ගොන් බැඳි කරත්තේ අතීත රස කතා

කරත්තකරුවාගේ ජීවිතය හරි දුක්‌තය. කොටින්ම කිවහොත් කරත්තකරුවා හා කරත්තයේ බැඳි ගොනා දුප්පත්ය. එය කරත්තකරුවාගේ මුවින් නිරන්තරයෙන්ම පිටවෙයි. ඔහු සියලු දුක්‌ ගැහැට කියන්නේද ගොනාටය. කරත්තකරු තම විඩාව මහන්සිය මගහරවා ගැනීම සඳහා ගොන්නාම්බා සමග කතාබහ කරමින් ගමන් කරයි. මේ ගමනේදී සැබවින්ම ඔහුට කතා කරන්නට ඇත්තේ ගොනා පමණය.

ඌට කරත්තකරුගේ භාෂාව තේරුනත් නූනත් ඔහේ කරබාගෙන ගමන් කරයි. කරත්තකරුවා තම පුතෙකුට වාගේ ගොනාට ආදරය කරන්නේය. ඔහු කරත්තය දක්‌කාගෙන යන්නේද ගොනාගේ පිටට අත තබා යමන් පුතා කියාය. ඉඳහිට ගොනාට පහර කිහිපයක්‌ එල්ල කළද කරත්තකරුවා එය තරහකින් කරන දෙයක්‌ නම් නොවේ.

කරත්තයේ බැඳි ගොනාද නොයෙකුත් දුක්‌ ගැහැට විඳිමින් උගේ දෙවුර මත බඩු පටවාගෙන යන්නේ තම හාම්පුතුගේ දරු පවුල ජීවත්කරවීම සඳහාය. මෙය ගිය ආත්මයේ කළ පවක්‌ කියා ගොනා සිතනවාද විය හැක. නමුත් කරත්තකරුවා එසේ නොසිතයි. ගොනා තම යුතුකම ඉටුකළ යුතු බව කරත්තකරු සිතන්නේය.

ගොන් බැඳි කරත්තයට එකල හිමිව තිබුණේ ඉහළ වටිනාකමකි. මෝටර් රථ, යාන වාහන නොතිබූ කාලයේ මිනිසුන් ගමන් බිමන් ගියේ ද බඩු ගෙන යැමටද යොදා ගත්තේ ගොන් කරත්තයයි. බක්‌කිය, රේස්‌ කරත්තය, තිරික්‌කලේ, බර කරත්තය, බර බාගේ ආදී වශයෙන් කරත්ත වර්ග කිහිපයක්‌ එකල තිබිණි.

කෝපි කාලයේදී උඩරට කෝපි වතුවල සිට කෝපි අස්‌වැන්න කොළඹට රැගෙන ආවේ බරකරත්ත පේලියකිනි. කරත්ත පේලියේ මුල් කරත්තය දක්‌කන්නා හැඳින්වූයේ තන්ඩලේ කියාය. තන්ඩලේගේ මගපෙන්වීම අනුව සෙසු කරත්තකරුවන් ද ගමන් කළහ. කරත්තකරුවන් ගැන සඳහන් කරනවිට ඔවුන් සමඟ බැඳුණු කරත්ත කවි රාශියක්‌ ද අපේ සිංහල ජනකවියට එක්‌ව ඇත්තේය.

කරත්තකරුවන් තම විඩාව, කාන්සිය මඟහරවා ගැනීම සඳහා කරත්ත කවි ගායනා කළහ. එකල වන්දනාකරුවන් තම වන්දනා ගමන් ගියේද කරත්තවලය. එම ගමන්වලදී ද කරත්තකරුවන් වන්දනා නඩයේ කාන්සිය මගහරවා ගැනීම සඳහා කරත්ත කවි ගායනා කළහ.

සුම්බුරේ තමයි ඉසවට බඳින් නේ
ගොන්කරේ නොවේද අඩමිණි බඳින්නේ

බර වැඩියෙන් පටවා කල වැරැද්දට
තඩිබාලා දැක්‌වූවේ ගොන් ඉස්‌සරට

තන්ඩලේ දෙන්න දෙපොලේ දක්‌කනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා

මේ අපේ ජන කවියට එක්‌වූ ජනප්‍රිය කරත්ත කවි කිහිපයකි.

පයින් යැම මා කුඩා කල්හිදීද පොදු සිරිතක්‌ වී පැවතියේය. ගාලු පළාතේ සිට කතරගම සහ තිස්‌ස බලා වන්දනාකරුවන් කරත්තවලින් හා පයින් පැමිණ ගමේ නුගගස සෙවණේ ලැගුම් ගත් බව මතකය. වළං පැණි මාළු, දෙල් ආදී දෑ වෙළ¹ම සඳහා ඔබ මොබ ගෙන යෑවුණේ අත් ඈතට පාවෙමින් වේගයෙන් ගමන් ගත් කත්කරුවන් විසිනි. කරත්තද අපේ ගමේ මෑතක්‌ වනතෙක්‌ම තිබිණි. මාගේ මුත්තාට ද "බර කරත්ත" සහ බර බාග ගණනක්‌ම තිබුණු බව මට මතකය.

හම්බන්තොට උප දිසාපති වශයෙන් සේවය කළ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් නමැති බ්‍රිතාන්‍ය සිවිල් සේවකයා අත්දුටු දෑ පිළිබඳ තම දින පොතේ කරත්තවලින් පැමිණි වන්දනාකරුවන් ගැන සඳහන් කර තිබුණේ ඒa ආකාරයෙනි. එකල ලුණු ලේවාවලින් හම්බන්තොටට ලුණු ගෙන එන ලද්දේ ද උතුරින් පිහිටි මොනරාගලට හාල් ගෙන එන ලද්දේ ද කරත්ත වලිනි. මොනරාගල බලා ගිය කරත්ත අයිති වූයේ ඒබ්‍රහම් සයිබු නමැති මුස්‌ලිම් මුදලාලිටය.

ලුණු ලේවාවල සිට වරායට ලුණු ගෙන එනු ලැබුවේ බරකරත්ත මගිනි. එක අවස්‌ථාවකදී කරත්ත 44 ක්‌ මගින් ලුණු හොන්ඩර 900 ක්‌ ගෙන එනු ලැබීය. මහ ලේවායේ සිට ලුණු ටොන් එකක්‌ ප්‍රවාහනය කිරීම සඳහා එක්‌ අවස්‌ථාවකදී වුල්ෆ් විසින් ශත 73 ක මුදලක්‌ ගෙව්වේය. ගවයන්ට වැළඳී තිබූ කුර සහ මුඛ රෝගය නිසා එක්‌ අවස්‌ථාවකදී තිස්‌ස කරා තංගල්ල, හම්බන්තොට මාර්ගයේ ඇදෙන වන්දනා කරත්ත පවා තහනම් කිරීමට වුල්ෆ් කටයුතු කළේය. ඒ 1909 මැයි මාසයේ වෙසක්‌ සමයේදීය. මේ නිසා වුල්ෆ් පොදු ජනතාවගේ අප්‍රසාදයට පවා ලක්‌වූහ.

කරත්තකරුවන් ගැන සඳහන් කරන විට ගාලු නගරයද ලෙහෙසියෙන් අමතක කළ හැකි නගරයක්‌ නොවේ. මක්‌නිසාද යත් ගාලු නගරය කරත්තකරුවන් හා බැඳී පැවැති නගරයක්‌ නිසාය. එකල ගාල්ල දකුණේ තිබූ විශාල වෙළෙඳපොළකි. ගාලු වරාය, ගාලු නගරයට ආසන්නව පිහිටා තිබීම එයට එක්‌ හේතුවක්‌ විය. මේ නිසා මාතර, රුහුණු ගිරුවා මාගම්පත්තු, දෙනියාය, මොරවක්‌ කෝරලය, බලපිටිය, අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල සිට බරබාග, බරකරත්ත, ගාලු නගරයට පැමිණියහ.

එමෙන්ම තිස්‌ස, දෙවුන්දර, කතරගම, ආදී ආගමික ස්‌ථාන සඳහා යන එන කරත්ත ආදිය නතර කර තැබීමට හා හෙයියන් මාරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන ස්‌ථානය වූයේ ගාලය. නැතහොත් ගාල්ලය. පෙට්‌ටිගලවත්ත ගාල වැලිවත්තගාල, වක්‌වැල්ල පාරේ ගාල ආදී වශයෙන් ගාල් කිහිපයක්‌ම එකල පැවතිණි. එකල විශාල ගාල්පළ පැවතියේද ගාල්ලේය. ගාලු වරාය විදේශීය නැව් පැමිණීම අධිකවීමත්, වෙළහෙළදාම් කරත්ත ගමනාගමනය අධිකවීමත් නිසා විශාල ගාල් පෙළක්‌ ගාල්ලේ ඇතිවීම හේතුකොටගෙන ගාල්ල යන නාමය පටබැඳී ඇති බැව් අපේ පැරැන්නෝ පවසති.

එමෙන්ම 1838 න් පසු ගාල්ලේ සිට තැපැල් ගෙන යැම් කරන ලද්දේ අශ්ව කරත්තයෙනි. බොහෝ විදේශ ප්‍රවෘත්ති ගාල්ලට ලැබුණේ ගාලු වරායට ළඟා වූ දුම්නැව් මගිනි. එම ප්‍රවෘත්ති අශ්වකරත්ත මගින් කොළඹට ගෙන යනු ලැබීය. එදා විශාල ගාල් පැවැති ගාලු නගරයේ අද එකදු ගාල් පළක්‌වත් දක්‌නට නැත. අද මුළු ගාලු නගරයටම ඇත්තේ කරත්ත දහයක්‌ පමණි. එදා ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබූ භූමිතෙල් කරත්තවලින් තවමත් එක්‌ භූමිතෙල් කරත්තයක්‌ ගාලු නගරයේදී දැකිය හැකිය.

දැනට කරත්ත රක්‌ෂාවේ යෙදී සිටින ගාල්ලේ කරත්තකරුවන් කිහිප දෙනාද නොයෙකුත් දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දෙමින් තම රැකියාවේ නිරතව සිටිති. වෙනදා දක්‌නට තිබූ කරත්තවල ඉපැරණි බව අද සම්පූර්ණයෙන්ම වෙනස්‌ වෙලාය. අද කරත්තය ද මොඩ් වෙලාය. හැම දෙයක්‌ම නවීකරණය වන මේ කාලයේදී කරත්තයද නවීකරණය වෙලාය. යකඩ පට්‌ටම් ගසා ලීයෙන් සෑදූ කරත්ත රෝදවලට අද යොදා තිබෙන්නේ ටයර් රෝදය.

ඒ කාලයේ රුපියල් එකසිය තිස්‌පහකට පමණ තමයි මම ගොන් බානක්‌ ගත්තේ. ගාලු වරායෙන් හාල්, පිටි, පරිප්පු, සීනි ආදිය පටවාගෙන පල්ලේගම, දෙණියාය, උඩුගම, නාකියාදෙණිය ආදී ප්‍රදේශවලට ඒවා රැගෙන ගියේ ඒ කාලයේ කෝටු පාරක්‌ ගොනාට ගැසුවොත් කරත්තකරුවාට දඩ ගැසිනි. ගොනා මාර්ගයෙන් ඉවතට ගොස්‌ වැල්ලේ එහෙම ගමන් කළොත් රුපියල් දෙකයි පනහක්‌ දඩ ගහනවා. කරත්ත ලයිසන් එකට ඒ කාලේ ගියේ දෙකයි පනහයි. දැන් නම් රුපියල් 181. 50 ක්‌ අවශ්‍යයි.

ගාල්ලේ පැරණි කරත්තකරුවකු වන එම්. කේ. පියසේන (68) එසේ පවසන්නේය.

එකල කරත්ත සෑදීම සඳහා විශේෂ කුසලතාවකින් යුත් වඩු කාර්මිකයන් පිරිසක්‌ ද ගම්වල සිටියහ. දොඩන්දූවේ මේ සඳහා දක්‌ෂ වඩු කාර්මිකයන් සිsටි බව දොඩන්දූවේ පැරැන්නෝ පවසති. එකල දොඩන්දූවේ කරත්ත සෑදීමේ කරත්ත මඩු විශාල වශයෙන් පැවැති බව සඳහන් වේ. දොඩන්දූවේ වරායට ගොඩබානු ලැබූ ජාඩි පීප්ප ගම්වලට රැගෙන ගොස්‌ ඇත්තේද කරත්ත මගිනි.

මගේ ළඟ මේ ඉන්නේ දහතුන්වැනි ගොනා. අපි ඒa කාලයේ යන ගමන් වලදී රාත්‍රියට නැවතුනේ අම්බලම්වල. කෑම පිහා ගෙන කන්න හැම දෙයක්‌ම අරන් යනවා. පැදුර කොට්‌ටෙ පවා අරන් ගියා. එක කරත්තයකට ගොන්නු දෙන්නෙක්‌ බඳිනවා. සමහරක්‌ කරත්තවලට බඳින්නේ එක ගොනයි. වංගු කඳු බෑවුම් බහිනවිට ගොන්නු දෙන්නෙක්‌ බඳින්න ඕන. කරත්තකරුවන් සමූහයක්‌ එකට තමයි ගමන් කරන්නේ. හැම කරත්තකරුවෙකුම පැරිකස්‌ ලන්තෑරුමක්‌ අරන් ගියා. අපිත් ඒ කාලේ කරත්තකරුවන්ට නම් ද දමා තිබුණා.

බලල් ඔටුවා, බත්පූසියා, පිරිස්‌ කංකානම, ලොට්‌ බර්ටි, ඡේමිස්‌ ගුරුප්පීඩියා, ලැන්ටි අයියා, ජාබීර් නානා, අපිත් සමඟ ගිය කරත්තකරුවන්, හාල් ගෝනියකට අය කළේ රුපියලයි. කොහොමත් රුපියල් දොළහක්‌ දහ අටක්‌ විතර හොයා ගන්නවා.

දැනටත් ගාල්ලේ කරත්ත රක්‌ෂාවේ යෙදෙන පියසේන අයියා කරත්ත රක්‌ෂාවේ ඉතා රසවත් සිද්ධීන් විස්‌තර කරමින් එසේ කීවේය.

කරත්තයේ බඳින ගොනාට ලාඩම් ගැසීම අනිවාර්යෙන්ම කළ යුත්තකි. එසේ නොවුණහොත් ගොනාට ලාඩම් නොගැසීමේ වරදට කරත්තකරුට රුපියල් දෙකයි පනහක දඩ මුදලක්‌ද ගෙවීමට සිදුවේ. ගාල්ලේ පච ගහද එකල කරත්තකරුවන්ගේ තිත්පොළකි. කරත්තවලින් ගමන් බිමන් යන උදවිය ද ගිමන් හැරීම සඳහා ගාල්ලේ පච ගහ ළඟ නතරවීමට අමතක නොකරති.

එම්. ඉෂඩ්, එම්. එහෙයියාද (58) පාරම්පරික කරත්තකරුවෙකි. දැනටත් ඔහු කරත්ත රක්‌ෂාවේ යෙදී සිටින්නේය.

කරත්ත රස්‌සාවට ඇවිත් දැනට වසර හතළිහක්‌ පමණ වෙනවා. ඒ කාලයේ මාතර, වැලිගම, බද්දේගම, වඳුරඹ ආදී ප්‍රදේශවලට බඩු රැගෙන ගියා. දැන්නම් ගාලු නගරයේ කඩවල් කිහිපයකට පිටි අදින එක විතරයි කරන්නේ. දැන් නම් මේ රක්‍ෂාව කරගෙන යන්නේ බොහෝම අමාරුවෙන්. එදිනෙදා වියදම ද සොයා ගන්නේ හරි අමාරුවෙන්. දැන් මේ රක්‌ෂාව අභාවයට යමින් තියෙන්නේ.

තිරික්‌කල රේස්‌වලටත්, ඒ කාලයේ මම සහභාගිවෙලා ජයග්‍රහණ ලබා තියෙනවා. අවිස්‌සාවේල්ල, දෙවුන්දර, ගන්දර, වැලිගම යන ප්‍රදේශවල තමයි එම තරග පැවැත්වුණේ. මගේ ගොන් බැඳි කරත්තයෙන් මඟුල් සවාරිද ගිහින් තියෙනවා. අප හම්බකරගෙන කන සතා කිසිදාක මස්‌ කඩයට නම් දෙන්නේ නැහැ.

කේ. නන්දදාස ද (57) දැනටත් ගාලු නගරය තුළ කරත්ත රක්‍ෂාවේ යෙදෙන අයෙකි.

1975 දී තමයි මම බර බාගයක්‌ ගත්තේ. ගොන්නු පහක්‌, හයක්‌ විතර බැඳලා තියෙනවා. ඒ කාලයේ ගාලු නගරයේ කරත්ත හැත්තෑපහක්‌ සීයක්‌ විතර තිබුණා. දැන්නම් කරත්ත දහයක්‌වත් නැහැ. ඒ කාලයේ පුන්නක්‌කු රාත්තලක්‌ ශත පහයි. දැන් පුන්නක්‌කු කිලෝව රුපියල් හතළිහක්‌ විතර වෙනවා. පුරුදු රක්‌ෂාව හින්දා කරගෙන යනවා.

දැනට ගාලු නගරයේ ඇති එකම භූමිතෙල් කරත්තයේ හිමිකරුවා වන්නේ ගාල්ලේ කනම්පිsටියේ පදිංචි මොහමඩ් නජීබ් (52) මහතාය.

මේ කර්මාන්තය අපේ පාරම්පරික කර්මාන්තයක්‌. දිනකට භූමිතෙල් ලීටර් දෙසීයක්‌, තුන්සීයක්‌ වෙළෙ¹ම් කරනවා. දැන් භූමිතෙල් වෙළෙ¹ම අඩුයි. ඒ නිසා සතියකට දින දෙක තුනක්‌ තමයි වෙළෙදාමේ යන්නේ. අනිත් දිනවල කුලීවැඩ කරනවා. බොහොම අමාරුවෙන් තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ.

නොයෙකුත් දුක්‌ ගැහැට විඳිමින් කරත්තකරුවන් මේ රැකියාව කරගෙන යන්නේ ඔවුන් මෙම රක්‌ෂාවෙන් ඉවත්වීමට ඇති අකමැත්ත නිසාය. අපේ පාරම්පරික කර්මාන්තයක්‌ වන මෙය මතු පරපුර වෙනුවෙන් රැකබලා ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

ලලිත් චාමින්ද

 
Powered By -