මේ දැවැන්ත අභියෝගය අපි භාර ගන්නවා
ඩී.එස්‌

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිsයේ උණුසුම සෙමෙන් සෙමෙන් අපේ සිතිවලට ළංවේ. පසුගිය ලෝක කුසලාන තරගාවලිවලට වඩා මෙවර තරගාවලිය අපට වැඩි මනක්‌ම දැනී යන්නේ එය ආසියාව කේන්ද්‍ර කරමින් පැවැත්වෙන නිසාවෙනි. මෙවර තරගාවලියේ තරග 12 ක්‌ පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. අදාළ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේත් පල්ලෙකැලේ සහ සූරියවැව ඉදිකෙරෙමින් පවතින ක්‍රීඩාංගණවල පැවැත්වීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලනාධිකාරිය තීරණය කර තිබේ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිළිබඳ දෙගිඩියාවක්‌ සිත් තුළ ඇති නොවුණද තවමත් ඉදිකෙරෙමින් පවතින පල්ලෙකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගණවල තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය හැකිද යන්න දෙවරක්‌ සිතිය යුතු වේ. ලෝක කුසලාන තරගාවලියක්‌ පැවැත්වීමේ උතුම් අවස්‌ථාවක්‌ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ටෙස්‌ට්‌ ක්‍රීඩා කරන රටවල් 9 අතුරින් ලෝක කුසලාන තරගාවලියක්‌ පවත්වන්නට වාසනාව ලැබෙන්නේද වසර ගණනාවක ඇවෑමෙකිනි. 1996 වසරේ ආසියාවේ පැවැති (එම වසරේ ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලදී) ලෝක කුසලාන තරගාවලියෙන් වසර 14 කට පසුව පමණ මෙවර තරගාවලිය නැවතත් මෙහි පැවැත්වීමේ අවස්‌ථාව ලැබීමම ඉහතින් සඳහන් කළාතුරකින් යන වචනයට හොඳම උදාහරණය වේ. මෙවැනි තත්ත්වයක්‌ මත ලැබුණු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන නොගන්නේ නම් සිදුවන්නේ රටක්‌ ලෙස අපට ලැඡ්ජාවටත් සහ නින්දාවටත් පත්වීමටය. එහී පූර්ණ වගකීම ක්‍රිකට්‌ බලධාරීන් සතුය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය "හොට බිම ඇණගන්නා" බවක්‌, මේ දිනවල ඉස්‌මතු වන කට කතාවලින් හැඟී යයි. ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන බලධාරීන්ද උදාසීන බවකින් කටයුතු කිරීම ඇසෙන දකින කාරණයකි. මේ සියලු කාරණා පිළිබඳව ඇත්ත නැත්ත දැන ගැනීමට සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කාර්ය භාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති සෝමචන්ද්‍ර ද සිල්වා මහතා "දිවයින" ඉරිදා සංග්‍රහය සමගින් කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය(- දැවැන්ත තරගාවලියක්‌ පැවැත්වීමේ මහත් භාරදූර කටයුත්තක්‌ ඔබ ඉදිරියේ තියෙනවා.....?

පිළිතුර(- අනිවාර්යයෙන්ම. ලෝකයේ තියෙන ලෝක කුසලාන තරගාවලි අතරින් ප්‍රධානම තැනක්‌ ගන්න තරගාවලියක්‌ අපේ රටේ පැවැත්වීමේ විරළ අවස්‌ථාවක්‌ මේ වන කොට අපිට ලැබී තියෙනවා. ඒ වෙනුවෙන් මේ දිනවල අපි ඉතාමත් උනන්දුවෙන් සහ මහන්සියෙන් කටයුතු කරමිනුයි ඉන්නේ. මමත් මගේ කාර්ය මණ්‌ඩලයත් ඒ වෙනුවෙන් උපරිමය කරනවා.

ප්‍රශ්නය(- කොහොමද ඒ සඳහා පෙර සූදානම...?

පිළිතුර(- ඒ වෙනුවෙන් තමයි මේ දිනවල ගොඩක්‌ මහන්සි වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩාංගණ වැඩවලට. එයිනුත් වැඩි හරියක්‌ම අවධානය සූරියවැව සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලටයි යොමු වෙලා තියෙන්නේ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයත් මේ දිනවල නවීකරණය වෙමින් පවතිනවා. මේ වන විටත් ක්‍රීඩාංගණවල වැඩකටයුතු පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට්‌ කවුන්සිලයේ විශේෂඥයන්ගේ ප්‍රසාදයට පාත්‍රවෙලා තියෙනවා.

ප්‍රශ්නය(- නමුත් කට කතා පැතිරෙමින් පවතින්නේ ක්‍රීඩාංගණවල කිසිදු කටයුත්තක්‌ නිසියාකාරව සිදු නොවන බවයි...?

පිළිතුර(- මම ඒක කීයටවත් පිළිගන්නේ නෑ. මොකද අපි දැනට කරල තියෙන වැඩ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාව සතුටට පත්වෙලා තියෙනවා. එක එක අය මොන දේ කිව්වත් අපි මෙතන කටයුතු කරල තියෙන්නේ ඉතාමත් විනිවිධ භාවයකින් යුක්‌තවයි. ඒක පේන්නම තියෙනවා.

ප්‍රශ්නය(- ඔබ කටයුතු කරල තියෙන්නේ විනිවිධ භාවයකින් යුක්‌තවයි කියලා කොහොමද හරියටම කියන්නේ...?

පිළිතුර(- මෙහෙමනේ. මෙවැනි තරගාවලියක්‌ සංවිධානය කිරීමේදී අපිට උවමනා විදියටම හැම දෙයක්‌ම කරන්න බැහැ. අයි. සී. සී. යට ඕන විදියට තමයි මෙහි කටයුතු සිදුවෙන්නේ. ඒ සඳහා වන ප්‍රස්‌තූත විතරයි අපිට ඉදිරිපත් කරන්න පුලුවන්. ඒ අනුව තමයි ඔය සූරියවැවයි පල්ලෙකැලේ ක්‍රීඩාංගණයයි මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වශයෙන් නම්කෙරුණේ. මුලින්ම අයි. සී. සී.ය මේ පිළිබඳව කිසියම් චකිතයකින් පසුවුණා. නමුත් අපි කරගෙන යන පිළිවෙළ නිසා දැන් එහෙම අවදානම් තත්ත්වයක්‌ ඔවුන්ගේ හිත්වල නැහැ.

ප්‍රශ්නය(- කොහොමද එහෙම නෑ කියලා කියන්නේ...?

පිළිතුර(- ඒක අයි. සී. සී. ය විසින් පවසා සිටියා. මෙහි ක්‍රීඩාංගණවල තත්ත්වය පිරික්‌සීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අයි. සී. සී. විශේෂ නියෝජිත පිරිසක්‌ ඒ පිළිබඳව සහතිකයක්‌ මේ වන විටත් ලබාදීලා තියෙනවා. මීට සති දෙකකට පමණ පෙර ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිලා ඒ කාර්යයන් සොයා බැලුවා. ඒ පැමිණි පිරිස අතර අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාවේ තණතීරු විශේෂඥ ඇන්ඩි ඇට්‌කින්ස්‌, එම සභාවේම ගොඩනැගිලි සහ ආකෘතිs්‍ර ඉංජිනේරු ආචාර්ය ඉවුජීන් වෑන් වූරන් සහ ලෝක කුසලාන තරගාවලි සම්බන්ධීකරණ නිලධාරී ධිරාඡ් මල්ලහෝත්‍රා යන මහත්වරුන් පසුවුණා. එහිදී ඔවුන්ට අදහාගත නොහැකි විදියට මෙහි කටයුතු සිදුවී තිබෙන බව සඳහන් කර සිටියා. තමන් කිසි ලෙසකින්වත් නොසිතූ තරම් වේගයකින් මෙම ක්‍රීඩාංගණවල සංවර්ධන කටයුතු සිදුවී තිබෙන බව ඔවුන් එහිදී පවත්වපු මාධ්‍ය හමුවේදීත් සඳහන් කර සිටියා.

ප්‍රශ්නය(- ඉදිකෙරෙමින් පවතින ක්‍රීඩාංගණවල දැන් තත්ත්වය කොහොමද...?

පිළිතුර(- පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සියල්ල අවසන් වෙලා තියෙනවා. දැන් එහි තරගත් පැවැත්වෙනවා. එහි තියෙන්නේ ප්‍රධාන ගොඩනැගිල්ල සහ මාධ්‍ය කුටිය නිර්මාණය පමණයි. එය ඉදිරි සති කීපයේදී ආරම්භ කරනවා. සූරියවැව ක්‍රීඩාංගණයේත් ඉදිකිරීම් බොහෝ දුරට අවසන් වෙලා තියෙන්නේ. අපි කොහොම හරි බලන්නේ ජුනි හෝ ජූලි මාස වල කොහොම හරි තරග පැවැත්වීමට. එහි ගොඩනැගිලිවල ඉදිකිරීමුත් නුදුරේදීම ආරම්භ කරනවා. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා දැන් "සී" සහ "ඩී" ප්‍රේක්‍ෂකාගාර අයින් කොට අවසන්. එම ප්‍රේක්‍ෂකාගාර තට්‌ටු දෙකට ඉදිකිරීමට නියමිතයි.

ප්‍රශ්නය(- ඔබ එසේ පවසා සිටියත් යම් යම් මාධ්‍යයන් මගින් ඔබේ පරිපාලනය පිළිබඳව දොaෂාරෝපණ එල්ල වෙනවා...?

පිළිතුර(- දොaෂාරෝපණ නැගෙන්නේ නැත්තේ කාටද..? හොඳ වැඩක්‌ කරන ඕන කෙනෙකුට ඔවැනි දේවල් ඇති වෙනවා. එවැනි දේවල් අද ඊයේ සිදුවූවක්‌ නොවේ. අතීතයේ ඉඳන්ම ඔවැනි තත්ත්වයන් ඇතිවෙනවා. ඒවා එතරම් ගණන් ගත යුතු දේවල් නොවේ.

ප්‍රශ්නය(- එහෙත් එහෙම කියලා ඔබට බේරෙන්න පුලුවන්ද...?

පිළිතුර(- එහෙම කියලා මම බේරෙන්න හැදුවේ නැහැ. මම පෙන්වලා දුන්නේ රටේ සිදුවන සාමාන්‍ය සිදුවීම් පිළිබඳව. මගේ කාලය තුළ මම කරල තියෙන වැඩ මේ රටේ කිසිම ක්‍රිකට්‌ සභාපති කෙනෙක්‌ කරලත් නැහැ. ලෝක කුසලාන තරගාවලිය සංවිධානයට කටයුතු කරන අතරවාරයේම මම, ක්‍රීඩකයන් වෙනුවෙන්, පාසල් ක්‍රිකට්‌ වෙනුවෙන් සහ ක්‍රීඩා සමාජ වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ ඉටු කරලයි තියෙන්නේ. අනික, මගේ පාලන කාලය තූළ තමයි ඔය පල්ලෙකැලේ සහ සූරියවැව ක්‍රීඩාංගණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ. මම මේක භාර ගන්නකොට පල්ලෙකැලේ ක්‍රීඩාංගණය අතහැර දාලයි තිබුණේ. ඒත් අද ඒකේ ජාත්‍යන්තර තරග පැවැත්වීමට තරම් තත්ත්වයකට ගෙන ඒමට මට හැකිවෙලා තියෙනවා. ඒ වගේමයි සූරියවැව ක්‍රීඩාංගණයත්. මේ වැඩ කටයුතු දිහා බැලුවම කියන්න පුලුවන්ද මම ඇඟ බේරගන්න හදන සභාපති කෙනෙක්‌ කියලා...?

ප්‍රශ්නය(- ඔබේ පරිපාලන කාලය තුළ ක්‍රීඩකයන් වෙනුවෙන් මොනවද ඔබ කරල තියෙන්නේ...?

පිළිතුර(- මම හිතන්නේ ක්‍රීඩකයන් හන්ද තමයි අපිට මේ හැම දෙයක්‌ම ලැබිලා තියෙන්නේ. ඒ අය හොඳින් දක්‍ෂතා දක්‌වලා නැත්නම් අපිට අද මේ තත්ත්වයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් හොඳින් දක්‍ෂතා දක්‌වලා ජයග්‍රහණ ලබාගෙන තියෙන නිසා තමයි ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් මේ තැන ඉන්නේ. එම නිසා මගේ දැක්‌ම තමයි අපි ඔවුන්ව හොඳින් රැක බලා ගැනීම. ඒ සඳහා සුදුසු වටපිටාවක්‌ ගොඩ නැගීම තමයි පරිපාලනයේදී වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ වෙනුවෙන් මම කටයුතු කරල තියෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ජාතික මට්‌ටමේ ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඪකයන්ට සමගින් ක්‍රීඩකයන් 76 දෙනකුව කොන්ත්‍රාත් පදනම අනුව ක්‍රිකට්‌ ආයතනයෙන් පඩි ගන්න විධිමත් ක්‍රමවේදයක්‌ මම හදලයි තියෙන්නේ. මීට කළින් කිසිදු සභාපතිවරයෙක්‌ මේ වගේ දෙයක්‌ කරලත් නැහැ. එම නිසා ඔවුන්ට කිසිදු කරදරයක්‌ පීඩාවක්‌ නැතුව ක්‍රීඩාවේ යෙදිලා ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමට හොඳ අවස්‌ථාවක්‌ තියෙනවා.

ප්‍රශ්නය(- කළින් පැවැත්වුණු දේශීය තරගාවලිවලට(අන්තර් පළාත්) වඩා මෙවර තරගාවලියේදී නරඹන්නන්ගේ වැඩි පැමිණීමක්‌ දැක ගන්න පුලුවන්. ඒ ගැන ඔබේ අදහස...?

පිළිතුර(- ඔබ ඔය කියන්නේ පසුගියදා අවසන් වුනු අන්තර් පළාත් අවසන් මහ තරගය පිළිබඳවනේ. මෙහෙමයි. මෙච්චර කලක්‌ දේශීය තරග සීමා වුණේ කොළඹට පමණයි. නමුත් කොළඹ අය මෙවැනි තරග නරඹන්න එතරම් රුචිකත්වයක්‌ දක්‌වන්නේ නැහැ. අන්න ඒකයි අපි මෙවර අවසන් මහ තරගය මොරටුවේ පැවැත්වූයේ. එහිදී විශාල පිරිසක්‌ තරගය නරඹන්න පැමිණ සිටියා. එය දේශීය ක්‍රිකට්‌ ක්‍රීඩාවට හොඳ ප්‍රවණතාවක්‌.

ප්‍රශ්නය(- එහෙම තත්ත්වයක්‌ තියෙනවා නම් ඇයි මේවා කළින් නොකරේ...?

පිළිතුර(- ඒක මම දන්නේ නැහැ. නමුත් මම සභාපතිවෙලා දැන් අවුරුද්දකට කිට්‌ටු වෙනවා. මේ කෙටි කාලය ඇතුළත මට හැකියාවක්‌ ලැබුණා අවුරුදු 17 ක්‌ තිස්‌සේ කිසිම ප්‍රධාන පෙළේ තරගයක්‌ පවත්වලා නැති මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයට නව ජීවයක්‌ ලබා දෙන්න. මේ ක්‍රීඩාංගණයේ කිසිදු පහසුකමක්‌ පසුගිය කාලය පුරාවටම තිබිලා නැහැ. නමුත් මම එය නැවත පිළිසකර කළා. අන්න ඒ නිසා තමයි දැන් අපිට කොළඹින් පිටට තරග අරන් ගිහින් පැවැත්වීමේ හැකියාවක්‌ ලැබුණේ. අන්න ඒ කරුණ මත තමයි මෙතරම් ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ තරග නැරඹීම සඳහා පැමිණෙන්නේ.

ප්‍රශ්නය(- ඔබව මුලින්ම ජනාධිපතිතුමා පත් කළේ පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාව නංවන්න. නමුත් දැන් ඔබ ශ්‍රී ලංකාවේම ක්‍රිකට්‌ සභාපති...?

පිළිතුර(- ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා මාව 2008 වසරේ මුලින්ම පත්කළේ පාසල් ක්‍රිකට්‌ උපදේශකවරයා ලෙස. එතනදී මම ලොකු කාර්ය භාරයක්‌ සිදුකළා. ගරාවට වැටිලා තිබිච්ච පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාවට නව පණක්‌ ලබාදීමට මට එතනදී හැකිවුණා කිව්වොත් සියයට සියයක්‌ නිවැරදියි. එම සාර්ථක වැඩ පිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ කොළඹ ක්‍රිකට්‌ ගමට ගෙන යැමට විශාල වශයෙන් උපකාරී වුණා. බොහෝ පාසල් අද කිසිදු අපහසුතාවකින් තොරව ක්‍රිකට්‌ ක්‍රීඩා කරනවා. නගරෙයි, ගමයි අද හරි හරියට ක්‍රීඩා කරමින් දක්‍ෂතා දක්‌වනවා. අන්න ඒ හරහා මම සිදු කරපු සේවය සලකල බලල තමයි ජනාධිපතිතුමා මට මේ අවස්‌ථාව ලබා දුන්නේ.

ප්‍රශ්නය(- ඔබ සඳහන් කළා පාසල් ක්‍රිකට්‌ උපදේශක වශයෙන් ඔබ ලොකු කාර්ය භාරයක්‌ සිදු කළා කියලා...?

පිළිතුර(- මම එම තනතුර භාර ගන්නකොට ශ්‍රී ලංකාවේ පාසල් බොහොමයක නිරීක්‍ෂණ සංචාරයක යෙදුණා. ලංකාවේ සෑම පැත්තකටම වාගේ මම ගියා. එහිදී මම දැක්‌ක දෙයක්‌ තමයි බොහෝ පාසල්වල ක්‍රිකට්‌ ක්‍රීඩාව නැවතීමට තරම් තත්ත්වයකට ඇද වැටීගෙන එන බව. ඔවුන්ට එහිදී ප්‍රදානම බාධාව වී තිබුණේ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති කම. ඒත් ඒවට පිළියම් ලබාදීම සඳහා පාසල් ක්‍රිකට්‌ සංගමය සතුව ප්‍රමාණවත් මුදල් තිබුණේ නැහැ. ඒත් මේ තත්ත්වය දියුණු කිරීමට නම් මුදල් අත්‍යවශ්‍යම සාධකයක්‌ වුණා. පසුව මම ඒ වෙනුවෙන්ම විදේශ ගත වුණා. මම එංගලන්තයට ගිහිල්ලා එහෙන් ගන්න පුලුවන් උපරිම උදව් ලබාගෙනයි ලංකාවට ආවේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන පාසල් 370 කට පමණ ක්‍රීඩා භාණ්‌ඩ අපි බෙදා දීලා තියෙනවා. මෙහිදී එක දෙයක්‌ මම ආඩම්බරයෙන් කියනවා. ඒ තමයි මේ සියලුම පාසල්වලට බඩු බෙදා දුන්නේ මම අර රට ගිහින් එකතු කරගෙන ආපු සල්ලිවලින් කියලා.

ඒ විතරක්‌ නොවෙයි. මේ වන විට අපි ඒ ඒ පාසල්වලට අවශ්‍ය පුහුණු පැති විකට්‌ටු, ඇසට්‍රො විකට්‌ටු, ලණු පැදුරු(මැටින්), සහ පුහුණුකරුවකුත් ලබාදීමට කටයුතු යොදලා තියෙනවා. අපි මේ හැම දෙයක්‌ම කරන්නේ ඇයි...? මෙතන තමයි සාර්ථකව තියෙන්න ඕන. පාසල් ක්‍රිකට්‌ තමයි අපේ ක්‍රිකට්‌ වල තිඹිරි ගෙය. මෙතන තමයි මූලාරම්භය. මෙතන හරියට තිබුණොත් තමයි අපිට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. ඒත් එක්‌කම ජාතික කණ්‌ඩායමට මෙන්ම පාසල් ක්‍රිකට්‌ වලටත් තේරීම් කමිටුවක්‌ මේ වන විට පත් කරල තියෙනවා. එම නිසා කිසිම ක්‍රීඩකයකුට අසාධාරණයක්‌ සිදු වෙන්නේ නැහැ. ක්‍රීඩකයකු දක්‍ෂතා දක්‌වලා තියෙනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම ලැබිය යුතු ස්‌ථානය ලබාගැනීමට මෙමගින් හැකිවෙනවා.

ප්‍රශ්නය(- මේ හැම දෙයක්‌ම දීලා තියෙනව නම් ප්‍රතිඵලත් හොඳ වෙන්න ඕන නේද...?

පිළිතුර(- අනිවාර්යයෙන්ම. දැනටමත් ඒවාගේ ප්‍රතිලාභ අපි අත්විඳිනවනේ. දැන් බලන්න පසුගියදා නිමාවුණු යොවුන් ලෝක කුසලාන තරගාවලිය. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන දස්‌කම් දැක්‌වූවා. එහිදී අපි සිව්වැනි ස්‌ථානයට පත්වුණා. හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු පුහුණු කරන, පසුගිය වර ශූරතාව දිනූ ඉන්දියාවටවත් එතනට එන්න බැරිවුණා. ඉතිං මේ නරක ප්‍රතිඵලද...?

ප්‍රශ්නය(- ඔබ කියන විදියට වත්මන් පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩාවට කිසිදු අඩුපාඩුවක්‌ නැද්ද...?

පිළිතුර(- ඇයි නැත්තෙ. තියෙන ලොකුම අඩුපාඩුව තමයි ක්‍රිඩාංගණ පිළිබඳ ප්‍රශ්නය. අඩුම තරමේ දිස්‌ත්‍රික්‌කයකට හොඳ තත්ත්වයේ තියෙන එක ක්‍රිඩාංගණයක්‌වත් තියෙනවා නම් මේ අඩුපාඩුව ටිකක්‌ දුර අඩුවෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ පැත්ත පිළිබඳවත් අවධානය යොමු කරන්න. දැනටමත් ඒ පිළිබඳ වැඩ කටයුතු කෙරී ගෙන යනවා. කොහොම හරි එක්‌ දිස්‌ත්‍රික්‌කයකට එක්‌ ක්‍රීඩාංගණයක්‌ ඉදිකිරීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මගේ එකම සිහිනයත් පාසල් කිකට්‌ වෙනුවෙන්ම එක්‌ ක්‍රීඩාංගණයක්‌ ඉදිකරන එකයි.

ප්‍රශ්නය(- ඔබේ ඒ සිහිනය සැබෑවක්‌ වෙයිද...?

පිළිතුර ( එක එක අය බලයට තන්හාවේ යම් යම් දේ කිව්වට ඒ අය දන්නවා ඩී. එස්‌. කියන්නේ කවුද කියලා. එයාලා දන්නවා ඩී. එස්‌. කිව්වොත් දෙයක්‌ කරනවාමය කියලා. මම වචනයක්‌ දුන්නොත් දුන්නම තමයි. කරන්න පුලුවන් නම් පුලුවන් කියනවා. බැරි නම් බෑ කියනවා. මේක මට කරන්න පුලුවන් නිසා මම මේක කරනවා. මම මුලින් කිව්වා වගේ ජනාධිපතිතුමා මා ගැන විශ්වාස කරලා පාසල් ක්‍රිකට්‌ භාර දුන්නා. ඒක හරියට කරපු නිසා මට ක්‍රිකට්‌ වල තියෙන ඉහළම තනතුරත් ලබා දුන්නා. එතුමා මා ගැන තිබූ විශ්වාසය තව තවත් වැඩි කරනවා හැරෙන්නට ඒක බිඳීමට මම කිසි විටෙකත් කටයුතු කරන්නේ නැහැ.

සාකච්ඡා කළේ - චමිල කරවිට

 
Powered By -