"විශ්වකර්ම" සචින්

සචින් රමේෂ් ටෙන්ඩුල්කාර් වසර 20 ක්‌ ඉක්‌මවා ක්‍රිකට්‌ ලෝකයේ දිදුලන නමක්‌ බවට පත්ව තිබූ ඒ නාමය පසුගියදා සුදිලෙන නමක්‌ බවට පත් වුණා.

එත් ජගත් එක්‌දින ක්‍රිකට්‌ පිටියේ එක ඉනිමක වැඩිම ලකුණු රැස්‌ කිරීමෙන්. එහිදී සචින් නොදැවී ලකුණු 200 ක්‌ වාර්තා කළා.

එම වාර්තාවට මීට පෙර හිමිකම් කිව්වේ පකිස්‌තානයේ හිටපු සුපිරි ක්‍රීඩක සයිඩ් අන්වර් සහ සිම්බාබ්වේ චාල්ස්‌ කවෙන්ටි්‍ර යන ක්‍රීඩකයනුයි. ඔවුන් දෙදෙනා ලකුණු 194 බැගින් වාර්තා කර තිබුණා.

එත් සචින්ගේ පිත්ත ලකුණු 194 න් නතර වූයේ නැහැ. ඔහු එය අභිබවා ගියා ද්විත්ව ශතකයක්‌ කරා. පහර 147 යි. නොදැවී ලකුණු 200 යි. සචින්ගේ නාමය ඉහළටම ගියා. හතරේ පහර 25 ක්‌ සහ හයේ පහර තුනක්‌ එයට ඇතුළත් වුණා. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් මේ පිතිප්‍රහාරය හමුවේ අසරණ වෙද්දී සචින් ලෝක පූජිත වුණා.

ඒත් සචින් ලෝක පූජිත වූයේ ඒ ඉනිමෙන් විතරක්‌ නොවේ. එදා මෙදා තුර ක්‍රිකට්‌ ලෝකයේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ සචින්. ටෙස්‌ට්‌ හා එක්‌දින තරග දෙඅංශයෙන්ම ඔහු එම වාර්තාවට හිමිකම් කියනවා. ඒ විතරක්‌ නොවේ ටෙස්‌ට්‌ හා එක්‌දින ශතක වලිනුත්. ටෙස්‌ට්‌ තරග 166 ක්‌ තුළ ඔහු රැස්‌ කර ඇති ලකුණු සංඛ්‍යාව 13447. ඒ ලකුණු 13447 තුළ ටෙස්‌ට්‌ ශතක 47 ක්‌ ඇතුළත් වී තිබෙනවා. එක්‌දින තරග 442 කදී සචින් ශතක 46 ක්‌ සමග ලකුණු 17598 ක්‌ වාර්තා කර තිබෙනවා. මේ කිසිම ලකුණු දත්තයකට සමාන වෙන්න තරම් ජගතෙකු ක්‍රිකට්‌ පිටියෙන් බිහි වෙලා නැහැ.

1989 වසරේ ජගත් ක්‍රිකට්‌ පිටියට පිය නැඟූ සචින් පසුගිය වසරේදී තම 20 වැනි සමරුම සනිටුහන් කළා. 16 හැවිරිදි කොලු ගැටයෙකු ලෙස ජගත් ක්‍රිකට්‌ පිටියේ සම්ප්‍රාප්තිය සනිටුහන් කළ සචින් එකල ක්‍රිකට්‌ ලෝකයේ සිටි කදිම හුරුබුහුටි පිතිකරුවෙකු ලෙස විචාරකයන්ගේ අවධානයට ලක්‌ වුණා.

අද 37 හැවිරිදි වියේ පසුවන එම පරිණත ක්‍රීඩකයා පවසන්නේ තමාගේ ක්‍රිකට්‌ ජීවිතයේ හොඳම කාලය උදාවුණේ 1997 වසරෙන් පසුව බවයි. ඒත් සචින්ගේ විශ්මිත හැකියාව දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පසුගියදා රැස්‌ කළ ද්විත්ව ශතකයෙන් සලකුණු වී තිබෙනවා. ඒ 37 හැවිරිදි වියේ පසුවෙද්දිත් තරුණ ක්‍රීඩකයෙකු ලෙස ජීවය රැකගෙන පන්දුවාර 50 ක්‍රිකට්‌ තරගයකදී ඉනිම පුරා පන්දුවට පහරදීමෙන්.


රොනාල්ඩෝ සමුගන්න බලයි

තම වෘත්තීමය පාපන්දු ජීවිතයෙන් සමුගැනීමට සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තීරණය කර තිබෙනවා.

අද හෙටම නොවේ. ලබන වසරේ. ලබන වසරේ මැද භාගයේදී මෙම සමුගැනීම සිදුවනු ඇතැයි වාර්තා වෙනවා.

ඩියාගෝ මැරඩෝනා සහ පෙලේ යන පාපන්දු ලෝකයේ දැවැන්තයන්ට පසුව ලොව බිහිවූ අති දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස රොනාල්ඩෝ හැඳින්වෙනවා. වසර 16 කට ආසන්න කාලයක්‌ ජගත් පාපන්දු පිටියේ රැඳී සිටි රොනාල්ඩෝ වාර්තාවන් රැසකට හිමිකම් කියන ක්‍රීඩකයෙක්‌. ඒ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවල වැඩිම ගෝල සංඛ්‍යාවක්‌ වාර්තා කළ ක්‍රීඩකයාට හිමි වාර්තාව සුවිශේෂයි. එම තරග වලදී රොනාල්ඩෝ ගෝල 15 ක්‌ වාර්තා කර තිබෙනවා.

ඒ වගේම වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස තුන් වරක්‌ ඔහු ජගත් සම්මානයට පත්‍ර වී තිබෙනවා. එසේ සම්මාන ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙක්‌ පමණයි ජගත් පිටියේ සිටින්නේ. ඒ ප්‍රංශයේ සිනෙඩින් සිඩානේ සහ රොනාල්ඩෝ.

1994 වසරේ සහ 2002 වසරේ පාපන්දු ලෝක කුසලානය හිමිකර ගත් බ්‍රසීල කණ්‌ඩායමේ ක්‍රීඩකයකු වීමේ අභිමානවත් භාග්‍යයට උරුමකම් කියන රොනාල්ඩෝ පාපන්දු තරග 97 කදී ගෝල 62 ක්‌ වාර්තා කර තිබෙනවා.

1976 වසරේ උපත ලද රොනාල්ඩෝ රියෝද ජැනයිරෝ සහ බ්‍රසීල ජාතික කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වෙනවා. ඔහුගේ සමුගැනීම එම කණ්‌ඩායම් දෙකට මෙන්ම ජගත් පාපන්දු ලෝකයටත් විශාල පාඩුවක්‌ බව අමුතුවෙන් කිව යුතු නැහැ.


ෆ්ලින්ටොප් නිවාස වෙළෙදාමක

එංගලන්ත ක්‍රිකට්‌ ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ක්‍රිකට්‌ ක්‍රීඩාවට අමතරව තවත් රැකියාවකට අත ගසා ඇති බවයි ආරංචිය. මේ රැකියාව වෙළෙදාමක්‌. හැබැයි රැකියාවකට කරනවා කියන්න තරම් ස්‌ථිර නැහැ. ඒත් ෆ්ලින්ටොෆ් පිළිබඳව වාර්තා කරවන අලුත්ම ආරංචිය නම් ඔහු නිවෙසක්‌ සාදා එය ලාභ තබාගෙන විකුණා ඇති බවයි. වසර දෙකහමාරකට ආසන්න කාලයක්‌ වැයකර තමන් සඳහා ඉදිකළ එම නිවස ඔහු විසින්ම පවුම් මිලියනයක පමණ ලාභයක්‌ තබාගෙන විකුණා තිබෙනවා. එම නිවසේ පදිංචි වීමට ෆ්ලින්ටොෆ් සහ බිරිඳ කලින් තීරණය කර තිබුණද ඔවුන් දෙදෙනා ඩුබායිහි පදිංචි වීමට තීරණය කර තිබෙනවා.

අනෙක්‌ වාර්තාවලින් කියවෙන්නේ ෆ්ලින්ටොෆ් නිවෙස විකුණුවේ ඩුබායි යැමට අවශ්‍ය නිසා මිසක්‌ ලාභ බලාගෙන නොවන බවය.


ෆෙඩරර්ට පෙනහලු ආබාධයක්‌

ලෝක ප්‍රසිද්ධ ටෙනිස්‌ ක්‍රීඩක ස්‌විට්‌සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පෙනහලු ආබාධයකින් පෙළෙන බවට වාර්තාවී තිබෙනවා.

මේ පිළිබඳව කරුණු මාධ්‍යයට නිකුත් වී තිබෙන්නේ ඩුබායි ටෙනිස්‌ තරගාවලියට ෆෙඩරර් ක්‍රීඩා නොකිරීම නිසාවෙනුයි. සති හයක පමණ කාලයක්‌ ඒ අනුව ෆෙඩරර්ට විවේක ගැනීමට සිදුවී තිබෙනවා.

ඩුබායි ටෙනිස්‌ ශූරතාව සඳහා හතර වරක්‌ හිමිකම් කියන ෆෙඩරර් 2006 වසරේදී එහි අනුශූරතාවට හිමිකම් කිව්වා. 2003, 2004, 2005 සහ 2007 වසර වලදී එම ශූරතාව ජයග්‍රහණය කළ ෆෙඩරර් මෙවර එම තරගාවලිය ජයගත්තේ නම් ඔහුට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2 ක්‌. ඒත් එම තරගාවලිය නිමාවන තුරු ෆෙඩරර්ට ක්‍රීඩා කිරීමට හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ.

සටහන කුෂාන් සුභසිංහ‍

 

 
Powered By -