|
|
|
|

අනෝමා ෆොන්සේකාගෙන්
හමුදාපති ඇතුළු හතරකට පෙත්සමක්
සරත් ධර්මසේන
හමුදා භාරයේ රඳවා සිටින තම සැමියා වන විශ්‍රාමික හමුදාපති
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් නීතියට අනුව යම්
ක්‍රියාමාර්ගයක් ගැනීමට හා ඔහු මුදාහැරීමට අභියාචනාධිකරණ
හමුවට පමුණුවන ලෙසට යුද හමුදාපති නාවික හමුදාපති ඇතුළු 04
දෙනකුට "හබයස්‌කෝපස්" "රිට්" ආඥවක් නිකුත් කරන්නැයි
ඉල්ලා අනෝමා ෆොන්සේකා මහත්මිය ඊයේ (12 වැනිදා)
අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කර උසාවි කැඳවා පෙත්සම
පිළිබඳව විභාගයක් පවත්වන ලෙස ද එතෙක් තම සැමියා යම්
කොන්දේසියක් හෝ ගිවිසුමක් මත මුදා හැරීමට නියෝග කරන ලෙසද
ඇය පෙත්සමෙන් ඉල්ලීමක් කර ඇත.
ඇය පෙත්සමෙන් කියා සිටින්නේ තම සැමියා අත්අඩංගුවට ගෙන
හමුදා භාරයේ දිගටම රඳවා තබා ගැනීමට සාක්‍ෂි නැති බවයි.
ඔහු අත්අඩංගුවට ගන්නා විට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි යන
තනතුර දරමින් සිටි අතර එය යුද හමුදාපති නාවික හමුදාපති,
ගුවන් හමුදාපති යන තනතුරුවලට වඩා ඉහළ තනතුරකි. එවැනි
තනතුරක සිටි අයෙකු හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට
නියෝගයක් නිකුත් කිරීමට හමුදාපතිවරයාට බලයක් නැත. මෙම
ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඔහුට
අවස්‌ථාවක් ලබා දී නැත. එනිසා ඔහු අත්අඩංගුවට ගැනීම
අසාධාරණ, අත්තනෝමතික සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි
යෑයි ද අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටී.
යුද හමුදාපති ජගත් ජයසූරියත්, හමුදා පොලිසියේ ප්‍රධානි
ඩබ්ලිව්. විඡේසිරි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ටී.
එස්. ජී. සමරසිංහ හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස
නම් කර තිබේ.
ෆොන්සේකා මහත්මිය සිය පෙත්සමේ මෙසේද සඳහන් කර ඇත.
ජෙනරාල් ෆොන්සේකා යුද හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්‌වූ දා
සිට හමුදා නිලධාරියෙක් නොවේ. ආරක්‍ෂක මාණ්‌ඩලීය ප්‍රධාන
තනතුර පිහිටුවනු ලැබුවේ ඔහු හමුදාවෙන් අස්‌වූවාට පසුව
තනතුරට පත් කිරිමටයි. කඩිමුඩියේ සම්මත කළ විශේෂ පනතක්
අනුවය නව පත්වීම සිදුකළේ.
ආරක්‍ෂක මාණ්‌ඩලීය ප්‍රධානියා යුද හමුදාපතිගේ නියෝගවලට
යටත් නැත. ආරක්‍ෂක මණ්‌ඩලීය තනතුරට ඔහු පත් කළේ ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මහතායි. ඒ 2009 නොවැ. 14 දා.
ආරක්‍ෂක මණ්‌ඩලීය තනතුරට පත් කළාට පසුව ඔහුට විවිධාකාරයෙන්
අවහිර බාධක හා කෙනහිලිකම්වලට දිගින් දිගටම මුහුණ පාන්නට
සිදුවුණා. සපයා තිබූ ආරක්‍ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව 63
දක්‌වාත්, වාහන 03 දක්‌වාත් අඩු කළා. ජනාධිපති මැතිවරණයට
ඔහු තරග වැදුණා. ඡන්ද ගණන් කිරීම සිදු කළ දවසේ ඔහු නැවතී
සිටි හෝටලය වටලන ලෙස හමුදාවට නියෝග කර තිබුණා. පැය
ගණනාවක් එසේ හෝටලය වටලා සිට හමුදාව පසුව ඉවත්ව ගියා. ඔහුට
සපයා තිබූ ආරක්‍ෂාව ද පසුව ඉවත් කළා.
2010 ජනවාරි 8 දා රාත්‍රි 8.30 ට ඔහු හමුදා අත්අඩංගුවට
පත්වුණා. ඔහු සිරකර සිටි ස්‌ථානය හෙළි නොකළ අතර පවුලේ
කිසිවෙකුට ඔහු බැලීමට ඉඩ දුන්නේ නැහැ. නාවික හමුදා
මූලස්‌ථානයේ දැන් ඔහු රඳවා සිටිනවා.
හමුදාවට අවශ්‍ය වූ දේවල් සපයා ගැනීමේදී අදාළ දූෂිත
ගණුදෙනුවල යෙදුන බවට සහ සේවයේ යෙදී සිටියදී දේශපාලන
කටයුතුවල නිරත වූ බවට ඔහුට දැන් චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට එරෙහිව මූලික අයිතිවාසිකම්
පෙත්සමක් ගොනු කර ඇති අතර, ඔහුට සිදු වී ඇති අසාධාරණය සහ
අයුක්‌තිය පිළිබඳව එමගින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කර ඇති
බවත් ෆොන්සේකා මහත්මිය අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සමේ
සඳහන් කර ඇත.
|
|
|
|