ගම්පහ ආසියාවේ හොඳම දිස්‌ත්‍රික්‌කය බවට පත් කරනවා
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, බැසිල් රාජපක්‌ෂ

ජනාධිපතිවරණයෙන් පසුව එළැඹී ඇති මහා මැතිවරණයෙත් ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්ව ඇත්තේ සංවර්ධනයයි. මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවේ සංවර්ධන කටයුතු පිළිබඳව, පෙරමුණේ සිටි බැසිල් රාජපක්‌ෂ මහතා ඒ මාතෘකාව ගැන දක්‌වන්නේ කෙබඳු අදහසක්‌ද? එළැඹෙන මහ මැතිවරණයේ ඔහු ගම්පහ දිස්‌ත්‍රික්‌කයට ලබාදෙන සංවර්ධනය කෙබඳුද? මේ ඒ ගැන "දිවයින ඉරිදා සංග්‍රහය" ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, බැසිල් රාජපක්‌ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - රාජපක්‌ෂවරුන්ගේ දේශපාලන භූමිය හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය( නමුත් ඔබ මෑත කාලයේදී සංවර්ධන ක්‍රියාදාමයන්ට දායක වෙමින් වැඩ කටයුතු කළේ, නැගෙනහිර හා උතුර පළාතේ. අවසානයේදී අද ඔබ මහ මැතිවරණයට තරග කරන්නේ, ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්. ඔබගේ ගම්පහ ආගමනය ගැන මුලින්ම සඳහන් කළහොත්...

පිළිතුර - ගිය ජනාධිපති මැතිවරණයේදීත් 2005 ජනාධිපති මැතිවරණයේදීත් මහින්ද රාජපක්‌ෂ මහතා ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබුවා. මේ නිසා ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා, මේ ගම්පහ දිස්‌ත්‍රික්‌කය තමාගේම දිස්‌ත්‍රික්‌කයක්‌ ලෙස තෝරාගෙන ඒ දිස්‌ත්‍රික්‌කයට සුවිශේෂ වැඩ කොටසක්‌ කරන්න. ඒ කාර්යය සඳහා මාව, එතුමා විසින් තෝරාගෙන තිබෙනවා. මේ වගේම හිතලා, මුලින් මාව නැගෙනහිරට දැම්මා. ඊළඟට උතුරට දැම්මා. අපි ඒ ප්‍රදේශ කඩිනමින් සංවර්ධනය කරමින් ඒ වගකීම ඉෂ්ට කළා. නැගෙනහිර ජනජීවිතය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන්න මට පුළුවන් වුණා. ඉන්පසුව මට උතුරට යන්න කිව්වා. එම පළාතේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් එම වැඩපිළිවෙලත් සාර්ථකව කරගෙන යනවා. ඒක බොහොම සාර්ථක වෙලා, ජාත්‍යන්තර වශයෙන් ප්‍රසංශාත් හිමි වී තිබෙනවා. ඒ පරිදිම ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට අවශ්‍ය සේවය සලසන්න, අතිගරු ජනාධිපතිතුමාට වුවමනා වී තිබෙනවා. එතුමාගේ, මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළ ගොඩනැගෙන ආසියාවේ ආශ්චර්ය බවට පත්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දිස්‌ත්‍රික්‌කයක්‌ බවට ගම්පහ පත් කිරීමේ අදහස ඉටු කරගැනීම සඳහායි, මාව ගම්පහට පත් කළේ.

ප්‍රශ්නය - ගම්පහ දිස්‌ත්‍රික්‌කය දේශපාලනයේදී ප්‍රසිද්ධ වී තිබෙන්නේ බණ්‌ඩාරනායකලාගේ බලකොටුවක්‌ ලෙස. එවැනි පුරයකට රාජපක්‌ෂ කෙනෙකු තරග කිරිම, ඔහුට තිබෙන අභියෝගයක්‌ නොවේද?

පිළිතුර - ගම්පහ දිස්‌ත්‍රික්‌කය කියන්නේ බණ්‌ඩාරනායකලාගේ බලකොටුවකටත් වඩා, ශ්‍රීලනිපයේ බලකොටුවක්‌. ශ්‍රේෂ්ඨ ජන නායකයින්ට උගතුන්ට ක්‌ෂේම භූමියක්‌ වෙච්ච පුරවරයක්‌. ඩී. බී. ජයතිලක මැතිතුමාගේ ඉඳලා, ඩී. එස්‌. සේනානායක, ආර්. ජී. සේනානායක, බණ්‌aඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ආදී වශයෙන් ශ්‍රෝෂ්ඨ පුද්ගලයන් බිහි වෙච්ච දිස්‌ත්‍රික්‌කයක්‌. ඒ වගේම බණ්‌ඩාරනායකලාත් රාජපක්‌ෂලාත් කියන්නේ, ඉතාම කිට්‌ටු ඇසුරක්‌ පැවතුණු දෙපිරිසක්‌. එස්‌. ඩඩ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාත් මගේ පියාත් දේශපාලනික වශයෙන් මෙන්ම, පුද්ගලිකවත් හොඳ මිත්‍රයෝ. ඒ බැඳියාව මට අභියෝගයක්‌ නොව ශක්‌තියක්‌ බවට පත්වී තිබෙනවා.

ප්‍රශ්නය - ඔබගේ මැතිවරණයේ තේමාව වී තිබෙන්නේ සංවර්ධනයේ නියමුවා යන්නයි. නමුත් ගම්පහට තිබෙන්නේ නැගෙනහිරට හා උතුරට අවශ්‍ය ආකාරයේ සංවර්ධන පසුබිමක්‌ නොවෙයි. උතුර - නැගෙනහිර පළාත්වල ජනතාවට උප්පැන්න සහතිකය, හැඳුනුම්පතවත් තිබුණේaa නැහැ. ඔවුන් හිටියේ අනාථ කඳවුරුවල. නමුත් ගම්පහ කියන්නේ නාගරික පසුබිමක්‌ මූලික වූ දිස්‌ත්‍රික්‌කයක්‌. එහි සංවර්ධනය පිළිබඳව ඔබ හඳුනාගෙන තිබෙන්නේ කොහොමද?

පිළිතුර - ඇත්ත වශයෙන්ම ගම්පහ දිස්‌ත්‍රික්‌කය දියුණුම දිස්‌ත්‍රික්‌ක වලින් එකක්‌. වාසනාවන්තම දිස්‌ත්‍රික්‌කයක්‌. නමුත් තවමත් සමහර මූලික අවශ්‍යතාවයන් ඉෂ්ඨ නොවිච්ච ප්‍රදේශත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ තිබෙනවා. මේ දිස්‌ත්‍රික්‌කය සඳහා ස්‌වභාව ධර්මයෙන් ලබාදී තිබෙන වාසනාවන්ත පරිසරය රැකගෙන, ආසියාවේ ආශ්චර්ය බවට පත්වන ශ්‍රී ලංකාවේ දැනුමේ කේන්ද්‍රයත්, ගුවන් කේන්ද්‍රයත් කියන දෙකේ ප්‍රමුඛතාව ගම්පහට ලැබෙනවා. ඒ වගේම මහින්ද චින්තන ඉදිsරි දැක්‌ම තුළින් සෑම පවුලකටම ලබාදෙන, ජලය, විදුලිය, වගා කිරීමට වාරි ජලය, මහා මාර්ග. විදුලි සංදේශ, අධ්‍යාපන සෞඛ්‍ය ලබාදෙමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස්‌ කරන්න. ඔවුනගේ ආදායම් වැඩි කරන්න වැඩපිළිවෙළක්‌ අපි ඇති කරනවා. මේ ප්‍රදේශයේ ගෘහස්‌ථව පරිසර හිතකාමී පන් නිෂ්පාදන තිබෙනවා. අනිත් පළාත්වල වැවෙන්නැති රඹුටන්, අන්නාසි වැනි පලතුරු වැවෙනවා. ඒ වගේම ස්‌වර්ණාභරණ සාදන පිරිස්‌ සිටිනවා. මේවා අතරේම ජාත්‍යන්තර වෙළෙඳ පොළ දිනා ගත්ත කර්මාන්ත හිමියන් ඉන්නවා. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ඉහළම අය මේ ප්‍රදේශය තුළ බිහිවෙලා තිබෙනවා. ඔවුන් සියලුදෙනාගේ ශක්‌තියත් ඥනයත් එකතු කරලා, ලංකාවේ පමණක්‌ නොවෙයි, ආසියාවේ ම කෙනකුට ජීවත් වෙන්න සුදුසුම දිස්‌ත්‍රික්‌කය බවට ගම්පහ පත් කරනවා.

ප්‍රශ්නය -ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රී ලනිප නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී, "ගමේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටු කරන බවට පොරොන්දු වෙන්න. මම ඒවා ඉටු කරනවා" යනුවෙන් ඔබ ප්‍රකාශයක්‌ කළා. එය මැතිවරණයෙන් පසුව පොරොන්දුවක්‌ පමණක්‌ බවට පත් නොවන බවට සහතිකයක්‌ තිබේද?

පිළිතුර - ඒක මම බොහෝම වගකීමකින් කියූ දෙයක්‌. 2005 දී ජනතාවට වෙච්ච පොරොන්දු ඊටත් වඩා අපි ඉෂ්ට කළා. එතැනදී අපි ජනතාවට හඳුන්වා දුන්නා.

ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ නියෝජිතයන් ජනතාවට සමීපවෙලා, ජනතා අවශ්‍යතා හඳුනා ගැනීමක්‌. ඒ අනුව තමයි, සියලු මට්‌ටම්වල ජනතා නියෝජිතයන්ට, තීන්දු ගැනීමේ බලය පැවරන්නේ, මට අවශ්‍ය වුණේ ඒ අනුව ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අවශ්‍යතා හඳුනා ගෙන කරගෙන යන සංවර්ධන සැලසුමක්‌. ඒ අනුව තමයි මම එදා ජනතා නියෝජිතයන්ට එවැනි වගකීමක්‌ ලබා දීලා, එහි අවසාන වගකීම නායකයා ලෙස ම මම බාර ගත්තේ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ලක්‍ෂ 18 කින් මහින්ද රාජපක්‍ෂ මහතාට ජයග්‍රහණය ලබා දුන්නේ, ජනතාව. දැන් ආණ්‌ඩුව ඒ ජනතාවගෙන් 2/3 ක බලයක්‌ සහිත පාර්ලිමේන්තුවක්‌ ඉල්ලනවා. මේ බලය ඉල්ලන්නේ කුමන බලාපොරොත්තුවක්‌ ඇතිවද?

පිළිතුර - 2005 දී ජනාධිපතිතුමාව බලයට පත් කරන විට ජනතාව බලාපාරොත්තු වුණේ මොකක්‌ද? ඊට වඩා වැඩි දෙයක්‌ ජනතාවට ජනාධිපතිතුමා ලබාදී තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රශනයේaදී ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ මොකක්‌ද? රනිල් වික්‍රමසිංහ මහතායි, ප්‍රභාකරනුයි අත්සන් කරන ලද ගිවිසුම මගින් එල්. ටී. ටී. ඊ. යට පාලන ප්‍රදේශ වෙන් කරලා දුන්නා. ඊටත් එහා යන්න තමයි, චන්ද්‍රිකා මැතිනිය, සුනාමි සහන මණ්‌ඩලය ලබාදුන්නේ. ඒ කියන්නේ ෆෙඩරල් තත්ත්වයක්‌. ඒ වෙනකොට එජාපය විතරක්‌ නොවෙයි, ශ්‍රීලනිපයත් ෆෙඩරල් ක්‍රමය පිළිගෙන තිබුණා. ශ්‍රීලනිප සම්මේලනය විසින් ෆෙඩරල් ක්‍රමය පිළිගෙනයි තිබුණේ. එහෙම තත්ත්වයක්‌ තිබියදී තමයි, ජනාධිපතිවරණයක්‌ ආවේ. එතැනදී මහින්ද රාජපක්‍ෂ මහත්මයා, ඒකීය ශ්‍රී ලංකාව රකින බව කියමින් මහින්ද චින්තනය ඉදිරිපත් කළා. ඒකීය වචනය ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මා කියලා මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, පක්‍ෂයේ නායිකාව විදිහට ලියුමක්‌ එවලා තිබුණා. රට බෙදන්නේ නැතිව ෆෙඩරල්වලින් බේර ගන්න තමයි, ජනතාවට එදා මහින්ද රාජපක්‍ෂ ඕනෑ වුණේ. එහෙම නැතුව මහින්ද මහත්තයා ගිහිල්ලා මුලතිව් බේරලා, කිලිනොච්චිය බේරාගෙන, ත්‍රස්‌තවාදය විනාශ කරයි කියලා ජනතාව හිතුවේ නැහැ. ඒ වගේම එදා මඟ නැඟුම, ගම නැඟුම කියන කොට බෝක්‌කුවක්‌ හදයි. බොරළු ටිකක්‌ දායි කියලයි හිතුවේ. ගුවන් පාලම් ගැන කියන කොට එදා ජවිපෙ අය කිව්වේ, ඕවා ආකාසේ හැදෙන ඒවා හන්දා, ඕවා මැතිවරණ පොරොන්දු හන්දා කමක්‌ නැහැ කියලා. ඒ අය හිතුවේ නැහැ මේවා කෙරෙයි කියලා.

අද කොළඹ නගරයට ඕනෑම මාර්ගයකින් ආවත් ගුවන් පාලම් තිබෙනවා. රු. 350 ට පොහොර දෙනවයි කියන කොට කවුරුවත් විශ්වාස කළේ නැහැ. ඇට අට වගේ, හාල් සේරු දෙක වගේ තවත් කඩවුණු පෙරොන්දුවක්‌ කියලයි ඒ ගැනත් හිතුවේ.

ජනාධිපතිතුමා 2005 ජයග්‍රහණය කරපු ගමන්, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතා කැඳවලා, අලුත් අයවැයක්‌ ඉදිරිපත් කරන්න ඕනේ කියලා කිව්වා" ඇයි සර්, මේ අයවැය තාම ඉදිරිපත් කරපු ගමන්නේ" කියලා ප්‍රනාන්දුපුළුල්ලේ ඇමැතිතුමා කිව්වා. "නැහැ මට ගොවියන්ට 350 ට පොහොර දෙන්න ඕනේ පසුගිය අයවැය මගේ එකක්‌ නෙමෙයිනේ. මගේ අයවැයකින්ම වෙච්ච පොරොන්දු ඉටු කරන්න ඕනේ" කියලා ජනාධිපතිතුමා කිව්වා.

මේ සියල්ලම කළේ විධායක බලය පමණක්‌ තියාගෙන. ව්‍යවස්‌ථාදායක බලය සන්ධානය ගත්තේ, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ. ඒ තැනදී ජවිපෙත් එක්‌කයි බලය ගත්තේ. නමුත් ආසන 113 ක්‌ ජනතාව ඒ මොහොතේ දුන්නේ නැහැ. ඒක නිසා තමයි කථානායකවරයෙක්‌වත් පත් කර ගන්න බැරි වුණේa. ජවිපෙ එකත් 2005 ජනාධිපතිවරණයෙන් පස්‌සේ විරුද්ධ පක්‍ෂයකයි හිටියේ.

බහුතර බලයක්‌ පාර්ලිමේන්තුවේ හදා ගත්තත්, ඒක කරගත්තේ ජනතාවගේ වරමින් නෙවෙයි. නමුත් මෙවරදී අපි බලාපොරොත්තු වෙන්නේ ජනතා වරමින් පත් වූ ව්‍යවස්‌ථාදායකයක්‌. රටට හානි කරන පොදු දේවල් වෙනස්‌ කරගන්න අපිට පුළුවන් වෙන්නේ එහෙම වුණොත්. ඒකට පැලැස්‌තර අලවලා වැඩක්‌ නැහැ. ඒ අලවපු පැලැස්‌තර නිසා අපිට ලොකු හානිවෙලා තියෙනවා. රටට ගැලපෙන, ජනතාවට සුබවාදී, රට ඉදිරියට ගෙනියන අභියෝගාත්මක ලෝකයාට මුහුණ දෙන්න පුළුවන් ව්‍යවස්‌ථාවක්‌ හදා ගන්න 2/3 ක ඡන්දයක්‌ ඕනේ වෙනවා.

ප්‍රශ්නය - ඔබ ගම්පහ දිස්‌ත්‍රික්‌කයට පැමිණීමත් සමඟ. මෙතෙක්‌ ඔබ විසින් උතුරු හා නැගෙනහිර පළාතට සිදු කරන ලද සේවයට වෙන්නේ කුමක්‌ද?

පිළිතුර - නැගෙනහිරට මම යනකොට ඒ පළාත තිබුණ තත්ත්වයයි අද තත්ත්වයයි කොහොමද කියලා අද ඒ පළාතට ගියාම බලන්න පුළුවන්. මම උතුරු පළාත සංවර්ධනයට යනකොට නැගෙනහිර මහ ඇමැතිතුමාගේ ඉඳන් සියලුදෙනා මගෙන් ඇහැව්වේ, දැන් නැගෙනහිරට මොකද වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම අපි ක්‍රමානුකූලව නැගෙනහිර මහජන නියෝaaජිතයන්ට ඒ වගකීම් බාර දුන්නත් අධීක්‍ෂණය කිරීම, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම මම දිගටම කරගෙන යනවා. උතුරටත් ඒ ආකාරයෙන්ම සම්බන්ධ වෙලා මම දිගටම කටයුතු කරනවා. ඒ වගේම ගම නැඟුම වැඩසටහන, ජාතික සවිය වැඩසටහන වගේ ව්‍යාපෘතිවලත්, ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මම දිගටම කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය - යුද ජයග්‍රහණයෙන් පසු රට දැන් ඉල්ලා සිටින්නේ සවිමත් ආර්ථිකයක්‌. ඒ ආර්ථික දියුණුව රටට දීමට තමන් මේ වාරේ කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසුවා. නමුත් අද රාජාණ්‌ඩුව සිටින්නේ ජී. එස්‌ .පී. ප්ලස්‌ සහනයවත් ලබාගැනීමට නොහැකි තැනක. ඒ අනුව රටට ආර්ථික සමෘද්ධිය ලබාදෙන ඒ ගමන ආණ්‌ඩුවට යැමට හැකිවෙයිද?

පිළිතුර - ලෝකයේ බොහෝ රටවල් යුද්ධයෙන් පස්‌සේ නැඟිට්‌ටා. ඒකට බොහෝම කාලයක්‌ ගියා. දෙවැනි මහා ලෝක යුද්ධය නතරවෙලා අවුරුදු පහකට පස්‌සේ තමයි එංගලන්තය නැඟිටින්න පටන් ගත්තේ. ලක්‍ෂ ගණනින් පිරිස්‌ එංගලන්තය හැර ගියා. ජපානය, කොරියන්, වියට්‌නාමය වගේ රටවලුත් එහෙමයි. මෑත ඉතිහාසය දෙස බලන්න. ඉරාකය තාම එතැනමයි. නැගෙනහිර ටිමෝරයත් එහෙමයි. යුරෝපා රටවලත් ආර්ථිකය අද වෙනකොට වැටිලා. ජී. එස්‌. පී. ප්ලස්‌ එක දෙන මේ රටවල් අද කඩා වැටිලා. ඇත්තටම දැන් ජී. එස්‌. පී. ප්ලස්‌ යුරෝපයට දීමට අපිට සිද්ධවෙලා තියෙනවා. ජී. එස්‌. පී. ප්ලස්‌ එක ගැන සමහරු හිතන් ඉන්න හැටි වැරැදියි. අපි දැන් පොහොර සහනාධාර දෙනවනේ. ඒක දෙන්නේ මේ රටේ ගොවීන්ට. නමුත් ඒකෙන් පොහොර නිපදවන රටට වාසියක්‌ ලැබෙනවා. තිරිඟු පිටි සහනාධාර අපි දෙන්නේ මේ රටේ පාන් කන පාරිභෝගිකයාට. නමුත් එයින් ඇමරිකාවේ තිරිඟු ගොවියාට වාසියක්‌ ලැබෙනවා. ඒ න්‍යාය අනුව ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය දෙන්නේ යුරෝපයේ ඉන්න මිනිසුන්ට අඩුවට ඇඳුම් ගන්න. ඒක දෙන්නේ අපිට නෙමෙයි. මේවා මිත්‍යාවක්‌. ඇයි අපිට තරගකාරීව කර්මාන්ත මගින් ඒ රටවල වෙළෙඳපොළ ජය ගැනීමට බැරි. මේ සහනාධාර එක්‌ක එන දේශපාලන බලපෑම් පරාද කරන්න එතකොට අපිට පුළුවන්.

අපි මේ අවුරුදු හතර තුළ රටට දීලා තියෙන්නේ බිලී පිති. චීන කියමනක්‌ තියෙනවා, බඩගින්නේ ඉන්න මිනිහෙකුට දිය යුත්තේ බිලි පිත්තක්‌ මිස මාළුවෙක්‌ නොවේ කියලා. ඇත්තටම අපේ ජනාධිපතිතුමා පසුගිය කාලයේ නියම අවංක ජාත්‍යන්තර මිතුරන්ගෙන් ගත්තේ බිලී පිති. ජනාධිපතිතුමා ජී. එස්‌. පී. ප්ලස්‌ එකට වඩා උනන්දු වුණේ උමා ඔය හදන්න ආයෝජන ගේන්න. තෙල් පිරිපහදුවට, තෙල් කැනීමට මුදල් සොයා ගේන්න. වරායවල් හදන්න මුදල් හොයන්න.

ජී. එස්‌. පී. ප්ලස්‌ එක දේශපාලන ආයුධයක්‌ හැටියට යොදාගන්න හැදුවා. ඒක ගැන මැතිවරණ කාලයේදීම ප්‍රකාශ කළේ ඇයි? ඒ කාලෙට ඇවිල්ලා, සෝමවංශ අමරසිංහ මැතිතුමා කිව්වනේ, මේ ආණ්‌ඩුව වෙනස්‌ වුණොත් ජී. එස්‌. පී. ප්ලස්‌ එක දෙනවා කියලා. ඒක නැහැයි කියලා යුරෝපා සංගමය කිව්වේ නැහැනේ. පොඩි කාරණයකට තමන්ගේ රටේ නම කියෑවුණාම ප්‍රකාශ නිකුත් කරන මේ තානාපති කාර්යාල ඇයි ඒ ගැන නිශ්ශබ්දව හිටියේ.

සාකච්ඡා කළේ මනෝඡ් අබයදීර

 
Powered By -