සදාචාර වේල්ලේ හිල් සෑදීමේ කතාව

ඊයේ දිවයිනේ සිව්දෙස අතිරේකයේ ඊයේ (12) 22 වැනි පිටුවේ පළ වී ඇති පුවතක්‌ කෙරෙහි අවධානය යොමු කරමුá සති අන්තයේ පැයකදී තරුණියන් 37 දෙනකු පමණ කුරුණෑගලදී අපයෝජනයට ලක්‌වන බව එම පුවත හෙළි කරයි. කුරුණෑගල යනු මේ රටේ ප්‍රමුඛතම ටියුෂන් කර්මාන්ත පුරයකි. නුවර, ගම්පහ, ගාල්ල යන ටියුෂන් කර්මාන්තපුරවලට වඩා විශාල ටියුෂන් පුරයක්‌ වන කුරුණෑගල පිළිබඳ ඉහත සඳහන් පුවත හෙළිකර ඇත්තේ පොලිස්‌ කාන්තා හා ළමාරක්‍ෂක කාර්යාංශයේ ස්‌ථානාධිපති තුමියයි.

නුවර, ගාල්ල, ගම්පහ යන ප්‍රදේශවල තත්ත්වය ද මෙයම බව එතුමියට කියමු. එපමණක්‌ ද? නුගේගොඩ හා තදාසන්න ප්‍රදේශවල තත්ත්වයත් මෙයම ය. එහෙත් නුගේගොඩ යම්කිසි වෙනසක්‌ තිබේ. නුගේගොඩ ලැගු=ම්හල් ඒ හැටි නැත. ඒ නිසා නුගේගොඩදී එකතු වන තරුණ තරුණියෝ හයිලෙවල් පාරේ හා අතුරු පාරවල ඇති ලැඟුම්හල් සොයාගෙන යති. එහෙත් කුරුණෑගල, ගම්පහ, ගාල්ල යන ප්‍රදේශවල තරුණ ජෝඩුවලට එවැනි කරදරයක්‌ නැත. අතට හසුවන මානයේ හැම තැනකම ඉතා අඩු මිලට ලැගුම්හල් තිබේ. නුවර ද ලැගුම්හල් නැත. තරුණ වයසේ හැටි ඔහොම තමයි යනුවෙන් කියමින් මෙම ප්‍රශ්නයෙන් ගැලවිය හැකි ද? නැත.

නූතන සමාජයේ ප්‍රේමය වෙනස්‌ මුහුණුවරක්‌ ගෙන තිබේ. මෙයට පෙර පරම්පරාව ආදරය කරන ලද්දේ සාම්ප්‍රදායික ලෙස ය. පෙම් ලිපියක්‌ හුවමාරු කර ගැනීම, පෙම් යුවළක්‌ චිත්‍රපටයක්‌ හෝ නාට්‍යයක්‌ නැරැඹීමට යැම. ඒ යුවළ තම වැඩිහිටියකු දුටුවේ නම් කකුල් වෙවුලන්නට පටන් ගැනීම යනාදිය ඒ කාලයේ ප්‍රේමයේ ක්‍රියාන්විත මෙහෙයුම්වලට සීමාවී තිබිණ. ඊටත් පෙර පරම්පරාව මල් වට්‌ටි වෙන්දේසියක දී හෝ උත්සව අවස්‌ථාවක දී ප්‍රේමාන්විත බැල්මක්‌ හුවමාරු කර ගැනීමෙන් තමන්ට අවශ්‍ය වේදිකාව සකසා ගත්හ. අද වන විට තරුණියක හා මිතුරු වන තරුණයා ඊළඟ දවසේ දී ඇයට හෝටල් කාමරයකට යන්නට කතා කරයි. තරුණිය එසේ නොගියොත් තරුණයා ප්‍රේමය අවසන් කරයි. තරුණිය එසේ ගියොත් බොහෝ විට ඇගේ කන්‍යාභාවය අවසන් ය. මේ පාරිභෝගික සමාජය තුළ සදාචාරය සහ හර පද්ධතීන් තවදුරටත් වලංගු නැත. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට පිරිහෙමින් අවුත් අද වන විට "සදාචාරය කන්නද" යන තත්ත්වයට පත්ව ඇත. ඇත්ත තමයි..... සදාචාරය කුසට ආහාරයක්‌ නොවේ. එය ආහාරයක්‌ වන්නේ මනසට ය.

මේ රටේ අධ්‍යාපන ක්‍රමය හැඩ ගැසී ඇති ආකාරයට උපකාරක පන්ති නැවැත්විය නො හැක. ටියුෂන් කඩ යනාදී වශයෙන් බොහෝ දෙනා උපකාරක පන්තිවලට අපහාස කළ ද මේවා නැතොත් මේ රටේ ළමයින්ගෙන් 75% ක්‌ ම විභාග අසමත් වන බව ස්‌ථිර ය. දෙමාපියන්ගේ අපේක්‍ෂාව තම දරුවා ඉහළින්ම සමත් වීම ය. ගුරුවරුන්ගේ අපේක්‍ෂාවත් එයමයි. එහෙත් ටියුෂන් පන්ති රට පුරා ඇති බැවින් ද රටේ ළමයින්ගෙන් 80% කටත් වඩා ටියුෂන් පන්තිවලට යන බැවින් ද තමන්ට ඉගැන්වීමට තරම් දෙයක්‌ ඉතිරි නො වන බවට සැනසෙන ඇතැම් ගුරුවරු තම පාඩුවේ වැඩක්‌ පළක්‌ කරගෙන සිටිති.

පාසලේ ගුරුවරුන් උගන්වන්නේ නැති නිසා ළමයින්ට උසස්‌ ප්‍රතිඵල අත්කර දීමේ වගකීම ටියුෂන් ගුරුවරුන් මත පැවරී තිබේ. මෙය අෙන්‍යාන්‍ය තත්ත්වයකි. 1970 ගණන්වල මුලදී ඉතා සරළ තත්ත්වයකින් පටන්ගත් මේ ප්‍රශ්නය අද වන විට බෝම්බයක්‌ බවට පත් වී පුපුරා හැළෙමින් පවතී. අද මේ රටේ හොඳ විභාග ප්‍රතිඵල පෙන්වන සිසු සිසුවියන්ගෙන් වැඩිදෙනා පසුපස ටියුෂන් ගුරුවරුන් සිටින බව අප කියන්නේ මේ රටේ උත්තම පාසල් ගුරු පරම්පරාවට අපහාස කිරීමට නොව ඔවුන් ද දන්නා සැබෑ තත්ත්වය සටහන් කිරීම අපගේ වගකීම වන නිසා ය. මේ පාරිභෝගික සමාජය තුළ සෑම හොඳ දෙයක්‌ මෙන්ම සෑම නරක දෙයක්‌ ම ද සිදුවීමට ඉඩ තිබේ.

රෝගීව පණ අදින සිය පියා බැලීමට එංගලන්තයෙන් එන පුතා, පියා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඊළඟ ගුවන් යානයේ නැඟී එංගලන්තයට ම යයි. පුතාගේ ගුවන් යානය ලන්ඩනයට කිට්‌ටු වන විට පියා ලංකාවේ දී මිය යන අතර ඔහුගේ අවසන් කටයුතු කර ගැනීමට හා අය විය යුතු බිල් සල්ලි ලබා ගැනීමට නො හැකිව පෞද්ගලික රෝහල සකල අමාරුවක වැටෙයි. මේ තත්ත්වය තුළ කුරුණෑගල සිද්ධිය සිංහල සදාචාරය නමැති වේල්ලේ කුඩා සිදුරක්‌ පමණි. ඉදිරියේදී මේ වේල්ල කැඩී විනාශ වනවා ඇත.

 

 

 
Powered By -


 උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.