මේ තත්ත්වයට අපේම කිහිප දෙනෙක්‌ වගකිව යුතුයි
ඕෂදී හේවාමද්දුම

ඕෂදී කියන්නෙ මෑත යුගයේ පුංචි තිරයේ අපි දුටුව ජනප්‍රිය නිළියක්‌. නමුත් මේ දවස්‌වල නම් ඇය ගැන කතා වෙන්නෙ රංගන හැකියාවන් ගැන නම් නොවෙයි. මෙගා ස්‌ටාර් වේදිකාවේ ගායන හැකියාවන් ගැනයි. පූජා ටෙලි සිත්තමේ "පූජා"ගෙන්ද, කාව්‍යා හි "කාව්‍යා"ගෙන්ද ප්‍රේක්‍ෂක හදවත්වලට තව තවත් ළංවූ ඕෂදී හේවාමද්දුම මේ දවස්‌වල පුංචි තිරයේ වැඩිපුර දකින්න නැති නිසා අප ඇයව ඇමතුවා.

ඕෂදී මොනවද මේ දවස්‌වල අලුත්ම කලා කටයුතු ?
මේ දවස්‌වල සුරන්ජන් විඡේනාමගේ "සඳුන්ගිර" කියන ටෙලිනාට්‍යයේ පළවෙනි කොටස්‌ පහළොවේ රූගත කිරීම්වලට සහභාගි වුණා. තවද හෙට අනින්දා වෙනකොට ඩුබායිවලට යනවා ප්‍රසංගයකට. ඒක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රසංගයක්‌.

ඇත්තද මේ දවස්‌වල ගායනයට ගොඩක්‌ මහන්සි වෙනවා කියන්නෙ ?
ඒකනම් ඇත්ත. ගායනය මීට කලින් හදාරපු නැති දෙයක්‌. නමුත් ස්‌වර්ණවාහිනියේ මෙගා ස්‌ටාර් වැඩසටහන නිසා ගායනය හදාරන්න වෙලා තිබෙනවා. නැතිනම් එම වැඩසටහන තුළ පැවැත්මක්‌ නැහැනේ.

මෙගා ස්‌ටාර් වීමේ සිහිනයකුත් ඇති නේද?
ඒක ඉතින් තීරණය වන්නේ ප්‍රෙක්‍ෂකයන් මතයි. මොකද මම එහෙම කිව්වේ ප්‍රේක්‍ෂකයන් එවන එස්‌ එම් එස්‌ මත තීරණය වන දෙයක්‌නෙ.

ප්‍රේක්‍ෂකයන් හොඳ තීරණයක්‌ දෙයි කියල හිතනවද?
මෙහෙමයි. මම හිතනවා ප්‍රේක්‍ෂකයන් නිවැරදි තීරණයක්‌ දෙයි කියලා. අපේ රටේ ප්‍රේක්‍ෂකයන්ට හොඳ බුද්ධියක්‌ තිබෙනවා. මම කියන්නෙ මට එස්‌ එම් එස්‌ කරාවි කියන අදහසින් නෙමෙයි. මම හෝ වේවා වෙන කවුරු හරි වේවා හොඳ තීරණයක්‌ ප්‍රේක්‍ෂකයන් දේවි.

සහෝදර නළු නිළියන්ගෙන් අභියෝග එහෙම ඇති නේද?
සහෝදර නළු නිළියන්ට වඩා එතැන අභියෝග තියෙන්නෙ වෙනත් වෘත්තිකයන්ගෙන්. උදා:- හැටියට ගත්තොත් පුෂ්පා රම්‍යානි සොයිසා. එයා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නියෝජනය කරන්නෙ. ඒ හින්දා ඇයට වැඩි එස්‌. එම්. එස්‌. ප්‍රමාණයක්‌ ලැබේවි. ඔය වගේ එස්‌. එම්. එස්‌. වලින් ගත්තහම වෙනත් වෘත්තිකයන්ගෙන් තමයි අභියෝගය.

ඇයි වැඩිපුර පුංචි තිරයේ දකින්න නැත්තෙ ?
ඒක ඇත්තටම මටත් ප්‍රශ්නයක්‌. මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය එකොළහක්‌ විතර තිබෙනවා විකාශනය වෙන්න. මේවා කොයි කාලයේදී විකාශනය වෙයිද කියලා දන්නෙ නැහැ. මටත් තිබෙන ලොකුම ගැටලුව ඒක.

රංගන ශිල්පිනියක්‌ නොවුණා නම් ?
අනිවාර්යයෙන්ම ව්‍යාපාරික පැත්තට යොමුවෙයි.

කාන්තාවක්‌ රංගනයට ඒම සුදුසුද?
රංගනය කියන්නෙත් එක්‌තරා වෘත්තියක්‌. විශේෂයෙන් කාන්තාවක්‌ රැකියාවක්‌ කරනවා නම් තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කරන්න ඕන. තවද ගෞරවය රැකගෙන බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. එය රංගනයට විතරක්‌ නෙවෙයි සෑම ක්‍ෂේත්‍රයකටම අදාළයි. රංගනය කියන වෘත්තියේදී වැඩි නිදහසක්‌ ලැබෙනවා. එයට වෙලාවක්‌ දවසක්‌ නැහැ. තවද රටින් පිට සිදුවෙන රූගත කිරීම්වලට යන්න සිදුවෙනවා. ඉතින් එම නිදහස බුද්ධිමත්ව තබාගෙන කටයුතු කළ යුතුයි.

රංගන ශිල්පිනියන්ට සමාජයෙන් විවිධ මතවාද නැගෙනවා. ඒ ගැන මොකද කියන්නෙ ?
රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න සීමිත ශිල්පිනියන් පිරිසක්‌ ඔය තත්ත්වයට වගකිව යුතුයි. අනික ගින්නක්‌ නැතුව දුමක්‌ නගින්නෙත් නැහැනේ. රංගන ශිල්පිනියක්‌ කියන්නෙ ප්‍රසිද්ධ චරිතයක්‌. ඔවුන් දිහා සමාජයේ මිනිසුන්ගේ අවධානය යොමුවෙනවා වැඩියි. අපි රඟපාන චරිත ගැන විතරක්‌ නෙමෙයි පෞද්ගලික ජීවිතය ගැනද හොයනවා. එය ජනප්‍රියත්වයත් සමග එන දෙයක්‌නෙ. ඒක හින්දා අපි හිතලා වැඩ කරන්න ඕනෑ.

ඕෂදී රංගනයට පිවිසුනේ කොහොමද කිව්වොත් ?
ඇත්තටම මම රංගනයට ආවේ අහම්බෙන්. 2002 වසරෙදී සැඩ සුළං ටෙලි නාට්‍යයේ සාමාන්‍ය චරිතයකින්. ඒක කැමැත්තෙන් කරපු දෙයක්‌ නම් නෙවෙයි. මට ඒ දවස්‌වල රඟපාන්න වුවමනාවකුත් තිබ්බේ නැහැ. ඊට පස්‌සෙ මගේ අධ්‍යාපන වැඩ කටයුතුවල නියෑලුණා. පස්‌සෙ 2004 වසරේ දේදුණු පාලම ටෙලිනාට්‍යයේ "වරුණි" කියන නිරූපිකාවකගේ චරිතය රඟපාන්න ලැබුණා. එදා ඉඳන් මේ වෙනකම් වසර 06 ක්‌ එකදිගටම රංගන ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.

කාන්තාවක්‌ විදිහට ජීවිතය දකින්නේ ?
ජීවිතය කියන තැනදී බුද්ධිමත්ව හැසිරිය යුතුයි. වයස්‌ සීමාවන් අනුව කාලය අනුව බුද්ධිමත්ව තීරණ ගත්තොත් තමන්ට සුදුසු ජීවිතය ළංකරගෙන දියුණු වී කටයුතු කරන්න පුළුවන්.

බිරිඳක්‌ විදිහට සැමියාව දකින්නේ ?
මගේ පෞද්ගලික මතය අනුව නම් සැමියා කියන චරිතය බිරිඳට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. අපේ සමාජය පුරුෂයා මුල්කරගෙනයි ගොඩනැගී තිබෙන්නෙ. සැමියෙක්‌ වුණහම බිරිඳට රැකවරණය, ආරක්‍ෂාව දුකේදී සැපේදී ළඟින් සිටීම, හොඳ නරක තේරුම් කරදෙන්න පුළුවන් කෙනෙක්‌ විය යුතුයි.

කලාවට ඔබේ සැමියාගෙන් ලැබෙන සහාය ?
ලොකු සහායක්‌ ලැබෙනවා. එයා කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිසා අපි දෙන්න අවබෝධයෙන් කටයුතු කරනවා. අනික අපි දෙන්නම ආශ්‍රය කරන්නෙ එකම යාළුවොනේ. අපි දෙන්න වැඩ බෙදාගෙන තමයි කරන්නේ. එයා මම වෙනුවෙන් ගොඩක්‌ කැප කිරීම් කරන කෙනෙක්‌.

ඉතිං පවුලේ විස්‌තර ටිකකුත් කියමු නේද?
අපේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, මගේ මහත්තයයි. එයාගෙ නම ප්‍රදීප් බුලත්සිංහල. කැමරා අධ්‍යක්‍ෂවරයෙක්‌ හැටියට කටයුතු කරනවා.

පුංචි කැදැල්ලේ දරු සුරතල් බලන්න කැමැති නැද්ද?
බලාපොරොත්තුවක්‌ තිබෙනවා. ඒක මගේ හිතේ තිබෙන ලොකු ආසාවක්‌. ඊට කලින් වෙන්න ඕන යම් කිසි අරමුණු ටිකක්‌ තිබෙනවා. එතකම් පොඩි කාලයකට කල් දාන්න වෙනවා.

රංගන ශිල්පිනියන් දේශපාලනයට පිවිසීම ඔබ දකින්නේ ?
දේශපාලනය කියන දෙය හොඳ දෙයක්‌. නමුත් අපි කැමැති දේශපාලන පක්‍ෂයක්‌ හෝ දේශපාලනඥයෙක්‌ වෙනුවෙන් ප්‍රසිද්ධියේ අදහස්‌ දැක්‌වීම වැරැද්දක්‌. ඕනෑම කලාකරුවකුට පෞද්ගලිකව දේශපාලන මතයක්‌ තිබෙනවා. නමුත් ක්‍රියාකාරී දේශපාලනයට එනකොට හොඳ දැනුමක්‌ අනුව සිදුවිය යුතුයි. මෙය කලාවට විතරක්‌ නොවෙයි ඕනෑම ක්‍ෂේත්‍රයකට පොදුයි.

ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ශිල්පිනියන්ට ගරු කරනවාද?
අනිවාර්යයෙන්ම. මම සෑහෙන ගරු කරන කෙනෙක්‌. මට එහෙම ගරු කරන්නේ නැහැ කියලා චෝදනා ඇවිල්ලත් නැහැ.

බිරිඳක්‌ නිසා චරිත තෝරා බේරා ගැනීමක්‌ කරනවද?
මෙහෙමයි. මම විවාහ වෙන්න පෙර සිටම චරිත තෝරා බේරාගැනීමක්‌ කළා. එය කළුද? සුදුද? දුෂ්ටද? නපුරුද කියන එක නෙවෙයි. අපේ සංස්‌කෘතික සීමාවේ ඉඳන් මට පාරෙ බැහැල යන්න පුළුවන් චරිත විතරයි බාරගත්තේ. ඉදිරියටත් එහෙමයි. මගේ තෝරාගැනීම ගැන ප්‍රදීප් දන්න නිසා එයාගෙන් බලපෑමක්‌ නැහැ.


දිනේෂ් විතාන
 

 
Powered By -