මනාප සටන හා  සල්ලි ගස්‌ !

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන දේශපාලන වේදිකාවෙන් නැඟෙන අඬහැරය දෙසවන් බිහිරි කරවන සුළු වුවද ඒ කිසිවක්‌ ප්‍රායෝගික සත්‍යයක්‌ ලෙස සමාජයට නොදැනෙන බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ඒ වරද කවුරුන් විසින් කරන ලද්දක්‌දැයි සෙවීමට වඩා එය නිවැරදි කරගත හැකි මගක්‌ සොයා ගැනීමද අද අභියෝගයක්‌ වී තිබේ.

1978 ව්‍යවස්‌ථාව මේ රටේ යහපතට වඩා අයහපතට දොරටු රැසක්‌ විවෘත කරන ලද බව එදා ඒ සඳහා අත එසවූ අය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටි අය විසින්ද අද කරනු ලබන පාපොච්චාරණයක්‌ වී තිබේ. වැරදි හා මෝඩකම් කරන්නේ දේශපාලන නායකයන් විසින් වුවද ඒවාට වන්දි ගෙවීමට සිදු වන්නේ රටට හා ජනතාවටය.

අද දේශපාලන පක්‌ෂ අතර පමණක්‌ නොව එකම පක්‌ෂයේ අපේක්‌ෂක අපේක්‌ෂිකාවන් අතරද මරාගන්නා සටනක්‌ බවට පත්ව තිබෙන මනාප පොරයද එම දේශපාලන මුග්ධභාවය විසින් රටට උදාකරන ලද විපතකි. මේ මනාප සටන නොනිමෙන ලැව් ගින්නක්‌ සේ පැතිර යන අයුරු ජනාධිපතිවරයාද දකී. අනෙක්‌ නායකයෝද දකිති.

මැතිවරණ නීතිය පමණක්‌ නොව මැතිවරණ කොමසාරිස්‌වරයා මෙන්ම පොලිස්‌පතිවරයාද විහිළුවක්‌ වන තරමටම මේ මනාප සටනේ විවිධ ජවනිකා දැක ගත හැකිය. කොළඹ නගරයේ අලවා තිබෙන පෝස්‌ටර් හා ඉදිකර තිබෙන කටවුට්‌ ප්‍රමාණය කෙතරම්ද? මේවා ඉදිකරන අයගේ අභිලාෂය ජනතා සේවයමද? පොදු ජනතාව වෙනුවෙන් නිදි නැතිව දුක්‌ ගන්නා බව හැඟවෙන මේ කාගෙත් රැවටිල්ල කාරිය කෙරෙන තුරු යයි අපි නොකියමු. එහෙත් සියලු දෙනාම ජනසෙත සඳහා දුක්‌ ගන්නා අය ලෙසද අපි නොදකිමු.

කෙසේ හෝ දැන් මනාප යුද්ධය ආණ්‌ඩුව ඇතුලේම යුද්ධයක්‌ වී තිබෙන බව ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිඳුන් විසින් කරන ලද තරවටුවක්‌ බඳු ප්‍රකාශයෙන් තහවුරු වේ. මනාප සඳහා ගැටුම් ඇති කර ගන්නා සන්ධානයේ අපේක්‌ෂකයන්ට ජයග්‍රහණයෙන් පසු කිසිම තනතුරක්‌ නොදෙන බව ඔහුගේ අවධාරණය වී තිබේ. එය යහපත් හා එඩිතර තීන්දුවක්‌ වුවත් එය හරියටම ක්‍රියාවට නැඟෙන නීතියක්‌ විය හැකිද?

අද මේ රටේ බොහෝ තන්හි නරක ආදර්ශයක්‌ වී තිබෙන්නේ වරද කරන අයට දඬුවම් නොලැබීමය. මේ රටේ ජාතික අපරාධයක්‌ වන කුඩු ජාවාරම සමගද රජයේ මැති ඇමැතිවරුන්ගේ නම් කියෑවේ. කුඩු ගැන මෙන්ම වෙනත් වැරදි ගැනද නම් නොකිය වෙන මැති ඇමැතිවරුද සිටිති. එයින් තහවුරු වන්නේ ඒවා හුදු කටකතා නොවන බවය.

දේශපාලනය යනු සකල සමාජයේම කුදු මහත් හැම දෙයක්‌ම පටලවා ගත් බූවල්ලෙක්‌ බවට පත්ව තිබේ. යහපත් සමාජයක අභිලාෂය රටට මෙන්ම රටේ නායකයා වන ජනාධිපතිවරයාටද තිබුණත් ඒ සඳහා ලැබෙන සහයෝගය ඉතා අඩුය. අවසානයේදී සියලු පව් රාජ්‍ය නායකයාගේ හිසට කඩා වැටේ.

මහින්ද රාජපක්‌ෂ මහතා මේ රටට දෙවන ජාතික නිදහස දිනා දුන් රාජ්‍ය නායකයා පමණක්‌ නොව මතට තිත වැනි යහපත් සමාජ අපේක්‌ෂාවන් වෙනුවෙන්ද පෙනී සිටි නායකයෙකි. ජනාධිපතිවරයාට විශිෂ්ට ජනවරමක්‌ ලබා දෙමින් ජනතාව විසින් පළ කරන ලද කෘතවේදීත්වයද අති මහත්ය. එහෙත් මේ රජයේ බොහෝ මැති ඇමැතිවරුන්ට ජනතාව ඉදිරියට ගොස්‌ කීමට කතාවක්‌ තිබේද? ඔවුහු ජනතාවට දැනෙන යමක්‌ කර සිටිත්ද?

අපි එයට පිළිතුරු සොයා ගැනීම ඔවුන්ටම භාර කරමු. එහෙත් ඔවුන් බොහෝ දෙනෙක්‌ විසින් ජනතාව ඉදිරිපිටට පැමිණ කරනු ලබන ව්‍යාජ රංගනවලට මේ රටේ ජනතාව තවත් මුලා විය යුතු නැති බව පමණක්‌ කියමු.

මනාප පොරයට නොවැටී යහපත් හා ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාර ගෙන යන අයද සිටිති. මේ ගර්හිත මනාප ක්‍රමය යටතේ කාට වුවද සිය අංකය ජනතාවට දැනුම් දීමට භාවිත කළ හැකි විධි ක්‍රමද ඉතා අඩුය. නිතර නිතර දකින මුහුණු හා අංක ජනතාවගේ හිතේ තැන්පත් වන බවද ඇත්තය.

මනාප ලබා ගෙන දිස්‌ත්‍රික්‌කයේ අංක එක බවට පත්වීම තමන්ට වැඩි වටිනාකමක්‌ තිබෙන බව පෙන්විය හැකි සාක්‌ෂියක්‌ වී තිබේ. මේ දුෂ්ට සටන ඒ වෙනුවෙන්ය. එහෙත් පුද්ගලයකුගේ වටිනාකම හා අගය, දේශපාලන භාවිතය වැනි සාධනීය ගුණ නිගමනය කිරීමට මනාපය යොදා ගැනීම වැරදිය.

මෙම පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත්ව සිටින හත් දහසකට වැඩි අපේක්‌ෂක අපේක්‌ෂිකාවන් අතර දේශපාලන වශයෙන් පාරාජික වූ අය මෙන්ම දූෂණ හා වෙනත් චෝදනාවලට ලක්‌වූ අයද සිටිති. සුප්‍රකට කෝප් වාර්තාවද අපට මතකය. එහෙත් ඒ කිසිවක්‌ නොතකා මනාප සටන මගින් යළිත් ජනමතය වංචනික ලෙස ලබා ගැනීමට කිසිවකුට ඉඩ දිය යුතු ද නොවේ.

කලකට පෙර මේ රටේ අගමැතිවරයකුවද සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් කියන ලද අපූරු කියමක්‌ දේශපාලන ඉතිහාසයේ ඉතිරි වී තිබේ. තමන් සල්ලි ගසක්‌ හොල්ලන බවත් ඒවා අහුලා ගෙන තමන්ට ඡන්දය දෙන ලෙසත් එදා ඔහු කීවේය.

මේ මනාප පොරය දෙස බලා, ඒ ඒ සල්ලිගස්‌ද හඳුනා යහපත් හා බුද්ධිමත් තීරණයක්‌ ගැනීමට අද සිටින ඡන්ද දායකයෝද වග බලා ගනිත්වාෘ

 
Powered By -