නේරු පවුල කමලා කොන් කළේ ඇයි?

පියකරු යුවතියක මෙන්ම "දිල්ලි රූමතිය" ලෙස ප්‍රසිද්ධව සිටි කමලා කෞල් 1899 දී පැරැණි දිල්ලියේ පදිංචි කාශ්මීර බ්‍රාහ්මණ පවුලක වැඩිමහල් දියණිය ලෙස උපත ලැබුවාය. රාඡ්පති කෞල් හා මාල් කෞල් කමලාගේ දෙමාපියන් විය. කමලා අයත් වූයේ සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පවුලකටය. වයස 17 දී ඇයට විවාහ වීමට සිදු වූ අතර, ඇගේ සහකාරයා වූයේ අන් කවරකු හෝ නොව නිදහස්‌ ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරු ය. 1916 පෙබරවාරි 08 වැනිදා සිදු කළ මේ විවාහය මේ දෙදෙනාගේ දෙමාපියන් විසින් කතාබහ කර සිදු කරන ලද සරණ මංගල්‍යය කි. වසන්ත සමයේ දිනෙක සිදු වූ නේරු හා කමලා කුමරියගේ සරණ මංගලෝත්සවය දිල්ලියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර එයින් පසුව දෙදෙනා මධු සමය ගත කිරීම සඳහා කාශ්මීර කඳුකරයේ සුන්දර නවාතැන්පළක්‌ බලා ගියහ.

නේරු පවුල ඉතා ධනවත් වූ නිසාම ඔවුනගේ බටහිර පන්නයේ ජීවිතයට හැඩ ගැසෙන්නට කමලා නේරුට මුලදී ඉතා අපහසුවිය. ඇත්තෙන්ම කමලා සිප් සතර හැදැරුවේ ද නිවසේදී මය. ඇයට ඉගැන්වීම සඳහා කාශ්මීර ගුරුවරු නිවසටම පැමිණියහ. එම නිසා ඇය සැබවින් ම සාම්ප්‍රදායික ගැහැනියක වූවාය. කමලා සෑම විටම සාම්ප්‍රදායික දේ අගය කළාය. එම නිසා ඇයට නේරු පවුලේ බටහිර උරුවට හැඩ ගැසෙන්නට යම් ආයාසයක්‌ දරන්නට විය. නේරු පවුල කොතරම් බටහිර පන්නයට හැඩ ගැසී තිබුණ ද කිවහොත් කාලයක්‌ ඔවුනගේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම සිදු කෙරුණේ දිල්ලියේ නොව පැරිසියේ ය. එම ඇඳුම් ගුවනින් පැරිසියට යෑවීමට නේරුගේ පියා වන මොතිලාල් නේරු කටයුතු කර තිබිණි. කමලාගේ සාම්ප්‍රදායික භාවය මුලදී නේරුට කෝපයක්‌ ඇති කරවන්නක්‌ විය.

1917 නොවැම්බර් මස 17 වැනිදා කමලා දියණියක බිහි කළාය. මේ දියණිය පසු කලෙක ලොව චිරප්‍රසිද්ධ වූ අතර ඇය ද සිය පියාගේ අඩිපාරේ යමින් ඉන්දියාවේ අගමැතිනිය ද වූවාය. ඇය ඉන්දිරා ප්‍රියදර්ශනීය. කමලා සිය සැමියා සමඟ ඉන්දීය නිදහස්‌ අරගලය වෙනුවෙන් උපරිම කැප වීමක්‌ කළාය. එම නිසාම ඇයට දෙවතාවක්‌ ම සිරගත වීමට සිදුවිය. විදේශීය වස්‌ත්‍ර විකුණන අරක්‌කු විකුණන අලෙවිසල් ඉදිරිපිට රැකවල්ලා සිට ඒවාට විරෝධය දැක්‌වීමේ ව්‍යාපාරවලට කමලා නායකත්වය දුන්නාය. එම නිසාම කමලා ද නේරුගේ මව වන මොතිලාල් නේරු මැතිනියත් සහෝදරියන් වූ ක්‍රිෂ්ණාත්, විජයලක්‍ෂ්මීත් බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් සිරභාරයට පත් කරනු ලැබීය. එවිට නේරු ද සිරගත කරනු ලැබ සිටියේය.

1924 නොවැම්බර් මාසයේදී කමලා පිරිමි දරුවකු බිහි කළාය. ඔහු ජීවත් වූයේ දින‍ දෙකක්‌ පමණි. මෙයින් පසුව කමලාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට වූ අතර ඇයට බොහෝ කාලයක්‌ රෝහලේ ගත කරන්නට සිදුවිය. මේ නිසා වෛද්‍යවරු ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්‌විස්‌ටර්ලන්තයට රැගෙන යා යුතු යෑයි නිර්දේශ කළහ. සිය විවාහ ජීවිතය ගෙන යද්දී කමලා, නේරුගේ නැගණියන් නිසා නොයෙකුත් පීඩාවන්ට ගොදුරු වූවාය. මේ බව ඉන්දිරා ද හොඳින් දැන සිටි අතර සිය මව, විජයලක්‍ෂ්මී නැන්දා නිසා පීඩාවට පත්වීම ගැන ඇය උරණ වූවාය. නමුත් සිය පියා මේ ගැන නොසලකා සිටීම ගැන ඇය කෝප කරන්නක්‌ විය. ඉන්දිරා සිය මවට දැඩි සේ ආදරය කළාය. නේරු සිරගතව සිටියදී කමලා ඔහු වෙත යෑවූ ලියුම් වලද විජයලක්‍ෂ්මී නිසා තමා ලබන පීඩාව අවධාරණයෙන් සඳහන් කර තිබුණාය. කමලා සිය සැමියාට ප්‍රකාශ කර තිබුණේ මේ කරදර වලින් මිදීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව තමා ද සිරගත කරන්නේ නම් එය මහා සැපතක්‌ බවයි.

කමලාගේ දියණිය ඉන්දිරා ද කුඩා කාලයේ සිටම හුදකලා ජීවිතයක්‌ ගත කිරීම සඳහා යොමු වූයේ නේරු මන්දිරයේ සිය මවට හා තමාට ලැබුණු වෙනස්‌ සැලකිලි නිසා ය. ඇය සිය නැන්දණිය වූ විජයලක්‍ෂ්මීට නම් කිසිම කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. වයස විසි ගණන්වලදී ම කමලාට ක්‍ෂය රෝගය වැළඳුනේ ද සිය සැ‍මියාගේ ඥතීන් විසින් ඇයට අකෘතඥ ලෙස සැලකීමත්, ඒ නිසාම ඇය මානසිකව පීඩනයට ලක්‌වීමත් නිසා ය. ෆේරෝස්‌ ගාන්ධි ලන්ඩනයේ සිය ඉගෙනීමේ කටයුතු අතහැර දමා ඉන්දීය නිදහස්‌ සටනට එක්‌ වන්නට නැවත සිය රට බලා එන්නේ 1930 දීය. එහිදී ඔහුට ගාන්ධි පවුල සමඟ සමීප සබඳතාවක්‌ ගොඩනගා ගැනීමට හැකි වෙයි. කමලා නේරු සෞඛ්‍ය තත්ත්වයෙන් පිරිහී අසරණ අඩියකට වැටී සිටින විට ඉන්දිරාගේ උදව්වට යන්නේ ෆේරෝස්‌ ය. මේ සමීප සබඳතාව නිසාම ෆේරෝස්‌ හා ඉන්දිරා අතර පෙම් සබඳතාවක්‌ ද ඇතිවිය.

1934 ජූලි වන විට කමලාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. අධික කැස්‌ස නිසා ඇය ක්‌ලාන්තව වැටෙන්නට ද වූවාය. සෞඛ්‍ය තත්ත්වයෙන් පිරිහෙන්නට වූ නිසා කමලා වඩාත් ආගමික පැත්තට නැඹුරු වූවාය. එමෙන්ම ඇය මහත්මා ගාන්ධි ආශ්‍රමයේ ද කල් ගත කළ අතර ගාන්ධිගේ බිරිඳ කස්‌තුර්බා සමඟ ද සමීප සම්බන්ධතාවක්‌ ගොඩනගා ගත්තාය. කමලාගේ සෞඛ්‍ය තත්ත්වය වේගයෙන් පිරිහෙන්නට වූ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය නැවතත් යුරෝපයට රැගෙන යනු ලැබීය. එහෙත් මේ වන විට නේරු බ්‍රිතාන්‍ය පාලකයන් විසින් යළිත් සිරගත කර තිබිණි. 1936 පෙබරවාරි 28 වැනිදා ස්‌විස්‌ටර්ලන්තයේ ලුසගනේ නගරයේදී කමලාවෝ අවසන් හුස්‌ම හෙලූහ. ඇය මෙලොවින් සමුගනිද්දී ඇගේ එකම දියණිය ඉන්දිරා ඇගේ සයනය අසල වූවාය. කමලාවන්ගේ අවසානය සමීප වූ බව දැනගෙන බ්‍රිතාන්‍ය පාලකයෝ නේරුගේ සිර දඬුවම නිම වෙන්නට මාස පහකට පෙර ඔහු නිදහස්‌ කළ ද සිය භාර්යාවගේ අවසන් හෝරාව අවස්‌ථාවේ ඇය අසල සිටීමට ඔහුට නොහැකි විය.

කමලාගේ අභාවය පිළිබඳ සටහනක්‌ තබන මහත්මා ගාන්ධි පවසන්නේ "සත්‍යවාදී හා එඩිතර මෙන්ම දෙවියන් කෙරෙහි මහත් වූ භක්‌තියක්‌ ඇති කමලා වැනි කාන්තාවන් තමාට මින් පෙර හමු වී නොමැති බවය. භාරත නිදහස්‌ සටනේ සුවිශේෂී චරිතයක්‌ වූ කමලාගේ අභාවය සමස්‌ත ඉන්දියාවම සෝ සයුරේ ගිල්වන්නක්‌ විය. භාරතීය කාන්තාවන්ට නොබියව සටන් කිරීමට හුරු කළ ප්‍රබල චරිතයක්‌ වූයේ කමලා නේරුය. වයස 37 දී කමලා මියයැමට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම නේරු පවුලේ කුඩම්මාගේ සැලකිලි ද ප්‍රබල හේතුවක්‌ වූ බව සටහන් කළ යුතුය. නේරු මේවා දැක නිහඬව සිටියේද? එහෙත් ඉන්දිරා නම් මේ අකටයුතු දැක සිය පියාගේ සහෝදරියන් හා ගැටුණාය. සිය මව මිය යද්දී ඉන්දිරාගේ වයස අවුරුදු 18 ක්‌ විය. ඇය 1942 මාර්තු 26 වැනිදා ෆේරෝස්‌ ගාන්ධි සමඟ අල්හබාද් නුවරදී විවාහ වූවාය. මේ විවාහය සිදු කෙරුණේa හින්දු චාරිත්‍රානුකූලවය. නමුත් ෆේරෝස්‌ හින්දු ජාතිකයකු නොවේ.


චතුර පමුණුව
 

 
Powered By -