ඩෙංගු මඬින බී ටී අයි මැද කොළඹට ඉසී

ඒමන්ති මාරඹේ

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදන ආනයනික බීටීඅයි බැක්‌ටීරියා දියරය මෙම දිනවල ඩෙංගු රෝගය වැඩි වශයෙන් පැතිර ගොස්‌ ඇති මැද කොළඹ ප්‍රදේශයේ නිවාස ආශ්‍රිතව ඉසීමට (ස්‌ප්‍රේ)
කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

මේ යටතේ මැද කොළඹ දිස්‌ත්‍රික්‌කයේ නිවාස හතළිස්‌ දහසක්‌ ආශ්‍රිතව පවතින ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථානවල මෙම බැක්‌ටීරියා දියරය සතියකට වරක්‌ ඉසිනු ලබන බවත් එහි ප්‍රගතිය සතිපතා පරීක්‍ෂා කර බලන බව ද වෛද්‍ය කාරියවසම් කීවේය.

ඩෙංගු මදුරු කීටයන් විනාශ වන තෙක්‌ දිගටම මෙම බැක්‌ටීරියා දියරය ඉසිනු ලබන අතර නිවාස ආශ්‍රිතව එම දියරය ඉසීමට පියවර ගෙන ඇත්තේ ප්‍රථම වරට බව හෙතෙම සඳහන් කළේය.

කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වසරක පමණ කාලයක්‌ තිස්‌සේ මෙම දියරය කොළඹ පොදු ස්‌ථානවල ඉසීම සිදු කරනු ලබයි. කොළඹ නගරයේ පසුගිය මාස කිහිපය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් බහුතරය වාර්තා වී ඇත්තේ මැද කොළඹ ප්‍රදේශයෙනි.

මේ අතර දිවයින පුරා තෝරාගත් ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථානවලට ඉසීම සඳහා කියුබාවෙන් ආනයනය කිරීමට සැලසුම් කර තිබූ බීටීඅයි බැක්‌ටීරියා දියරය ලීටර් තිස්‌දහසක ප්‍රමාණය මෙරටට ගෙන්වීම තවමත් ප්‍රමාද වෙමින් පවතී.
 

 

 
Powered By -