අපි, රටට වරදක්‌ කරලත් බලයට කෑදරත් නෑ!
ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක සහ
බියගම ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන


ශ්‍රී ලංකාව තුළ බිහිවූ ශ්‍රේෂ්ඨ අගමැතිවරු ජනාධිපතිවරු පස්‌දෙනෙකු බිහිකළ පවුලකින් මා පැවත එන්නේ. ඒ පස්‌දෙනාම බිහිවුණේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්. ඒ නිසා අනිත් අයට වඩා මට උරුමකම් තියෙනවා ගම්පහ දිස්‌ත්‍රික්‌කයට. විශේෂයෙන් හම්බන්තොටින් පාත්වුණු පෙට්‌ටගම්කාරයන්ට වඩා.

හෙතෙම මෙර දේශපාන වංශ කතාවේ දිගු පරම්පරාවක්‌ නියෝජනය කරන්නෙකි. වත්මනෙහි විපක්‍ෂය නියෝජනය කරන තරුණ දේශපාලන දහරාවේ ප්‍රමුඛ චරිතයක්‌ වන්නේද ඔහුය. දේශපාලන ඉතිහාසයේ සිය පරපුර නියෝජනය කළ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ බියගම අපේක්‍ෂකයා ලෙස මැතිවරණ සටනට එක්‌වන රුවන් විජයවර්ධන මහතා සිය දේශපාලන මතය "දිවයින ඉරිදා සංග්‍රහය" සමග සාකච්ඡා කළේ මෙලෙසිනි.

ප්‍රශ්නය (- පසුගිය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක්‌ ලැබූ එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය පිළිබඳව ඇති සූදානම කෙසේද?

පිළිතුර (- පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ඒ පිළිබඳව රටේ සියලුම ජනතාවට සැකයක්‌ ඇතිවී තියෙනවා. ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳව මේ වන විට අධිකරණයේ නඩුවක්‌ පවරා විභාග වෙමින් පවතිනවා. ඒ සැකය වැඩිදුරටත් තහවුරු වුණා විපක්‍ෂ අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිර භාරයට ගැනීමෙන්. ඒ නිසා ජනාධිපතිවරණය අපි පැරැදුණා යෑයි කීම සාධාරණ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සැකයක්‌ තියෙනවා.

නමුත් අප්‍රේල් 08 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී වෙනසක්‌ ඇතිවෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බොහෝ දෙනෙක්‌ ඡන්දය දුන්නේ කළගුණ සැලකීමක්‌ වශයෙනුයි. ඒ යුද්ධය අවසන් කළ නිසයි. හැබැයි ඒ කළගුණ සැලකීම මේ ආණ්‌ඩුවේ සිටින මැති ඇමැතිවරුන්ට ලැබෙන්නේ නැහැ. මේ වන විට රටේ ජනතාව දරාගත නොහැකි ප්‍රශ්න රැසකට මුහුණදී සිටිනවා. ඒ අයත් දන්නවා මේ ආණ්‌ඩුවෙන් රට සංවර්ධනය වෙන්නේ නැහැ කියලා. ලංකාවේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ආර්ථිකයක්‌ තිබෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයට පමණයි කියලා. මේ වන විට බඩු මිල ඉහළ ගිහින්. රැකියා ප්‍රශ්නය උග්‍ර වෙලා. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම වෙනසක්‌ වෙනවා. ඒ තමයි එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහිවීම.

ප්‍රශ්නය (- ඔබ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව පැවසුවා. නමුත් අධිකරණයට ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමේ "කොම්පියුටර් ජිල්මාට්‌" එක හා පනහේ මිටි උඩින් බුලත් කොලයක්‌ තැබීමේ චෝදනාව ඇතුළත් කර නැත්තේ ඇයි?

පිළිතුර(- මං හිතන්නේ ඒ පිළිබඳව තවමත් පරීක්‍ෂණ සිදු කරගෙන යනවා. සෝමංවශ අමරසිංහ මහතා කළ ඒ චෝදනාව ආණ්‌ඩුව තවමත් ප්‍රතික්‍ෂේප කර නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමට පෙර සිටම එවැනි සැකයක්‌ ජනතාව අතර තිබුණා. විපක්‍ෂයෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. ආණ්‌ඩුවේ සිටින ඇමැතිවරු පවා අපිට කතා කරලා කිව්වා මේක වෙන්න බැරි දෙයක්‌ කියලා. ඒවගේ සැකයක්‌ ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ටත් ඇතිවී තිබුණා. ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඒ සැකය තවදුරටත් වර්ධනය වුණා. එහිදී ජනතාව සිතන්නට පෙළඹුණා ආණ්‌ඩුව ඇත්තටම මෙහෙම දෙයක්‌ කළාද කියලා.

අනිත් කාරණය තමයි මැතිවරණ පෙත්සමට කොම්පියුටර් ජිල්මාට්‌එකට වඩා ප්‍රබල කරුණු ගණනාවක්‌ එකතු කර තිබෙනවා. ඒ නිසා අපි ඡන්ද පෙත්සම ඉදිරිපත් කළ කරුණු අනුව මේ සම්බන්ධයෙන් අපට සාධාරණ තීරණයක්‌ ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය අපිවත් ජනතාවවත් විශ්වාස කරන්නේ නෑ.

ප්‍රශ්නය (- ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ දේශපාලන හේතූන් මත නොවන බවත් ඔහු අත්අඩංගුවට ගත්තේ සේවා කාලය තුළදී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ සිදු කළ නිසා බවත් ආණ්‌ඩුව කියනවා?

පිළිතුර (- ඔව් ඉතින් චෝදනා ඉදිරිපත් කළාට තවමත් ඒවාට කරුණු ඉදිරිපත් කරල නැහැනේ. කවුරුන් හෝ අත්අඩංගුවට ගන්නවා නම් චෝදනා සහ ඊට අදාළ කරුණු ඉදිරිපත් කළ යුතුයි. නමුත් මේ අවස්‌ථාවේ ආණ්‌ඩුව කියන්නේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට හවුල්වී තිබෙනවා කියල පමණයි. නමුත් අපි කරුවුත් දන්නවා ඔහු අත්අඩංගුවට ගත්තේ කුමන හේතූන් මතද කියලා. එවැනි කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව ජනරාල් සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගැනීම ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌. ඒක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට කර තිබෙන ලොකු අසාධාරණයක්‌.

ඒ වගේම ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකූලව සිදුකළ දෙයක්‌ නොවෙයි. පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගැනීමට පෙර චෝදනා පත්‍රය කියවා, පැය 24 ක්‌ ඇතුළත චෝදනා පත්‍රය භාරදීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමයි රටේ පිළිගත් නීතිය. නමුත් ආණ්‌ඩුව අද වනතුරු චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කර නැහැ. පත්තරවලින් තමයි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්නේ.

ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හා මූලික මිනිස්‌ අයිතිවාසිකම්වලට පටහැනිවයි. එදා දේශප්‍රේමියකු ලෙස පිළිගත් මුළුමහත් කොටි සංවිධානය විනාශ කරන්න තමන්ගේ ජීවිතය තුන්පාරක්‌ පූජා කරලා ත්‍රස්‌තවාදීන්ගේ අතින් වැනසීමට ගිය දේශප්‍රේමියා යෑයි කියපු රජයම අද ඔහුව දේශෙද්‍රdaහියයෙක්‌ කර කරුවල කාමරයක හිරකර තැබීමේ තීරනය පිළිබඳව ජනතාව මේ මැතිවරණයේදී පැහැදිලි තීන්දුවක්‌ ගනීවි.

ප්‍රශ්නය (- රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට කියනවා මහ මැතිවරණයෙන් ආණ්‌ඩුවට 2/3 ක බලයක්‌ ලබාදෙන්න එපා කියලා. වික්‍රමසිංහ මහතාගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විටත් පරාජය බාර අරගෙන තිබෙනව බව?

පිsළිතුර (- මම ඒක ප්‍රතික්‍ෂේප කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ, මහ මැතිවරණයෙන් ආණ්‌ඩුව 2/3 ක බලයක්‌ ඉල්ලන්නේ ඒකාධිපති පාලනයක්‌ ලබා ගන්න කියලයි. ඒ නිසයි වික්‍රමසිංහ මහතා ජනතාවට කියන්නේ 2/3 ක බලයක්‌ ලබාදෙන්න එපා කියලා. ඒක පරාජය බාරගැනීමක්‌ නොවෙයි. කොහොමත් මේ ආණ්‌ඩුවට 2/3 ක බලයක්‌ ලබාගන්න බැහැ. ඒක කරන්න එක්‌සත් ජාතික පෙරමුණේ අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඇත්තෙන්ම රටේ ජනතාව ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ ආණ්‌ඩුව ගැන බියට පත්වී සිටිනවා. මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්‌වී තියෙනවා. අද මාධ්‍ය නිදහසක්‌ නැහැ. මේ සියල්ලටම නිවැරැදි තීන්දුවක්‌ අප්‍රේල් 08 වැනිදාට ජනතාව ලබාදෙනවා. අපේ නායකයතුමා කවදාවත් එහෙම පරාජය බාරගන්න කෙනෙක්‌ නෙමෙයි.

ප්‍රශ්නය (- නමුත් ආණ්‌ඩුව 2/3 ක බලයක්‌ ඉල්ලන්නේ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇති කර රටට හිතකර දේශපාලන වාතාවරණයක්‌ ඇති කරන්නයි?

පිළිතුර (- ඒක කරන්න ආණ්‌ඩුවට 2/3 ක බලයක්‌ අවශ්‍ය නැහැනේ. ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ තියෙනව නම් ඒක කරන්න පුළුවන්නේ. මේ ආණ්‌ඩුව 2/3 ක බලයක්‌ ගන්න හදන්නේ බලය තහවුරු කරගෙන තවත් අවුරුදු හත අටකට රට පාලනය කිරීමටයි. එහෙම නැතිව රටට තියෙන ආදරයකට නොවෙයි. රටට ආදරයක්‌ තියෙනවා නම් පසුගිය කාලයේ රට සංවර්ධනය කරන්න තිබුණ නේද? තමන්ගේ දූෂිත පාලනය තවදුරටත් ඉදිරියට ගෙනයැමටයි ආණ්‌ඩුව මේ 2/3 ක බලයක්‌ ඉල්ලා සිටින්නේ.

ප්‍රශ්නය (- ඔබ පැවසුවා රජය මාධ්‍ය මර්දනය කරනවා කියලා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණයි මාධ්‍ය මර්දනය කළේ? එසේ තිබියදී ඔබ කොහොමද කියන්නේ ආණ්‌ඩුව මාධ්‍ය මර්දනය කරනවා කියලා?

පිළිතුර (- පසුගිය ජනාධිපතිවරණයේදී ඇත්තටම රාජ්‍ය මාධ්‍යවලින් විපක්‍ෂයට ලොකු අසාධාරණයක්‌ කළා. ඒක බොරුයි කියලා කාටවත් කියන්න බැහැ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම රාජ්‍ය මාධ්‍ය විපක්‍ෂයට ගැහුවා. මැතිවරණ කොමසාරිස්‌ පත්කළ නිසි බලධාරියාටවත් ඒවා පාලනය කරගන්න බැරි වුණා. අපේ නායකතුමාට විශාල කෙණෙහිලිකම් කළා. ඔහුගේ කතා විකෘති කරලා දිනපතා ප්‍රකාශ කළා. සරත් ෆොන්සේකා මහතාගේ කතාවලින් කොටස්‌ අරගෙන දවස පුරා විකාශය කළා.

ඒ වගේම විපක්‍ෂයට සම්බන්ධ මාධ්‍යවේදීන්ට පවා පහර දුන්නා. ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අද ඉන්නවාද නැද්ද කියලා අපි දන්නෑ. විපක්‍ෂයට සම්බන්ධ මාධ්‍යවේදීන් අද රට අත්හැර ගිහින්. ඔවුන් ලිපි ලේඛන එවන්නේ විදේශවල සිටයි. මාත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටි කෙනෙක්‌ ලෙසයි මේ කතා කරන්නේ. මාධ්‍යකරුවන් අද විශාල ලෙස බියට පත්වී සිටිනවා. විපක්‍ෂයට විරුද්ධව ලියන අයට තමයි අද නිදහසේ ඉන්න පුළුවන්. ආණ්‌ඩුවට විරුද්ධව ලියන අයට අද රටේ ඉන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා.

ප්‍රශ්නය (- කොළඹ දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගත් පවුල් පසුබිමක්‌ තියෙන ඔබ ගම්පහ තෝරා ගැනීමට තියෙන විශේෂ හේතුව කුමක්‌ද?

පිළිතුර (- එහෙම කියන්න බැහැ. මගේ පියා, මව ඒ සියලු දෙනා ගම්පහ. මගේ මවු පාර්ශ්වයට සම්බන්ධ සේනානායක පවුල බිහිවෙලා තියෙන්නේ මීරිගම බෝතලේ වලව්වෙන්. ඒ වගේම මගේ පියා කැලණියේ. ඒ නිසා මගේ උරුමය තිබෙන්නේ ගම්පහටයි. අපේ පවුල් සියල්ල බිහිවෙලා තියෙන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්. මේ රටට විශාල සේවයක්‌ කළ, එදා රට නිදහස්‌ කර ගැනීමේ අරගලයට දායකවූ මහාමාන්‍ය ඩී. එස්‌. සේනානයක, ඩඩ්ලි සේනානයක වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බිහිවෙලා තියෙන්නේ ගම්පහින්. ඒ සේවය තවදුරටත් ගෙන යැමටයි මගේ බලාපොරොත්තුව. රටේ ජනතාව දන්නවා අපි කවදාවත් දේශපාලනයෙන් හම්බකරගත් පුද්ගලයන් නොවන බව.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ බිහිවූ ශ්‍රේෂ්ඨ අගමැතිවරු ජනාධිපතිවරු පස්‌දෙනෙකු බිහිකළ පවුලකින් මා පැවත එන්නේ. ඒ පස්‌දෙනාම බිහිවුණේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්. ඒ නිසා අනිත් අයට වඩා මට උරුමකම් තියෙනවා ගම්පහ දිස්‌ත්‍රික්‌කයට. විශේෂයෙන් හම්බන්තොටින් පාත්වුණු පෙට්‌ටගම්කාරයන්ට වඩා.

ඩී. ආර්. විජයවර්ධන මහතා මේ රටේ පත්‍රකලාව ආරම්භ කළ පුද්ගලයා. ඔහුත් මේ රටට නිදහස ලබාගන්න විශාල සේවයක්‌ කළ කෙනෙක්‌. ඩී. එස්‌. සේනානායක වැනි අය සමග ඔහුත් විශාල කර්තව්‍යයක්‌ කළා. ලාබ ප්‍රයෝජන බලාගෙන නොවෙයි ඒවා කළේ. රටට ආදරය නිසයි. මගේ බලාපොරොත්තුවත් රටට සේවය කිරීමයි.

ප්‍රශ්නය (- ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ බියගම ආසන සංවිධායක ලෙස මේ වන විට ජනතාවට කර තිබෙන සේවය ගැන ඔබ තෘප්තිමත්ද?

පිළිතුර (- ඇත්තෙන්ම මට පුළුවන් ආකාරයට මගේ ආසනයේ ජනතාවට සේවය කර තිබෙනවා. පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ප්‍රථම ස්‌ථානයට මා පත්වුණා. මා ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බව ඉන් පැහැදිලි වෙනවා.

පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ලෙස බියගම ආසනයට මට හැකි අයුරින් සේවය කර තිබෙනවා. විපක්‍ෂයේ සිටින පළාත් සභා මන්ත්‍රීවරයකුට වසරකට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ 35 යි. ඒ ලක්‍ෂ 35 න් දිස්‌ත්‍රික්‌කයටම වැඩ කරන්න ඕනෑ. මොකද මට දිස්‌ත්‍රික්‌කයේම ජනතාව ඡන්දය ලබාදී තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි. රුපියල් ලක්‍ෂ 35 කින් දිස්‌ත්‍රික්‌කයටම සේවය කරන්න පුළුවන්ද? ලක්‍ෂ 35 ක්‌ දිස්‌ත්‍රික්‌කය පුරා බෙදීයන විට එක ආසනයකට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ 2 ක්‌ 3 ක්‌ වැනි මුදලක්‌. ඇත්තෙන්ම ඒ මුදලින් ලොකු දෙයක්‌ කරන්න බැහැ. ඒකයි මෙවර මහ මැතිවරණයට මා ඉදිරිපත්වීමට තීරණය කළේ. පාර්ලිමේන්තුවේ ලැබෙන වරප්‍රසාදවලින් ආසනයටත් දිස්‌ත්‍රික්‌කයටත් කරන්න පුළුවන් වැඩ කොටස වැඩි වෙනවා.

පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ලෙස මරණාධාර සමිතියකට පුටු ටිකක්‌, ටෙන්ට්‌ එකක්‌ දෙනවාට වඩා වැඩි දෙයක්‌ පාර්ලිමේන්තුවෙන් කරන්න පුළුවන්. ඇත්තටම ගම සංවර්ධන කිරීමේ සංකල්පයක්‌ අපට තියෙනවා. ඒ සංකල්පයට යැමට නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යා යුතුයි.

ප්‍රශ්නය (- මෙවර ගම්පහ දිස්‌ත්‍රික්‌කයට සන්ධානයේ නාකයත්වය ලබාදෙන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උප දේශක බැසිල් රාජපක්‍ෂ මහතායි. ඔහු මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් අනුව ඔහු ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙනවා. යම්කිසි න්‍යාය පත්‍රයකට අනුවයි බැසිල් රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ. මෙවැනි තත්ත්වයක්‌ තුළ ඔබ පක්‍ෂයෙන් ගම්පහට ඉදිරිපත් කර තිබෙන න්‍යායපත්‍රය කුමක්‌ද?

පිළිතුර (- බැසිල් රාජපක්‍ෂ මහතාට වැඩි සම්පත් ප්‍රමාණයක්‌ තියෙනවා. සල්ලි කන්දරාවක්‌ සමගිනුයි ඔහු ගම්පහට එන්නේ. ඒත් බැසිල් රාජපක්‍ෂ මහතාට ගම්පහ කිසිම උරුමයක්‌ නැහැ. ඔහු ඇවිත් තියෙන්නේ බණ්‌ඩාරනායක පවුල ඉවත් කරන්නයි. හම්බන්තොට ඉපදුන කෙනෙක්‌ ගම්පහට ඉදිරිපත් කර තිබෙන්නේ ගම්පහ බණ්‌ඩාරනාරයක පරපුර ඉවත් කරන්නයි.

ඒ වගේම මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා අනුරාධපුරයට ඉදිරිපත්වූ අවස්‌ථාවේ බැසිල් රාජපක්‍ෂ මහතා ඔහුට කිව්වා පෙට්‌ටගම්කාරයා කියලා. රන්ජන් රාමනායක සබරගුමවට දැම්මාම කිව්වා ඡන්දයක්‌වත් නැති පෙට්‌ටගම්කාරයා කියලා. මම අහනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ගම්පහට මිනිහෙක්‌ නැතුවද බැසිල් රාජපක්‍ෂ මහතාට ගම්පහ නායකත්වයට ගෙන ආවේ කියා. එහෙම නම් මේ අපහාස කර තිබෙන්නේ ගම්පහ ජනතාවටයි. ගම්පහට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නාකයෙක්‌ නැති බව ජනතාවට පෙන්වා තිබෙනවා. ගම්පහ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් දැන් තීන්දුවක්‌ ගත යුතුයි මේ මැතිවරණයේදී.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට විසඳුම් ලබාදීමට ප්‍රශ්න රාශියක්‌ තියෙනවා. ඉන් පළමුවැන්න තමයි අධ්‍යාපන ක්‍ෂේත්‍රය. අද ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ බොහෝ දෙමව්පියන් කනගාටුවෙනවා තමන්ගේ දරුවකු පාසලකට ඇතුළත් කරගන්න බැරිවීම ගැන. දේශපාලනඥයන් මගින් ඔවුන්ගේ බලයෙන් තමයි මේවා කරගන්න වෙලා තියෙන්නේ. රජයේ ආයතනවල සේවය කරන පුද්ගලයන් දේශපාලන හයිය අරගෙන කටයුතු කරනවා. ඇත්තටම ගම්පහ අධ්‍යාපනය මීට වඩා වර්ධනය කරන්න පුළුවන්.

ඒ වගේම විරැකියාව. විරැකියාව විශාල ප්‍රශ්නයක්‌ වෙලා තියෙනවා. ගම්පහ කියන්නේ විශාලම වෙළෙඳකලාප දෙකක්‌ තියෙන ප්‍රදේශය. ජීඑස්‌පී ප්ලස්‌ සහනය නැතිවීම නිසා මේ වන විට කර්මාන්තශාලා රැසක්‌ වැසීගොස්‌ තියෙනවා. එමගින් රැකියා විශාල ප්‍රමාණයක්‌ අහිමිවෙලා තියෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න පුළුවන් එක්‌සත් ජාතික පෙරමුණට පමණයි. අපේ නායකතුමාට ඒ ගැන හොඳ අවබෝධයක්‌ තියෙනවා. රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් අපිටයි. ඒක ගම්පහ දිස්‌ත්‍රික්‌කයට විශේෂයෙන් බලපානවා.

ප්‍රශ්නය (- ජීඑස්‌පී ප්ලස්‌ සහනය අහිමිවීම නිසා රැකියා විශාල ප්‍රමාණයක්‌ නැතිවී තියෙන බව ඔබ පැවසුවා. ජීඑස්‌පී ප්ලස්‌ සහනය ලංකාවට අහිමි කළේ එක්‌සත් ජාතික පක්‍ෂය නේද?

පිළිතුර (- එහෙම දෙයක්‌ අපි කළේ නෑ. මේ රටට මොකක්‌ හරි වරදක්‌ වුණොත් ඒක එක්‌සත් ජාතික පක්‍ෂයෙන් කළා කියලයි ආණ්‌ඩුව කියන්නේ. ආණ්‌ඩුවේ වරදින් එහෙම දෙයක්‌ වුණත් බනින්නේ එක්‌සත් ජාතික පක්‍ෂයට. ඇත්තටම එහෙම චෝදනාවක්‌ අපිට කරන්න බැහැ. ආණ්‌ඩුවේ වරදින් තමයි මේ ජීඑස්‌පී ප්ලස්‌ සහනය අහිමි වුණේ. අවුරුද්දක්‌ තිස්‌සේ මේ ආණ්‌ඩුවට යුරෝපයෙන් බලපෑම් කළා මානව හිමිකම් ගැන. ආණ්‌ඩුවේ මේ ක්‍රියාකලාපය පිළිබඳව සෑහීමකට පත්නොවූ නිසයි යුරෝපා හවුල එවැනි තීරණයක්‌ ගෙන තිබෙන්නේ. ඒකට එක්‌සත් ජාතික පක්‍ෂයට බැනල වැඩක්‌ නැහැ. අපිට රටවල් ගානේ ගිහින් එහෙම කියන්න අවශ්‍යතාවක්‌ නෑ. අපිටත් අවශ්‍ය මේ රට ගොඩනගන්නයි. අපිට බලයට කෑදරකමක්‌ නෑ. රටේ ජනතාවට යම්කිසි සහනයක්‌ ලබාදී රට සංවර්ධනය කරන්න අපිට අවශ්‍යයි. රටට විරුද්ධව කවදාවත් වචනයකින්වත් වරදක්‌ කරන අය නොවෙයි අපි.

ප්‍රශ්නය (- ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඔබ හඳුනාගෙන තිබෙන ගැටලු පිළිබඳව ඉහත සඳහන් කළා. ඔබ හිතනවද මෙවර මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ බිහිවීමෙන් පසු ඒවට විසඳුම් ලැබෙයි කියලා?

පිළිතුර (- අනිවාර්යයෙන්ම අපේ ආණ්‌ඩුවක්‌ බිහිවෙනවා. ජනතාවට මතුවී තියෙන ගැටලු මම ඉහත ප්‍රකාශ කZළානේ. ඒ වගේම තමයි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයත්. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගැන රටේ ජනතාව විශාල ලෙස බියට පත්වී සිටිනවා. විසකුරු එන්නත් නිසා ළමයි කීදෙනෙක්‌ මිය ගියාද? ආණ්‌ඩුවට තවමත් ඩෙංගු= මර්දනය කරගන්න බැරිවෙලා තියෙනවා. මේ මාස දෙකට පමණක්‌ පනහකට අධික පිරිසක්‌ ඩෙංගුවලින් මියගිහින් තියෙනවා. ආණ්‌ඩුවට තවමත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කළමනාකරණය කරගන්න බැරිවෙලා තියෙනවා.

ඒවගේම විභාග ප්‍රශ්නපත්‍රවලට සිදුවෙන දේවල් විහිළුවක්‌ වෙලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී උපධිධාරීන්ට කිව්වා ජනාධිපතිට වැඩ කරන්න රැකියා ලබාදෙනවා කියලා. දැන් මොකක්‌ද කියන්නේ? දැන් කියනවා මහ මැතිවරණයත් දිනවලා දෙන්න. ඊට පස්‌සේ රැකියා දෙන්නම් කියලා. මෙවැනි බොරු කැරට්‌ අල පෙන්න පෙන්නා තරුණ තරුණියන්ව රවටන එක විතරයි මේ රජය කරන්නේ. අපිට අවශ්‍ය මේ තරුණ පරපුරට ඔවුන්ගේ අනාගතය තහවුරු කරන්නයි. ඒක කරන්න පුළුවන් එක්‌සත් ජාතික පක්‍ෂයට පමණයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ "77 විවෘත ආර්ථික ක්‍රමය නිසා තමයි අද අපි රූපවාහිනයක්‌වත් නරඹන්නේ. ඒ වගේම ප්‍රේමදාස මහතාගේ කාලයේදීත් එය වර්ධනය කරලා දුප්පතාට සේවයක්‌ කළා. ගම්උදාව, මහපොළ වැනි සේවාවන් හරහා එක්‌සත් ජාතික පක්‍ෂය මේ රටේ සංවර්ධනයට විශාල සේවයක්‌ කළා.

2001 රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වෙන විට මේ රටේ ආර්ථිකය තිබුණේ කොතැනද කියලා අද මිනිසුන්ට අමතක වෙලා. කටුනායකට ගහලා, මහ බැංකුවට ගහලා රටේ ආර්ථිකය සෘණ තත්ත්වයට පත්වෙලයි තිබුණේ. සංචාරක ක්‍ෂේත්‍රය කඩාවැටිල තිබුණේ. ඒ වෙලාවේ ආර්ථිකයක්‌ තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ අවුරුදු දෙකක පාලන කාලය තුළ ඒ තත්ත්වය වෙනස්‌ කළා. ඒ නිසා මෙවර මැතිවරණයේදී රටේ ජනතාවට මේ ආණ්‌ඩුවට විරුද්ධව තීරණයක්‌ ගනීවි.

ප්‍රශ්නය (- එක්‌සත් ජාතික පක්‍ෂයේ ඊළඟ ඔටුන්න හිමි කුමාරයා ඔබ යෑයි කතාවක්‌ තියෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර (- (සිනාසෙයි...) මම ඒක ප්‍රතික්‍ෂේප කරනවා. ඔටුන්න හිමි කුමාරයෙක්‌වීමට මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මං හිතන්නේ මට වඩා පළපුරුදු ජ්‍යෙෂ්ඨ, ඉදිරියට නායකත්වය දෙන්න පුළුවන් දේශපාලනඥයන් එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටිනවා. මගේ නායකත්වය මං හිතන්නේ රටේ ජනතාවට මා කෙරෙහි විශ්වාසයක්‌ තියෙනවා නම් ඉදිරියේදී ඒ ගැන තීරණය ගන්න පුළුවන්. පක්‍ෂයේ කවුරුවත් තවම එවැනි තීන්දුවක්‌ අරගෙන නැහැ. පක්‍ෂය වෙනුවෙන්, අපේ පාක්‍ෂිකයන් වෙනුවෙන්, උපරිමයෙන් වැඩ කරනවා. එපමණයි මගේ බලාපොරොත්තුව. රටේ ජනතාව ඉදිරියේදී තීන්දුවක්‌ ගනිවී මම නායකත්වයට සුදුසුද නැද්ද කියලා.

සාකච්ඡා කළේ ප්‍රභාත් විතාන

 
Powered By -