සාධාරණ සාමකාමී
මැතිවරණයකට සහාය දෙන්න
සියලු අපේක්‌ෂකයන්ගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ඉල්ලයි

හේමන්ත රන්දුණු

එකම පක්‌ෂය තුළ මනාප සඳහා ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් නතර කරගෙන සාධාරණ සාමකාමී මැතිවරණයක්‌ සඳහා සහාය වන ලෙස මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා සියලුම අපේක්‌ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

දැනට වාර්තා වී ඇති පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක්‌ එකම පක්‌ෂයේ සාමාජිකයන් විසින් එකිනෙකාට එරෙහිව සිදුකර ඇති ඒවා බවද නවරත්න මහතා කියා සිටියි.

මනාප වැඩි ප්‍රමාණයක්‌ ලබාගැනීමට උත්සාහ කිරීමේදී එකම පක්‌ෂයේ ඇතැම් අපේක්‌ෂකයන් අතර ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වී ඇති බවද හෙතෙම පවසයි.

එකම පක්‌ෂවල එකමුතුවක්‌ ඇති කර ගැනීම සඳහා අපේක්‌ෂකයන් මෙන්ම ආධාරකරුවන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් සියලු පක්‌ෂ සංවිධායකවරුන්ගෙන් තමන් ඉල්ලීමක්‌ කරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පවසයි.

එකම පක්‌ෂ සාමාජිකයන් අතර මනාප පොරය සඳහා ගැටුම් පැවැතියහොත් මැතිවරණ දිනය ආසන්න වෙද්දී මෙම තත්ත්වය උග්‍රවීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටී.

 
Powered By -