ජනපති සහ ඔහුගේ ආණ්‌ඩුව පාසල් දරුවන්ගෙන්
සියයට 30 කගේ අධ්‍යාපනය කඩාකප්පල් කර
නව ගිනස්‌ වාර්තාවක්‌ පිහිටුවලා

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

පියසේන දිසානායක

පාසල් දරුවන්ගේ පොත්පත් සඳහා ලබාදෙන මුදලින් සියයට 35 ක්‌ කප්පාදු කළ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්‌ඩුව පාසල් දරුවන්ගෙන් සියයට 30 කගේ අධ්‍යාපනය කඩාකප්පල් කර නව ගිනස්‌ වාර්තාවක්‌ පිහිටුවා තිබෙන බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පාසල් පෙළ පොත් නොමිලේ ලබාදී වසර 30 ක්‌ සම්පූර්ණ වන මේ මොහොතේ මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ ආණ්‌ඩුව විසින් පාසල් දරුවන් සියයට 30 කගේ අධ්‍යාපනය කඩාකප්පල් කොට ඇති බව හෙතෙම පැවැසීය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස්‌ පළ කළේ පෙරේදා (11 දා) මාතර මොරවකදී පැවැති මාතර දිස්‌ත්‍රික්‌ එජාප සම්මේලනය අමතමිනි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ මේ රටේ පාසල් යන වයසේ දරුවන්ගෙන් සියයට 30 කගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම කඩාකප්පල් වී තිබෙනවා. රාජපක්‍ෂ ආණ්‌ඩුව පාසල් පොත් මුද්‍රණය සඳහා වැය කරන මුදල් සියයට 35 කින් කපා හැර තිබෙනවා. ඒ තත්ත්වය මත පාසල්වල විශාල පොත්පත් හිඟයක්‌ තිබෙනවා. මේ නිසා දරුවන්ගෙන් සියයට 30 කගේ පමණ අධ්‍යාපනය කඩාකප්පල් වී තිබෙනවා.

1977 ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව බාරගන්නා විට රටේ පාසල් දරුවන්ගෙන් 40% කට පමණ පොත්පත් තිබුණේ නැහැ. රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය වැනි උසස්‌ පාසල්වල ළමුන්ට අවශ්‍ය කරන පොත්පත් සියයට සියයක්‌ම තිබුණත් ගම්බද පාසල්වල ළමුන්ගෙන් 60%-65% කට ප්‍රමාණවත් පොත්පත් තිබුණේ නැහැ.

මේ ප්‍රශ්නය විසඳීම සඳහා 1980 වර්ෂයේදී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පාසල් දරුවන්ට නොමිලේ පොත්පත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. එදා සිට පොත්පත්වල ප්‍රශ්නයක්‌ පාසල් දරුවන්ට පැනනැඟුණේ නැහැ. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී ඒ අයට උසස්‌ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවුණා.

පාසල් දරුවන්ට පොත්පත් නොලැබුණ කාලයේදී සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සංඛ්‍යාව පවා අඩු වී තිබුණා. එය කොතෙක්‌ද කියනවා නම් ඇතැම් දරුවන්ගේ අධ්‍යාපනය 7,8 ශ්‍රේණි දක්‌වා සීමා වුණා.

ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පාසල්වලට අවශ්‍ය කරන පොත්පත් සහ අනෙකුත් පහසුකම් විධිමත් ආකාරයට ලබාදීමට එදා මට හැකිවුණා. 1989 දී අධ්‍යාපන ඇමැති ධුරයෙන් මා ඉවත්ව යන විට රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 70% කට වඩා වැඩි පිරිසක්‌ සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය හදාරනු ලැබුවා.

මෙලෙස විධිමත් ආකාරයට අප පොත්පත් සහ අනෙකුත් පහසුකම් පාසල් දරුවන්ට ලබාදුන් නිසා අධ්‍යාපනය හදාරන සිසු දරු පිරිස ඉහළ ගියද, 2009 වසරේ පාසල් පොත්පත් සඳහා රජයෙන් ලබාදිය යුතු මුදල සියයට 35 කින් කප්පාදු කළ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 30 කින් පමණ කඩාකප්පල් වී තිබෙනවා.

1977 වන විට පාසල් යන දරුවන්ගෙන් අධ්‍යාපනය කඩාකප්පල් වූ සංඛ්‍යාව සියයට 40 ක්‌ පමණ වුණා. එය සියයට බින්දුව දක්‌වා අඩුකර ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාලනය තුළ අපට හැකිවුණා. නමුත් අවාසනාවකට මෙන් දැන් අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති සංඛ්‍යාව සියයට 30 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ ආණ්‌ඩුව අධ්‍යාපන කප්පාදුවෙන් මේ අනුව ගිනස්‌ වාර්තාවක්‌ තබා තිබෙන බව පැහැදිලියි.

පාසල් පෙළ පොත් නොමිලේ ලබා දී වසර 30 ක්‌ සම්පූර්ණ වන මේ මොහොතේ මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ ආණ්‌ඩුව විසින් පාසල් දරුවන් සියයට 30 කගේ අධ්‍යාපනය කඩාකප්පල් කොට තිබෙනවා.

මේ අනුව මහින්ද රාජපක්‍ෂත්, මහින්ද චින්තනයත්, සන්ධාන ආණ්‌ඩුවත් පාසල් දරුවන්ගේ හතුරෙක්‌ බවට අද පත්ව සිටිනවා.

ත්‍රස්‌තවාදී යුද්ධය ජයග්‍රහණය කළ පසු මේ රට දියුණු කොට ජනතාවට යහපත් අනාගතයක්‌ ගොඩනඟ d ගැනීමට නම් අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදිය යුතුයි.

1977 සිට පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට මූලිකත්වය දී අප ක්‍රියා කළ නිසා අද වන විට එහි සාර්ථක ප්‍රතිඵල දකින්නට තිබෙනවා. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ දෙවන යුද්ධයට අවශ්‍ය කරන සම්පත් ලබා නොදීම නිසා අප දැන් ඒ යුද්ධයේ පරාජය අබියසට පැමිණ තිබෙනවා.

ගමක්‌ හෝ නගරයක්‌ දියුණුවේ ඉදිරියට ගෙන ඒමට නම් දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන පරිසරය දේශපාලනඥයන් විසින් නිර්මාණය කර දිය යුතුයි.

ගම ගොඩ නගනවා නම් එහි මූලිකත්වය දිය යුත්තේ අධ්‍යාපනය දියුණු කිරීමටයි. නමුත් මේ ආණ්‌ඩුව අධ්‍යාපනය කඩාකප්පල් කොට ගමේ දියුණුව නැතිකර තිබෙනවා.

දරු පරපුරට නිසි අධ්‍යාපනයක්‌ ලබාදී ඔවුන් සමාජයේ ඉදිරියට ගෙන ඒම සඳහා ඩී. එස්‌. සේනානායක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි නායකයන් එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මේ රටේ ස්‌ථාපිත කළා.

ඉන් අනතුරුව ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ අධ්‍යාපන ඇමැතිව සිටි ඒ. ඩී. නුගවෙල මහතා මහා විද්‍යාල හා මධ්‍ය මහා විද්‍යාල ඇති කරමින් අධ්‍යාපනයේ දියුණුවට විශාල මෙහෙවරක්‌ සිදු කළා. එපමණක්‌ නොවෙයි, ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරුන් යටතේ ඊට නොදෙවැනි දියුණුවක්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති කළා.

එදා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස මා මේ දිස්‌ත්‍රික්‌කයේ තෙලිඡ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, මාතර රාහුල, දික්‌වැල්ල වැනි පාසල් දියුණු කළා. එමෙන්ම නිල්වලා අධ්‍යාපන පීඨය මේ ප්‍රදේශයේ පිහිටුවුවා. එපමණක්‌ නොවෙයි, පාසල්වලට රූපවාහිනි, පරිගණක ආදී පහසුකම් ලබාදුන්නා.

එපමණක්‌ නොවෙයි, ජාතික පාසල් ක්‍රමය ස්‌ථාපිත කොට මේ ප්‍රදේශවලත් ජාතික පාසල් අපි ආරම්භ කළා. එම ජාතික පාසල්වල ක්‍රීඩා දියුණු කළ නිසා සුසන්තිකා ජයසිංහ, සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන් බිහිවුණා.

එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩු මෙන්ම එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගගේ ආණ්‌ඩුව පවා අධ්‍යාපනය දියුණු කිරීමට ප්‍රමාණවත් ආකාරයට මුදල් වෙන් කළා. නමුත් ගම හදන බව ප්‍රකාශ කරන මහින්ද රාජපක්‍ෂ සිදු කළේ කුමක්‌ද? ඔහු එක පෑන් පහරින් පාසල් පොත්පත් සඳහා වෙන් කරන මුදලින් සියයට 35 ක්‌ කපා හැරියා.

2008 වසරේදී පාසල් පොත් සඳහා රුපියල් කෝටි 330 ක්‌ වැය කළා. එය 2009 වසරේ කෝටි 220 දක්‌වා අඩු කළා. මේ අනුව බලන විට කෝටි 110 ක්‌ ඉවත් කොට සියයට 35 කින් ඒ මුදල කප්පාදු කොට තිබෙනවා.

මේ නිසා 2009 වසරේදී රටේ සෑම පාසලකටම අවශ්‍ය කරන පොත්පත් ලැබුණේ නැහැ. අදටත් කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය වැනි ප්‍රධාන පෙළේ පාසල්වල දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් ඔවුන් සිය මුදලින් ලබාගෙන තිබෙනවා. නමුත් ගම්බද දරුවන්ට එලෙස පොත්පත් ලබා ගැනීමට හැකිවී නැහැ.

අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රාග්ධනය සඳහා වෙන් කරන මුදල් ද මහින්ද චින්තනය මගින් කපා දමා තිබෙනවා. 2008 වසරේදී අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රාග්ධන සඳහා වියදම් කළ ආයෝජනය රුපියල් කෝටි 2300 යි. එය 2009 වසරේදී රුපියල් කෝටි 1700 දක්‌වා අඩු කොට තිබෙනවා. ඒ අනුව බලන විට රුපියල් කෝටි 600 ක්‌ අඩු කොට තිබෙනවා. පාසල් පොත්වලට ආයෝජනය කළ මුදල පසුගිය
වසරට සාපේක්‍ෂව රුපියල් කෝටි 110 කින් අඩු කොට තිබෙනවා. ඒ අනුව බලන විට පසුගිය වසරේ අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් රුපියල් කෝටි 710 ක්‌ අඩු කොට තිබෙනවා.

මේ නිසා අද පාසල්වල ප්‍රමාණවත් ගුරුවරු නැහැ. පොත්පත් ගොඩනැගිලි ඇතුළු පහසුකම් නැහැ. පාසල් පද්ධතියම අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා. පාසල් සීල් ප්‍රේජමයන්ත පාසල් වසා දමා ඒවාට සීල් තබනවා.

සන්ධාන ආණ්‌ඩුව ගෙන යැම සඳහා අද සිටින්නේ පාසල් සීල් ප්‍රේමජයන්ත තවත් පැත්තකින් ඩෙංගු සිරිපාල. තවත් පැත්තකින් ඕල්වේස්‌ බ්‍රේක්‌ ඩවුන් අලහප්පේරුම අගමැති සිහිනය දකිනවා. මෙවැනි අයට ආණ්‌ඩුවක්‌ පවත්වා ගෙන යා හැකිද?

නිදහස්‌ අධ්‍යාපනය අවුල් සහගත තත්ත්වයකට පත්කොට පාසල් පද්ධතිය දුර්වල කිරීම නිසා අද මුදල් තිබෙන දෙමාපියන්ගේ දරුවන් බොහෝ දෙනෙක්‌ පුද්ගලික පාසල්වලට ඇතුළත් කරනවා. නමුත් රටේ බහුතර දරු පිරිසක්‌ ඒ පාසල්වලට ඇතුළත් විය නොහැකිව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. ඇතැම් දෙමාපියන් ඉඩකඩම් පවා විකුණා දමා තම දරුවන් උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යනවා.

රාජපක්‌ෂ ආණ්‌ඩුව උත්සාහ කරන්නේ අධ්‍යාපනය ක්‍රමය කඩාකප්පල් කොට අධ්‍යාපනයට යොමුවන සංඛ්‍යාව අඩුකර ඒ අය පහසුවෙන් පාලනය කිරිමටයි. වැඩ වසම් යුගයේ මෙන් අධ්‍යාපනය නොලබා ගමේ සිටින පිරිස්‌ පහසුවෙන් පාලනය කිරීමට මේ අය උත්සාහ ගන්නවා. ඒ පාලනය තව අවුරුදු 10 - 12 ක්‌ ඉදිරියට ගෙන යැමට මේ අය සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපනය නොලැබූ අය සිටිනවා නම් මේ පාලකයන් කියන හැම අයටම ඔවුන් අත්පොළසන් දෙනවා. එවැනි තත්ත්වයක්‌ මත පාලනය ගෙන යැම පහසුයි.

මහින්ද රාජපක්‌ෂ සහ මහින්ද චින්තනය අද මේ අධ්‍යාපනයේ හතුරා බවට පත්ව සිටිනවා. රටේ සෙසු සංවර්ධන කටයුතු සඳහා යොදවන මුදල්වලට වඩා අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් මේ අය අඩු කොට තිබෙනවා.

මහාමාර්ග, වරාය, ගුවන් තොටුපළ සඳහා 2008 වසරේ රුපියල් කෝටි 7000 ක්‌ වියදම් කළා. 2009 වසරේ එය රුපියල් කෝටි 11,000 දක්‌වා වැඩි කළා. සහෝදර සමාගම් පාලනය කරන අමාත්‍යාංශයේ වැඩ කටයුතු සඳහා මුදල් මෙලෙස රුපියල් කෝටි 4000 කින් වැඩි කොට 11,000 දක්‌වා වැඩි කළ ද ජනතාව වැඩිපුරම බලපාන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලින් කෝටි 710 ක්‌ කපා දැමුවා.

මාර්ග පද්ධතිය සකස්‌ කිරීම පිළිබඳව අපට ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ඒ වැඩ කටයුතු කරන ගමන් රටේ ජීවනාලිය බඳු දරු පරපුරේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ක්‍රියා කළ යුතුයි පාසල් ඉදිකිරීමෙන් මේ අයට කොමිස්‌ මුදල් ලැබෙන්නේ නැහැ. පාසල් පොත් මුද්‍රණය කළත් කොමිස්‌ ලැබෙන්නේ නැහැ. නමුත් මහාමාර්ග වරාය, ගුවන් තොටුපළ වැනි අංශ දියුණු කිරීමේදී සියයට 10 කොමිස්‌ මුදල සාක්‌කුවට වැටෙනවා. මේ අනුව බලන විට පසුගිය වසරේ රුපියල් කෝටි 11000 හි කොමිස්‌ මුදල පමණක්‌ කෝටි 1000 ක්‌ බව පැහැදිලිය. කිහිප දෙනෙක්‌ අතරට මෙම කෝටි 1000 ගියද රුපියල් කෝටි 710 ක්‌ අධ්‍යාපනයෙන් කපා හැරීම නිසා විශාල පිරිසකගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වී තිබෙනවා. මෙයද මහින්ද රාජපක්‌ෂගේ සුබ අනාගතය කියා අප ප්‍රශ්න කර සිටිනවා. කෝටි 1000 ලැබුණ අපට නම් සුබ අනාගතයක්‌. කෝටි 710 නොලැබුණු බහුතර දරු පිරිසට අසුබ අනාගතයක්‌.

පසුගිය පාලන කාලය තුළ මෙවැනි ක්‍රියා මගින් විශාල කොමිස්‌ මුදල් ලබා ගත් අය මේ මැතිවරණයේදී සුවිසල් කටවුට්‌ සහ බැනර් කොළඹ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ප්‍රදර්ශනය කර තිබෙනවා. කොළඹ අය නම් මෙය හදුන්වන්නේ කොමිස්‌ කටවුට්‌ ලෙසයි. එක්‌ පැත්තකින් මෙලෙස කොමිස්‌ කටවුට්‌ ප්‍රදර්ශනය කරන විට අනෙක්‌ පැත්තෙන් අධ්‍යානපනය "බ්ලැකවුට්‌......."

මේ වතාවේ බුලත් කොළය ඉදිරියේ කතිරය ගසනවා කියන්නේ අධ්‍යාපනය අහිමි කර ගැනීමයි. එය ඔබේ දියුණුව මෙන්ම ඔබේ දරුවන්ගේ අනාගතය අහිමි කිරීමක්‌. ඒ තත්ත්වය මත මෙවරත් බුලත් කොළයට ඔබේ කතිරය ලබා දෙනවාද එසේත් නැත්නම් ඔබේ වටිනා ඡන්දය අලියා ඉදිරියේ කතිරය ගසා එක්‌සත් ජාතික පෙරමුණ ආණ්‌ඩුවක්‌ බලයට පත්කර ගෙන අනාගතය සුරක්‌ෂිත කර ගන්නවාද කියා රටේ බුද්ධිමත් ජනතාව තීරණය කළ යුතුයි.

එක්‌සත් ජාතික පෙරමුණ ආණ්‌ඩුවක්‌ යටතේ අපි අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් වැඩි කරනවා. පොත්පත් සහ අනෙකුත් පාසල් උපකරණ සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන නොඅඩුව ලබා දෙනවා. එපමණක්‌ නොවෙයි ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා විදෙස්‌ රටවලින් පවා අවශ්‍ය නම් පොත්පත් ගෙනැවිත් දෙනවා. අවශ්‍ය නම් විදේශ රටවලින් ගුරුවරු පවා ගෙන්වීමට අප සූදානම්.

පසුගිය කාලයේදී මා විසින් රචිත අනාගත අභියෝග නම් වූ කෘතිය මගින් මේ රටේ අධ්‍යාපනය ක්‍රමය ගැන මා තොරතුරු ඉදිරිපත් කොට තිබෙනවා. වසර දෙකක සහ තුනක කාල සීමාවක්‌ තුළ පාසල් පද්ධතිය දියුණු කිරීම මගේ අරමුණයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වීමෙන් සෑම ආසනයකම උසස්‌ මට්‌ටමේ පාසල් තුනක්‌ හෝ හතරක්‌ බිහි කළ හැකියි. එපමණයි. නොවෙයි මේ රටේ පාසල්වල ඉතා උසස්‌ ආකාරයේ ප්‍රාථමික අධ්‍යාපනයක්‌ පැවැතිය යුතුයි.

1965, 1977, 1989 වැනි යුගවල මේ රටේ අධ්‍යාපනය දියුණුක්‌ ඇති කළා සේ ඉදිරියේ දී පිහිටුවන එක්‌සත් ජාතික පෙරමුණ ආණ්‌ඩුව යටතේ පාසල් පද්ධතිය දියුණු කොට දරුවන්ට නිසි අධ්‍යාපනයයක්‌ ලබාගැනීමට හැකි පරිසරයක්‌ අප නිර්මාණය කර දෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන නොඅඩුව වෙන්කර දීම අපේ අරමුණයි. එපමණක්‌ නොවෙයි. රැකියා වෙඳෙපොළට ගැලපෙන ආකාරයට මේ රටේ උසස්‌ අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය , වෘත්තීය පුහුණුව ආදිය ලබා දෙනවා. එලෙස කටයුතු කිරීමෙන් අධ්‍යාපන කටයුතු නිම වූ වහා විරැකියා පෝලිමේ නොසිට රැකියාවක්‌ ලබාගත හැකියි. නමුත් අවාසනාවකට මෙන් අද රැකියා වෙළෙඳපොළට ගැලපෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක්‌ නොමැති වීම නිසා අධ්‍යාපනය හදාරා පිටවන දරුවාට තම සහතික පත් රැගෙන රට පුරා ඇවිදීමට සිදුවූවත් සුදුසු රැකියාවක්‌ සොයා ගැනීමට හැකියාවක්‌ නැහැ.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිටින දුවා දරුවා ඉන් පිටවන විට ඔවුන්ට රැකියා ලබාදීමේ ක්‍රමවේදයක්‌ තිබිය යුතුයි. දරු පුරපුරට නිසි අධ්‍යාපනයක්‌ ලබාදීම තරුණ තරුණියන්ට රැකියා අවස්‌ථා ලබාදීම ඇතුළු දියුණුව සඳහා එක්‌සත් ජාතික පෙරමුණ ආණ්‌ඩුවේ සැලසුම් ලබන 16 වනදා රට හමුවේ තැබීමට අප මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම, පෞද්ගලික අංශයේ සේවක සේවකයන්ගේද වැටුප් වැඩි කොට බඩු මිල අඩු කිරීමේ සැලසුම් අප සතුව තිබෙනවා. සමෘද්ධිලාභීන්ගේ සහනාධාරය වැඩි කිරීම මෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්‌ෂිත කිරීම සඳහා වන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ අප ඉදිරිපත් කරනවා.

ලබන 08 වැනිදායින් පසු එක්‌සත් ජාතික පෙරමුණ මේ රටේ බිහි කරන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්‌ඩුවක්‌. ඔබට සහන ලබාදෙන ආණ්‌ඩුවක්‌, අධ්‍යාපනයට, සෞඛ්‍යයට රටේ සංවර්ධනයට, රැකියා වැඩි කිරීමට මුදල් වෙන් කරන ආණ්‌ඩුවක්‌ බව කිව යුතුයි.

රට හදන මෙම වැඩපිළිවෙළ ඇතුළත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්‌සත් ජාතික පෙරමුණේ නියම මැතිවරණ සටන අප ආරම්භ කරනවා. මෙතෙක්‌ අපේක්‌ෂකයන් තම මනාපය පිළිබඳ කියමින් ජනතාව හමුවට ගියද ලබන සතියේ සිට එක්‌සත් ජාතික පෙරමුණේ වැඩපිළිවෙළ රැගෙන ජනතාව අතරට යැමට ඔවුන්ට අවස්‌ථාව ලැබෙනවා.

එක්‌සත් ජාතික පක්‌ෂ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා - ජනාධිපතිවරණයේදී අප ඉතා වෙහෙසුණා. ලැබුණු ප්‍රතිඵල කිසිවකුටත් විශ්වාස නැහැ. ජනතාව පමණක්‌ නොව ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම ජනාධිපතිවරයා පවා මෙය විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය විකෘති කළ එකක්‌ බව අපගේ පිළිගැනීමයි. ඒ නිසා අප ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලත් කරමින් ශ්‍රෝෂ්ඨාධිකරණය හමුවට ගොස්‌ තිබෙනවා.

ජනාධිපතිවරණ සමයේදී ආණ්‌ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළා. ඊට එරෙහිව අප අධිකරණයට ගියා. මේ ජනාධිපතිවරණයට විරුද්ධව අප අප්‍රේල් 8 වැනිදාට මහජන අධිකරණය වෙත යනවා. ඔබ නිවැරදි තීරණයක්‌ ගත යුතුයි. ඔබ එක්‌සත් ජාතික පෙරමුණට බලය දුනහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම ජනාධිපතිවරයා පුටුවෙන් බැස්‌සීමේ වෑයම සාර්ථක කරගත හැකිය.

ජනාධිපතිවරයා ගෙදර යෑවීමට නම් අප පාර්ලිමේන්තුවේ බලය ලබාගත යුතුයි. අප සංවිධානය වී සැලසුමක්‌ ඇතිව කටයුතු කළහොත් එය අපහසු කරුණක්‌ නොවේ.

මෙම මැතිවරණය අපට ජයගත හැකිදැයි අපේ ජනතාවගේ සාධාරණ සැකයක්‌ තිබෙනවා. අප අපේ ඡන්ද රැකගත යුතුයි. පසුගිය ඡන්දයේදී සාම්ප්‍රදායික ඡන්ද ප්‍රොaඩා නැවැත්වීමට අප ක්‍රියා කළා. නමුත් ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන ගැන කොළඹ ප්‍රතිඵල නිකුත් කරන ස්‌ථානය ගැන අපේ අවධානය යොමු වී තිබුණේ නැහැ. මෙවර මහ මැතිවරණයේදී එම වරද නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අක්‍රමිකතා වැලැක්‌වීමට මැතිවරණ කොමසාරිස්‌ වෙත යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණයේදී ඡන්ද මගඩි සිදුවීමට ඉඩ නොතබන බවට ඔබට ප්‍රතිඥ ලබා දෙනවා.

අපට තව දිස්‌ත්‍රික්‌ක පහක්‌ ජයගැනීමට හැකි වුවහොත් මෙම මැතිවරණය ජය ගැනීම අභියෝගයක්‌ නොවේ. එක්‌සත් ජාතික පෙරමුණට ආසන 113 ක්‌ ලබා ගැනීම ඉතා පහසුයි. අපට තුනෙන් දෙකක බලයක්‌ ඉල්ලන්නේ නැහැ. පළපුරුදු නායකයන් අප සමග සිටිනවා. ඔවුන් සමග එක්‌ වී රට පත්වී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට අප කටයුතු කරනවා.

එක්‌සත් ජාතික පක්‌ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ සංවිධානයේ සභාපති සාගල රත්නායක මහතා-

අප රටට දුෂ්කර කාලයක්‌ උදා වී තිබෙනවා. යුද්ධය අවසන් වී වසරක්‌ ගත වුණත් ජනතාවට සහනයක්‌ නැහැ. ජනතාවට ජීවත් වීමේ යුද්ධයක්‌ කරන්න සිදුවී තිබෙනවා.

බොහෝ තර්ජන, ගර්ජන, හමුවේ මේ වනවිට අප දිගු ගමනක්‌ පැමිණ තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‌ෂ රජයන් පැවැති සමයන්හිදී මෙරට ආර්ථිකය සමෘද්ධිමත් වූ හැටි ජනතාවට මතකයි. අද ජනතාව ණයකරුවන් වෙලා. කර්මාන්ත කඩා වැටිලා. පොහොර සහනාධාර එක්‌ කසළ පොහොර වර්ගයකට සීමා කරලා. තේ වගාව සඳහා දුන් නැවත වගා සහනාධාර නතර කරලා. මෙවැනි හේතූන් නිසා තේ කර්මාන්තය දැඩි අනතුරකට මුහුණ දී සිටිනවා.

මෙම බල මණ්‌ඩල රැස්‌වීම සඳහා දකුණු පළාත් සභාවේ විපක්‌ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්‌ෂක බුද්ධික පතිරණ මහතා ඇතුළු විපක්‌ෂ නියෝජිතයෝද පාක්‌ෂිකයන් විශාල පිරිසක්‌ද සහභාගි වී සිටියහ.
 

 
Powered By -