මේ මැතිවරණයේත් තීරණාත්මක සාධකය උතුරුකරයද....?

රටම මහ මැතිවරණයකට සූදානමින් සිටියි. මේ රටේ පැවති සෑම මහ මැතිවරණයකදීම පාහේ උතුරු-නැගෙනහිර වැසියන්ගේ ඡන්ද ඉතා තීරණාත්මක එකක්‌ බවට පත්විණි. ඒ අතුරින් උතුරේ වෙසෙන ඡන්ද දායකයන්ගේ දේශපාලන මතවාද හා තීන්දුව අපේ රටේ මැතිවරණ ප්‍රතිඵලය උඩු-යටිකුරු කිරීමට සමත් වූ අවස්‌ථා ද එමටය.

උතුරු පළාතේ පිහිටි ප්‍රධාන දිස්‌ත්‍රික්‌ක පහ පදනම් වී සකස්‌ වුණු මැතිවරණ දිස්‌ත්‍රික්‌ක දෙකකි. යාපනය හා කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ක දෙකම අයත් වන්නේ යාපනය මැතිවරණ දිස්‌ත්‍රික්‌කයටය. වවුනියා, මුලතිව් හා මන්නාරම යන මැතිවරණ දිස්‌ත්‍රික්‌ක තුනෙන් වන්නි දිස්‌ත්‍රික්‌කය නිර්මාණය වී තිබේ. යාපනය මැතිවරණ දිස්‌ත්‍රික්‌කය වන්නි මැතිවරණ දිස්‌ත්‍රික්‌කයට වඩා භූමි ප්‍රමාණයෙන් හා ඡන්දදායක සංඛ්‍යාවෙන් විශාල වුවත් යාපනයට අයත් ඡන්ද දායකයන් 721359 දෙනා පිළිබඳව විශාල අර්බුදයක්‌ පවතී. ඊට හේතුව මෙතරම් විශාල ඡන්දදායකයන් පිරිසක්‌ යාපනයට අයත් නමුත් ඡන්දය ප්‍රකාශ වන්නේ දෙලක්‍ෂයකට වඩා අඩු පිරිසකගෙනි.

වන්නි මැතිවරණ දිස්‌ත්‍රික්‌කය තුළ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව දෙලක්‍ෂ හැටහයදහස්‌ නවසිය හැත්තෑ පහකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු වන්නියෙන් තෝරා පත්කර ගැනේ. මේ මන්ත්‍රීවරුන් හය දෙනා වීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්‍ෂ 16 ක්‌ හා ස්‌වාධීන කණ්‌ඩායම් 12 ක්‌ නාමයෝජනා බාරදී තිබීම නිසා වන්නියේ මැතිවරණ සටනට එක්‌ව සිටින පිරිස 252 කි. ඒ පක්‍ෂ තුනක හා ස්‌වාධීන කණ්‌ඩායම් තුනක නාමයෝජනා ප්‍රතික්‍ෂේප වීමෙන් ද පසුවය.

යුද්ධය හමාරවීමෙන් පසුව පැවැත්වෙන පළමු මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 8 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණය බැවින් වන්නියෙන් මෙම මැතිවරණයට ලැබෙන ප්‍රතිචාරය පාර්ලිමේන්තුවේ සංයුතිය සඳහා බෙහෙවින් වැදගත් වනවාට කිසිදු සැකයක්‌ නොමැත.

2004 වසරේදී අවසන් වරට පැවැත්වුණු මහ මැතිවරණයෙන් වන්නියෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු හය දෙනාගෙන් පස්‌ දෙනෙකුම දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ය. මුස්‌ලිම් පක්‍ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස පසුව රජයට එකතු වූ හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුර්යුදීන් මහතා වන්නියේ අනෙක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.

දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරු පස්‌දෙනෙක්‌ම පාර්ලිමේන්තුවට ගියේ යුද සමයේදීය. එල්.ටී.ටී.ඊ.ය මෙම පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවට පත් කිරීමට එදා නොගත් වෙහෙසක්‌ නොමැත. නමුත් මෙවර මහ මැතිවරණයේදී එල්.ටී.ටී.ඊ.ය නොමැත. එහෙයින් දෙමළ ජාතික සන්ධානයට විශාල ආසන සංඛ්‍යාවක්‌ මෙවර ලබාගැනීමට හැකියාවක්‌ ඇත්දැයි යන සැකය හා ප්‍රශ්නය සියලු දෙනා තුළම හටගෙන තිබේ. වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරයකු වන නලින් ප්‍රසාද් ජයරත්න මහතා වර්තමානයේ වන්නි මැතිවරණ සටන පවත්වන තත්ත්වය පිළිබඳ අදහස්‌ දැක්‌වූ අවස්‌ථාවේදී ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ.ය අවසන් වුවත් දෙමළ ජනතාව ද්‍රවිඩ ජාතික සන්ධානයට දක්‌වන සහයෝගයේ අඩුවක්‌ දක්‌නට නොලැබෙන බවයි.

යුද්ධය හමාරවීමත් එක්‌ක උතුරු පළාතෙ මැතිවරණ දෙකක්‌ පැවතින. ඉන් පළමු වැන්න යාපනය මහ නගර සභාව සහ වවුනියාව නගර සභා මැතිවරණය. මේ මැතිවරණයේදී ආණ්‌ඩුව යුද්ධය හමාර කළාය කියන කරුණු සැලකිල්ලට ගෙන උතුරේ වැසියන් ආණ්‌ඩුවට ඡන්දය ලබාදීමක්‌ කළේ නැහැ. ඊළඟට ජනාධිපතිවරණය ආවා. ඒ මැතිවරණයේදීත් උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ රජයට විරුද්ධ දේශපාලන මතවාදයටයි. කෙටියෙන්ම ප්‍රකාශ කරනවානම් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ජයග්‍රහණය කරවීමට ඡන්දය ප්‍රකාශ කළා. මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේදීත් දෙමළ ජනතාවගේ අදහස්‌වල යම් වෙනසක්‌ සිදුවේවි කියා හිතන්න අමාරුයි. වන්නියට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල පිරිසක්‌ තරග වදිනවා. ඔවුන්ගේ කණ්‌ඩායමේ පිරිසෙන් තුන් දෙනෙක්‌ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මේ නිසා බහුතර ආසන සංඛ්‍යාවක්‌ ඔවුන් වන්නියෙන් ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩියි.

නලීන් ප්‍රසාද් ජයරත්න මහතාගේ අදහසට අනුව දෙමළ සන්ධානය පිළිබඳ විශාල සැකයක්‌ තිබේ. රජය යුද්ධය හමාර කොට දෙමළ වැසියන්ට නිදහස ලබා දී තිබුණද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් නිතරම පාහේ කියා සිටින්නේ යුද්ධය අවසන් වුවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න, ගැටලු වලට මෙතෙක්‌ විසඳුම් ලැබී නොමැති බවයි. මේ ප්‍රශ්නවලට දේශපාලනමය විසඳුමක්‌ ඔහු නිතරම ඉල්ලා සිටියි. මේ තත්ත්වය දඩමීමා කරගෙන දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණ සටන වන්නිය තුළ පමණක්‌ නොව සමස්‌ත උතුරු-නැගෙනහිර දෙපළාත තුළම ක්‍රියාත්මක කරන බව මේ වනවිටත් ඔප්පු වී තිබේ.

රජය යුද්ධය අවසන් කිරීමෙන් පසුව පවත්වන මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට වන්නියෙන් ලබාදී ඇති නාමයෝජනා වලට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වන්නි දිස්‌ත්‍රික්‌ සංවිධායක ප්‍රේමරත්න සුමතිපාල මහතා කණ්‌ඩායම් නායකයා වෙයි. වන්නි මැතිවරණ ඉතිහාසය තුළ මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි සිංහල මන්ත්‍රීවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්‌වූයේ 1994 මහ මැතිවරණයේදීය. එවකට මුලතිව්, මන්නාරම හා වවුනියාව යන දිස්‌ත්‍රික්‌කවල බහුතර දෙමළ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ නොලැබීම නිසා ඔහුට සිංහල ඡන්ද වලින් පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබිණි.

නමුත් මෙවර වන්නියේ මැතිවරණ විමසුම දෙස බලන විට ලේඛනගත සිංහල ඡන්ද සංඛ්‍යාව 12864 ක්‌ වුවත් සැබෑවශයෙන් සිටින සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව 9620 කි. මේ ඡන්ද සංඛ්‍යාව සෙසු දේශපාලන පක්‍ෂවලටද බෙදී යන අතරතුර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන්ම තවත් සිංහල අපේක්‍ෂයෙකු ඉදිරිපත් වී සිටියි. ඔහු මාධ්‍යවේදියෙකු මෙන්ම රජයේ වවුනියාව පුවත්පත් නිලධාරියා වශයෙන් කටයුතු කළ උපුල් බාලසූරිය මහතායි. මේ වනවිට දක්‌නට ලැබෙන තත්ත්වය අනුව මේ දෙදෙනා දෙපිලකට බෙදී එකිනෙකාට එරෙහිව ඡන්ද සටන ක්‍රියාත්මක කොට තිබේ. තනි මනාප ක්‍රමයකට සිය ඡන්දදායකයන් මෙහෙයවීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සිංහල අපේක්‍ෂකයන් දෙදෙනාම උත්සහ දැරීමේ අවසන් ප්‍රතිඵලය විය හැක්‌කේ මේ දෙදෙනාගෙන් එක්‌ අයෙකුටවත් මන්ත්‍රී ධුරයක්‌ සඳහා අවශ්‍ය මනාප සංඛ්‍යාව ලබාගැනීමට නොහැකි වීම බව පෙනි යයි.

යුද්ධය හමාර කිරීම නිසා වන්නියේ දෙමළ ජනතාව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී මේ සිංහල අපේක්‍ෂකයන් දෙදෙනාටද මනාප ලබාදිය හැකියෑයි ඇතමෙකුට තර්ක කළ හැකිය. නමුත් කළින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ වෛනාදන් ක්‍රිෂෝර් සහ එස්‌. කනගරත්නම් යන දෙදෙනාම මෙවර වන්නි දිස්‌ත්‍රික්‌කයට නාමයෝජනා බාරදී ඇත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙනි. මේ නිසා දෙමළ ඡන්ද දායකයන්ගේ ඡන්ද ඔවුන් අතර බෙදී යද්දී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මෙවර වන්නියට තරග වදින වවුනියාව පෞද්ගලික පාසලේ විදුහල්පතිනි ගීතාංජලී චන්ද්‍රගෝපාල් මහත්මියද දෙමළ ඡන්ද දායකයන්ට අවශ්‍ය නොවේ. මේ සියල්ල හැරුණු විට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක ලයිස්‌තුවේ සිටින ඊළඟ ප්‍රබලයා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාය. උතුරු වසන්තය වැඩපිළිවෙළත් සමග රිෂාර්ඩ් අමාත්‍යවරයා උතුරේ සිංහල, දෙමළ හා මුස්‌ලිම් ජනතාව අතරට පැමිණි අයෙකි.

මේ මැතිවරණයේත්

මේ නිසා සියලු ජාතීන්ට අයත් ඡන්ද වලින් යම් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ලබාගැනීමට ඇති අවස්‌ථාව ඔහුට වැඩිය. ලේඛනගත මුස්‌ලිම් ඡන්ද සංඛ්‍යාව හැටියට වන්නිය තුළ මුස්‌ලිම් ඡන්ද 34050 ක්‌ ඇති නමුත් පුත්තලම, ඉකිරිගොල්ලෑව වැනි ප්‍රදේශවල පදිංචි මුස්‌ලිම් අනාථ වැසියන්ගේ ඡන්ද සංඛ්‍යාවද සමග වන්නියට ඇත්තේ මුස්‌ලිම් ඡන්ද 29200 කි.

මේ අනුව බලන විට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ලයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට යාහැක්‌කේ කී දෙනෙකුද යන්න තවමත් නිශ්චය කළ නොහැකිව තිබේ. වන්නියේ ඇති සියලුම මුස්‌ලිම් ඡන්ද රිෂාර්ඩ් බදුර්දීන් මහතාට නොලැබෙන බව ඉඳුරාම කිව හැකිය. ඊට හේතුව වන්නේ එක්‌සත් ජාතික පෙරමුණේ වන්නි දිස්‌ත්‍රික්‌කයට තරග වදින නූර්දීන් මසූර් මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මුස්‌ලිම් ජනයාගේ ඡන්ද බෙදී යන්නේ ඔවුන් දෙදෙනා අතරය.

සෙට්‌ටිකුලමේ ලිපිකාරිනියක වන මොහමඩ් ෂරීනා සුලෙයිඛාන් මෙනවිය වන්නියේ ඡන්ද සටනේදී මුස්‌ලිම් ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනුගමනය කරන මිනුම් දඬු පිළිබඳව අපූර්ව අර්ථ කථනයක්‌ කළාය.

"විශේෂයෙන්ම වන්නියේ මුස්‌ලිම් ජනතාවගෙන් 70% ක්‌ම අවතැන් වූ පිරිසකුයි. යාපනෙත්, වවුනියාවෙත්, මන්නාරමෙත් උන්හිටිතැන් අහිමි වූ මුස්‌ලිම් වැසියෝ දැන් හැම තැනකම ජීවත් වෙනවා. මේ අයගෙන් විශාල පිරිසක්‌ එදිනෙදා වෙළ¹මක්‌ කරලා ජීවත් වන පිරිසක්‌. මහ මැතිවරණයේදී මේ අයගෙන් විශාල පිරිසක්‌ රජය සමග ඉන්නවා. ඊට හේතුව ඔවුන්ට නැවත පදිංචි කරවීමේ වැඩ සටහන යටතේ ගෙයක්‌ දොරක්‌ හදාගන්න... විනාශ වී ගිය දේපලවලට වන්දියක්‌ ගන්න... හැබැයි තව කාරණයක්‌ තියෙනවා. සාමාන්‍යයෙන් වන්නිය මුස්‌ලිම් ජනතාවගේ වැඩි කොටසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය සමග බැඳුණු අයයි. මේ නිසා වන්නියේ මුස්‌ලිම් පිරිස රිෂාර්ඩ් බදුර්දීන් හා නූර්දීන් මසුර් කියන දේශපාලනඥයන් දෙදෙනා වටේට ඒකරාශි වී සිටිනවා. ඒ හින්දා ඒ දෙන්නටම වාසි සහගත තත්ත්වයක්‌ තමයි මුස්‌ලිම් ජනතාව තුළින් පෙනෙන්නේ.

ෂරීනා සුලෙයිඛාන් මෙනවිය මුස්‌ලිම් ජනතාව පිළිබඳව දැක්‌වූ අදහසටම සමානව වවුනියාවේ දෙමළ හා සිංහල ඡන්ද දායකයන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක්‌ද එක්‌සත් ජාතික පක්‍ෂය වටා රැඳී සිටිති. සාමාන්‍යයෙන් වන්නි මැතිවරණ දිස්‌ත්‍රික්‌කය එක්‌සත් ජාතික පක්‍ෂයට බර මැතිවරණ දිස්‌ත්‍රික්‌කයක්‌ ලෙස අනාදිමත් කාලයක සිට හංවඩු ගැසී තිබේ.

මෙවර එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජාතික පෙරමුණ වශයෙන් මැතිවරණ බිමට පිවිසෙද්දී වන්නියේ සිටින පාක්‍ෂිකයන්ට තම පක්‍ෂය මුහුණ පෑ විවිධ හැලහැප්පීම් ගණනාවක්‌ දෙස ආපසු හැරී බැලීමට සිදුව තිබේ. එක්‌සත් ජතික පක්‍ෂයේ වන්නි දිස්‌ත්‍රික්‌ සංවිධායකවරයාව සිටි ශාන්ත කුමාර පුංචිහේවා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජෙනරාල් ජානක පෙරේරා මහතා මරුමුවට පත්වූ අනුරාධපුර බෝම්බ සිද්ධියේදී ශාන්ත කුමාර පුංචිහේවා මහතාද ජීවිතක්‍ෂයට පත්විය. ඊළඟට එක්‌සත් ජාතික පක්‍ෂයේ වන්නි දිස්‌ත්‍රික්‌ සංවිධායකවරයා වූයේ තවචෙල්වම් මහතාය. මීට වසර දෙකකට පමණ පෙර ඔහුද මෙසේ හඳුනා නොගත් තුවක්‌කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ වී ජීවිතක්‍ෂයට පත්විය. යුද්ධයත් සමගම එම තනතුර ඊළඟට හිමිවූ වවුනියාව නෙඩුන්කුළමේ පී. ඒ. කරුණාදාස මහතා තවමත් එම තනතුරේ නවකයෙකි. පක්‍ෂය හා ඡන්ද දායකයන් රැකගැනීම සඳහා ඔහු දැඩි වෙහෙසක්‌ ගන්නා නමුත් නාමයෝජනා පත්‍රයේ එක්‌සත් ජාතික පෙරමුණ වෙනුවෙන් ඔහු සමග තරග වදින නූර්දීන් මසූර් මහතා දේශපාලනයේදී දැවැන්ත චරිතයකි. එහෙයින් එක්‌සත් ජාතික පෙරමුණට මෙවර වන්නියෙන් හිමිවන්නේ නම් ඒ එක්‌ මන්ත්‍රී ආසනයක්‌ පමණක්‌ බවට පෙරනිමිති පහළ වී තිබේ.

වන්නියේ දේශපාලන පක්‍ෂ හා දේශපාලනඥයන් විවිධ හේතූන් මත ඇතුළු වී ඇති අතරතුරම යුද්ධය හේතුවෙන් අනාථ වූ පිරිස්‌ද ලක්‍ෂයක්‌ පමණ ඡන්දදායකයන් අතර වෙයි. අනාථයාගේ ස්‌වභාවය සෑම කෙනෙකුගෙන්ම තමන්ට අවශ්‍ය විය හැකි දෙයක්‌ ඉල්ලීමයි. මහ මැතිවරණයට තරගවදින සියලු අපේක්‍ෂකයන්ගේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේද මේ අනාථ වැසියෝමය. සෙට්‌ටිකුලම මැණික්‌ෆාම් අතර කඳවුරේ මාස 9 ක්‌ කල්ගෙවා වවුනියාවට පැමිණ සිටින සරවනමුත්තු කාලිඅම්මා මහ මැතිවරණය දකින්නේ මහා හිසරදයක්‌ ලෙසින්ය.

"උදේට එක්‌කෙනෙක්‌ එනවා... අරවා දෙන්නම් මේවා දෙන්නම්.... අපිට ඡන්ද දෙන්න කියනවා... දවල්ට රෑට..... හරියට අපි බෙහෙත් බොනවා වගේ හැම වෙලාවෙම එන්නෙ ඉලෙක්‌ෂන් කට්‌ටිය..... හැමෝම ඡන්දෙ තමයි ඉල්ලන්නෙ... අපි ඉල්ලන ඒවා දෙන්න නම් අපිට ඡන්ද දෙන්න කියනවා.... අපි දහදුක්‌ වින්ද උදවිය..... අපි ඡන්දෙ දෙන්නෙ අපේ දුකට පිහිට වුණ උදවියට පමණයි මහත්තයෝ.... අපේ කාලෙ දැන් ඉවරයි. අපේ දරුවන්ට හරි ඉස්‌සරහක්‌ තියෙන්න ඕනෙනේ... කවුරු ඡන්දේ ඉල්ලුවත් අපි ඡන්දේ දාට අපිට ඕන කෙනෙක්‌ අපි තෝරන්නම් කෝ......

කාලි අම්මාගේ කතාව ඇත්තය. උදේට ඉර එළිය බිමට වැටෙන කොටම අපේක්‍ෂකයේ බැනර්, කටවුට්‌ අත් පත්‍රිකා පුරවාගත් වාහන වල කොල්ලෝ කුරුට්‌ටෝද දමාගෙන ඡන්දය ඉල්ලමින් ගම් ගෙවල් ගානේ යති. මේ කවුරු කොහේ ඇවිද්දත් වෙනත් දේශපාලනඥයන් ගොඩ නොවදින කලාපයක්‌ද වන්නි මැතිවරණ දිස්‌ත්‍රික්‌කය තුළ දැකිය හැකිය. ඒ ප්ලොට්‌ සංවිධානයේ බල ප්‍රදේශයයි. අනාදිමත් කාලයක්‌ වවුනියාවේ සෑම අංශයකම බලය පිහිටුවාගෙන සිටියේ ප්ලොට්‌ සංවිධානයයි. හොඳින් හෝ නරකින් තම බලය ව්‍යාප්ත කළ ප්ලොට්‌ සංවිධානයට නින්දගම් වශයෙන් උරුම වූ ප්‍රදේශ ගණනාවක්‌ම වවුනියාවේ හා මන්නාරමේ දැකිය හැකිය. මේ නිසා ප්ලොට්‌ සංවිධානයද මෙවර මහ මැතිවරණයේදී වන්නි දිස්‌ත්‍රික්‌කය තුළ යම් බලපෑමක්‌ කිරීමට හැකි දේශපාලන පක්‍ෂයක්‌ ලෙස භූමිකාවක්‌ රඟදක්‌වයි.

ප්ලොට්‌ සංවිධානයට වන්නිය තුළ ඇත්තේ දේශපාලන සබඳතාවකට වඩා දැඩි වූ ඥති සබඳකම් පිරි වටපිටාවකි. ප්ලොට්‌ බලප්‍රදේශවල සියලු දෙනා ඥතීහුය. මේ නිසා ඔවුනොවුන් එකට බැඳී සිටීම දේශපාලනයේදී වාසි සහගත වී ඇත. එහෙයින් වන්නියෙන් තේරීපත්වීමට නියමිත මන්ත්‍රීවරු හය දෙනා අතරට ප්ලොට්‌ සංවිධානයේ එක්‌ අයකු හෝ රිංගවීමට ඔවුන් සටන ආරම්භ කොට ඇත.

කාලාන්තරයක්‌ මුලුල්ලේ යුද බිය රජකළ වන්නියට සාමය උදාවීමත් සමගම මැතිවරණ පිට මැතිවරණ පැමිණියේය. ඉන් ලද ප්‍රතිඵල අනුව බලනවිට මෙවර මහ මැතිවරණයේදී පක්‍ෂ 12 ක්‌ පිටියට පිවිස සිටියද තරගය ඇත්තේ පක්‍ෂ හතරක්‌ තුළ පමණි. ඒ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ප්ලොට්‌ සංවිධානය අතර පමණි. වන්නියට ඇති මන්ත්‍රීධුර හය අධිප්‍රමාණ, අවප්‍රමාණ වශයෙන් දෝලනය වන්නේ මේ පක්‍ෂ ටික අතර පමණි. ඒ නිසා තමාගේ ගොඩ වැඩි කරගැනීමට දේශපාලඥයන් වෙර වීරිය දරද්දී වන්නියේ ඡන්ද දායකයෝ අසරණ වී සිටිති.

දිනසේන රතුගමගේ

 
Powered By -