අප රටේ පෙර පාසල් අධ්‍යාපනය
රජයේ වගකීමෙන් මිදිලා
විමල් වීරවංශ

මහරගම - උදේනි චන්ද්‍රසිරි

දියුණු රටවල පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්‌වා අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීමක්‌ මෙන්ම ජාතික කාර්ය භාරයකි. නමුත් අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනය, රජයේ වගකීමෙන් මිදිලා එහි සම්පූර්ණ බර පෙර පාසල් ගුරුවරියෝ මත පැවරිලා යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවැසුවේ බස්‌නාහිර පළාතේ පෙර පාසල් ගුරුවරියන් 130 දෙනකුට පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා සහතික පත්‍ර පිරිනැමීම සඳහා කොට්‌ටාව මාකුඹුර පිහිටි සිය මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්‌ථානයේ පැවැති රැස්‌වීමකදීය. එම රැස්‌වීම ඉකුත් 14 වැනිදා පැවැත්විණි.

හය මාසික මෙම ඩිප්ලෝමා පාඨමාලාව බස්‌නාහිර පළාත් සභා හිටපු ඇමැති ගාමිණී තිලකසිරි මහතාගේ සංකල්පයක්‌ මත ක්‍රියාත්මක විය.

උත්සවය අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.

වැඩකරන අම්මලාගේ ළමයි බලා ගන්න ඩේකෙයාර් සංස්‌කෘතියකුත් අද බිහිවෙලා. ඒකේ වැඩ බලන අම්මා තමයි පෙර පාසල් ගුරු මහත්මීන්. පහුගිය භීෂණ කාලයේදී අම්මලා තමන්ගේ දරුවන් යෑව්වේ නිවස ළඟම තියෙන පෙර පාසලට. දරුවා බෝම්බෙට බිළිවෙයි කියලා බයෙන් හිටියේ. මරණය තුරුළු කරගෙනයි එදා අම්මලා තමන්ගේ දරුවන් හැදුවේ. අද මරබිය තුරන්වෙලා. අනාගත රටට ඔබින අලුත් පරම්පරාවක්‌ නිර්මාණය කරන්න පුළුවන්.

අපේ මහාවංශය පීරලා බැලුවම විශ්ව නිර්මාණ බිහිකරපු මහා වීරවරයන්ගේ පා සටහන් ඇති පිං බිමක්‌ මේක. හොඳ ශිෂ්ටාචාරයක්‌, ජාතියක්‌ තිබූ දේශයක්‌ මේක. අපේ භාෂාව ලොව පැරැණිම භාෂාවලින් එකකි. මේ භාෂාවෙන් තමයි එදා නිර්මාණශීලී වීරයන් මේ රටේ බිහි වුණේ. ව්‍යඤ්ජන, ස්‌වර අක්‍ෂර මාලාවෙන් අපේ සිංහල භාෂාව වර්ණවත් වෙලා. ලෝකයේ කිසිම භාෂාවකට නොමැති තරම් අකුරු තිබෙන්නේ අපේ භාෂාවේ. අපේ "ඇ" අක්‍ෂරය ශබ්ද වන අක්‍ෂරයක්‌ වෙනත් කිසිම භාෂාවක නැහැ. ඒ තරම් පොහොසත් භාෂාවක්‌ අපට තියෙන්නේ.

අනාගතයේ විශිෂ්ට නායකයන් බිහි කිරීමේ වගකීම පැවැරෙන්නේ පෙර පාසල් ගුරුතුමියන්ටයි.

එම නිසා කාන්තාවක්‌ වශයෙන් ඔබට පැවැරී තිබෙනවා විශාල වගකීමක්‌ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී රට ගැන හිතන වැඩකරන්න පුළුවන් හොඳ සෙන්පතියෝ 150 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක්‌ පාර්ලිමේන්තුවට පත් කරලා එවන්න. ඇමැති මණ්‌ඩලයේ වගකිවයුතු අමාත්‍යාංශයක්‌ බාරගෙන මට පවරන රට හදන වගකීම ඉටුකරන බවට පොරොන්දු වෙනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා(- හෝමාගම ප්‍රදේශයේ පාසල් 37 න් පාසල් 34 ක අවශ්‍යතා ඉටුකරල තියෙනවා. ඉදිරියේදීත් පාසල් සංවර්ධන වැඩපිළිවෙළ දරුවන්ගේ යහපත වෙනුවෙන් වේගවත්ව ක්‍රියාත්මක කරනවා.

ඉත්තෑපානේ සද්ධාතිස්‌ස හිමියන්ද කෙටි අනුශාසනාවක්‌ කළ අතර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක රේණුකා බාලසූරිය යන මහත්ම මහත්මීන්ද කතා කළහ.
 

 
Powered By -


උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.