පොලිස්‌ අධිකාරි චාල්ස්‌ විඡේවර්ධන ඝාතනය
සැකකාර කොටි ප්‍රබලයා 25 දා දක්‌වා රිමාන්ඩ්


සමන්ත ඉලේපෙරුම

යාපනයේ හිටපු පොලිස්‌ අධිකාරී චාල්ස්‌ විඡේවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පරීක්‌ෂණයන්ට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායකයකු වන බාලසිංහම් සුභරාජා නොහොත් පවනීදරන් ලබන 25 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චම්පා ජානකීS රාජරත්න මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වනු ලබන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරිය සැකකරු රක්‌ෂිත බන්ධනාගාර ගත කළාය.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්‌වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව 2005 අගෝස්‌තු මස 04 දා ඉනුවිල්හි යාපනය පොලිස්‌ අධිකාරී චාල්ස්‌ විඡේවර්ධන මහතා පැහැරගෙන ගොස්‌ පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවලදී උඩුවිල් තට්‌ටපුල්ලයාර් කෝවිල් පාරේ පදිංචි ධර්මලිංගම් ප්‍රකාශ නමැති අයගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් ඒ අනුව විඡේවර්ධන මහතා ඝාතනය වූ දින එහි සිදු වූ කැරළිකාරී වාතාවරණයක්‌ මර්දනය කිරීමට ඒ මහතා එහි ගොස්‌ ඇති බවට හෙළි වී ඇති බවත් දන්වා සිටියේය.

එතැනට රැස්‌වූ කොටි සාමාජිකයන් චාල්ස්‌ විඡේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ඒ මහතාගේ නිල ඇඳුම් ගලවා සරමක්‌ අන්දවා වනිපායි කෝවිල පිහිටි ප්‍රදේශයට රැගෙන ගොස්‌ ඇති බව දැන්වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එහි සිටි කොටි සංවිධානයේ ප්‍රාදේශීය නායකයකු වූ ගෝපී නමැත්තා මේ වන විට මියගොස්‌ ඇති බවත් අත්අඩංගුවට ගත් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායකයකු වන බාලසිංහම් සුභරාජා සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කරන බවත් පැවසුවේය.

රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරු රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ ඉදිරියේදී වැඩිදුර වාර්තා ගොනු කරන බව කියා සිටියේය.

 
Powered By -