යුද්ධයෙන් විනාශ වුණු ඕලූමඩු උරුමය

ත්‍රස්‌තවාදීන් ගල් කණුවලින් බඳින ලද ලිප් ඕලුමඩු පූජා භූමියේ ගල් කණුවක්‌

කොටි ත්‍රස්‌තවාදීන් ප්‍රතිමාවට වෙඩි තබා ඇති අයුරු හා අත් කඩාබිඳ දමා ඇති අයුරු

ඕලුමඩු ප්‍රදේශය ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් වේ. ඒ රජදවස එය බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ බැවිනි. මෙහි වාස්‌තු නිර්මාණ හා අනෙකුත් කලා කෘතිවල නටබුන් මේ වන විටත් දැකිය හැකි අතර ඒවා අනුරාධපුර යුගයේ කරන ලද නිර්මාණයන් ලෙස සැලකේ. සිංහල බෞද්ධයන් හෝ ද්‍රවිඩ බෞද්ධයන් විසින් රජතුමාගේ අවවාද අනුශාසනා මත ශාසනයේ අභිවෘද්ධිය පිණිස බෞද්ධ කලා නිර්මාණ කිහිපයකින් සමන්විතව මෙම සිද්ධස්‌ථානය ඉදිකොට ඇත.

දකුණු ඉන්දීය ආක්‍රමණ හා බටහිර ජාතීන්ගේ යටත් විජිත පාලන සමයේදී ශ්‍රී ලංකාවේ ඉතා වටිනා කලා නිර්මාණ බොහෝ විනාශ විය. ඉන්පසු එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් විසින් දශක ගණනාවක්‌ තිස්‌සේ කරන යුද්ධය නිසා ද ලාංකික උරුමයන් විනාශ විය. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ඇති උරුමයන් මෙන්ම ත්‍රස්‌තවාදීන් ඉන් නොනැවතී දළදා මාලිගාව, ජයශ්‍රී මා බෝධිය ආදී අතිපූජනීය දකුණේ සිද්ධස්‌ථානවලට පවා පහර දුන්හ. මේ යුද්ධය නිසා විනාශයට පත් වූ ඓතිහාසික වැදගත් ස්‌ථාන අතර ඕලුමඩුහි පුරාවස්‌තු පිළිබඳව මෙසේ අනාවරණය කෙරේ.

ගලින් නිර්මාණය කරන ලද බුදුපිළිමයක්‌, ස්‌ථූපයක්‌ සේ සැලකිය හැකි ස්‌ථානයක්‌ සහ ගල් කණුවලින් කරන ලද වාස්‌තු නිර්මාණයක්‌ ද ප්‍රධාන වශයෙන් දක්‌නට හැකි මෙම පූජා භූමිය ශ්‍රී ලංකා යුද හමුදාව අතට පත්කරගන්නා විට ත්‍රස්‌තවාදීන්ගේ කඳවුරකි.

ඉතා සුන්දර නිස්‌කලංක සුන්දර වනපෙතක පිහිටා ඇති ඕලුමඩු සිද්ධස්‌ථානය බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාට බවුන් වඩන්නට ස්‌වභාවධර්මය විසින් සකසා දෙනු ලැබූ ආරාමයකි. එම ආරාම භූමියේ නැගෙනහිරට වන්නට ගලා බස්‌නා කුඩා දියඇළ භික්‍ෂූන්වහන්සේලාගේ පවස නිවන්නට එකම විදිහට ගලාගෙන ගියේ වනයේ අලි ඇතුන් ඇතුළු අනෙකුත් සතුන්ගේ ද පිපාසය සන්සිඳුවමිනි. මුලතිව් පරිපාලන දිස්‌ත්‍රික්‌කය තුළ ඕලුමඩු පෞරාණික ස්‌ථානය පිහිටා තිබේ. මුලතිව් යන නම ඇසූ පමණින් සිහියට නැඟෙන්නේ දරුණු කොටි ත්‍රස්‌තවාදීන්ය. අනෙක්‌ අතට මහා ඝන වනාන්තරයකි. එහෙත් මෙවැනි අපූරු කලා නිර්මාණ වනයේ දක්‌නට ලැබීම අශ්චර්යජනකය. නමුත් එය විශ්මිත වන්නට කාරණාවක්‌ ද නොවේ. මන්ද බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සහ වනය අතර ඇත්තේ කිසිදා නොබිඳෙන සබඳතාවකි. ඈත අතීතයේදී (ඉන්දියාවේ) බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා වනයේ ගල්ලෙන්වල භාවනා කරද්දී විවේක අවස්‌ථාවල තමා සිටින ගල්ලෙන් බිතුසිතුවම් ආදී කලා නිර්මාණයන්ගෙන් අලංකාර කළහ. ඒ ආකාරයෙන් ඇරඹෙන බෞද්ධ කලාව පසු කාලයේදී කලුගල්වලට ජීවය දෙමින් බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා සේ පෙනෙන අයුරින් විශිෂ්ට ප්‍රතිමාවන්ගෙන් ද ඡේතවන ස්‌ථූපය වැනි ලොව මවිත කළ අහස සිඹින දාගැබ් ආදියෙන් ද ලක්‌දෙරණ පෝෂණය විය. එසේම මේ අයුරින් සමස්‌ත පොදු ආසියාතික කලා නිර්මාණවලට බෞද්ධ ආභාසය ලැබී ඇත.

අනුරාධපුර, පොළොන්නරුව ආදී අගනගරවල පමණක්‌ නොව යාපනය, මුලතිව්, කිල්නොච්චි, මන්නාරම, වවුනියා ආදී සෙසු ප්‍රදේශවල ද ඊට සමගාමීව ශිෂ්ඨාචාරය ව්‍යාප්ත වූ අතර ඒ සමඟම බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය ද සිදුවිය. මුළු මහත් දිවයින පුරාම එම සංස්‌කෘතික ආභාසය අනුව හැඩගැසී ඇති අයුරු දැකිය හැකි අතර මෙම ඕලුමඩු පෞරාණික ස්‌ථානය ද එම ක්‍රියාවලියේම එක්‌ පරිච්ඡේදයක්‌ වේ.

මාන්කුලම් සිට මුලතිව් දක්‌වා දිවෙන ඒ 34 ප්‍රධාන මාර්ගයේ කි.මී. 9 ක්‌ දුරකින් කරුපඩ්ඩමුරිප්පු හතරමං හන්දිය හමුවේ. කරුපඩ්ඩමුරිප්පු සිට අම්පකාමම් දක්‌වා ඇති අප්‍රධාන මාර්ගයේ (පරණ නුවර පාර) දිගේ කි.මී. 3 ක්‌ පැමිණ නැගෙනහිsරින් ඇති තේක්‌ක වගාව මැදින් වැටී ඇති සෙසු මාවතේ කි.මී. 3 ක්‌ පැමිණි පසු ඕලුමඩු පෞරාණික ස්‌ථානයට ළඟාවිය හැකිය.

ශ්‍රී ලංකාවට සිරිමහ බෝධිය වැඩමකර වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු 18 කුලයක පිරිස ගොඩබටුයේ ජම්බුකෝලපට්‌ටන වෙතය. එතැන් සිට හුනුගම, කදුරුගොඩ, අඹගමුව, ඕමන්ත හරහා අනුරාධපුරයට ශ්‍රී මහා බෝධිය වැඩමකරවන ලදී. අතීතයේ හුණුගම වර්තමානයේ වුන්නාගම් වේ. එදා කදුරුගොඩ අද කන්දරෝඩෙයි ලෙස ද, අඹගමුව අම්පකාමම් ලෙස ද දමිළ භාෂාවට පරිවර්තනය වී තිබේ. මේ ගමන් මාර්ගයට සමගාමීව ඓතිහාසික සිද්ධස්‌ථාන රාශියක්‌ ගොඩනැඟී ඇත. ඒ අතරින් වැදගත් එක්‌ ඓතිහාසික සිද්ධස්‌ථානයක්‌ ලෙස ඕලුමඩු පූජා භූමිය හැඳින්විය හැකි අතර මෙය විවිධ හේතු සාධක නිසා විනාශ වී ඇත.

අතිවිශාල පලු, වීර, දං, කුඹුක්‌ ආදී ගස්‌වලින් ද අනෙකුත් තුරුලතාවලින් ද පරිසරයට සෞම්‍ය සිසිලසක්‌ ගෙන දෙන අතර මුවන්, ගෝනුන්, වඳුරන් ආදීන් ඒ ආශ්වාදය නොමඳව විඳින අයුරු චමත්කාරජනකය.

ඓතිහාසික වැදගත් ස්‌ථානයක්‌ වන මෙම භූමියෙහි තිබෙන බුදුපිළිමය, ගල්කණු හා ස්‌ථූපයක්‌ සේ සැලකෙන නිර්මාණයත් දෙස වෙන් වෙන්ව නිරීක්‍ෂණය කිරීමෙන් මෙහි මනරම් ඓතිහාසික සිද්ධස්‌ථානයක්‌ තිබූ බැව් ප්‍රත්‍යක්‍ෂ වේ.

මෙහි බුදුපිළිමය ගලින් නිමකොට ඇති අතර එය උසින් අඩි 6 කි. හිසට පපුවට කොටි ත්‍රස්‌තවාදීන් වෙඩි තබා ඇත. මුහුණේ වම් පැත්ත ද, දෙඅත් ද කඩා ඇත.

මෙම පිළිමය විනාශ කර ඇති අයුරු දුටු විගස හද කම්පා කරවයි. බෞද්ධයකු පමණක්‌ නොව අන්‍ය ආගමිකයකු වුවද මෙවැනි සාපරාධී ක්‍රියා කරන කොටි ත්‍රස්‌තවාදියාට හැකි ඉක්‌මණින් දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු නො අනුමානය. එහෙත් පුදුමය නම් කිසි දෙයක්‌ සිදු නොවී ඇති ලෙසක්‌ පෙන්වන බුදු පිළිම වහන්සේ ඉතිරි වී තිබෙන තම එක ඇසින් ඉතාම ශාන්ත ලෙස ඒ අසලින් ගලා බස්‌නා දිය දහර දෙස බලාගෙන සිටීමයි.

බුදුපිළිමයට මීටර් 150 ක්‌ පමණ බටහිරට වන්නට ගල් කණුවලින් නිර්මාණය කරන ලද කලා කෘතියක්‌ තිබී ඇති අතර මේ වන විට එහි ගල්කණු පමණක්‌ ඉතිරි වී තිබේ. එම ගල් කණුවලින් ඇතැම් ඒවා කඩා බිඳ කොටස්‌වලට වෙන්කර පොළොවට පෙරළා ඇත. නමුත් උස අඩි 7 කින් යුත් සිටුවන ලද ගල් කණු දෙකක්‌ ද උස අඩි 3 කින් යුත් ගල් කණු හතක්‌ ද ශේෂ වී ඇති අතර දිගින් අඩි 5 ගල් කණු හයක්‌ ද අඩි 7 ගල් කණු එකක්‌ ද පොළව මතුපිට දක්‌නට ලැබේ. එසේ ද වුවත් ගල් කණු සමඟ තවත් කලා නිර්මාණයක්‌ පසින් වැසී ඇත්දැයි සැකය. ත්‍රස්‌තවාදීන් විසින් මෙම ගල් කණු භාවිත කොට විශාල ලිප් බැඳ ඇති අතර තවත් ගල් කණු කොටස්‌ භූගත බංකර් ආවරණය කරීම සඳහා යොදාගෙන ඇත.

බුදුපිළිමය හා ගල් කණු අතර අඩි 130 ක්‌ පමණ වට ප්‍රමාණයකින් යුත් කුඩා ස්‌ථූපයක්‌ සේ සැලකිය හැකි කලා නිර්මාණයක්‌ ඇත. එහි තුන් පැත්තකින් දාගැබ මධ්‍යයට වන්නට හාරා පස්‌ ගඩොල් ආදිය ඉවත් කොට ත්‍රස්‌තවාදීන් ආරක්‍ෂිත බංකර් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇත.

මෙම පෞරාණික නටබුන්වලින් පැරණි රජ දවස සිටම ඕලුමඩු ප්‍රදේශයේ බෞද්ධයන් සිටි බැව් සනාථ වේ. කොටි ත්‍රස්‌තවාදීහු මනුෂ්‍ය ඝාතනයට සමාන්තරව බෞද්ධ කලා නිර්මාණ ද සුණු විසුණු කළහ. කාලිංග මාඝ පොළොන්නරුව වනසා බෞද්ධ පොත්පත්, සාහිත්‍ය ග්‍රන්ථ පුස්‌කොලපත් ගිනි තබා වෙහෙර විහාර පොළොවට සමතලා කොට ඇති තරම් සාහසික ක්‍රියාවල යෙදුණේය. ඔහු අපේ ජාතිය හා ආගම දෙකම හරි හරියට විනාශ කළේය. ප්‍රභාකරන් ද අනුගමනය කළේ ඊට සමාන ක්‍රියාදාමයකි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල නිජබිම සංකල්පය සඳහා ඇති සියලුම සාක්‍ෂි මුලිනුපුටා දැමීමට ඔහුට අවශ්‍ය විය. බෞද්ධයන්ගේ ප්‍රතිමා කලාව, විශිෂ්ට වාස්‌තු විද්‍යාත්මක නිර්මාණ, වර්තමාන ඉංජිනේරුවන් පවා මවිත කරවන ශ්‍රී ලාංකිකයන්ගේ සාම්ප්‍රදායික වාරි තාක්‍ෂණය මේ ආදී බොහෝ දේට ඔහු වෛර කළේය. ඒවා විනාශ කිරීම සඳහා හැකි සෑම උපක්‍රමයක්‌ම ගන්නා ලදී.

පැරණි රජ දවස සිටම රුහුණු පිහිටි මායා තුන් රටේම ශ්‍රී ලාංකිකයන්ගේ බෞද්ධ කලා කෞශල්‍යය නොඅඩුව ව්‍යාප්ත වී තිබුණු බැව් පෙනේ. එහෙත් මේ වන විට ඉන් බොහොමයක්‌ යුද්ධය නිසා විනාශ වී ඇති අතර උතුරු නැගෙනහිර ප්‍රදේශයේ තව ඉතිරිව ඇත්තේ ස්‌වල්පයකි. එම පළාතේ තිබූ බෞද්ධ වෙහෙර විහාර වෙනුවට දේවාල, කෝවිල්, පල්ලි විශාල සංඛ්‍යාවක්‌ දක්‌නට හැකි වේ. එබැවින් මෙම ප්‍රදේශයේ මේ වන විට විශේෂ වී පවතින බෞද්ධ කලා නිර්මාණවල වටිනාකම මෙපමණකැයි කියා නිම කළ නොහැක. අතීතයේ සිටම රටදැය සමය ත්‍රස්‌තවාදීන්ගෙන් බේරාගැනීම සඳහා හමුදාව තම දිවි දෙවැනි කොට කැපවී ඇති අයුරින්ම වත්මන් හමුදාවෝ ද දැඩි කැපවීමෙන් යුතුව ඒ සඳහා ක්‍රියා කළේ අපේ මුතුන් මිත්තන්ගේ යුද උපක්‍රමාදිය ද සිහියට නංවාගෙනය. ප්‍රභාකරන් විනාශ කළේ ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී විභූතියයි. ලාංකිකයන්ගේ අනන්‍යතාවයි. එනම් ලාංකිකයන්ගේ උරුමයයි. මේ වන විට ශේෂ වී පවත්නා ස්‌වල්පයක්‌ වූ උරුම හෝ වහා සංරක්‍ෂණය කළ යුතු වේ. අපේ පැරණි උරුම අනාගත පරපුරට දායාද කිරීම අපගේ යුතුකමකි.

කපිතාන් සරත් ජයවර්ධන
28, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලඇණිය
යුද හමුදා කඳවුර, අම්පකාමම්, මුලතිව්.


 

 

 
Powered By -


        උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
          223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.