පුබුදුගමේ ආදර්ශය

ඔවුන්ගේ කතාව ආදර්ශයකි. මට එය දැනුණේ වටු කුරුල්ලන් රෑන දැලත් රැගෙන පියඹා ගිය කතාව මෙනි. සමගිය බලය වන්නේය. ඒ බලය ජයග්‍රහණයට මග කියන්නේය. ජය කැන්දන්නේය. පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ එක්‌ අන්තයක පිහිටි "පුබුදුගම" වැසියන් තමන්ගේම කියා ජල දෝතක්‌ ගන්නේ ඒ ආදර්ශවත් කතාව කියමිනි.

"පුබුදුගම" යනු එදා සිට පිබිදී සිටි ගමක්‌ නොවේ. ඒ ගමේ ඉතිහාසය පුරා ඇත්තේ බියෙන් සහ අනේකවිධ බැරි අමාරුකම්වලින් මිරිකී වකුටු වී සිටි දුක්‌මුසු කථාන්දරයකි. අරලගංවිල දෙසින් යනවිට දම්මින්න පසු කර හමුවන මේ ගම පිහිටා ඇත්තේ තොප්පිගල කැලය සහ මාදුරුඔයට ඉතා ආසන්නයේය.

පුබුදුගම බිහිවන්නේ 80 දශකයේ අග භාගයේය. අද පවුල් 250 ක්‌ 300 ක්‌ සිsටින මෙම ගම් පෙදෙස එදා සුවිසල් කැලයකි. ඒ ගමට එපිටින් නැගෙනහිර පළාත් මායිමට හෙවත් තොප්පිගල කැලයට ඉතා ආසන්නව නිදන්වල ආදී ගම් පිහිටා තිබිණි. මේ ගමට මෙපිටින්ද ගම් කිහිපයක්‌ පිහිටා තිබේ. ඒ පුබුදුගම ගම් පියස බිහිවන්නේ ඊට එපිටින් පිහිටි ගම් සහ එයට මෙපිටින් පිහිටි ගම් සම්බන්ධ කිරීමක්‌ වශයෙනි. නොඑසේ නම්, ඒ වන රොද ත්‍රස්‌තවාදීන්ගේ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම වළක්‌වනු පිණිසය. තවත් ලෙසකින් කියතොත් පුබුදුගම බිහිවන්නේ "කොටිමංකඩක්‌" ඇහිරීමේ අරමුණු සහිතවය. වටේටම ගම්මාන තිබුණත් පුබුදුගම පෙදෙස ජනාවාස නොවී එතෙක්‌ කලක්‌ පැවතුණේ ඇයි?

ඒ එම ගම පිහිටියේ යම් මට්‌ටමක උසකින් වීම නිසාය. මේ හේතුවෙන් එම ගම පිහිටි ප්‍රදේශය හරහා කිසිදු වාරි පද්ධතියක්‌ ක්‍රියාත්මක නොවේ. මේ ගම ජනාවාස නොවුණේ ජල පහසුකමක්‌ නොතිබූ නිසාය.

පසුව ආරක්‍ෂක හේතූන්වලට මුල්තැන දෙමින් පුබුදුගම බිහි කිරීමට කටයුතු යෙදුනද ඔවුන්ගේ ජල අවශ්‍යතාව ගැන සිතන්නට කිසිදු බලධාරියකුට උවමනාවක්‌ නොවීය.

ජලය පමණක්‌ නොව, ජීවිකාව ද ඔවුනට ප්‍රශ්නයක්‌ විය. පුබුදුගම යනු අනු පවුල් ගම්මානයකි. එහි පදිංචිව සිටින අය අතුරින් බහුතරය අවට පිහිටි ගම්මානවල පවුල්වලින් බිහිවූවෝ වෙති. ඔවුන්ගෙන් වැඩි පිරිසකට තමන්ගේ කියා හේනක්‌ කුඹුරක්‌ නැත. එවැනි සියල්ලෝ අඳ ගොවියෝ වෙති. නැතිනම් කුලීකරුවෝ වෙති. එහෙත් කුලියක්‌ මලියක්‌ හෝ අඳයක්‌ සොයා ගැනීමට වඩා ඔවුනට අපහසු කාරිය වූයේ වතුර සොයා ගැනීමයි. උස භූමියක්‌ වූ බැවිනුත්, වාරි ක්‍රම නොමැති වූ බැවිනුත් බීමට ජලය මෙන්ම අනෙක්‌ ජල අවශ්‍යතා සපයාගැනීම ද මහත් ආයාසයක්‌ දැරිය යුතු විය.

වැසි කාලයට ගම්මානයේ සිට කිලෝමීටරයක්‌ පමණ දුරින් පිහිටි පුබුදුගම වැව අසළ වූ ළිඳකින් ජලය ලබා ගත්තද වැසි රහිත කාලයට සැතපුම් කිහිපයක්‌ ඈත ගම්මානවලට ගොස්‌ වතුර රැගෙන ආ යුතුය. සමහරෙක්‌ අත් ට්‍රැක්‌ටරයකින්ද තවකෙක්‌ පාපැදියකින්ද වතුර රැගෙන එද්දී ගහැණු උදවිය වතුර කළගෙඩි හිසෙහි තබාගෙන ඒ සා දුරක්‌ පයින්ම ගෑටුවෝය.

මේ ගමන ද භයානක විය. තොප්පිගල කැලයෙන් "සිංහල ලේ රස" සොයාගෙන ගම් වදින කොටින්ද, තමන්ගේ භූමියේ උරුමය අහිමිවීමෙන්දෝ කෝපයෙන් හැසිරෙන වල් අලියාගෙන්ද වතුර සොයාගෙන යන මේ ගමන විඩාබර ගමනකින් එහා ගිය ත්‍රාසජනක ගමනක්‌ බවට පත් විය. නැගෙනහිර කොටි බලය ගිලිහීමත් සමඟ එහි භයංකාරත්වය තරමක්‌ අඩුq වුවද අලියාගෙන් වන ගැහැට එසේම පැවතුණි.

මේ දුක කාට පෙනේදෝයි සිතමින් කල් ගෙවූ පුබුදුගම ගමේ වැසියන් බ්‍රැන්ඩික්‌ස්‌ සමාගමේ ප්‍රජා ජල ව්‍යාපෘති ගැන දැන ගත්තේ මේ අතරයි. "ජලය ජීවය වේ" යන තේමාවෙන් රට පුරා ජල සංරක්‍ෂණ සහ ප්‍රජා ජල ව්‍යාපෘති ඉටු කරනු ලබන බ්‍රැන්ඩික්‌ස්‌ සමාගමට තමන්ගේ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් ලිපියක්‌ ඉදිරිපත් කළ ඔවුහු තම ජල අවශ්‍යතාව ගැන සඳහන් කර සිටියහ.

නිකම්ම නිකම් ලියුමක්‌ නොව අංගසම්පූර්ණ ව්‍යාපෘති වාර්තාවක්‌ සමග ගමේ සහ එහි නිවාසවල පිහිටීම සිතියම් ගත කර බ්‍රැන්ඩික්‌ස්‌ සමාගමට ඉදිරිපත් කළේය. එම ඉල්aලීම ඉදිරිපත් කළ අයුරින්ම ඔවුන් සතු සංවිධාන ශක්‌තිය ගැන අදහසක්‌ බ්‍රැන්ඩික්‌ස්‌ ප්‍රජා සත්කාර ඒකකයට ඇති විය. ඔවුන්ගේ අවශ්‍යතාව හොඳින් වටහා ගත්තද ලෝක ආර්ථික අර්බුදය හමුවේ ස්‌ථාවර වීමේ සටනක නියුතුව සිටි බ්‍රැන්ඩික්‌ස්‌ සමාගමට මිලියන ගණනක්‌ වැය වන මෙවැනි සුවිසල් ජල ව්‍යාපෘතියක්‌ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදීමේ හැකියාවක්‌ නොවීය. එහෙත් ඔවුන් ව්‍යාපෘතිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදීමට ඉදිරිපත් වූහ. එම ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ලංකා වෝල්ටයිල්ස්‌ සමාගමද අනුග්‍රාහකයකු ලෙස ඉදිරිපත් වූ නමුත් ඇස්‌තමේන්තුවට අනුව තවත් රුපියල් මිලියන 3 ක පමණ මුදලක්‌ සපයා ගත යුතු විය.

පවුල් 350 ක්‌ පමණ සිටින මෙවැනි දුප්පත් ගමක වැසියන් ඇස්‌තමේන්තුවේ වන එම හිඟය සපුරා දීමට ඉදිරිපත් වූහ.

ඒ මුදලින් රුපියල් මිලියනයක පමණ ද නුපුහුණු ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන දෙකක්‌ පමණද සපයා දීමට ඉදිරිපත් වෙමිනි.

ග්‍රාම සංවර්ධන සමිතියේ පිරිස්‌ වැඩ ඇරඹූහ. මේ දුප්පත් වැසියෝ සතයෙන් සතය ඉතිරි කර තිබූ මුදල්වලින් රුපියල් මිලියනයකට ආසන්න ප්‍රමාණයක්‌ රැස්‌ කළහ. ගමම සමගිව ඇඟ වෙහෙසා කරන වැඩවලට සැරසුණාහ. ඒ එකමුතුකම වෙනුවෙන් ඔව්හු කණ්‌ඩායම් 10 කට බෙදුණහ. ඒ එක්‌ කණ්‌ඩායමක්‌ 15 දෙනකුගෙන් පමණ විය. ඔව්හු ක්‍රමවත්ව වැඩ බෙදා ගත්හ.

පුබුදුගම වැව ඉස්‌මත්තේ ජල ලීටර 180,000 ක පමණ ධාරිතාකින් යුතු සුවිසල් ලිඳක්‌ කැපිණි. අව්ව වැස්‌ස නොබැලූ මේ ගම්මුන්ට ඒ සා විශාල ළිඳක්‌ කැපීමටත්, ලිඳ බැඳීමටත් ගත වයේ මාස 2 ක්‌ පමණ කෙටි කලකි. එය නිකම්ම නිකං ලිඳක්‌ නොව ජල පිරිපහදු තාක්‍ෂණයද සහිතව ප්‍රමිතියට සැදූ ලිඳකි. පිරිමින් ලිඳ කපද්දී ගමේ ගැහැනු අත්වැඩ දුන්හ. උදේ 8 වන විට සියල්ලෝ කඩියන් මෙන් වැඩ අරඹති. 10 ට පමණ තවත් පිරිසක්‌ තේ ගෙන එති. දවල් කෑමට නිවසට යති. බත් පත හිස්‌ වූ විගස මහන්සි නොබලා නැවත වැඩට එති. සවස 5 පමණ වන තුරු වැඩ කරති. සමහරක්‌ දිනවලට අලියා ගම් වදින වේලාව වනතුරුම වැඩ කරති. එය එකම "ජල සංග්‍රාමයකි".

ලිඳේ කටයුතුවලින් අනතුරුව ජල ටැංකිය ඉදිකිරීමේ කටයුතුය. ලිඳත්, ජල ටැංකියත් අතර මීටර් 750 ක පමණ දුරට ජල නල එලීමේ කටයුතුය. ඒ වෙනුවෙන් කාණුq කැපිය යුතුය. සැලකිය යුතු ගැඹුරකින් කාණු කැපිය යුතුය. නළ එළිය යුතුය. යළි කාණු වැසිය යුතුය. ඒ අතර ලීටර 60000 ක ධාරිතාවකින් යුතු යෝද ජල ටැංකියක්‌ද ඉදි කළ යුතුය.

මේ සියල්ල අතර වාරයේ හේනේ කුඹුරේ වැඩට ද යා යුතුය.

පුබුදුගම වැසියෝ මේ ජල සංග්‍රාමයෙන් පිබිදී සිටියහ. ඔව්හු සියල්ල සමබරව සිදු කළහ. මේ වෙනුවෙන් පුහුණු ශ්‍රමය සහ තාක්‍ෂණය සැපයූ ඩීප් වෙල්ස්‌ සමාගමේ නිලධාරීහු ද මේ පුබුදුගම මිනිසුන්ගේ උනන්දුව දැකීමෙන් පිබිදී සිටියහ. ලහි ලහියේ සියල්ල සිදු විය. ව්‍යාපෘතියේ පළමු ඉලක්‌කය "තිතටම" ක්‍රියාත්මක විය. මාස 6 කටත් අඩු කලකින් ඒ ජල ටැංකියේ ලීටර 60000 ක්‌ ජලය පිරුණි.

ලීටර 60000 ක්‌ ජලය පිරවීම වෙනුවෙන් පුබුදුගම වැසියෝ හෙළුE දහඩිය ඒ සා දෙගුණයකටත් වැඩි විය යුතුය. ඒ පිරුණේ ජලය නොව ඒ මිනිසුන්ගේ ජවයයි. ශක්‌තියයි. අධිෂ්ඨානශීලිත්වයයි. එකමුතුකමයි.

පුබුදුගම අවට ගම්මාන රැසකද මෙවැනි ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඒවා සම්පූර්ණ වීමට ගත වූ කාලය අවුරුදු හතර පහකි. එහෙත් මේ දිරිය මිනිසුන් මාස කිහිපයකින් මේ සියල්ල සිදු කළහ.

කඩපිලෙහි සිට බුලත් විටක්‌ හපමින් වතුර නැතිවීම ගැන රට කරවන්නන්ට දෙස්‌ දෙවොල් තබමින් සිටිනු වෙනුවට මේ මිනිසුන් තම එකමුතුකමේ ශක්‌තිය ගැන විශ්වාසය තබා ක්‍රියාක්‌මක වූහ. ගමෙහි සියල්ලෝ තමන්ට හැකි උපරිමය යෙදවූහ. මේ ඡායාරූපයේ සිටිනුයේ ද ඔවුන් අතර සිටි සුවිශේෂී මිනිසෙකි.

33 හැවිරිදි චන්දන පුෂ්පකුමාර නමැති මේ තරුණයා සිවිල් ආරක්‍ෂක බලකායේ සේවය කළ අයෙකි. දෙදරු පියකු වන මොහුට තම පාදය අහිමිQයේ ගම රැකීමේ කටයුත්තක යෙදී සිටියදීය. ඔහුට ගමේ අනෙක්‌ උදවිය මෙන් වතුර කළගෙඩි කර තබාගෙන ඒමට නොහැකිය. බයිසිකලයේ වතුර බැරල් තබාගෙන ඒමට නොහැකියි. එහෙත් මේ සුවිසල් ජල ටැංකියට ලීටර 60,000 ක්‌ පිරවීමට ඔහුද දායක විය.

"මම මේසන් වැඩ දන්නවා. කකුල නැති වුණත්a මම මේ ටැංකිය උඩට නැග්ගා. ටැංකිය උඩ කපරාදු කරන්න මමත් එකතු වුණා".

මේ කියනුයේ චන්දනගේ කථාව නොවේ. සමස්‌ත පුබුදුගම ජනතාවගේ අධිෂ්ඨානශීලිත්වයේ කතාවයි. පාදයක්‌ අහිමිව තිබියදී අඩි 25 ක්‌ පමණ ඉහළට නැඟ හිමි දෑතින් තම යුතුකම ඉටු කිරීමට චන්දන ක්‍රියා කළා සේම අහිමි දේ ගැන නොසිතා හිමි වූ ශක්‌තියෙන් අවැසි කටයුත්ත කර ගැනීමට පුබුදුගම වැසියෝ සමත් වූහ.

එහෙත් මේ අවසන් වූයේ පළමු ඉලක්‌කයයි. ලිඳෙන් ටැංකිය පිරුණද ඒ පිරෙන ජලය පිටවනුයේ ටැංකිය අසල ඇති කරාමයෙන් පමණි. තවම ගමේ නිවාසවලට ජල නළ එලීමක්‌ සිදුව නැත. නමුත් අමාරුම වැඩ කොටස අවසන්ය. තවත් ඉතිරිව ඇත්තේ සුළු වැඩකි.

පෙබරවාරි 26 දා පෙරවරු 11.26 ට යෙදුණු සුබ මොහොතින් ඒ (එකම) ජල කරාමයෙන් පළමු "දියවර" නිකුත් වෙද්දී ඒ හැටි විශාල පිරිසක්‌ එහි නොවීය. එදින පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාර දෙන දිනය වූ බැවින් ගමේ වැඩි දෙනෙක්‌ එහි අපේක්‍ෂකයන්ට සහය දීම පිණිස ගොස්‌ සිටියහ. ඔවුන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තු වරම් ලැබූ කිසිවකු මේ මිනිසුන්ගේ ජල ප්‍රශ්නය විසඳීමට මෙතෙක්‌ දායක නොවුවත් මෙවර පාර්ලිමේන්තු අසුනකට සැරසෙන මහත්මයකු මේ ජල ව්‍යාපෘතියේ ඉතිරි "සොච්චම් වැඩයට" (නිවෙස්‌ දක්‌වා ජල නළ එළීමට) උපකාරී වනු ඇතැයි සිතමි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
කරුණාරත්න ගමගේ
ඡායා - කමල් බෝගොඩ

 
Powered By -