"කොමිස්‌ ගුල්ලෝ" බෙහෙත් කුප්පියටත් රිංගති

ඒමන්ති මාරඹේ

පිළිකා ඇතුළු රෝග තත්ත්වයන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මෙම දිනවල රජයේ රෝහල්වල හිඟව පවතී. මෙම බෙහෙත් හිඟයට මුදල් ප්‍රතිපාදනවල පවතින හිඟකම බලපා ඇති බවට වාර්තා වුවද එසේ මුදල් හිඟයක්‌ නිර්මාණය වී ඇත්තේ බෙහෙත් මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන විශාල වශයෙන් අනවශ්‍ය බෙහෙත් වර්ග මිලදී ගැනීම සඳහා වැයකිරීම නිසා බවට දැන් තොරතුරු අනාවරණය වී තිබේ.

මෙය සත්‍ය වශයෙන්ම මහත් වූ ජාතික අපරාධයකි. මෙරට දශක ගණනාවක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වන නිදහස්‌ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ගසා කෑමකි. මෙම තත්ත්වයෙන් අද වඩාත් අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ දුප්පත් අසරණ රෝගීන්ය.

රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්‌ මතුවූ විට එම බෙහෙත් වර්ග මුදල් වැය කර පිටතින් මිලදී ගැනීමට සිදුවනුයේ දුප්පත් අසරණ රෝගීන්ටය. ඇතැම් විට පවතින ආර්ථික ක්‍රමය යටතේ ආහාර වේලක්‌ සඳහා වෙන් කර ඇති මුදල් මෙසේ තම බෙහෙත් වෙනුවෙන් වැය කිරීමට එම රෝගීන්ට සිදුවේ.

මෙවැනි තත්ත්වයකට රෝගීන් මුහුණ පා ඇත්තේ උගත් බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා නම් එය බලවත් වරදකි. මෙය සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමට තරම් වූ දුර දිග ගිය තත්ත්වයකි.

රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මොනවාදැයි රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් හොඳින් දැන සිටින බව නොකිවමනාය. එවැනි තත්ත්වයක්‌ යටතේ අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ප්‍රමුඛත්වය නොදී විශාල වශයෙන් අනවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට ක්‍රියා කර ඇත්තේ කාගේ වුවමනාවටදැයි සොයාබැලිය යුතුව ඇත.

විශේෂයෙන්ම රජයේ රෝහල්වල ඉතාමත් කලාතුරකින් භාවිත කරන වීදුරු සිරින්ජර් සඳහා භාවිත කරන "හයිපොඩමික්‌" එන්නත් කටු විශාල මුදලක්‌ වැය කරමින් ලක්‍ෂ ගණනින් ගෙනැවිත් ඇත්තේ කාගේ වුවමනාවට දැයි සොයාබැලිය යුතුය. වාර්තා වන අන්දමට මෙම එන්නත් කටු හැත්තෑලක්‍ෂ අසූ දෙදහස්‌ තුන්සියයක්‌ මේ වන විට වෛද්‍ය සැපැයීම් අංශ ගබඩාවල තැන්පත් කර තිබේ. වසරක කාලයක්‌ සඳහා බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සාමාන්‍ය සම්ප්‍රදායය වුවද මෙම එන්නත් කටු ගෙන්වා ඇත්තේ වසර තුනත් පහත් අතර කාලයක්‌ සඳහාය.

මෙසේ අධික වශයෙන් සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩි ප්‍රමාණයක්‌ අනවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය ගෙන්වීමෙන් අත්‍යවශ්‍ය බෙහෙත් මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන හිඟවීම පමණක්‌ නොව එම අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ගබඩාකර තැබීමේ ඉඩකඩ ඇහිරී යැමද සිදු වේ.

තවත් එම එන්නත් කටු හතළිස්‌ තුන් ලක්‍ෂයක පමණ තොගයක්‌ වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීමේ අරමුණින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථා ගබඩාවල තැන්පත් කර ඇති බවට වාර්තාවී තිබීම මෙම තත්ත්වය තවත් වර්ධනය කරන්නකි.

මෙසේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල හිඟයක්‌ පවතින වාතාවරණයක්‌ තුළ අනවශ්‍ය බෙහෙත් වසර තුනත් පහත් අතර කාලයක්‌ සඳහා එකවර මිලදී ගැනීමේ අරමුණු පැහැදිලි නැතත් එමගින් විශාල මුදල් නාස්‌තියක්‌ මෙන්ම මෙම බෙහෙත් මිලදී ගැනීමේ ක්‍රිsයාවලියට සම්බන්ධ වන ඇතැම් නිලධාරීන් විශාල වශයෙන් කොමිස්‌ මුදල් ඉපයීම හා බෙහෙත් සැපයුම්කරුවන් අධික ලාභ ලැබීම සිදු වේ.

බෙහෙත් වර්ග මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මෙම අනවශ්‍ය බෙහෙත් විශාල වශයෙන් ආනයනය කිරීම හේතුවෙන් විශාල වශයෙන් ප්‍රතිපාදන ක්‍ෂය වෙමින් පවතින බව වාර්තාවේ. මෙම දිනවල මහරගම පිළිකා රෝහලේ පවතින අත්‍යවශ්‍ය බෙහෙත් හා එන්නත් හිඟය මඟහැරවීමට බලධාරීන් අපොහොසත්ව ඇත්තේද මෙම මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙනි.

මෙසේ අධික මුදල් නාස්‌තියක්‌ සිදු වෙමින් පැවැතියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සති තුනකට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මෙරට රජයේ රෝහල්වල හිඟ වෙමින් පවතින අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 98 ක්‌ කඩිනමින් ඉන්දියාවෙන් ගෙන්වීමට කටයුතු කර ගෙන යන බවකි. එම බෙහෙත් වර්ග ඉන්දියාවෙන් සහන මිලකට ලැබෙන්නේදැයි යන්න පැහැදිලි නැතත් එම බෙහෙත් වර්ග මිලදී ගන්නේ නම් ඒ සඳහාද පවතින ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව දැන් පැහැදිලිය.

මෙසේ රට තුළට අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ගෙන්වීමේ ඉඩකඩ ඇහිරෙමින් පැවතියදී එකිනෙකාට චෝදනා කරමින්a නොසිට සෞඛ්‍ය බලධාරීන් විසින් කළ යුතුව ඇත්තේ බෙහෙත් මිලදී ගැනීමේදී සිදුවන දූෂණ හා වංචාවන් නැති කර නියමිත පටිපාටියට අනුව ගුණාත්මක බවින් උසස්‌ බෙහෙත් වර්ග රජයේ රෝහල් සඳහා මිලදී ගැනීමට ක්‍රියා කිරීමයි. එමෙන්ම අනවශ්‍ය බෙහෙත් වර්ග දිගින් දිගටම මෙරටට ගෙන්වීමට ක්‍රියා කරමින් මහජන මුදල් නාස්‌ති කිරීමෙහි යෙදෙන නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දීමද අනිවාර්යයෙන් සිදුකළ යුතුව ඇත.

වරක්‌ සෞඛ්‍ය ඇමැතිවරයා පවසා සිටියේ මෙරටට ගෙන්වා තිබූ ගුණාත්මක බවින් අඩු හා කල් ඉකුත්වූ බෙහෙත් වර්ග සඳහා වැය කළ මුදල ඒවා සැපැයූ සමාගම්වලින් අය කිරීමට කටයුතු කර නැත්නම් එම මුදල රාජ්‍ය ඖෂධ සංස්‌ථා නිලධාරීන්ගේ වැටුපෙන් කපා ගැනීමට කටයුතු කරන බවයි. එම ක්‍රියාව සිදු කිරීමේ කාලය එළැඹ ඇති බව අප විශ්වාස කරමු.

එමෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි පරිහරණය කරන්නේද? යන්න පිළිබඳ සොයා බැලීමේ මෙහෙයුමක්‌ද ක්‍රියාත්මක කළ යුතුව තිබේ. මේ සඳහා අපට බටහිර රටවලින් ඕනෑතරම් ආදර්ශයන් ගත හැකිය. එම රටවල සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය වංචා හා දූෂණ අවම කර ඇති ආකාරය, බෙහෙත් වර්ග ගෙන්වීමේ පටිපාටිය රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබඳව අධ්‍යයනය කර අප රටට ගැලපෙන සේවාවන් ආදේශ කර ගත යුතුය.

මෙම කුමන කාර්යයක්‌ සිදු කළද අප රටේ බෙහෙත් මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතාවන් නැති නොකර පවතින තත්ත්වයට පිළියම් යෙදිය නොහැකි බව නම් කිව යුතුය.

 
Powered By -