අධිකරණයෙන් දඬුවම් ලැබූ දුම්රිය
නිලධාරියකුට සේවා දිගුවක්‌ ලබාදී
උසස්‌වීමක්‌ද පිරිනමලා

දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරී පිරිසක්‌ විමතිය පළ කරති

සමන්ත ඉලේපෙරුම

තමන් යටතේ සේවය කරන කාන්තාවකට සේවා කාලය තුළදී ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය මඟින් වැරදිකරු වී අත්හිටවූ සිරදඬුවම් හා වන්දි මුදල් ගෙවීමට නියමවූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීයකුට සේවා දීර්ඝයක්‌ ලබා දෙමින් උසස්‌ වීම්ද පිsරිනමා තවමත් සේවයේ යෙදී සිටීමට සැලසීම පිළිබඳව එම දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්‌ බලවත් විමතිය පළකර සිටිති.

සියලු රාජ්‍ය සේවකයන්ට පොදු වූ ආයතන සංග්‍රහයද දැඩි ලෙස උල්ලංඝනය වන අයුරින් මෙම නිලධාරියා විෂයෙහි දුම්රිය දෙපාර්තමේන්තුව මෙලෙස ක්‍රියා කිරීම තුළින් අධිකරණය මගින් වැරදිකරුවකුහට තවදුරටත් සේවයේ යෙදී සිටීමට සැලසීම අධිකරණයද හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ බව පෙන්වා දෙන එම නිලධාරී පිරිස මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණි ද මේ වන තෙක්‌ නිසි ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම අතිශය කුතුහලය දනවන්නක්‌ බව ද කියා සිටී.

2004/06/09 දින දෙමටගොඩ පොලිසිය වෙත ලද පැමිණිල්ලක්‌ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙමටගොඩ පාලම් ඉංජිනේරු අංශයේ පාලම් පරීක්‍ෂකවරයකු ලෙස සේවයේ නියුතු ඩබ්ලිව්. කේ. වී. පී. එච්. සරත් ගාමිණී ගුණවර්ධන නමැති අයට එරෙහිව සේවා ස්‌ථානයේ ප්‍රධානියකු ලෙසින් ඔහු යටතේ සේවය කරන කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක්‌ යටතේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනුකර තිබිණි.

චූදිත නිලධාරියා හට එල්ලවූ චෝදනාවන්ට නඩු විභාගයෙන් අනතුරුව ඔහු වැරදිකරු කරනු ලැබූ අධිකරණය මාස 6 ක බරපතල සිර දඬුවමක්‌ පනවමින් එය වසර පහකට අත්හිටුවා පැමිණිලිකාරියට රුපියල් 25000/- වන්දි මුදලක්‌ ගෙවන ලෙසට නියම කළේය.

මේ පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව ක්‍රියා කර ඇති දුම්රිය දෙපාර්තමේන්තු පාලනාධිකාරිය විශ්‍රාම යැමේ වයස්‌ සීමාවද පසුකර ඇති චූදිත හට සේවා දීර්ඝයක්‌ ලබා දෙමින් උසස්‌ වීමක්‌ ද ලබාදීම ආයතන සංග්‍රහය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්‌ හා අධිකරණය හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ බව එකී නිලධාරීහු පෙන්වා දෙති. චූදිත නිලධාරියා පෞද්ගලිකව දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් යම් අංශවල ප්‍රධානීන්ට අල්ලස්‌ ලබා දෙමින් නියමවූ දඬුවම් යටපත් කර ආයතනික වශයෙන් ඔහු සුරැකීමේ උත්සාහයක නිරතව ඇති බව ද ඔවුහු කියති.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාද නොමඟ යවා ඇති මෙම චූදිත නිලධාරියා පිළිබඳ දුම්රිය පාලනාධිකාරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂවරයාට හා විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇති කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට එම නිලධාරීහු අදාළ බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.
 

 
Powered By -