යුදාධිකරණය ලබන සතියේ නම් කෙරේ

කීර්ති වර්ණකුලසූරිය

හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනයට ලක්‌ කිරීම සඳහා වූ යුදාධිකරණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබන සතියේදී නම් කිරීමට නියමිතය. හිටපු ජෙනරාල්ට එරෙහිව සාක්‍ෂි රැස්‌කර ඇති හමුදා විමර්ශකයන් මේ වන විට ජෙනරාල් විසින් පැනගිය යුද හමුදා සෙබළු නව දෙනෙක්‌ ගැන මැතිවරණ කොමසාරිස්‌ට යෑවූ ලිපියේ පිටපතක්‌ ද සොයාගෙන තිබේ.

පැනගිය බවට දැනුම් දුන් එම සෙබළු නව දෙනා ආයුධ සමග සිනමන් ලේක්‌ හෝටලයේ සිටියදී යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර හිටපු හමුදා නිලධාරීන් 123 කගෙන් යුත් ජෙනරාල්ගේ හමුදා කණ්‌ඩායමේ ලැයිස්‌තුව රහස්‌ පොලිස්‌ විමර්ශකයන් විසින් සොයාගෙන ඇත.

ඊට හිටපු කර්නල් හා ලුතිනන් කර්නල්වරු පස්‌ දෙනෙක්‌ මේජර්වරු 23 ක්‌ හා හිටපු කපිතන්වරු හා හිටපු ගුවන් හමුදා බළඝන නායක නිලධාරියෙක්‌, හිටපු නාවික හමුදා කමාන්ඩර්වරයෙක්‌ සහ හිටපු පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ ඇතුළත් වේ.

මේ අතර හිටපු ජෙනරාල්ගේ ලේකම් වූ කපිතන් ෂාන් සිල්වා පිළිබඳ ශ්‍රී ලංකා රජයට තොරතුරු හෙළිකර ඔහු බෙල්ජියමට ගෙන යැමේ ඉඩකඩ පිළිබඳ සොයා බැලීමට දෙදෙනකුගෙන් යුත් බෙල්ජියන් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ඉදිරි සතියේ මෙරටට පැමිණේ.

 

 
Powered By -