කලා සටහන්
දෙස බස නැගුමට රැස එහි වැඩුමට කැපවුණු පඬිමිණ

සියවස්‌ ගණනාවක්‌ මුළුල්ලේ වරින් වර බිහි වී මේ රටේ භාෂා, සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයන් විචිත්‍ර කළ සුධීමතුන් විසින් කරන ලද ඒ සුවිශිෂ්ට සම්ප්‍රදානයන් අපගේ ජාතික සංස්‌කෘතික ආඪ්‍යතාව විදහා දක්‌වන සුලකුණු සේa සුදිලෙයි. අනුරාධපුර යුගය සමාරම්භයක්‌ සේ ගත හොත් ඒ භාෂා, සාහිත්‍යය, කලා ප්‍රවාහය විසිවන සියවස තෙක්‌ම අඛණ්‌ඩව ගලා ආ බව පැහැදිලිය. පරසතුරු ආක්‍රමණවලින් හා ඇතැම් අභ්‍යන්තර දෙශපාලන වියවුල් වලින් ද ඒ භාෂා සාහිත්‍යය කලා ප්‍රදීපය වැසී ගිය ද එය යළි යළිත් මතු වී ඇත. ඇතැම් අන්ධකාර යුගයක ඒ භාෂා සාහිත්‍ය ප්‍රඥාලෝකය නිවී ගිය ද යළිත් එය දල්වන්නට අපගේ ප්‍රඥ පරපුරට හැකි වූ බව ද පෙනේ. එය කිසියම් හාස්‌කමකට වඩා භාෂා සාහිත්‍යප්‍රේමීන්ගේ අසද්‍රDශ හා අප්‍රමාණ කැපවීම්වල ප්‍රතිඵලයක්‌ සේ දැක්‌වීම වටී.

මේ අසාමාන්‍ය භාෂා, සාහිත්‍ය කලා මෙහෙවර සඳහා ම පිරූ පෙරුමන් ඇති අගනා පුත් රුවනක්‌ දකුණු ලක මාතර දික්‌වැල්ලෙන් බිහිව විසිවන සියවස බැබළ වූ ප්‍රාඥයන්ගේ පරපුරට එක්‌විය. ඒ කුමාරතුංග මුනිදාස නම් විය. ඔවුන්ගේ හැට හය වැනි අනුස්‌මරණ දිනය මාර්තු 02 වැනි දිනට යෙදී තිබිණි.

භාෂා, ශාස්‌ත්‍ර සමයන්හි පාරප්‍රාප්තව සිටි කුමාරතුංගයන් වැනි ප්‍රාඥයකු පිළිබඳ සටහනක්‌ තැබීම වුව ද සූවාසූ යොදුන් ගැඹුරැති මහ සයුර සිය වල"ගින් ඉසින්නට ලෙහෙනු කළ තැත වැනි යෑයි හැඟේ. එහෙත් කුමාරතුංගයන්ගේ භාෂා, සාහිත්‍ය, කලා මෙහෙවර මුලින් අසමින්ද, පසුව විමසමින් ද උගත් දුහුනකු සේ ඒ සඳහා වෙර වැඩීම කවර වරද ද?

කුමාරතුංගයන් ජීවත් වූ යුගය යටත් විජිතවාදයේ තෙද බල ව්‍යාප්තව තිබිණි. සිංහල භාෂාව මෙන්ම සංස්‌කෘතිය ද ඉවතට ඇද දැමීම සඳහා පසුබිම සකස්‌ වී තිබිණි. සුදු සෙවණැලි යට හීලෑ වුණු සිංහල පාලකයන්ගේ මෙන්ම ඉහළ පන්තියේ ද මොළ සෝදා දැමූ එකල සිංහලත්වය නඟා සිටුවීම සඳහා කුමාරතුංගයෝ අභීතව, අදීනව නැගී සිටියහ. ඔවුන්ගේ භාෂා සාහිත්‍ය ව්‍යාපාරයේ සාඩම්බරය විදහා දක්‌වන උදාන ගී බඳු සිතුම් බොහෝ විය. මේ මා සිත් ගත් එක්‌ තැනකි.

මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට
මා දෙස හෙළ රැස වෙන කිසි රැසකට
මා බස හෙල බස වෙන කිසි බසකට
මේ හිස නොනමමි නොනමමි කිසිවිට

සිංහලයේ නිදහස්‌ සටනට පන්නරය දුන්නේ මෙවන් අදීන චින්තනයකින් නොවේද? අධිරාජ්‍යවාදීන්ගේ අභිමතයට පටහැනිව නිදහස්‌ව නිවහල්ව ලියන්ට කුමාරතුංගයන් ලද මේ ආවේෂය අදත් අප සිරුරු ලොමු දැහැ ගන්වන සුළු නොවන්නේ ද? සිංහලයාගේ නිවට බව, අදීන බව නැසීම සඳහා නිර්දය ලෙස පහර දුන් අනගාරික ධර්මපාලතුමන් මෙන්ම පියදාස සිරිසේනයන් වැනි විරුවන් විසින් අනුදක්‌නා ලද මඟ කුමාරතුංගයන්ගේ මඟම වූ බව පෙනේ.

අධිරාජ්‍යවාදීන්ට නතු වූ සිංහල ප්‍රභූ රූකඩ ඉංග්‍රීසිය වැළඳ ගැනීම නිසා පරිහානියට යමින් තිබුණු සිංහල බස ඔසවා තැබීම කුමාරතුංගයන්ගේ එක්‌ අභිලාශයක්‌ විය. කුමාරතුංගයන් ඇරඹූ "සුබස" සඟරාව මෙන්ම ඔහුගේ කර්තෘත්වයෙන් එළිදුටු ලක්‌මිණි පහන පුවත්පත ද මේ භාෂා මෙහෙවරෙහි යෝධයන් බඳු විය.

ජාතියක ඉදිරි ගමන, දියුණුව ර¹ පවත්නා ප්‍රබලතම සාධකය ඒ ජාතිය සතු භාෂාව බව කුමාරතුංගයෝ ඇදහුවෝ ය. ඒ බසින් ලිවීමත්, ඒ බසින් දෙඩීමත් අභිමානයක්‌ බව ඔහු පෙන්වා දුන්හ. මෙයට සාක්‍ෂි ලෙස ලක්‌මිණි පහනේ බොහෝ කතු වැකි දැක්‌විය හැකිය. එමගින් ඇරඹු වාද විවාද දැක්‌විය හැකිය. කුමාරතුංගයන් උස්‌ තැන දැක නොහැකිළුණු, මිටි තැන් දැක පුප්පන්නට ගිය දුබලයකු නොවූහ. එසේම ප්‍රබලයන් සේ සමාජයෙහි බැබළුණු අයට ද වරද කළ විට නොබියව බැට දීම ඔවුන්ගේ පිළිවෙත විය. ඔහු බස හැසිරවීමේ රුසියෙකි. සිංහලය ද කෙබඳු ප්‍රාණවත්, එමෙන් ම සුමට බසක්‌ දැයි ඔහුගේ වාසගම් කියවන කවරකුට වුවද පසක්‌ වේ. ළදරුවන් මෙන් ළාමක වූ සිංහලයන් දැනුමැතියන් බවට පත් කර බස නැංවිය යුතු බව ඔහු නිතරම අවධාරණය කළේය.

කුමාරතුංගයන්ගේ නිර්මාණ ලෝකය කවියටම සීමා වී ඇත යනු මගේ අදහසයි. නවකතාව හෝ කෙටිකතාව හෝ නොව කවිය ළමා මනස සුවපත් කළ හැකි මාධ්‍යයක්‌ ලෙස ඉතා දැනුවත්ව යොදා ගැනීමට කුමාරතුංගයෝ සමත් වූහ. වසු වියෙහි වූ අපට අපගේ මෑණියන් විසින් තාලයට ගායනා කරවන ලද "හාවාගේ වග" පැදි පෙළ අදත් මතකයෙහි රැඳී පවතී. එදා කවියා කවරෙක්‌දැයි නොදැන සිතේ ලියෑවුණු ඒ කව් පසුව විමසා බලද්දී කවියා මෙන්ම කිවියාව ද මනාව දැන ගතිමු. අලංකාර හා කවි හරඹ නොවූ ඒ කවි පෙළ හාවාගේ රැඟුම අප අබියස මැවූ වාග් චිත්‍රයකි.

හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලෑවා

බිරුම් හඬක්‌ ආවා
ඉහළ වීසි වූවා
කොඳු ඇට හිටැ වූවා
කන් දෙක දිග පෑවා

මෙතැන බල්ලා යන පදය නොමැතිව "බිරුම් හඬ" යන්න ප්‍රබලව භාවිත කිරීම ඔහුගේ කවීත්වයේ ලකුණකි. කුමාරතුංගයන් යහපත් මෙන්ම දක්‍ෂ ගුරුවරයකු විය. පාසල දරුවන් හික්‌මවන මුල්ම තැන සේ ඔහු පිළිගත්තේය. යහපත් ළමයකු හැදීමට ඔහු පරමාදර්ශී ළමයෙක්‌ අපට පෙන්වයි. ඔහුගේ නම "සිරිමත්" ය

ලංකාවේ මුල් යුගයේදී පාසල් අධ්‍යාපනය බිඳ වැටී තබිණි. ඇතැම් ළමෝ පාසල් යැමට ද හොර වූහ. සිරිමත් ඒ ළමුන්ට ආදර්ශයකි

පාසල් යන්නේ
දෙව්ලොව මෙන්නේ
දැක දරුවන්නේ
මුහුණු පිපෙන්නේ

හොඳ දේ සිතුමත්
සිතු දේ කීමත්
කී දේ කැරුමත්
නොහරී සිරිමත්

කුමාරතුංගයන් මේ ළමයා සිංහල ජන සමාජයට ඉදිරිපත් කළේ උතුම් පරමාර්ථයෙන් බව අද අපි දනිමු. සැබැවින් ම අද අපට වුවමනා වන්නේ ද මේ වර්ගයේ සිතුම් පැතුම් සහිත සමාජයකි. පාලනයකි. ශික්‍ෂාවතාර්ය හා ශික්‍ෂාමාර්ගය ද කවර මිනුම් දණ්‌ඬකින් විමසා බැලුවත් අගය පහත හෙළිය නොහැකි සාර නිර්මාණයන් ය. අද විලාසිතාවක්‌ වී තිබෙන "ධනාත්මක චින්තනය" එදා දැයට අවැසි ලෙස සමාජගත කිරීම කුමාරතුංගයන්ගේ වෑයම විය.

කුමාරතුංගයන්ගේ හීන්සැරය, හත්පණ, මඟුල් කෑම වැනි නිර්මාණ ද මෙහිදී සඳහන් කළ යුතුය. තාරුණ්‍යයට පිවිසෙන දොරටුව අබියස එදා වූයේ එබඳු සාධනීය නිර්මාණයන් ය. ඒ කුමරතුඟු දැක්‌මයි.

කුමාරතුංගයන්ගේ සුවිශිෂ්ට නිර්මාණයක්‌ සේ අගැයෙන "පියසමර" ඔහුගේ කවිත්වය පිළිබඳ හොඳම නිදසුනය. කුමාරතුංගයන් භාෂාවේදියකු ශාස්‌ත්‍රීය ග්‍රන්ථ සංස්‌කාරකයකු පමණක්‌ නොව දුලබ කවි ශක්‌තියෙන් යුතු සොඳුරු කවියෙකැයි මට හැඟී ගියේ "පියසමර" කියෑවීමෙන් පසුවය. පියසමර පියකු පිළිබඳ පුතකුගේ සිත නැඟෙන සෙනෙහස පමණක්‌ නොව කෘතවේදීත්වය ද පළ කරන අගනා නිර්මාණයකි. පිතු සෙනෙහස පිළිබඳව දනවන මේ සුන්දර කාව්‍යය කුමාරතුංගයන්ගේ කවිත්වය පමණක්‌ නොව විවේක බුද්ධිය ද මනාව විශද කරවන්නකි.

කුමාරතුංග භාෂා සාහිත්‍ය මෙහෙවරෙහි අසිරිමත් සිහිවටනයක්‌ වන්නේ ඔහු විසින් අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති අරභයා කරන ලද විවරණයන් ය. සංදේශ කාව්‍ය, ගී කාව්‍ය මෙන්ම බුදුගුණ අලංකාරය, අමාවතුර ඇතුළු ග්‍රන්ථ

රැසක්‌ ම ශුද්ධ කර ඒවාට අරුත් විවරණ කිරීමට ද හේ තම කාලය වැය කළේය. මෙවන් කෙටි සටහනකදී ඒ පිළිබඳව කරුණු දැක්‌වීම ද දුෂ්කරය. එහෙත් එහිදී කුමාරතුංගයන් විසින් පළ කරන ලද භාෂා විශාරදත්වය සියුම් විමර්ශන ඥානය විස්‌මිත බැව් කිව යුතුය.

පේරාදෙණිය සරසවියේ අප සිප් කළ අවධියෙහි ඒ ඇතැම් සංස්‌කරණ අරභයා හටගත් වාද විවාද මෙවේලේ සිහිවෙයි. එහෙත් ග්‍රන්ථ ශෝධනය යනු පඬිරුවන්ගේ ම කාර්යයක්‌ බව කුමාරතුංගයෝ මැනවින් තහවුරු කළහ. ග්‍රන්ථ සංස්‌කරණය ආවාට ගියාට කළ හැක්‌කක්‌ නොව විචාර බුද්ධියෙන් හා නිරීක්‍ෂණ ශක්‌තියෙන් ම කළ යුත්තක්‌ බව ඔහුගේ සංස්‌කරණ හා ඒවාට කළ විවරණ දෙස බලන අයට පසක්‌ වෙති.

කුමාරතුංගයන්ට හෙළ හවුල නමින් භාෂා ශාස්‌ත්‍ර ව්‍යාපාරය මුල් කර ගත් සංවිධානයක්‌ වූ බව ඇත්තය. එහෙත් එහි සිටි විද්වතුන්ට පවා කුමාරතුංගයන්ගේ භාෂා සාහිත්‍ය පෞරුෂය වී දැයි කිව නොහැක. එකල තිබූ ගුරුකුල සටන් ද කුමාරතුංගයන්ට හරස්‌ වූවා මිස අනුග්‍රහයක්‌ නොදැක්‌වූ වග ද කියති. කුමාරතුංගයන්ගේ අභාවයෙන් කලකට පසුව විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙහි ඔහුගේ භාෂා ව්‍යවහාර ගැන අවධානය යොමු වී ඇත. කුමාරතුංග ලේඛන පරිසේවනය සිංහල ලේඛන මඟ සකස්‌ කර ගැනීමට රුකුලක්‌ බව ද අපගේ අදහසයි. සිංහල ඌරුව යම් තැනකද, මුනිදසුන් එතැන යෑයි වරක්‌ චJද්‍රරත්න මානවසිංහයෝ වගතුගට ද ලියූහ. කුමාරතුංගයන්ගේ අරමුණ වූ ඔදවත්, තෙදවත්, හරවත් හා සරල බස්‌ වහර සිංහල ගද්‍යය මෙන්ම පද්‍යය ද සැරසූ බව ඔහුට ගෞරවයක්‌ ලෙස මම ලියා තබමි. ඒ ජාතික අරමුණ ඉදිරියට රැගෙන යැමට අපට නොහැකි වීම අභාග්‍යයකි. එසේම කුමාරතුංගයන්ගේ මත සියල්ලම හිස්‌ මුදුනින් ම පිළිගත යුතු යෑයි ද මම නොකියමි. කුමාරතුංගයෝ ද ඒ බැව් බොහෝ තන්හි සඳහන් කළහ. කුමාරතුංගයන්ගේ අදීනත්වය අපිස්‌බව මෙන්ම සම්ප්‍රදාය හා නවීනත්වය ද පළ කරන ඔවුන්ගේ පරමාදර්ශී චින්තනයේ හරස්‌කඩක්‌ වන් මේ දෙපදය සිහිකරමින් ම මගේ සටහන සමාප්ත කරමි.

"අලුත් අලුත් දෑ නොතකන
ජාතිය ලොව නොනගී
හිඟා කෑම බැරි වුණු තැන
ලගී ගයා මර - ගී"

මේ වූ කලී අපගේ ජාතික සංස්‌කෘතික ආධ්‍යාත්මය විකසිත කිරීම සඳහා ද ජාතික චින්තනයේ පෙරවදන සඳහා ද උචිත සුභාෂිතයයි.

ගාසු.

 

 
Powered By -