තුන් හෙළය පළාත්වලට බෙදුනේ මෙහෙමයි!

ශ්‍රී ලංකාව පුරාණයේ පාලනයේ පහසුව සඳහා බෙදී තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනි. ශ්‍රී ලංකාවේ දකුණු මැද පෙදෙසේ කඳු රාශියක්‌ පිහිටා තිබුණ අතර අඩි 8292 ක්‌ උසැති පිදුරුතලාගල ඒවායින් උසම කන්ද විය. මේ වන විට උඩරට නමින් හඳුන්වනු ලබන මේ අති විශාල කඳුකර ප්‍රදේශය, සුවදායක, ශීතල දේශගුණයකින් ද යුක්‌ත විය. ස්‌වභාවයෙන්ම හැම කල්හිම දිය පිරුණු ගංගා හා ඇළ ,දොළ, නිසා මේ ප්‍රදේශයේ ජලය සුලබය. මේ ගංගා තැන් තැන් වල විසිතුරු දිය ඇලි ලෙසින් පහළට ගලනු දැකීම උඩරට ප්‍රදේශයටම ආවේනික දසුනක්‌ විය. මුළුමහත් කඳුකර ප්‍රදේශයම සරුවට වැඩුණු වෘක්‍ෂලතාවන්ගෙන්ද, ස්‌වාභාවික සුන්දරත්වයෙන් ද, අනූනය. මේ සෞන්දර්ය උඩරට පිහිටි කඳුවල ද මැනවින් දැකගත හැකිය. කඳුකර පෙදෙසේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 සිට 125 දක්‌වා ද වෙයි. රම්බොඩ හා නකල්ස්‌ පෙදෙස අවට මහවැලි ගඟේ ඉහළ නිම්නයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 140 සිට 200 දක්‌වා වෙයි. අනෙක්‌ ප්‍රදේශවලට වඩා විශාල ස්‌වභාවයකින් යුක්‌ත ඌව කඳුකරයේ හා නැගෙනහිර කඳුකරයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 65 සිට 100 දක්‌වා පවතී. මේ පුරාණ කන්ද උඩරට අසිරියෙන් බිඳකි. සිංහල රජවරුන්ගේ අන්තිම බලකොටුව වූයේ කඳුවලින් වටවූ උඩරට රාජ්‍යයයි. යුරෝපීය සතුරන් පහත රට අල්ලාගෙන සිටියදී නිදහස ආරක්‍ෂා වී තිබුණේ මේ කන්ද උඩරට රාජ්‍යයේ ය.

මහවැලි ගඟට නැගෙනහිරින් පිහිටි මුළු පෙදෙස ද, පහළ ඌව ද, හම්බන්තොට, ගාලු, මාතර, දිස්‌ත්‍රික්‌කද ඇතුළත් වූ රුහුණු රටේ අගනුවර වූයේ මහගම හෙවත් මාගමය. දැන් මාගම හඳුන්වන්නේ තිස්‌සමහරාමය ලෙසය.

රජරට ගැන සඳහනක්‌ 9 වැනි සියවස දක්‌වාම වංශකතාවල සඳහන් නොවන නමුත් ක්‍රි. පූ. 161 වැන්නේදී දුටුගැමුණු මහ රජතුමා ලංකාව එක්‌සේසත් කිරීමට පෙරාතුව විසූ රජවරුන් අනුරාධපුරය රාජධානිය කරගෙන රජකම් කළ රජරට ප්‍රධාන දිසා හතරකට අනුව නම් කරනු ලැබූ ප්‍රදේශ හතරකට බෙදා තිබුණේය. මෙයින් ඉහළ වැදගත්කමක්‌ ලැබී තිබුණේ 66 වැනි සියවසේ අවසානයේ පටන් දකුණු දේශයටය. දකුණු දේaශය පාලනය කරන ලද්දේ උප රාජයකු විසින්ය. දොළොස්‌ වැනි සියවසේ අගභාගය වන විට මේ නම් වල වෙනසක්‌ ඇති වී රජරට පිහිටි රට යනුවෙන් හැඳින්වීම ඇරඹිණි. දකුණු දේශය හා මලය දේශය එක්‌කොට මහයා රට යනුවෙන් හැඳින්වීම ඇරැඹිණි. මායා රට යනුවෙන් හැඳින්වූයේ එය මායා හෙවත් මායාගේ ප්‍රදේශය යන අර්ථයෙනි.

වෙනසකට භාජන නොවූ රුහුණු රට හෙවත් රෝහණ දේශයත් මායා රටත් එක්‌කොට ත්‍රිසිංහල රාජ්‍ය හෝ තුන් රාජ්‍ය වශයෙන් හැඳින්විය.

රජරටත් රුහුණත් එකිනෙකින් වෙන් කරන ලද්දේ මහවැලි (මහවැලි) ගඟෙනි. මහවැලි ගඟ යටකී රාජ්‍ය දෙකට රැකවරණ ලබාදුන් බාධක ගංඟාවක්‌ විය. ක්‍රි. පූ. දෙවැනි සියවසේදී දුටුගැමුණු කුමරු විසින් මෙහෙයවූ යුද්ධයේදීත්, දොළොස්‌වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු සහ මානාභරණ රජු අතර පැවැති අභ්‍යන්තර යුද්ධයේදීත් මහවැලි ගඟ අසල බොහෝ සටන් පැවති බව සඳහන් වේ. ගඟදිගේ පිහිටි තොටුපොළවලට රැකවරණය පතා පිහිටුවන ලද බළ කොටු රාශියකට විජිත නගර නමැති මහබළ කොටුවෙන් උදව් ලැබී ඇත. දොළොස්‌වැනි සියවසේ පොළොන්නරුව යනුවෙන් හැඳින්වෙන්නේ මේ බල කොටුවයි. පොළොන්නරුව යුද්ධෝපක්‍රමික අතින් වැදගත් විය. රුහුණෙන් සිදුවන ආක්‍රමණවලින් රජරට රැකුණේ පොළොන්නරුවෙන් ලැබුණ ආරක්‍ෂාව නිසාය. එසේම ආක්‍රමිණිකයන්ගෙන් තර්ජන එල්ලවූ හැම විටම එයට එරෙහිව ලහි ලහියේ ආරක්‍ෂාව සංවිධාන කිරීමට හා අවශ්‍ය වූ විටෙක රුහුණු පාලකයන්ට පලායැමට සුදුසු තැනක්‌ වූයේද පොළොන්නරුවයි.



පුරාණ යුගයේ රට බෙදා තිබුණු පිළිවෙළ ගැන හෝ එබඳු කොටස්‌ පාලනය කළ ආකාරය ගැන හෝ මෙතෙක්‌ ලැබී ඇත්තේ තොරතුරු ස්‌වල්පයක්‌ පමණකි. එසේ වුවද 8 වැනි සියවසේ සිට 12 වැනි සියවස දක්‌වා කාලය එනම් මධ්‍යතන යුගයේ පාලනය කරන ලද ආකාරය පිළිබඳ තොරතුරු රාශියක්‌ (ක්‍රි. ව. 1187 - 1196 ) කාලයේ රජකළ නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද ටැම් ලිපියක "තුන් හෙළය" (රුහුණු, පිහිටි, මායා) ගැන සඳහන් වේ.

පහතරට වියළි ප්‍රදේශය සිංහල සභ්‍යත්වයේ මුල් බිමය. ඒ හේතුවෙන් එම ප්‍රදේශය ඉතිහාසයේ වැදගත්ම ප්‍රදේශයයි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක්‌ පමණ වන මේ ප්‍රදේශයට වයඹ, උතුර, ඊසාන, උතුරු මැද, නැගෙනහිර, ගිණිකොණ යන මේ කොටස්‌ ඇතුළත්ය. ඔක්‌තෝබරයේ සිට අප්‍රේල් දක්‌වා පමණක්‌ වැසි ලැබෙන නිසාත් (ඊසාන මෝසම්) මැයි සිට සැප්තැම්බර් දක්‌වා නියඟ ඇතිවන නිසාත්, (නිරිත මෝසම්) මේ ප්‍රදේශ වියළි කලාපය යනුවෙන් හැඳින්වෙයි.

ප්‍රධාන වශයෙන් යුරෝපීය ජාතීන් තුනක්‌ සමග නිරන්තරයෙන් පැවති අරගල අවසානයේ 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටේ පාලනයට ඉංග්‍රීසීන් අවතීර්ණ වීමත් සමගම, එතෙක්‌ පැවති පාලන ක්‍රමය ද වෙනස්‌වීම ඇරැඹිණි. ඒ අනුව ලංකාවේ පාලනතන්ත්‍රය පරීක්‍ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය විලියම් කෝල්බෘක්‌ සාමිවරයා පත්කරනු ලැබ 1824 අප්‍රේල් මාසයේදී අවශ්‍ය කටයුතු සඳහා ලංකාවට පැමිණියේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ පුද්ගලයන්, සමිති සමාගම් හමුවෙමින් එක්‌ රැස්‌කර ගත් කරුණු පදනම් කොටගෙන පරිපාලනය පිළිබඳ විශාල වෙනස්‌කම් සිදුවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කරමින් 1832 මාර්තු මාසයේ දී ඔහු සිය වාර්තාව බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළේය.

මේ වනවිට උඩරට පහතරට යනුවෙන් ක්‍රියාත්මක වූ පාලන ක්‍රමය එක්‌කරමින් එකම පාලනයක්‌ බවට පත්කළ යුතු බව කෝල්බෘක්‌ හා කැමරන් නිර්දේශයන් වූ අතර දිවයිනම පරිපාලන පළාත් පහකට වෙන් කිරීම තවත් එක්‌ නිර්දේශයක්‌ විය.

යාපනය අගනගරය කරමින් උතුරු පළාත ගාල්ල අගනුවර කරමින් දකුණු පළාත, ත්‍රිකුණාමලය අගනුවර කරමින් නැගෙනහිර පළාත, කොළඹ අගනුවර වශයෙන් බස්‌නාහිර පළාත හා මහනුවර අගනගරය මධ්‍යම පළාත ඉහත කී නිර්දේශය අනුව පිහිටුවන ලැබූ පළාත් පහයි. එක්‌ පළාතක ප්‍රධාන රටකරවන නිලධාරියා ආණ්‌ඩුවේ ඒජන්ත වශයෙන් හැඳින් විය. ආණ්‌ඩුවේ ඒජන්තවරු පස්‌ දෙනකුට සීමාවීම අනුව ආණ්‌ඩුවේ මුදල් විශාල ප්‍රමාණයක්‌ අඩුකර ගැනීමට හැකි වීම ඉහතකී නිර්දේශයේ එක්‌ වැදගත් අංගයක්‌ විය. මේ පළාත් බෙදීයැමේ කිසිදු ඓතිහාසික හෝ ස්‌වාභාවික හෝ දේශපාලන සම්බන්ධකම් ගැන සැලකිල්ලක්‌ දක්‌වා කරන ලද්දක්‌ නොවන බව සඳහන් වේ. මුළු රටෙන් 1/5 ක්‌ පමණ විශාල වූ කොටසක්‌ එක්‌ පළාතකට වෙන්වීම, මේ පළාත් බෙදීමේ ප්‍රධාන දුර්වලකමක්‌ වශයෙන් හැඳින්වෙන අතර ගමනාගමන දුෂ්කරතා බෙහෙවින් බලපැවැත් වූ එකල තම පාලනය අදාළ පළාතේ බොහෝ කොටස්‌ ආණ්‌ඩුවේ ඒජන්තවරයාගේ අවධානයෙන් ගිලිහීයැම හේතුකොට ගෙන ජනතාවට මහත්වූ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය.

ආරම්භයේ 1834 දී පළාත් පහක්‌ වශයෙන් පැවතිය ද , ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්‌ඩුකාරයා (1841 - 1847) 1845 දී හලාවත, පුත්තලම හා සත්කෝරළය එක්‌කොට, පුත්තලම අගනුවර ලෙස පවත්වමින්, වයඹ පළාත බිහිකළේය. 1856 දී නැවත වරක්‌ වයඹ පළාතේ අගනුවර කුරුණෑගල බවට පත්කරන ලදී. 1870 දී නැගෙනහිර පළාතේ අගනුවර වශයෙන් පැවති ත්‍රිකුණාමලය වෙනුවට මඩකලපුව තෝරා ගන්නා ලදී.

1872 සිට 1877 දක්‌වා වසර පහක්‌ ආණ්‌ඩුකාරධූරය දැරූ ශ්‍රීමන් විලියම් හෙන්ද්‍රිතුමාට, නුවර කලාපයේ හා තමන්කඩුවේ කළ සංචාරයකදී වැටහී ගිය පරිදි යාපනය දිසාපතිවරයාට ඈත සිංහල ගම් දනව් වෙනුවෙන් කටයුතු කිරීමේ දුෂ්කරතාවය පෙනී ගියෙන් 1873 දී අනුරාධපුරය අගනගරය කරමින් උතුරු පළාතට අයත්කොට තිබූ නුවර කළාපයත්, නැගෙනහිර පළාතට එක්‌කොට තිබූ තමන්කඩුවත් එක්‌කොට උතුරු මැද පළාත පිහිටුවීය.

එක්‌දාස්‌ අටසීය අනූව පමණ වන විට මොණරාගල, වැලිමඩ හා බදුල්ල ප්‍රදේශවල වතු වගාව සීග්‍රයෙන් වර්ධනය වන්නට විය. මේ වනවිටත් මෙකී ප්‍රදේශ ද මහනුවර අගනුවර කොට ගෙන පිහිටුවා තිබුණත් මහනුවර ඒජන්තගේ අවධානය යොමු වීම අපහසු කටයුත්තක්‌ විය.

මේ දුර බැහැර ප්‍රදේශ තනි පළාතක්‌ යටතට ගැනීම පාලන කටයුතු වලටද පහසුවක්‌ විය හැකි බව සලකා ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්‌ඩුකාර තුමා මධ්‍ය පළාතට අයත්ව තිබූ බින්තැන්න, වියලුව, වෙල්ලස්‌ස, උඩුකිඳ, යටිකිඳ, කොටස්‌ ද දකුණු පළාතට අයත්ව තිබූ වැල්ලවාය, බුත්තල යන පෙදෙස්‌ ද එක්‌කොට බදුල්ල අගනුවර කරමින් ඌව පළාත බිහි කළේය.

එසේම කුකුළු කෝරළය, කොළොන්න කෝරළය, වැනි ප්‍රදේශවල දියුණුවට කටයුතු කිරීම අපහසු බව පෙනී ගියෙන් 1889 දී ගෝර්ඩන් ආණ්‌ඩුකාරතුමා විසින් එතෙක්‌ පිහිටුවා තිබුණු පළාත් අට තවදුරටත් පුළුල් කරමින් රත්නපුරය අගනුවර කරමින්, සබරගමුව ශ්‍රී ලංකාවේ නවවෙනි පළාත ලෙස නම් කළේය.

රුහුණු, මායා, පිහිටි වශයෙන් ක්‍රියාත්මක වූ තුන් හෙළය රටට සුදු අලියෙක්‌ වෙමින් දැනට ක්‍රියාත්මක වන පළාත් නවයක්‌ ලෙස බිහි වූයේ ඔය ආකාරයටය.

මෙයින් කෙටි කළකින්ම පරිපාලන කටයුතු ශීඝ්‍රයෙන් පුළුල් වන්නට විය. පළාත පාලනය කළ ඒජන්ත තැනට රාජකාරි කටයුතු බහුල වන්නට වූයෙන් , පළාත් දිස්‌ත්‍රික්‌ක වලට බෙදිණි. බස්‌නාහිර පළාත කොළඹ, කළුතර, ගම්පහ වශයෙන් ද, දකුණු පළාත ගාල්ල, මාතර, හම්බන්තොට වශයෙන් ද, මධ්‍යම පළාත මහනුවර හා මාතලේ ලෙස ද, ඌව පළාත බදුල්ල හා මොනරාගල යනුවෙන් හා අනෙකුත් සියලුම පළාත් ද දිස්‌ත්‍රික්‌ක වශයෙන් කොටස්‌ දෙක තුන වනසේ බෙදී වෙන්විණි.

පරිපාලනයේ පහසුව අරමුණ කොටගෙන බෙදුණු පළාත් අද වන විට සුදු අලියෙක්‌ බවට පත්වී ඇතිවා පමණක්‌ නොව උතුරු හා නැගෙනහිර පළාත් ජනවර්ගයන්ගේ නිජබිම වශයෙන් සලකමින් වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමේ පදනම වශයෙන් ඒත්තු ගැන්වීමේ වෑයමක්‌ දක්‌වා ගමන්කොට ඇත.

එච්. එම්. කල්දේරා
 

 
Powered By -


        උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
          223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.