණික්‌කවිල සංචාරක නිවහන් තනා ඒවා සංචාරකයන්ට ලබාදෙන්නටද පුෂ්පානන්ද මහතා ප්‍රමුඛ වනජීවී ඉහළ නිලධාරීන් කටයුතු කළේය.

උද්‍යාන මූලස්‌ථානයේ සිට කිලෝමීටර් 43 ක්‌ දුරින් මෝදරගංආරු ඔය අභියස 2004 වසරේදී අලුතින් ප්‍රතිසංස්‌කරණය වුණු අලංකාර කොක්‌මොටේ දැව බංගලාව විවෘත කිරීමේ උළෙලට සහභාගිවූ මට පුෂ්පානන්ද මහතා මේ උද්‍යානය ගොඩගන්නට දැරූ මෙහෙය මොනවට දැකගත හැකිවිය.

2006 වසරේදීද අවස්‌ථා දෙක තුනක්‌ම මේ සුන්දර වනෝද්‍යානයේ කරක්‌ ගසන්නට මට හැකිවිය. කිලෝමීටර් 53 ක්‌ දුරගෙවා උද්‍යාන මූලස්‌ථානයේ සිට විල්ලු මැදින් ජීප්රථවලින් ගොස්‌, සම්පූර්ණයෙන්ම වනවැදී හඳුනාගත නොහැකිතරමට කැළයට යටවුණු පැරණි පුත්තලම් - මන්නාරම කරත්ත පාරට උඩින් ගොස්‌ පලුගහතුරේ හා කුදිරමලේ මුහුදු ඉමට ගිය චාරිකාව අදත් මට සිහිපත් වේ. එහෙත් මෙම ප්‍රදේශය අද සංවර්ධනයේ නාමයෙන් හා රටට සාමය උදාවීම නිමිතිකොටගෙන පාරිසරික විනාශයකට මුහුණ පා ඇති බවට තොරතුරු ලැබී තිබේ. විල්පත්තුව ගැන පසුවට කතාකරන්නට අපට ඇති මාතෘකාව එයයි.

කෙසේ හෝ අක්‌කර තුන්ලක්‍ෂ විසිනවදහසක්‌ පමණ පැතිර ඇති අතිසුන්දරතම හා ලංකාවේ අද්වීතියම වනාන්තර කලාපයක පහසට අපට අහිමිව ගියේ ත්‍රස්‌තවාදී තර්ජන හේතුවෙනි. එල්ටීටීඊයේ සැපයුම් මාර්ග මේ හරහා වැටී තිබුණු බව කියෑවෙන අතර ඇතැම්විට කඳවුරු යනාදිය තිබූ බවටද තොරතුරු කියෑවිණි. කුදිරමලේ තුඩුවේ සිට යාපනය අර්ධද්වීපයේ සිට රටතුළට එන ගුවන් යානාවලට හා බත්තලංගුණ්‌ඩුව මුහුදේ නාවික යාත්‍රාවලටද ප්‍රහාර එල්ලවිය. එවන් යුද්ධෝපායාශීලී ප්‍රදේශයක්‌. නැතහොත් ලොවම විශ්මයෙන් ඇළලූ අභය භූමියක්‌ නැවත මුදාගන්නට ආරක්‍ෂක හමුදාවන්ට හැකිවූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ නිර්භීත පියවරක්‌ වශයෙන් රණවිරුවන්ගේ කැපවීම මත සිදුකළ යුද්ධයේ නිමාව නිසාය.

දැන් රටටම සාමය උදාවී ඇත. ජනයා ඒ සාමයෙ ප්‍රතිඵල භුක්‌ති විඳින සමය මෙයයි. එවන් විටෙක විල්පත්තුව ජාතික උද්‍යානය ජනතාව සඳහා විවෘත කිරීමට රජයත් පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු වනජීවී බලධාරීන් ගත් තීරණයත් පැසසිය යුත්තකි. පසුගිය පෙබරවාරි මස 27 වැනිදා මල්ඵල ගැන්වූයේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයි. අමාත්‍ය පාඨලි චම්පික රණවක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, වන්නි ආඥාපති මේජර් ජනරාල් කමල් ගුණරත්න, වයඹ නාවික ආඥාපති, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් ආනන්ද විඡේසූරිය ප්‍රමුඛ මහත්වරුන් අතින් ඒ අසිරිමත් අවස්‌ථාව උදාවිය. නැවත මේ අසිරිමත් වන උයනේ සෞන්දර්යයෙන් මත්වෙන්නටත් අද්විතීය පාරිසරික විවිධත්වය විඳගන්නටත් අවස්‌ථාව උදාවිය. මරදන්මඩුව - කුඹුක්‌විල කොක්‌කාරිවිල්ලුව යන ප්‍රදේශවල සංචාරය කරන්නට අපටද මේ සඳහා අවස්‌ථාව උදාවිය.

එහෙත්, විල්පත්තුව නමැති මෙම වනඋයනේ අනාගත සුරක්‍ෂිතතාව කෙරෙහිත් උද්‍යානයේ සංරක්‍ෂණ පරිපාලන කටයුතු වෙනුවෙන් විශාල වැඩකොටසක්‌ සිදුවිය යුතුව ඇතැයි යන්න ලියුම්කරුගේ අදහසයි. අවම තරමින් තවමත් කිසිදු වාහනයක්‌ නැති උද්‍යාන මූලස්‌ථානය වෙත නිලධාරීන්ගේ කටයුතු වෙනුවෙන් ජීප්රථ ඇතුළු වාහන ලැබිය යුතුව ඇත. එසේම උද්‍යානය විවෘතවී ඇති බවට පැතිර යන ආරංචි හේතුවෙන් දිනපතා සතිඅන්ත මෙන්ම ඉදිරි පාසල් නිවාඩු සමයේදී උද්‍යානයට ඇදී එන සංචාරක පිරිස්‌වෙත මගපෙන්වීම සඳහා, පරිපාලන කටයුතු සඳහා ප්‍රමාණවත් සේවක පිරිසක්‌ ලැබිය යුතුය. වෙනත් යටිතල පහසුකම් මෙන්ම, සංචාරක තොරතුරු මධ්‍යස්‌ථානය ඇතුළු නිලධාරී නිවස්‌න යනාදියද විශේෂයෙන්ම ගරාවැටී ඇති වනෝද්‍යාන සංචාරක නිවහන් හැකි ඉක්‌මනින් ප්‍රතිසංස්‌කරණයට ලක්‌විය යුතුය. නැතහොත් දොස්‌ අසන්නට වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවටය. ඇමැතිවරයයාට ආණ්‌ඩුවටය.

ඉදින් විල්පත්තුවේ තවත් එක්‌ කතාවක්‌ පසුවට තබා මේ සුන්දර වනඋයන සංචාරක ඔබට විවෘත වීම පිළිබඳ සතුටුදායක පුවත පමණක්‌ මෙසේ සනිටුහන් කර තිබමි.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප වාසල සේනාරත්න

 

 
Powered By -