|
|
|
|

බෑන්කී මූන් ශ්‍රී
ලංකාවට කණ්‌ඩායමක්
එවන්න හදන්නේ ජනපති සමඟ අත්සන් කළ
ලියෑවිල්ලක එකඟතා කඩවීම ගැන
තොරතුරු සොයා බලන්නයි
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
අජිත් අලහකෝන්
බෑන්කී මූන් මහතා මෙරටට කණ්‌ඩායමක් එවන්නේ එක්‌සත්
ජාතීන්ගේ සංවිධානය සමඟ ජනාධිපතිවරයා අත්සන් කළ ලියෑවිල්ලක
එකඟතා කඩ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට බව ජනතා විමුක්‌ති
පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
රටේ ස්‌වෛරීභාවයට හා ඒකීයභාවයට හානිකර විදේශීය
මැදිහත්වීම්වලට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ සටන් කරන බව
ද එහෙත් ඒකාබද්ධ එකඟතා කඩ කර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට
මෙලෙස මැදිහත්වීමේ මාර්ගය විවෘත කළ රජය ඒ සඳහා වගකිව යුතු
බව ද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්‌ති පෙරමුණේ
මූලස්‌ථානයේ ඊයේ (12 වැනිදා) පැවැති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට, ස්‌වාධීන බවට මැදිහත්වෙමින්
රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට යම් විදේශීය රටක්, සංවිධානයක්
හෝ පුද්ගලයෙක් ඇඟිලි ගසනවා නම් ජනතා විමුක්‌ති පෙරමුණ
කොන්දේසි විරහිතව විරෝධය දක්‌වනවා. පසුගිය වකවානුවේදී
බටහිර රටවල්, ඔවුන් මෙහෙයවන ආයතන අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි
ගසද්දී ආණ්‌ඩුව ඒ ගැන දැන ගන්නත් කලින් ජනතාව දැනුවත්
කරමින් විරෝධය දැක්‌වූයේ ජනතා විමුක්‌ති පෙරමුණයි. අදත්
එහෙමයි. ඒ සමගම අමතක කළ යුතු නැහැ අපි එක්‌සත් ජාතීන්ගේ
සංවිධානයේ සාමාජිකයෙක් වන බවත්, අපට ලෝකය අමතක කරන්න
බැහැ.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් මහතා
පසුගිය 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා
නිව්යෝර්ක්‌වල. එහිදී ඔහු පවසන පරිදි අපේ රටේ යුද්දෙන්
පස්‌සේ ආණ්‌ඩුව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අතර ඒකාබද්ධ
ප්‍රකාශයක් අත්සන් කළා. ඒත් ඒ ප්‍රකාශය අනුව ආණ්‌ඩුව වැඩ
කරලා නැහැ. එකඟ වූ ආකාරයට වැඩ නොකළ නිසා ඒ ගැන සොයන්නයි
බෑන් කී මූන් මහතා එක්‌සත් ජාතීන්ගේ කමිටුවක් පත්කර
තිබෙන්නේ.
ආණ්‌ඩුව පළමුව මේ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ ජනතාව දැනුවත්
කළ යුතුයි. ඒත් ඒ ගැන ආණ්‌ඩුව සඳහන් කරන්නේ නැහැ. මේ
ඒකාබද්ධ ප්‍රකාශනය එක් පාර්ශ්වයක් කඩ කළා නම් ඒ ගැන හොයා
බලන්න අනෙක් පාර්ශ්වයට අයිතියක් තියෙනවා. මේ මාධ්‍ය
හමුවේදී බෑන් කී මූන් කියා තිබෙනවා තමන් ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා සමඟ දුරකථනයෙන් කතා කළ බවත් ඒ අවස්‌ථාවේදී
ලියොන් පැස්‌කෝ ලංකාවට එවන්න කියා මහින්ද රාජපක්‍ෂ මහතා
එකඟ වූ බවත්. රාජපක්‍ෂ මහත්තයා ඉංග්‍රීසියෙන් එකඟ වෙලා
සිංහලෙන් දෙහි කපනවා. බෑන් කී මූන් මහතා ප්‍රකාශ කරන
ආකාරයට ලංකාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යුද්දෙන් පසු
අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ කරුණු තුනක් සඳහන් වෙනවා.
පළමුවැන්න තමයි රටේ දේශපාලන සමගියක් නිර්මාණය කිරීම.
විපක්‍ෂය මර්දනය නොකර කටයුතු කිරීම. දෙවැන්න යුද්ධයෙන්
අවතැන් වූවන් පිළිබඳ වගකිවයුතු වැඩ පිළිවෙළක් සැකසීම.
තුන්වැනි කරුණ තමයි රටේ මානව හිමිකම් කඩවීම පිළිබඳ
ආණ්‌ඩුවේ වගකීම. මේවා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කාරණා නිසා
බවයි ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබුවේ කියා එක්‌සත්
ජාතීන්ගේ සංවිධානය පවසනවා. තානාපති කාර්යාල ඉදිරියට ගොස්
බෙරිහන් දෙන ආණ්‌ඩුවේ දේශපාලන ළදරුවෝ මේ ගැන කිසිවක්
කියන්නේ නැහැ. ආණ්‌ඩුවේ චණ්‌ඩිත් නිහඬයි.
ආණ්‌ඩුවට බරපතල ලෙස ජනතාවට කරුණු වසන් කරමින්, ජනතාව නොමඟ
යවමින් සිටිනවා. විදේශයන් සමඟ ඇතිකර ගන්නා එකඟතා වසන්
කරමින් මැතිවරණ වේදිකාවල තමන්ට වාසිදායක ලෙස කතා කරනවා.
බෑන් කී මූන්ගේ ප්‍රකාශය ලොකුවට මතු කරනවා ලංකාව ගැන
පරීක්‍ෂණ කරන්න කමිටුවක් පත් කරනවා කියලා. බෑන් කී මූන්
පත් කරන්නේ පරීක්‍ෂණ කමිටුවක් නොවේ. එකඟතාව කඩකිරීම ගැන
තොරතුරු සොයන කණ්‌ඩායමක්.
පසුගිය දිනවල ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඕ ලංකාවට ආවා.
යාපනයේ ඉන්දීය කොන්සාල් කාර්යාලයක් විවෘත කිරීම ගැන
සාකච්ඡා කළා. යාපනයේ පළමු වරට කොන්සාල් කාර්යාලයක් විවෘත
කරන්නේ ඉන්දියාව. රාඕ මහත්මිය අලුත් ව්‍යවස්‌ථාව ගැනත්
සාකච්ඡා කර තිබෙනවා. අලුත් ව්‍යවස්‌ථාවට අඩංගු විය යුතු දේ
ගැනත් ඇය උපදෙස් දී තිබෙනවා. ඒත් ඒ සාකච්ඡා කළ කරුණු
ආණ්‌ඩුව ජනතාවට හෙළි කරන්නේ නැහැ.
ජී.එස්. පී. සහනය මාස හයකට අත්හිටෙවුවා. අපට ජී. එස්.
පී. ඕන නෑ කියමින් ආණ්‌ඩුවේ ළදරුවෝ කෑ ගසනවා.
දේශවාත්සල්‍යය ඔද වැඩෙන කතා කියනවා. ඒත් ආණ්‌ඩුවේම තවත්
කණ්‌ඩායමක් බ්‍රසල්ස් යනවා ජී. එස්. පී. නැවත ලබා ගැනීම
සඳහා සාකච්ඡා කරන්න. මේ ආණ්‌ඩුවේ ක්‍රියාකලාපයන් එකිනෙකට
පටහැනියි.
මේ ආණ්‌ඩුවට තියෙන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් පිළිවෙතක්.
ජනතාව නොමග යවමින් ආණ්‌ඩුව ද්විත්ව රංගනයක නියෑළී සිටිනවා.
විදේශ මැදිහත්වීම් වලට යට නොවන්න නම් ආණ්‌ඩුව මානව හිමිකම්
රැකිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුයි. සාධාරණ
ඡන්ද පැවැත්විය යුතුයි.
අනුර කුමාර දිසානායක මහතා ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී
අදහස් දැක්‌වීය.
|
|
|
|