ඇස්‌වහ කටවහ දුරු කරවීමට අශ්ව ලාඩමක්‌...

ලක්‍ෂ්මන් හේවගේ පහතරට නර්තන ශිල්පියකු මෙන්ම ගුප්ත වෛද්‍යවරයෙකි. ඉකුත් දිනක මම ලක්‍ෂ්මන් හමුවීම සඳහා ඔහුගේ නිවසට ගොඩ වැදුනෙමි. නිවසට ඇතුළුවන දොරකඩට ඉහළින් එල්ලා තිබූ එක්‌ විශේෂ දෙයක්‌ කෙරෙහි මා නෙත ගැටුණි. මා ඒ පිළිබඳ ලක්‍ෂ්මන්ගෙන් විමසුවෙමි.

ඕක තමයි අශ්ව ලාඩම. මේක සෞභාග්‍යයේ සංකේතයක්‌. ඇස්‌වහ කට වහ දෝෂයන්ගෙන් මිදීමට මෙන්ම සොර සතුරන්ගෙන් ආරක්‍ෂා වීමට නිවෙස්‌වල ඉදිරිපස අශ්ව ලාඩම් එල්ලා තියෙනවා. අශ්වයා සූනියම් දෙවියන්ගේ වාහනේ. මේ හා බැඳුණු කතාවක්‌ද තියෙනවා. ලක්‍ෂ්මන් හේවගේ කියාගෙන යන්නට විය.

අශ්ව ලාඩම් කතාව දැන ගැනීමට මා තුළද පැවැතියේ දැඩි උනන්දුවකි. අශ්වයා ගරු බුහුමන් දැක්‌විය හැකි සතෙක්‌. අපේ රටේ හිටපු රජවරුන් ද ගමන් බිමන් යැම සඳහා අශ්වයා යොදා ගත්තා. සිදුහත් කුමරු ගිහිගෙය කලකිරිලා නික්‌ම ගියේ කන්ථක අශ්වයාගේ පිටේ නැගිලා. මේ ගැන පැරැණි දේව කථාවක සඳහන් වෙනවා. කන්ථක අශ්වයා ලය පැලී මිය ගියාට පසු සූනියම් නම් දෙවියන්ගේ නාමයෙන් දේවත්වයක්‌ ලැබී පුදසත්කාර ලැබුණු බව. ඇත්තටම අශ්වයා ශක්‌තිමත් සත්වයෙක්‌. මිනිසුන් සමග ඉතා සමීප සම්බන්ධයක්‌ ඇති සතෙක්‌.

අශ්වයා ගැන දිගු විස්‌තරයක්‌ කරමින් ලක්‍ෂ්මන් හේවගේ එසේ කීවේය. ලක්‌ෂ්මන් අශ්වයා ගැන අටුවා ටිකා ටිප්පන දමමින් කරුණු ගෙනහැර දක්‌වන විට මගේ මතකයට ආවේ සුනිල් එදිරිසිංහ ශූරීන් විසින් ගායනා කරනු ලැබූ ගීතයක පද කිහිපයකි.

මිනිසකු පිට නැඟි අසරුවෙකි

ඒ බර ගෙයි වහළට බරකි

පාන්දරින් පැරදුනු ඒ මිනිසා

හැන්දැවෙත් අසු පිටට නගියි...

මේ ගීතයෙන් නම් කියවෙන්නේ අශ්වයා යොදාගෙන සිදුකරන සූදුවක්‌ ගැනය. කෙසේ වුවද ලක්‍ෂ්මන් හේවගේ පවසන පරිදි සුදු අශ්වයා සහ සූනියම් දෙවියා අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. සූනියම් දේවතාවුන් වහන්සේ ගමන් බිමන් යැම සඳහා සුදු අශ්වයකු තෝරා ගත් බව සඳහන් වේ. මේ නිසා අශ්වයාට සූනියම් දෙවියන්ගෙන් විශේෂ වරප්‍රසාද මෙන්ම ආධාර උපකාර ලැබෙන බැව් ගුප්ත වෛද්‍යවරු විශ්වාස කරති.

සූනියම් දේවතාවුන් වහන්සේ ඔඩ්ඩු වඩ්ගරට වඩිග රජතුමාට ජාතකව යාවුදගිරි බිසවුන් වහන්සේගේ කුසෙන් ඉපදී මහාරාජ වංශයෙන් පැවැත එන බව සඳහන් වන්නේය. සූනියම් දෙවියා "පුරට" දෙවි කෙනෙකි. "අවට" යක්‍ෂයෙකි. මේ නිසා අපේ රටේ පැරැණි සම්ප්‍රදායන් ගරු කරන පුද්ගලයන් හොඳට හෝ නරකට යන දෙකටම සූනියම් දෙවියන්ගේ පිහිට පතති. ගුප්ත වෛද්‍යවරුද යන්ත්‍ර මන්ත්‍ර හා ශාන්ති කර්මවලදී සූනියම් දෙවියා ඉතා ළඟින් ඇසුරු කරති. මෙවැනි අවස්‌ථාවලදී ගුප්ත වෛද්‍යවරු සූනියම් දෙවියන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ මස්‌සිනේ, ගුරුවරයා, මිතුරා සහෝදරයා ආදී නම්වලිනි.

සූනියම් දේවතාවුන් වහන්සේට වැඩකටයුතු අධික නිසා ගමන් බිමන් යැමට තෝරාගෙන තියෙන්නේ සුදු අශ්වයෙක්‌. මේ නිසා අශ්වයින්ට සූනියම් දෙවියන්ගේ බැල්ම තියෙනවා. අශ්වයින්ගේ කුරවලට ලාඩම් සවිකරනවා. මේ අශ්ව ලාඩම් ඉබේම හැළුණු විට එම අශ්ව ලාඩම් ගෙනවිත් පිරිසිදුකොට කහවතුරෙන් හෝදලා දක්‍ෂ ගුප්ත වෛද්‍යවරයකු ලවා අශ්ව ලාඩම්වලට ජීවම් කරන්න ඕන. සාමාන්‍යයෙන් සතියක්‌ විතර ජීවම් කරන්න ඕන. ඉන්පසු එම අශ්ව ලාඩමට නිවසේ ප්‍රධානියාගේ මාපට ඇඟිල්ලෙන් ලේ බිංදුවක්‌ ගෙන අශ්ව ලාඩමේ තියනවා.

ගුප්ත වෛද්‍ය ලක්‍ෂ්මන් හේවගේ අශ්ව ලාඩමේ කතාව විස්‌තර කරමින් එසේ කීවේය.

අශ්වයාගේ කුරවලට ලාඩම් ගසන්නේ යකඩ හා වානේ වලිනි. ඒ අශ්වයාගේ ආරක්‍ෂාවටය. කෙසේ වුවද වර්තමානයේ අශ්ව ලාඩම ඉතා දුර්ලභ ඝනයේ වස්‌තුවක්‌ බවට පත්ව තිබේ. අද අශ්ව ලාඩමක්‌ දැකිය හැක්‌කේද ඉතා කලාතුරකිනි. නිවාසවල දේවාල හා කෝවිල්වල මෙන්ම ව්‍යාපාරික ස්‌ථානවලද ප්‍රධාන උළුවස්‌සේ අශ්ව ලාඩම් එල්ලා තබනු ලැබේ.

මැටිවලින් හදපු අශ්ව ලාඩම්ද තියෙනවා. ඒවා එල්ලීමෙන් ප්‍රයෝජනයක්‌ නැත. මුහුදු අශ්වයාටද සූනියම් දෙවියන්ගේ බැල්ම තියෙනවා. මේවාද වීදුරු භාජනවල දමා ඇතැම් අය පුදසත්කාර කරනවා. ඇත්තටම මේ සියල්ල අපේ අය තුළ පවතින විශ්වාස හා ඇදහිලි. හැම කෙනෙක්‌ම බලන්නේ තමන්ට සෞභාග්‍ය උදාකර ගන්න. ඒ නිසා තමයි අපේ අය තවමත් මෙවැනි දේ පිළිගන්නේ. ගුප්ත වෛද්‍ය ලක්‍ෂ්මන් හේවගේ එසේ පවසන්නේය.

කාලයක්‌ තිස්‌සේ පැවත එන මෙවැනි සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස යනාදිය අපේ රටේ ජීවත්වන ජනතාවගේ මනසින් ඉවත්ව යැම පහසුවෙන් සිදුවන්නක්‌ නොවේ. ලාංකීය ගැමි සමාජය තුළ මෙවැනි ඇදහිලි හා විශ්වාස තවමත් දක්‌නට ලැබේ. නිවාසවල ඉදිරිපස අශ්ව ලාඩම් එල්ලීමට අමතරව ඇස්‌වහ කටවහ දෝෂ දුරුකර ගැනීමට මෙන්ම සෞභාග්‍යය උදාකර ගැනීමට, හොර හතුරු උවදුරුවලින් මිදීමට ගරා මුහුණු, යක්‍ෂ මුහුණු, පුහුල් ගෙඩි, වී කරල්, මුව අංතට්‌ටු ආදිය එල්ලා තිබෙනු දැකිය හැකිය.

එමෙන්ම ඇතැම් නිවාසවල දොරකොඩ සීනු එල්ලා තිබෙනු දැකිය හැකි අතර අලුතෙන් නිවසක්‌ ඉදිකරන විටදී උළුවහුවලට ඉහළින් බිත්තර කටුවක්‌ හෝ සීනාක්‌කාරම් කැටයක්‌ තබනු ලබන්නේද ඇස්‌වහ කටවහ දෝෂයන්ගෙන් මිදීම සඳහාය. එමෙන්ම නිවසට ඇතුළුවන කඩුල්ල අසල හුණු පැල්ලම්, තාර පුල්ලි සලකුණු කිරීමද අලුතෙන් ඉදිකරගෙන යන නිවාසවල පඹයන් එල්ලා තැබීම, නොයෙකුත් වැකි ලිවීම ආදිය සිදුකරන්නේද මේ ඇස්‌වහ කටවහ දෝෂ දුරු කිරීමටය.

ඇස්‌වහ කටවහ දෝෂ සමස්‌ත ලෝකය පුරාම පැතිරී ඇති විශ්වාසයකි. ඇතමුන් සිතන්නේ ඇස්‌ වහ, කටවහ දෝෂ ඇත්තේ ගම්බද ජනතාව තුළ පමණක්‌ කියාය. නමුත් එය වැරදි මතයකි. මෙය නගරබද ජනතාව තුළද ප්‍රබලව දක්‌නට ලැබෙන්නෙකි. බිලිඳකුගේ නළලේ කළු පැහැති පොට්‌ටුවක්‌ තබන්නේද එම දරු පැටියා ඇස්‌ වහ කටවහ දෝෂයන්ගෙන් මුදා ගැනීම සඳහාය.

ඇස්‌වහ කටවහ දෝෂයන්ගෙන් බේරීම සඳහා විවිධ වූ ආභරණ පැළඳීමටද අපේ ඇතැම්හු පුරුදුව සිටිති. නවරත්න මුද්ද මින් ප්‍රධාන තැනක්‌ ගනී. මෙය රනින් සාදා මැණික්‌ ගල් නවයක්‌ අල්ලා සාදනු ලැබූ මුද්දකි. එමෙන්ම සෑම ගමකම ඇස්‌වහ කටවහ ඇති ගැහැණු පිරිමි එක්‌ අයෙකු හෝ දෙදෙනකු සිටින බැව් අපේ පැරැන්නන්ගේ අදහසයි. මේ අයගෙන් ප්‍රවේශම් වීමට ගම්මුන් නිරන්තරයෙන්ම කටයුතු කරති.

ඇතැම් ගම්වැසියන් ප්‍රකාශ කරන්නේ ගලකින් ගසන විට එමගින් බේරීමට හැකි වුවත් ඇස්‌වහ කට වහ දෝෂයන්ගෙන් බේරීමට ඉතා අපහසු බවය. කෙසේ වුවද ඇස්‌ වහ කට වහ දෝෂවලින් මිදීමට නොයෙකුත් ඇදහිලි හා විවිධ වූ උපක්‍රම යොදා ගන්නා අපේ ඇතැම්හු දෙවියන් යක්‍ෂයින්, භූතයින් සතුටු කිරිමටද කටයුතු කරති. අපේ රටේ පැරැණි සම්ප්‍රදායන් ගරු කරන පුද්ගලයන් නිතරම උනන්දු වන්නේ තමන්ට බලපෑම් කළ හැකි බොහෝ ගණනක්‌ යක්‍ෂ හා භූතයින්ද යහපත් හෝ අයහපත් දෙවිවරුන්ද සතුටු කිරීමටය.

මේ අහිංසක මිනිසුන් යක්‍ෂයින් භූතයින් කොතෙක්‌ දුරට විශ්වාස කරන්නේද යන්න කනගාටුවට කරුණකි. තමන් මේ තරම් ෙ€දජනක තත්ත්වයට පත්ව සිටින්නේ රටේ යක්‍ෂයින් භූතයින්, බොහෝ සිටින නිසා බව ඔවුහු විශ්වාස කරති. මේ යක්‍ෂයින්ට පුද පූජා පැවැත්වූයේ නැත්නම් උන් මේ මිනිසුන් විනාශ කරනු ඇති බව ඔවුහු විශ්වාස කරති.

රොබට්‌ නොක්‌ස්‌ පැරැණි ලංකාව පිළිබඳ ඓතිහාසික විස්‌තරයක එසේ සඳහන් කොට ඇත්තේය. මේ තුළින් පැහැදිලි වන්නේ අපේ පැරැන්නෝ යක්‍ෂයින් හා භූතයින් කෙරෙහි දැක්‌වූ ආකල්පයන්ය. කෙසේ වුවද මෙම ඇදහිලි හා විශ්වාස ජන කොට්‌ඨාසයන් එක්‌කොට බැඳ තබන බැම්මක්‌ ලෙස සැලකිය හැකිය. සමාජ විද්‍යාව අනුව මගින්ද සිදුකරන්නේ ජන සමූහයක්‌ එක්‌කොට බැඳ තබන මූලික බලවේගයන් පිළිබඳ විමර්ශනයක්‌ කිරීමය. ඒ අනුව සමාජ විද්‍යාත්මක ලෙස ගෙන බැලුවද ජන කොට්‌ඨාසයන් සතු ඇදහිලි හා විශ්වාස සිරිත් විරිත් එම සමාජය එක්‌කොට තබන ශක්‌තිමත් බැම්මක්‌ ලෙස දැක්‌විය හැක.

වත්මන් සමාජය කෙතරම් නවීකරණය වී ඇතත් ගම්බද මෙන්ම නගරබද ජනතාවද තවමත් මෙම ඇදහිලි හා විශ්වාස පිළිගනිති. ඇතැමුන් ඒවා අනුගමනය කරති. වෙනසකට ඇත්තේ මේ සඳහා යොදා ගන්නා උපක්‍රම නවීකරණය වී තිබීමය.

මේ අය බලවත් සේ අදහන මේ භූතාත්ම, ඉන්ද්‍ර ජාලම් සහ මිත්‍යා විශ්වාස වැරදි බවත් ඒවා පිළිබඳ විද්‍යාත්මකව හේතු සාධක ඔප්පු කළ හැකි බවත් ඔවුනට තේරුම් කරදීමට උත්සාහ කළහොත් ඔවුහු සිනා සෙන්නට පටන් ගනිති. සමහර විට පැරැණි මතිමතාන්තර දරන ගැමියකු ඔබගේ මතය සිනාවට ලක්‌ කිරීමටද බැරි නැත.

මා නම් මේ කරුණු විශ්වාස කළේවත් අවිශ්වාස කළේවත් නැති හුදෙක්‌ නිරීක්‍ෂකයෙකු පමණක්‌ වීමි. වසර 400 කට පෙර ෂේක්‌ෂ්පියර් විසින් ලියන ලද කවියක පේලි දෙකක්‌ මට මතක්‌ වේ. හොරේෂෝ ඔබගේ දර්ශනයට හසු නොවන බොහෝ දේ ස්‌වර්ගයේද පොලෝ තලයේද ඇත.

බ්‍රොaහියර් හඳුනාගත් ලංකාව නමැති කෘතියේ ඔහු මෙම ඇදහිලි හා විශ්වාස පිළිබඳ එසේ සටහන් කොට තිබිණි.

ලලිත් චාමින්ද

 
Powered By -