ජෙනරාල් යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්න බෑ
තර්ක කිරීමට නීතිඥ පිරිසක්‌ 16 දා යුද්ධාධිකරණයට යති


අජිත් අලහකෝන්

හමුදා නීතියට අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ තර්ක කිරීමට ෆොන්සේකා මහතාගේ නීතිඥ කණ්‌ඩායමක්‌ 16 වැනිදා යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මෙරට අධිකරණ ක්‍ෂේත්‍රයේ හිටපු ප්‍රධානියකුගේ උපදෙස්‌ මත ෆොන්සේකා මහතා වෙනුවෙන් යුද්ධ අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥ කණ්‌ඩායම ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයකුගෙන් සමන්විත බව ද හෙතෙම කීය.

යුද අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැක්‌කේ හමුදාපතිවරයා හැර සෙසු නිලයන් පමණක්‌ බව හමුදා පනත විශ්ලේෂණය කරන නීතිවේදීන් පවසන බවත් එම නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී කළ කිසිදු ක්‍රියාවකට එරෙහිව ඔහුට යුද අධිකරණය හමුවට ඉදිරිපත් කළ නොහැකි බවත් ඊයේ (12 දා) ජනතා විමුක්‌ති පෙරමුණේ පැලවත්ත මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම පැවැසීය.

හමුදාපතිවරයා පත්කරනුයේ ජනාධිපතිවරයා බැවින් ඕනෑම අවස්‌ථාවක ජනාධිපතිට ඔහු ඉවත් කළ හැකිමුත්, සෙසු පහළ හමුදා සාමාජිකයන් වරදක්‌ කළහොත් එකවර ඔහු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට නොමැති නිසා හමුදා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන බව ද කී දිසානායක මහතා හමුදාපති වරදක්‌ කළොත් ක්‍රියාකළ යුතු ආකාරය සෙසු නිලයන්ට වඩා වෙනස්‌ බව ද කීය.

යුද අධිකරණයේ විනිසුරුවන් ලෙස පත්කළ හැක්‌කේ අදාළ චෝදනා ලත් තැනැත්තාගේ නිලයට වඩා ඉහළ නිලයක්‌ ඇති නිලධාරියකු බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තරු හතරේ එකම නිලධාරියා බැවින් ඔහුට ඉහළ වෙනත් නිලයක්‌ නැතැයි ද කීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දරන නිලයට වඩා පහත් නිලයක්‌ යුද අධිකරණ විනිසුරුවන් ලෙස පත්කළ නොහැකි බව කී අනුර කුමාර දිසානායක මහතා මෙම 16 වැනිදා ක්‍රියාත්මක යුද අධිකරණයට ජනාධිපතිවරයා විසින් වර්තමාන හමුදාපතිගේ ඥති සොහොයුරකු ද විනිසුරුවරයකු ලෙස පත්කර ඇතැයි කීය.

 
Powered By -