රංගනයෙන්, නර්තනයෙන්, කරාතේ ක්‍රීඩාවට
දස්‌කම් පාන කැළුම්

ඔහු නමින් වරකාගොඩ විදානගේ කැළුම් විජිත කුමාර. ඉපදුණේ පදවිය කියන ගමේ. ඔහු කුඩා කල සිටම කලාවට ආදරය කළා. එනිසාම පාසල් වියේ සිටම චිත්‍රපට නැරඹූ කැළුම් රංගනයට ඇළුම් කළා. ඔහු කලාවට පිවිසෙන්න මහත් පරිශ්‍රමක්‌ සිදුකළ බව "මීවිත" ට පැවසුවා. කලා ජීවිතයේ අභියෝග ජයගැනීම් මෙන්ම ඉදිරි බලාපොරොත්තු ගැන ඔහු අපට පැවසුවේ මෙලෙසිනි.

ඇත්තටම මම අවුරුදු දොළහේ පටන් කලාව හැදෑරුවා. අනුරාධපුර ජාතික තරුණ සේවා සභාවේ බටහිර හා ඉන්දියානු නර්තනය පිළිබඳ පාඨමාලා හැදෑරුවා. ඒ අතරතුර පාසල් යන වියේදී කරාතේ ක්‍රීඩාවටත් පළාත් මට්‌ටමින් ජයග්‍රහණ ලැබුවා. නමුත් මගේ මූලික අරමුණ වුණේ රංගන ශිල්පියෙකු වෙන්න. මගේ කරාතේ ක්‍රීඩාවේ මුල්ම ගුරුවරයා චන්න සෙනෙවිරත්න. මම අපේ පවුලේ වැඩිමලා.

ගොඩක්‌ ආර්ථික දුෂ්කරතා මැද තමයි මම කරාතේ ක්‍රීඩාව හැදෑරුවේ. ඒ කාලයේ සිට මගේ හිතේ ලොකු අධිෂ්ඨානයක්‌ තිබුණා කලාවෙන් ලංකාවේ යම්කිසි තැනකට එන්න. 2007 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලත් නියෝජනය කළා.

තවද රංගනයෙන් මහතලා හටන, මුතු කිරිල්ලී, අපි අපි වගේ, ස්‌වයංජාත ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ඊට අමතරව ගිය අවුරුද්දේ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාඨමාලාවද හැදෑරුවා.

රංගනයෙන් විතරක්‌ නොවෙයි නිරූපණය කියන විෂය ගැනත් මම වාසනා දන්තනාරායන මහත්මිය යටතේ හදාරා තිබෙනවා. ගිය අවුරුද්දේ අගෝස්‌තු 01 වැනිදා මොඩල් ඔෆ් ද ෆියුචර් මෝස්‌තර නිරූපණ තරගය පැවැත්වුණා. එහිදී තරගකරුවන් තුන්සියයක්‌ අතුරින් අවසන් තරගකරුවන් පස්‌දෙනා අතරට පැමිණියා.

මම ගොඩක්‌ම දක්‍ෂතා දැක්‌වූයේ කරාතේ ක්‍රීඩාවෙන්. 2003 වසරේ සිට 2009 වසර දක්‌වාම ජාතික තරගවලින් රිදී සහ ලෝකඩ පදක්‌කම් ලබා තිබෙනවා.

දැනට මම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැටුප් අංශයේ රැකියාවක්‌ කරනවා. කරාතේ ක්‍රීඩාව හදාරන කාලයේ ගොඩක්‌ දුරට දුක්‌විඳලා තිබෙනවා. පුහුණුවීම් කරන කාලයේ මට නිතරම කොළඹ තියෙන පුහුණු සංචිතවලට එන්න සිදුවුණා. ඒ දවස්‌වල මගේ නවාතැන වුණේ කොටුව බස්‌නැවතුම්පොළ. එහෙම දුක්‌විඳලයි මම මේ තත්ත්වයට අද ඇවිත් තිබෙන්නේ. ඉතින් මගේ ඉදිරි බලාපොරොත්තුව තවදුරටත් රංගනයෙන් ඉදිරියට යැමයි, කැළුම් අවසාන වශයෙන් අපට පැවැසුවේ එලෙසින්.

රංගනයෙන්, නර්තනයෙන්, කරාතේ ක්‍රීඩාවට දස්‌කම් පාන කැළුම්ට මීවිත අපි සුබ අනාගතයක්‌ පතමු.

ඡායා - නිමල් දයාරත්න

 

 
Powered By -