මම කොළඹට අමුත්තෙක්‌ නෙමෙයි
එ.ජ.නි. සංධාන කොළඹ අපේක්‍ෂක සුධර්මන් රදළියගොඩ

සුධර්මන් රදළියගොඩ මෙරට ජනයා හඳුනන්නේ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු ලෙසිනි. ස්‌වාධීන රූපවාහිනියේ "තුලාව" දේශපාලන සංවාදය මෙහෙයවන්නා ලෙස ඔහු වඩාත් ජනප්‍රියය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් මෙවර කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා එ.ජ.නි. සංධානයෙන් අපේක්‍ෂකයකු ලෙස ඔහු ඉදිරිපත් කර තිබේ. මේ ඔහු සමග කරනු ලැබූ පිළිසඳරකි

ප්‍රශ්නය (- ඔබ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග කරන බවයි මුලින්ම ප්‍රසිද්ධ වී තිබුණේ. නමුත් දැන් ඔබ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් තරග කරන්නේ ඇයි?

පිළිතුර (- ඔව් ෘ මුලින්ම කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයටයි මම සූදානම් වුණේ. පසුගිය ජනාධිපතිවරණයේදී මම වැඩ කළෙත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය තුළයි. නමුත් නාම යෝජනා භාරදීමේදී විවිධ ගැටලු පැන නැඟුණා. ඒ නිසා ජනාධිපතිතුමා මට කියා සිටියා කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් ඉල්ලන්න කියලා. ඒ වගේම කොළඹ දිස්‌ත්‍රික්‌ නායක සුසිල් ප්‍රේමජයන්ත මහතාත් මම කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් තරග කිරීම ගැන සතුටු වුණා.

ප්‍රශ්නය (- ඔබ පළමු වරටයි තරග කරන්නේ. දේශපාලන සුදුසුකම ලෙස කුමක්‌ද ඔබ ඉදිරිපත් කරන්නේ

පිළිතුර (- මම මාධ්‍යවේදියෙක්‌. මව්බිමට ආදරය කරන මාධ්‍යවේදියෙක්‌. මාවිල්ආරුවලින් ශ්‍රී ලංකා හමුදාව පටන්ගත් ජයග්‍රාහී සටනේ සිට මාධ්‍යවේදියකු ලෙස මමත් දිගු කාලයක්‌ වැඩ කළා. අනිත් අතට මම මාධ්‍ය ජීවිතය පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිල පුවත්පත වන "දිනකර" පුවත්පතේ ප්‍රවෘත්ති ලේඛකයෙක්‌ විදියට. 1999 ජන. 1 දා නිව්ටන් ගුණරත්න මහතාගේ ආරාධනයෙන් ලක්‌හඬ ප්‍රවෘත්ති සංස්‌කාරකයකු ලෙස කටයුතු ඇරැඹුවා.

ඒ අතරේ රූපවාහිනී සංස්‌ථාවේ ටී. එම්. පී. චන්ද්‍රසේකර මහතාගේ අනුග්‍රහයෙන් "ඇත්ත නැත්ත" වැඩසටහන මෙහෙයවීමේ අවස්‌ථාව මට ලැබුණා. දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නෙක්‌ ලෙස දිගු දුරක්‌ මම ආවේ ඒ විදියටයි. අවු. 9 ක්‌ තිස්‌සේ මම තුළාව වැඩසටහන මෙහෙයවනවා.

ප්‍රශ්නය (- කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ අලුත් අපේක්‍ෂකයෙක්‌ විදියට ඔබ මැතිවරණයට පිවිසෙන්නේ කොහොමද?

පිළිතුරු (- මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ශිෂ්‍යයෙකු විදියට සිටිය කාලයේ කොළඹ නගරයේ බොහෝ නිවාස සංකීර්ණවල මම ඇවිදල තියෙනවා. විශේෂයෙන් මුඩුක්‌කු පැල්පත්වල මම ඇවිදල තියෙනවා. කොළඹ නගරයේ වඩාත් ප්‍රශ්න තියෙන්නේ ඔවුන්ටයි. ඒ නිසා ඔවුන් වෙනුවෙන් යමක්‌ කිරීම මගේ ප්‍රධාන අරමුණයි.

දෙවනුව තරුණ අපේක්‍ෂකයෙක්‌ විදියට තරුණ පරම්පරාවට අවස්‌ථාවක්‌ දීමේ අදහසක්‌ මා තුළ තිබෙනවා.

අද මාධ්‍ය ක්‍ෂේත්‍රය ඉතා පුළුල් එකක්‌. මම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කුඩාම තැනින් පටන් ගත්තු කෙනෙක්‌. ඒ නිසා මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට ඉදිරියට යන්න ඔවුන්ට රැකියා අවස්‌ථා ලබා දෙන්න මම වැඩපිළිවෙළක්‌ සකස්‌ කරනවා.

මිනිස්‌සුන්ට කොළඹ කියල පේන්නේ කොළඹින් එක පැත්තක්‌ විතරයි. උස බිල්ඩින්, කාපට්‌ පාරවල්, සැප වාහන කියන්නේ කොළඹ එක පැත්තක්‌ විතරයි. පොදු වතුවල පැල්පත්වල ටකරන් වහළවල් යට විශාල ජනතාවක්‌ ඉන්නවා. ඔවුනුත් කොළඹ මිනිස්‌සු. දේශපාලකයන් ඇත්තෙන්ම යා යුත්තේ ඔවුන් ළඟටයි.

ප්‍රශ්නය (- අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක්‌ ඡන්දදායකයන් ලෙස ඉන්නවා. ඔවුන් කෙරෙහි ඔබ ළඟ වැඩපිළිවෙළක්‌ තියෙනවද?

පිළිතුර (- තරුණ තරුණියන් දහසක බලමුළුවක්‌ හදන්න මං අදහස්‌ කරනවා. වේදිකා නාට්‍ය ශිල්පීන්, ටෙලි නාට්‍ය ශිල්පීන්, කැමරාකරණය දන්න තරුණ තරුණියන්, පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනී මාධ්‍යයන් ගැන උනන්දුව දක්‌වන තරුණ තරුණියන් දහසක බලමුළුවක්‌ මං හදනවා.

අද බොහෝ දේශපාලකයන් තරුණ තරුණියන් පාවිච්චි කරන්නේ පෝස්‌ටර් අලවගන්න. වේදිකා හදාගන්න කැන්වසින් යන්න. ඡන්දෙන් පස්‌සේ ඔවුන් හිටිය තැනමයි.

මම ඡන්දෙන් දිනුවොත් මම හදන තරුණ බලමුළුව ඉස්‌සරහට අරං යනවා. ඔවුන් අතරමං කරන්නේ නෑ.

ප්‍රශ්නය (- කොළඹ දිස්‌ත්‍රික්‌කය ඉතා තරගකාරී එකක්‌. ආණ්‌ඩු පක්‍ෂයේ සංධාන ලැයිස්‌තුවේ අපේක්‍ෂකයන් බොහොම ප්‍රබල අය. එවැනි තත්ත්වයක්‌ තුළ ඔබ කොහොමද තරගයට මුහුණ දෙන්නේ.

පිළිතුර (- ඔව් ෘ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අපේක්‍ෂක ලැයිස්‌තුව ඉතා තරගකාරීයි. කොපමණ තරගකාරීද කිවහොත් කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක ලැයිස්‌තුවට ඇතුළත්වීම පවා විශාල තරගයක්‌.

එවැනි තත්ත්වයක්‌ තුළ ජනාධිපතිතුමා විසින් මට අවස්‌ථාව ලබා දුන්නා.

මම මාධ්‍යවේදියෙක්‌ මිස ව්‍යාපාරිකයෙක්‌ නෙමෙයි. කෝටි ගණන් වියදම් කළ හැකි පවුලක උපන් කෙනෙක්‌ නෙමෙයි. මට තියෙන්නේ මහජන විශ්වාසය පමණයි.

තීන්දුව තිබෙන්නේ ජනතාව අතේ. රූපවාහිනී ශිල්පියකු ලෙස මම කාර්යභාරයක්‌ කළා. ජනතාව මාව හඳුනන්නේ ඒ හරහායි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය තුළ නම් මට ජයග්‍රහණයේ පහසුවක්‌ තිබුණා. කොළඹ දිස්‌ත්‍රික්‌කය තරගකාරීයි. නමුත් මම විශ්වාස කරනවා කොළඹ දිස්‌ත්‍රික්‌ ජනතාව මාව පාර්ලිමේන්තුවට යවයි කියලා.

ප්‍රශ්නය (- බොහෝ දේශපාලනඥයන් මැතිවරණයකදී බොහෝ ආකර්ෂණීය පොරොන්දු දෙනවා. නමුත් ජය ලැබුවායින් පස්‌සේ පාර්ලිමේන්තුවට ගියායින් පස්‌සේ අර ආකර්ෂණීය ජනතා පුත්‍රයා අතුරුදන් වී ඔහු සොයාගත නොහැකි දුර්ලභ පුද්ගලයකු බවට පත් වෙනවා. ඔබත් එහෙම වේවිද?

පිළිතුර (- දේශපාලකයන්ගේ ඇත්ත තත්ත්වය ඒක තමයි. ඒක මම පිළිගන්නවා. නමුත් මම කවදත් හිටියේ පොඩි මිනිහා සමගයි. මා ස්‌වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරේ හිටියත්, මම සුළු සේවකයා සමගයි ජීවත් වුණේ. ඒ නිසා මගේ ප්‍රතිපත්තිය වෙනස්‌ වෙන්නේ නැහැ. දිනුවත් පැරදුනත් මම මිනිස්‌සුත් එක්‌ක ඉන්නවා.

ප්‍රශ්නය (- කොළඹ කේJද්‍රීය කොටගත් දේශපාලනය තුළ නාගරික ඡන්ද බහුතරයක්‌ එ.ජා.ප. පාක්‍ෂිකයි. සංධානයට මෙය අභියෝගයක්‌ නේද?

පිළිතුරු (- උතුරු කොළඹ, මැද කොළඹ, දකුණු කොළඹ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවහම එවැනි නැඹුරුවක්‌ පෙනෙනවා. නමුත් අද කොළඹ කියන්නේ විශාල පැතිරුණු දිස්‌ත්‍රික්‌කයක්‌. එක කෙළවරක්‌ අවිස්‌සාවේල්ල දක්‌වා දිවෙනවා. තව කෙළවරක්‌ පානදුර දක්‌වා දිවෙනවා. ඒ නිසා කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ හොඳ ගැමි පදනමක්‌ තියෙනවා. කොළඹට සංක්‍රමණය වූ ජනතාව ඉන්නේ කොළඹ නෙමෙයි. උදාහරණයක්‌ ලෙස කොළඹට ආසන්න නගරයක්‌ වූ කඩුවෙල ලක්‍ෂයක පමණ ජනතාවක්‌ ඉන්නවා. ඒ අය සියලු දෙනා නාගරිකයො නෙමෙයි. ඒ නිසා කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ පැතිරී ගිය ගැමි ජන පදනමක්‌ තියෙනවා. එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය කොළඹ දිස්‌ත්‍රික්‌කය ජයග්‍රහණය කරන්නේ ඒ ගැමි ජන පදනමෙන්.

සාකච්ඡා කළේ - රංග විදානේ

 
Powered By -